Monday, February 20, 2012

කාසි භුතයෝ කියන්නේ ඇත්තක්ද?

                            ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි අතරේ ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ කාසි භුතයෝ. භූත ලෑල්ලක් හදලා ඒකට කාසියක් තියලා භූතයෝ ගෙන්නන්න අපි ඒ දවස්වල හෙන කට්ටක් කෑවා. කාසියක් වෙනුවට වීදුරුවක් තියලත් ඕක කරනවා. හැබැයි විශ්වාසෙන් කලේ නැත්නම් ඒ වැඩේ හරි යන්නේ නැ කියලයි කියන්නේ. ඒ නිසාද මංදා මටනම් කවදාවත් ඕක කරලා බලන්න බැරි වුනා. ඇත්තටම මට විශ්වාසයක් තිබුනේ නැ මේ ගැන. ඒ වගේමයි අදටත්. ඒවුනාට වෙන අය කරනවා නම් දැකලා තියෙනවා. ඒ හිංදම සමහර වෙලාවට මේක විශ්වාස කරන්නද එපාද කියලා හරියටම හිතා ගන්න බෑ.
ඔය කාසියට භූතයෝ ගෙන්නන උණ අපේ පන්තියට බෝ වුනේ එක පොතකින්. කතුවරයා හරියටම මතක නැ. පොතේ නම “උත්පලවන්නාවේ භූතකෙළිය. මට මතක විදිහට ඒකේ තිබුනේ මිනිමැරුමක් ගැන ඔය භූත ලැල්ලෙන් හොයා ගන්න විදිහක් ගැන.ඒත් කල් යද්දි ගුරුවරුන්ගෙන් බැනුම් අහල අහලම ඔය වැඩේ කට්ටිය අතැරියා.
මම නම් හිතන්නේ මේක ඒ වැඩේට සම්බන්ධ වෙන අයගේ හිතත් එක්ක සම්බන්ධ දෙයක් කියලා. මොකද මෙතෙන්දි කාසිය උඩ ඇගිල්ල තියාගෙනයි ඉන්නේ. කොච්චර කිව්වත් තමන් නෙමෙයි කාසිය හොලවන්නේ කියලා තමන්ටම නොදැනී ඒක සිද්ධ වෙනවා.
              
