Friday, December 31, 2010

එන්න අපි ගයමු අපේ ජිවිතේ ගීතය....

මේ උදා වෙන්නේ අලුත් වසරක්... අලුත් අවුරුද්දෙ අලුත් බලාපොරොත්තුවක්...මේ බලාපොරොත්තු තමයි අපිව ජිවත් කරන්නේ...ඉතින් අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තුවක් පොදි බදිමු...

ඔයාව ජිවත් කරන්න පුළුවන් බලාපොරොත්තුවල තියෙන අහිංසක මුදු දිස්නයට ඇස් මත‍ට වැටෙන්නට ඉඩ දෙන්න...... හෙමින් හෙමින් මුළු ලෝකයටම රහසේ ඒ බලාපොරොත්තු තමන්ගේ ආත්මයට ලං කර ගන්න....ඔය ආත්මයත් එක්ක බද්ද වෙච්ච හැම පුංචි නහරයක් දිගේම ඒ බලාපොරොත්තුව යවන්න.. රිදිලා පලුදු වෙලා තියෙන ඔය හිත ඒ බලාපොරොත්තු වලින් උනුසුම් කරන්න.. දැන් ඒ බලාපොරොත්තුව වෙනුවෙන්
දුක් විදින්න පටන් ගන්න....දුක් නොවිද  බලාපොරොත්තු  වලට පණ දෙන්න බෑ...ගෙවෙන හැම තත්පරයක්ම පාසා බලාපොරොත්තු වෙනුවෙන් ආශාවල් කෝටියක් වුනත් කැප  සුදානම් වෙන්න... ඒ බලාපොරොත්තුව වෙනුවෙන් උදේ හවා හීන දකින්න... ඒ තුල ජීවත් වෙන ටික දවසකින්ම දැනේවිබලාපොරොත්තු හුස්ම ගන්න හඩ ... ඒ හඩට කන් දෙන්න.. ඒ ජීවිතේ ගීතයයි...
ඉතින් එන්න අපි ගයමු අපේ ජිවිතේ ගීතය....

උදා වෙන
ලස්සනම
හිරු එළියත් එක්ක
නුඹෙ සියලු දුක්
පිණි මෙන් වියකෙන්න...

සිනා මල් දෝත දරා ගෙන
මා එක්ක හිනහෙන්න...

මගේ පැතුම් පිළි ගන්න..
සුබ නව වසරක් මගේ යාළුවෝ හැමෝටම....

Wednesday, December 29, 2010

නුඹේ ඒ මතක පොද-නුඹ එක්ක ගෙන යන්න

දින ගනන් ගෙවී ගොස් -හිත තාම එතනමය
හිත පුරා ඇවිද ගිය -අඩි පාර එහෙමමය

උදා වෙන ලොව එක්ක- හෙට දිනේ හිනහෙන්න
නු‍ඹෙ පිය සටහන-මකන්නට දිරි දෙන්න


කවමදාවත් නොහඩමි මම-නුඹට දුන් ඒ පොරොන්දුව...
ළය පැලි මිය යන තුරුම-රකිමි මා පණ විලස...

