Monday, December 13, 2010

ඔයා දුන්න රෝස මල් තාම සුවදයි මට....

         
කුරුවල් වෙච්චි හිතකුත් එක්ක මේ දවස් වල එහෙට මෙහෙට පැද්දිලා යන එනමං නැති අසරණයෙක් ගානට වැටිලා මම... පන්හිදටත් සමුදෙන්න හිතුවට ඉහළින් එල්ල වෙච්ච තර්ජන කිපයක් නිසා ආයෙමත්  ලියන්න හිතුවා... ඒත් හත්දෙයියනේ‍ මොනව කියලා ලියන්නද???
           ඔහොම හිතද්දි  මම දැක්කා රෝස පදුරේ ලස්සන රෝස මලක් පිපිලා...හිතට එකපාරම කෙනෙක්ව මතක් වුනා... හරිම ආදරණිය චරිතයක්...අවුරුදු ගානක් හැමදාම ඒ අතින් මට ලස්සනම ලස්සන පුංචි රෝස මලක් ලැබුනා... ඒත් කවුරුත් විශ්වාස කරන්නෙ නැතිවෙයි.. කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතා කලේ නැ...
          වැරදි  විදිහට හිතන්න එපා එයා පුංචි නංගි පැටියෙක්..මම ඉස්කෝලේ යන දවස්වල ...එයා උන්නෙ එක වසරේ..එයත් පුංචි රෝස මලක් වගේ..ඇත්තටම අදටත් මට හරි පුදුමයි ඒ පුංචි පැටියා ගැන..කවදාවත් වචනයක් වත් නොකීව‍ට හැමදාම උදේට එයා මට රෝස මලක්  ගෙනාව..මම ඉස්කෝලේ නොගිය දවස්වලත් එයා මගේ ඩෙස්ක් එක උඩ මල තියලා ගිහින් තිබුනා...හැමෝටම පුදුමයක් වුනා ඇගේ රෝස මල.. කවමදාවත් එයා වෙන මලක් ගෙනාවේ නෑ...
                 එක දවසක් මම උදේම නෝට් වගයක් ලියමින් උන්නා.. පුංචි අතක් හිමිට ‍මගේ පොත උඩින් ලස්සන සුදු රෝස මලක් තිබ්බා..මම ඔළුව උස්සලා එයත් එක්ක හිනාවුනා... එයා ටිකක් වෙලා බලන් ඉදලා යන්න හැරෙද්දි අපේ පන්තියෙ හිටි විසේකාර කොල්ලෙක් අර මල අරන් උඩ දැම්මා...ඒ පුංචි හුරතලි නපුරු කෙනෙක් නෙමෙයි...ඒත් ඒ වෙලාවේ නම් ඒ පුංචි හිතට ලොකු කේන්තියක් ගිහින්.. හරි හරියට රණ්ඩු වුණා..අන්තිමට එයාගේ පුංචි නියපොතු  වලින් අර කොල්ලව හූරලා රෝස මල උදුරලා අරන් මගේ පොත උඩ තිබ්බා..
       හැමදාමත් වගේ ඒ පුංචි හුරතලි මට මල් ගෙනාවා..එයා එහෙම කරන්නෙ  ඇයි කියලා ඇහුවත් කවදාවත් උත්තර දුන්නෙ නෑ..ඇගේ උත්තරය වුනේ ලස්සන හිනාවක් විතරයි..ඒ හිනාව අදටත් මට මැවිලා පේනවා..
තාමත් එයා දුන්නු මල් මගේ පොත් ඇතුලේ තිබිලා හම්බ වෙනවා...
 අනේ මම එයාගේ නමවත් දැනගෙන උන්නනම් කියලා දැන් හිතෙනවා..

7 comments:

  1. එහෙම කරන්න ඇයි කියල අහන්න දෙයක් නෑ. ඒක තමයි කෙනෙක්ගේ හදවත තුල පවතින බැඳීමේ සෙනෙහසේ ප්‍රතිමූර්තිය. ඒක වචන වලට වඩා හොඳට මල සංඛේත කරනව.
    හිත කුරුවල් වුණා කියල ලියන එක නවත්තන්න එපා. මහ ලොකු දර්ශණ නැතත් මේ වගේ පොඩි දෙයක් හරි ලියල ඒකෙන් සතුටක් ලබන්න. හැමවිටම තමන්ගෙන්ම සතුට සොයන්න.

    ReplyDelete
  2. එයා ඔයාට ගොඩක් ලං වෙන්න ඇති ඔයාටත් නොදැනිම... නම නොදැන උන්නත් එයා තවමත් ඔයා ළගනේ නංගා....

    ReplyDelete
  3. බ්ලොග් එකට කලින් ඈවිත් තිබුනත් අද තමා හරියට බ්ලොග් එක කියෙවුවේ... තියෙන හැම පෝස්ට් එකක්ම බැලුවා... ඈත්තටම ඔයාට ලස්සට ලියන්න පුළුවන් කාටත් දැනෙන විදිය​ට.. හරිම සංවේදී විදිය​ට..

    දිගටම ලියන්න මගෙන් සුභපැතුම්..!!

    ReplyDelete
  4. අම්මගේ ආදරය වගේයි, මොනා කලත් ඉල්ලුවත් නැතත් ඒක ලැබෙන නිසා,,

    ReplyDelete
  5. අක්කි ආයෙම ලියනවා...මට ගොඩක් සතුටුයි...ඔයාට ලං වුන ඒ පුංචි නංගියා හැමදාම ඔයා ළඟ ඉන්නවානේ...ඔයා බලන්න හිතේ ඉන්න අපූරුව...හිනා වෙන ලස්සන...ඉතින් සතුටුයි නේද...

    ReplyDelete
  6. ඇත්තටම ඒ වාගෙ චරිත දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.
    කොහොමත් නංගි බබා දිගටම ලියන්න.ඔයාගෙ සතුට තමා අපෙත් සතුට.හිත කුරුවල් කරගන්න එපා.‍ෆිට් එකේ ඉන්නකො.

    ReplyDelete
  7. අපි එයාට රෝස මල් කුමාරි කියමු.

    ReplyDelete