                කොහොම උනත් ඔය ගැන ආයෙත් මට ඇහුනේ අපේ හොස්ටල් එකේදි.. පහුගිය කාලේ  හොස්ටල් එකේ ගොඩක් අය මේ කාසි භුතයෝ ගෙන්නන එක කලා.. ගොඩක් වෙලාවට විනෝදෙට වගේ තමයි කලේ. ඒත් සමහර වෙලාවට ඔහොම ගෙන්නන භුතයෝ යවා ගන්න බැරි වුනා කියලා මහ රෑ ජාමේ කට්ටිය පිරිත් කිය කියා දැගලුවා.
              ඒත් එක සිද්ධියකින් පස්සේ කට්ටිය ඔය වැඩේ සම්පුර්ණයෙන්ම අත්තැරියේ උපරිමයෙන්ම බයවුනු හිංදා. දවසක් ඔය විදිහට කාසි භුතයෙක් ගෙන්නලා යවාගන්න බැරිව පිරිත් කියලා අමාරුවෙන් යවලා තියෙනවා. මේ වැඩේ කරලා තිබුනේ අපේ හොස්ටල් එකේ කෙළවරේ කාමරේක. ටිකක් විතර පාලුයි ඒ හරිය. මේ සිද්ධිය  කවුරුත් එච්චර ගනන් ගත්තේ නැ. ඒත් පහු වෙනිදා හවස ඒ පැත්තේ  කලබලයක් ඇහෙනවා. පොඩ්ඩක් ඔළුව දාලා හොයලා බලද්දි එතන හිටපු අය කීවේ අන්න ඊයේ කාසි භුතයෝ ගෙන්නලා අද එකෙකුට භුතයෙක් වැහිලා කියලා. ඒක අහපු ගමන් අපිට හිනා ගියත් පස්සෙ දැන ගත්තේ තත්වේ ටිකක් බරපතල බව. මේ විදිහට බය වුනු ගෑණු ළමයා තනියම පිරිත් කිය කිය වතුරට මතුර මතුර ඒවා ඔළුවේ හලා ගන්නවා. ආයේ කෑ ගහනවා. කාටවත් ලගට එන්න දෙන්නෙම නෑ. එක පාරක් ලගට ගිය  කෙනෙකුගේ බෙල්ලෙන්ම අල්ලගෙන. අනික් අය පැනලා අල්ල ගත්තේ නැත්නම් තව විනාසයක්... කට්ටියම එකතු වෙලා එයාව හොස්පිටල් එක්ක ගියත් ආපහු එවලා තිබුනා ලෙඩක් නැ කියලා. හොස්පිටල් එකේ ඉදලා ආපු ගමන් එයා කාමරේට පැනලා දොර වහගෙන.  කාටවත් එන්න දෙන්නෙත් නැ. අන්තිමට කට්ටිය තිරණේ කලේ නූලක් දැම්ම නම් හරි යයි කියලා.. ඒත් හොස්ටල් එකේ කවුද නූල් දාන්න ඉන්නේ. අනික රෑ වෙලා. ඒ අතරෙයි කට්ටියට මතක් වුනේ ඒ වැඩ දන්න පිරිමි ළමයෙක් අපේ බැජ් එකේ ඉන්න බව. අන්තිමට එයාව ගෙන්නගෙන නූලක් දැම්මත් ඒක තාවකාලික එකක් විතරයි කිව්වා. ඒ පාර පහු වෙනිදා උදේම එයාගේ ගෙදරින් ගෙන්නලා  එයාව පිටත් කලා.
            මේ සිද්ධියෙන් පස්සේ කවුරුත් තාම කාසි භුතයෝ ගෙන්නන්න හැදුවේ නෑ.. මම දන්නේ නැ එයාට ඇත්තටම එහෙම දෙයක් වුනාද කියලා. ඒත් මට හිතෙන්නේ කලින්දා හිතට දැනුනු බයත් එක්ක ඒ විදිහට හැසිරුනා කියලයි.

Thursday, February 16, 2012

පිල්ලියකට බයේ මැරෙනකන්ම නිදා ගත්තේ නෑලු...

                                      කොත්මලේ ගැන මම මීට කලින් ජනකතා කීපයක්ම කිව්වනේ.. කොත්මලේ ගැන කියද්දි දුටුගැමුණු කුමාරයා වගේම පොන්න නැකැත්තා ගැනත් වැඩිපුරම කියවෙනවා. ඒ විතරක් නෙමෙයි කොත්මල් පුරවරයේ කන්දකින් පහළට වැටෙන හැම දිය ඇල්ලකටම අපූරු කතන්දර පටබැදිලා තියෙනවා. රම්බොඩ ඇල්ල, ගැරඩි ඇල්ල, පූනා ඔය වගේ දිය ඇලි වල නම් හැදුන හැටි ගැන අපූරූ කතා ගොඩාරියයි.. ඒ වගේම කොත්මලේ ගැන කියද්දි කොත්තුණු ගොඩ වලවල් ගැනත් එක එක කතා ගොඩයි. මේවිදිහෙ කතා අතරේ තියෙන තවත් කතාවක් තමයි ඕතලාවේ හාමුදුරුවෝ ගැන තියෙන කතා.. 