කදුළු වලට දිය වෙච්ච-හිත එක්ක හිනහෙන්න
නුඹේ ඒ මතක පොද-නුඹ එක්ක ගෙන යන්න

නූඹෙ ලොවේ පිපෙන මල්-ආදරෙන් රැක ගන්න...
මා සමු ගත් දිනක-මගේ සොහොන සරසන්න

ඉදින් ඒ දවස-එන තුරා මා ලගට
ජිවිතේ විද ගන්න- මගෙ ලොවින් නුඹ යන්න

~~~~~~~~******~~~~~~~~




 

Tuesday, December 28, 2010

දිරා ගිය ගසක් ගැන - කිමද නුඹ ලතවෙන්නේ

"ඔයා කියන්නේ මට යන්න කියලද.....හැබැයි මම ගියොත් ආයේ කවමදාවත් එන්නෙ නම් නෑ ඒක මතක තියාගන්න..."
"ඔව් ඔයා යන්න..ඒ වගේම කවමදාවත් එන්නත් එපා.. මම බලන් ඉන්නේ නෑ ඔයා එනකන්" 
                          ඒ වචන ගොඩාරියක් ඔය හිත රිදවන බව මම දන්නවා.. තවත්  වචනයක්වත් නොකියපු ඔයා යන්න ගියා... රොබරෝසියා ගස් අතරින් ඔයා ඈතට ඇවිද ගෙන ගියා....එකම සැරයක්වත් ආයෙත් හැරුනෙ නෑ.. අකලට පිපුනු රොබරෝසියා මල් කිපයක් බිමට වැටුනේ මගේ නපුරු වචන දරා ගන්න බැරිව වෙන්න ඇති.. ඒ වැටුනු මල් ඔයා ගිය දිහාවටම පාවෙලා යන්න වෙර දැරුවා...ඒත් එයාලා පැරදුනා... ඇත්තටම ඔයා යන්න ගියා... කිව්ව වගේම ආයෙමත් ආවේ නෑ..කතා කලෙත් නෑ...
                 ඔයා ජිවිතේ ඉස්සරහ‍ට යන්න තෝර ගත්තේ හරිම පටු... කටු පදුරු වලින් වැහුනු ඒ වගේම අවසානයක්වත් ඇරඹුමක්වත් නැති පාරක්...ඒ පාරේ  එක්ක ගිහින්  අතරමං කරන්නෙ කොහොමද මං... මටවත් අගක් මුලක් හොයා ගන්න බැරි ලෝකෙකට තවත් කෙනෙකුට පාර කියන්නේ කොහොමද...
               ඒ වගේම ඔයා වෙනුවෙන්ම ඉදි වුන ලස්සනම ලස්සන ලෝකෙකට පාර කියන්න ඇය බලාගෙන ඉන්නවා... එහෙම තියෙද්දිත් තව තවත් අපායක් වගේ තියෙන මේ ජිවිතේ ඇතුලේ ඔය හුස්ම හිර කරන්න මට බෑ....





ඇගේ රන් විමනේ පිපි කුසුම්
නුඹෙ නමයි කොදුරන්නේ...
ඇගෙ විමානෙන් නැගෙන ගී හඩ
නුඹ ගැනයි විමසන්නේ...

දිරා ගිය ගසක් ගැන 
කිමද නුඹ ලතවෙන්නේ
නුඹෙ නමින් රන් විමන්
ඇගේ හදේ ඉදිවෙන්නේ

රන් විමනේ පෙම් කුරුළු වී
ගයනු මැන පෙම් ගීත
නුඹ තුටින් ගයන ගී
එළි කරයි මගේ හීන..

ඉදින් නුඹ ඉගිලියන්
ඇගේ මුදු තුරුල්ලට..
අමනාපයක් නෑ හිතේ 
සුබ පතයි තුන් හිතම

Monday, December 27, 2010

හිරුට අවනත රුදුරු කතරේ


දූවිලිත් වපුරාන මීදුමත් සගවාන
රුදුරු උඩු හුළග නගයි මැසවිල්ල
මුදා තෙතමනය බිමේ සරුසාර
අකල් අව් ගින්න හෙලයි දුක් ගින්න

පිම්මෙ පිපිදෙන නිල්ල පොඩි කර
පතුලේ සැගවුන හීන අළු කර
හැලෙන විට නුඹ අහස් කුස හැර
කදුළු වැජඹෙයි නුවන් දියකර

හිරුට අවනත රුදුරු කතරේ
දැවි දැවී දුක තනිව වැලළේ
පෙර කරපු පව් කෙරෙන් සසරේ
තවත් හිනහෙමි දුකට අදුරේ....

Saturday, December 25, 2010

දැනුනා ජිවිතේ...

 පපුතුරේ සැගවෙච්චි
මහමෙරක් ආදරේ..
සුසුම් වල දවටා
මගේ කොපුල් සිප ගද්දි
 දැනුනා ජිවිතේ...
                සත්තමයි...
                    කොයිතරම් අපූරුද
                  මයෙ අම්මෙ
                    නුඹෙ ආදරේ....



Thursday, December 23, 2010

සිංහයා ඇත්තටම මැරුනද අම්මේ..

          සිතල මිදුම තාමත් ඈත් වෙලා නෑ... වැස්සෙ චුරු චුරුවයි සීතලයි එක්ක හිත හොදටෝම කම්මැලි වෙලා... අපේ ගෝල්ඩ් ෆිෂ් අයියන්ඩි දුක හිතෙන ඒවා ලියන්නත් එපා කියන නිසා මොනවා කොරන්නද කියලා හිත හිතා උන්නේ...එතකොට තමයි "කතන්දර" දාලා තිබුන පෝස්ට් එකේ උඩින්ම දාලා තිබුන ෆොටෝ එක දැක්කේ... ඒ සරච්චන්ද්‍ර එළිමහන් රගහලේ එහෙමත් නැතිනම් අපි සාමාන්‍යයෙන් වල කියලා කියන තැන පින්තුරයක්...
                   අකිකරු හිත කැමතිම තැනක් තමයි එතන... උදේ හවා ඔතන පහුකරගෙන යද්දි විශේෂයෙන් මල් පිපෙන කාලේ පොඩ්ඩක් නැවතිලා යන්න අමතක කරන්නෙම නෑ...
          හ්ම්... ඒක දකිද්දි මට මතක් වුනේ අපි ඉස්සෙල්ලම වලේ නාට්‍යයක් බලපු දවස... අනේ අප්පේ එදා ඉතින් මට මැජික් වගේ.. කවදා බලපු නාට්‍යද...ඒකත් ඉස්සෙල්ලම කියලා බැලුවෙ සිංහබාහු. හවස 7ට පෙන්නන නාට්‍ය බලන්න අපේ පිරිවරත් එක්ක මම 5 වෙනකොට වල ලග...ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ කොයි තරම් හදිසියක් තිබුනද කියලා....
             ඔන්න  ඉතින් අපි හොදම තැනක් අල්ලලා ඉද ගත්තා... ඒත් ඉතින් අපිට තියෙන තදියමට නාට්‍ය කලින් පටන් ගන්නෙ නෑනේ..ඔහොම ඉන්නකොට අපි‍ට ඉස්සරහින් වාඩි වුනේ පොඩි කොළු පැටියෙකුයි අම්ම කෙනෙකුයි... ඒ පොඩි එකා නම් ටිකක් දගමල්ලක් වගේ.......කොහොම හරි 7 වෙද්දි නාට්‍ය පටන් ගන්න ලැස්ති...වටේ තිබුන ලයිට් නිවලා..  දැන් කළුවරෙ අපි නාට්‍ය බලන්න කටත් ඇරන් බලන් ඉන්නවා... අර පොඩි එකාට පොඩි ප්‍රශ්නයක්...
"ඇයි අම්මේ ලයිට් ඔෆ් කලේ???" 
"දැන් නාට්‍ය පටන් ගන්න හදන්නේ සද්ද නැතිව බලන්න" ඒ අම්ම ගෙන් පොඩි තර්ජනයක්...
ඔන්න නාට්‍ය පටන් ගෙන ටික වෙලාවකින් සිංහයා වේදිකාවට එනවා...පොඩි එකාට ආයෙමත් ප්‍රශ්නයක්....
"ඒ සිංහයද අම්මේ.... එත් එයාට කකුල් දෙකයිනෙ තියෙන්නේ....??"පොඩි එකාටත් තියෙන ප්‍රශ්න....
"මේක නාට්‍යක් පුතේ..සද්ද නොකර බලන්න" අම්මා ආයෙමත් පොඩ්ඩගේ කට වැහුවා....
නාට්‍යයේ අන්තිම හරිය එනකන්‍ එක එක ප්‍රශ්න අහ අහා ඔහොම හිටපු පොඩ්ඩා හරියට ප්‍රශ්න පත්තරයක් වගේ....මට ඉතින් පොඩි එකාගේ දෙබසුයි  නාට්‍යයේ දෙබසුයි කවලම් වෙලා‍‍‍‍... නාට්‍යයේ අන්තිමට සිංහබාහු සිංහයාව මරන්න හදන තැනට ආවා...හැමෝම බොහොම උනන්දුවෙන් බලන් ඉන්නවා... පොඩ්ඩත් එහෙමයි...උනන්දුවේ වැඩි කමට මිනිහා හිටගෙන බලනවා... ඒ වගේම දැන් ප්‍රශ්න කෝටියයි...