                ඕතලාවේ හාමුදුරුවෝ කියන්නේ ඒ කාලේ කොත්මලේ හිටපු ප්‍රසිද්ධ චරිතයක්. වෙන මොනවටවත් නෙමෙයි. මන්තර ගුරුකම් වලට. ගමේ මිනිස්සු විතරක් නෙමෙයි රටේ ලොකු ලොකු ඇත්තොත් උන්වහන්සේ ලගට ආවයි කියලයි කියන්නේ...  ලංකාව මොන තරම් දියුණු වුනා කිව්වත් අදටත් අපේ මිනිස්සු ලග ඔය මිත්‍යා විශ්වාස කියන දේවල් නම් අඩු වෙන්නේ නැනේ. කොහේ හරි පිළිමයක රැස් විහිදෙනවා කිව්වොත් එහෙමත් නැත්නම් කොහේ හරි තැනක හාස්කම් තියෙනවා කිව්වොත් මෙන්න පහුවෙනිදම පරම්පරාව පිටින්ම එතන.... කොහොම වුනත් අදටත් ඔය මන්තර ගුරුකං කරන හාමුදුරුවරු ඕන තරම් ඉන්නවා...ඒ වගේ දේවල් පූජ්‍ය පක්ෂයට ඒතරම් ගැළපෙනව කියල නම්  මම හිතන්නේ නෑ.. කොහොම වුනත් අදටත් පත්තරයක් ගත්තම දාලා තියෙන ඇඩ් වල වශි ගුරුකං වල ඉදලා තවත් විවිධාකාර ගුරුකං කරන හාමුදුරුවරු ගැන දාලා තියෙන්නේ....
                     කොහොම වුනත් මේ හාමුදුරුවන් ලගට නොයෙක් තරාතිරම් වල අය ඇවිත් තියෙනවා. ඒකට හේතුව ඒ ගුරුකං කවදාවත් වැරදිලා නැති එක.. කොහොම උනත් හාමුදුරුවන්ගේ  සහෝදරයා ඒ කියන්නේ උන්වහන්සේගේ මල්ලිත් මේ මන්තර ගුරුකං කරන්න දැනගෙන ඉදලා තියෙනවා. දවසක මේ දෙන්නා අතර ඇතිවෙන ආරවුලක් දුරදිග ගිහින් ඒක ලොකු වෛරයකට පෙරලෙනවා. මේ හේතුව උඩ මල්ලි තමන්ව විනාශ කරන්න කලින් තමන්ම  මොනව හරි කරන්න ඕන කියලා හිතපු හාමුදුරුවෝ තීරණය කරලා තියෙන්නේ මල්ලිව විනාශ කරන්න පිල්ලියක් යවන්න. දවසක් රෑ උදව්වට කට්ටඩියෙකුත් එක්ක සොහොනට ගිහින් මළමිනියක් ගොඩ අරගෙන ඒ අවශ්‍ය විදහට කරුණු කාරණා සිද්ධ කරලා  පිල්ලියක් යවලා තියෙනවා මල්ලිව විනාශ කරන්න. මේ විදිහට යැව්වා වුනත්  උන්වහන්සේගේ මල්ලිත් ගුරුකං දන්න නිසා  පිල්ලිය එන්න කලින්ම ඒකෙන් බේරෙන්න ඕන කටයුතු සිද්ධ කරනවා. ගුරුකං හොදින් දන්න කෙනෙකුට මේ විදිහට එවපු පිල්ලියක් ආයෙමත් හරවලා යවන්න පුළුවන් එවපු කෙනා ලගටම...  පස්සේ හාමුදුරුවෝ දැන ගන්නවා තමන් යවපු පිල්ලිය ආපහු හරවලා එවලා බව.  මේ විදිහට එවපු පිල්ලිය තමන්ව මරලා දායි කියන බයට එදා ඉදන් හාමුදුරුවෝ නිදාගෙන නැ. තමන්ට නින්ද ගියොත් පිල්ලිය ඇවිත් තමන්ව මරයි කියලා හිතලා මැරෙනකන්ම නිදා ගත්තේ නැතිව බලන් හිටියා කියලයි කියන්නේ. තමන් කරපු දෙයක් කවදා හරි තමන්ටම විදවන්න වෙනවා කියන්නේ මේ වගේ දේවල් වලට නේද?