ඇයි අම්මෙ සිංහයාව මරන්නේ?
සිංහයා පව්නේ අම්මේ...
අපි එයාව බේර ගමුද?? 
පොඩ්ඩගේ ප්‍රශ්න  වලට අපට තනියම හිනා...
අන්තිමට සිංහයා මරුවා... පොඩි එකාට මාර අප්සෙට්....  කටත් ඇරන් බලන් ඉන්නවා...
"සිංහයා ඇත්තටම මැරුනද අම්මේ..." 
හරි දුකින් ආයෙම අහනවා....අම්ම ඒවට උත්තර දුන්නෙ නෑ.. එතකොටම නාට්‍ය ඉවර වෙලා නළු නිළියෝ ඔක්කොම වේදිකාවට ආවා.. මෙන්න සිංහයත් එනවා... අප්පේ කොල්ලට හරි සතුටුයි.... 
"සිංහයා මැරිලා නෑ...සිංහයා මැරිලා නෑ..." පොඩි එකා උඩ පැන පැන කෑ ගහනවා...
ආයෙමත් ප්‍රශ්නයක්...
" සිංහයා මැරුනෙ නැත්තේ මේක නාට්‍යක් නිසාද අම්මේ???"
ම්ම්ම්....දැන් තමයි පොඩි මොලේට  ඇත්ත තේරුනේ.....

Saturday, December 18, 2010

මේ ජිවිතේ මහ විකාරයක්...

                       ගෙවුනු දවස් ටික හරිම විකාර දවස් ටිකක්... අකිකරු හිතට  වෛද්‍ය පරීක්ෂණ වගයකට රෝහල් ගත වෙන්න සිද්ධ වුනා..කැමැත්තෙන් ගිය ගමනක් නම් නෙමෙයි... අපේ මව්තුමියගේ දැඩි බලපෑම් මත ඒක කරන්න වුනා... කොහොම හරි අන්තිමට වාට්ටුවේ නවතින්න වුනා.. ඒක තමයි මම ජිවිතේට දැකපු අපිරිසිදුම වාට්ටුව.. ‍අපෝයි...ඒකේ මිනිස්සුන්ට වඩා උන්නේ මීයොයි... මදුරුවොයි... කූඹියි... මීට කලින් ඉස්පිරිතාල වල ඉදලා පුරුද්දක් තිබුනත් මේක දැක්ක ගමන් එපා වුනා.... මගේ රෝහල් ගත වීමේ ඉතිහාසේ කීවොත් 
මුලින්ම පේරාදෙණිය- මාස 3ක්( අත කඩා ගැනීම හේතුවෙන්)
ඊළගට නුවර -මාසයක් විතර... (කකුළක් කඩා ගැනීම නිසා)
ආයෙත් පේරාදෙණිය- මාසයක් (අනෙක් කකුළ කඩා ගැනිම නිසා)
කොළඹ- සති 3ක් විතර( වැඩිදුර පරීක්ෂණ සදහා)
රාගම පුනරුත්ථාපන රෝහල- අවුරුද්දක්( වැඩිදුර ප්‍රතිකාර සදහා)
රාගම මුලික රෝහල-සති 2ක්
ආයෙමත් පේරාදෙණිය- මාසයක්(අතේ කළ සැත්කමක් නිසා)
අන්තිමට නුවර- දවස් 3ක්(පරීක්ෂණ සදහා)
 මීට අමතරව ක්ලීනික්... පරීක්ෂණ.. අනංමනං ගොඩකට ඉස්පිරිතාල වල රවුම් ගැහුවා... මෙහෙම බලද්දි මම වැඩිපුර ඉදලා තියෙන්නේ ඉස්පිරිතාල වල....ඒත් හිනා යන වැඩේ කියන්නේ මෙච්චර ඉදලත් අද වෙනකන්ම මට තියෙන ලෙඩේ මොකද්ද කියලා හොයාගෙන නෑ...තාමත් පරීක්ෂණ...  ඉතින් තවත් මාව මේවට ඇදන් යන එකට අම්මත් එක්ක වලි දාගන්නව ඇරෙන්න මොනවා කරන්නද?
මම කියන්න ගියේ මේ සැරේ නතර වුන වාට්ටුව ගැන...මේක දැක්කම පුදුම හිතුනා...වහලේට යටින් ඉටිරෙදි ගහලා..ඒත් ඒක තැනින් තැන ඉරිලා.. මීයන්ගේ රජ දහන වුනේ ඒක.. මට ලැබුන ඇදට උඩින් ඉටිරෙද්දේ ලොකු හිලක්...මම පණ බයේ හිටියේ කොයි වෙලාවේ මී පැටව් ඇගට වැටෙයිද කියලා... එකට මම කලේ හැම වෙලේම ඔළුවේ හිටන් වහගෙන හිටි එක....මම හිතන්නේ මේ දවස් වල එහේ මී පැටවුන්ගේ ක්‍රිඩා උත්සවයක් වත් තියෙන්න ඇති...හොද සෞඛ්‍ය සේවයක් පවතිනවා යැයි කියන රටේ මෙහෙම දේවලුත් තියෙනවා ඉතින්.. 




                       ඒ වගේම ගොඩක් බෙහෙත් වර්ග ගන්න වෙන්නෙත් පිටින්.. එහෙම බලද්දි ප්‍රයිවට් ඒවාගෙයි මේවගෙයි වෙනසක් නෑ...ඒ වගේම තමයි මේ තැන්වල ඉන්න ‍බහුතරයක් හිතාගෙන ඉන්නේ ලෙඩ්ඩු කියන්නේ එයාලට වද දෙන්න ආපු අය කියලා..මම දන්න තරමින් නම් කිසිම කෙනෙක් කැමැත්තෙන් අසනීප වෙන්නේ නෑ..පරීක්ෂණ වලට කියලා වරුවක් මාව බඩගින්නෙ තියලා ඔන්න පටන් ගත්තා ලේ ගන්න... මගේ අසනීපයත් එක්ක ලේගැනීම අමාරු වැඩක් .. එයාලට  හරියටම ලේ ගන්න නහර හොයා ගන්න බැරි නිසා  එයාලට හිතෙන හැම තැනකටම ඇනලා බලනවා...අන්තිමට 13 පාරක් ට්‍රයි කිරිමෙන් අනතුරුව ඒ වැඩේ හරි නෑ කියලා ගත්තෙ නැද්ද ලොකු කට්ටක්....ඔක්කොමත් ඉවසුවැකි ඒත් ඒ නර්ස්ලාගේ තදියමට තමා මට වැඩිපුර කේන්ති ගියේ...එයාලා දන්නෙ නැතිව ඇති කට්ටකින් ඇනලා ඒ මදිවට ඒක සැරින් සැරේ හෙලවද්දි රිදෙනව කියලා...ඒ මදිවට කියනව ඉවසන්නලු.. අන්තිමට නර්ස්ලා දෙන්නෙක් ඉන්ජෙක්ෂන් කට්ටකින් ඇනලා අත දෙපැත්තට ඇද ඇද ලේ ටික ගත්තා...කොහොමින් හරි අන්තිමට අතේ තැන් තැන් වල පුංචි පුංචි හිල්...ඒ මදිවට අත නිල් වෙලා...
ඒ හැම දේකටම පස්සේ ගෙදර ආවා...දැන් නම් නිවන් දැක්ක වගේ......

Monday, December 13, 2010

ඔයා දුන්න රෝස මල් තාම සුවදයි මට....

         
කුරුවල් වෙච්චි හිතකුත් එක්ක මේ දවස් වල එහෙට මෙහෙට පැද්දිලා යන එනමං නැති අසරණයෙක් ගානට වැටිලා මම... පන්හිදටත් සමුදෙන්න හිතුවට ඉහළින් එල්ල වෙච්ච තර්ජන කිපයක් නිසා ආයෙමත්  ලියන්න හිතුවා... ඒත් හත්දෙයියනේ‍ මොනව කියලා ලියන්නද???
           ඔහොම හිතද්දි  මම දැක්කා රෝස පදුරේ ලස්සන රෝස මලක් පිපිලා...හිතට එකපාරම කෙනෙක්ව මතක් වුනා... හරිම ආදරණිය චරිතයක්...අවුරුදු ගානක් හැමදාම ඒ අතින් මට ලස්සනම ලස්සන පුංචි රෝස මලක් ලැබුනා... ඒත් කවුරුත් විශ්වාස කරන්නෙ නැතිවෙයි.. කවදාවත් එයා මා එක්ක වචනයක්වත් කතා කලේ නැ...
          වැරදි  විදිහට හිතන්න එපා එයා පුංචි නංගි පැටියෙක්..මම ඉස්කෝලේ යන දවස්වල ...එයා උන්නෙ එක වසරේ..එයත් පුංචි රෝස මලක් වගේ..ඇත්තටම අදටත් මට හරි පුදුමයි ඒ පුංචි පැටියා ගැන..කවදාවත් වචනයක් වත් නොකීව‍ට හැමදාම උදේට එයා මට රෝස මලක්  ගෙනාව..මම ඉස්කෝලේ නොගිය දවස්වලත් එයා මගේ ඩෙස්ක් එක උඩ මල තියලා ගිහින් තිබුනා...හැමෝටම පුදුමයක් වුනා ඇගේ රෝස මල.. කවමදාවත් එයා වෙන මලක් ගෙනාවේ නෑ...
                 එක දවසක් මම උදේම නෝට් වගයක් ලියමින් උන්නා.. පුංචි අතක් හිමිට ‍මගේ පොත උඩින් ලස්සන සුදු රෝස මලක් තිබ්බා..මම ඔළුව උස්සලා එයත් එක්ක හිනාවුනා... එයා ටිකක් වෙලා බලන් ඉදලා යන්න හැරෙද්දි අපේ පන්තියෙ හිටි විසේකාර කොල්ලෙක් අර මල අරන් උඩ දැම්මා...ඒ පුංචි හුරතලි නපුරු කෙනෙක් නෙමෙයි...ඒත් ඒ වෙලාවේ නම් ඒ පුංචි හිතට ලොකු කේන්තියක් ගිහින්.. හරි හරියට රණ්ඩු වුණා..අන්තිමට එයාගේ පුංචි නියපොතු  වලින් අර කොල්ලව හූරලා රෝස මල උදුරලා අරන් මගේ පොත උඩ තිබ්බා..
       හැමදාමත් වගේ ඒ පුංචි හුරතලි මට මල් ගෙනාවා..එයා එහෙම කරන්නෙ  ඇයි කියලා ඇහුවත් කවදාවත් උත්තර දුන්නෙ නෑ..ඇගේ උත්තරය වුනේ ලස්සන හිනාවක් විතරයි..ඒ හිනාව අදටත් මට මැවිලා පේනවා..
තාමත් එයා දුන්නු මල් මගේ පොත් ඇතුලේ තිබිලා හම්බ වෙනවා...
 අනේ මම එයාගේ නමවත් දැනගෙන උන්නනම් කියලා දැන් හිතෙනවා..

Thursday, December 9, 2010

හිත ඇතුලේ අනවසර ඉදිකිරිමක්


වැට කඩුළු බැද රැකගත් හිතට
දඩබ්බර හොරෙක් ඇතුළු වූ සද
කෙසේ  ආවේදැයි සොයන ඩිංගට
ඉවරය මාලිගාවද සාදා හිත උඩ.....

"අනවසර ඉදිකිරිමකි" මෙය
මගෙ රැවුම් ගෙරවුම් මැද
අහිංසකව හිනා වුන නුඹ
කීවා හැකිනම් බිදිනා ලෙස

නිදහසේ උන් සිත 
අවුල් කල වරදට
වෙර දැරිමි බිදින්නට 
නුඹෙ හැම හීනෙම....

බිදපු හැම හීනෙම 
යළි යළිත් දළුලන විට
තවතවත් බිදලන්නට
දිරිය නෑ දැන් ඉතිරිව....

මට මගේ හිත ආයෙම
දෙනු මැනවි අයදිමි මම..
හඩන්නට බෑ තව
යනු මැනවි නොකියම...


Tuesday, December 7, 2010

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද

 

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද
ඔය කදුළු වැස්සට තෙමිලා
දැන් මම හොදටම තෙතබරිත වෙලා...
මට නිව්මෝනියාව හැදෙන්න කලියෙන්
ඔය ඇඩියාව නවත්වන්න....                                                            තේරෙන්නෙ නැද්ද ඔය කදුළු මට හරියට රිද්දන බව

Sunday, December 5, 2010

අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නෑ


              පුංචි කාලේ කියන්නේ හරි අපුරු කාලයක්...ඒ කාලේ කරපු පිස්සු වැඩ ..ගොං වැඩ කෙළවරක් නෑ..අදටත් මම හරි ආසවෙන් මතක් කරන කාලයක් ඒක..එදා තිබුන සැහැල්ලුව සතුට..ආයේ කවදාවත් ලැබෙන එකක් නැ..ඒත් මැරෙනකන්ම මතක් කර කර රසවිදින්න පුළුවන් කාලයක් ඒක.....
                            මම හැදුනෙ ගමක..හැම තැනම කදු..දිය පාරවල්..වැස්ස..ඔය හැම දෙයක්ම ඕනවටත් වැඩිය තිබුන පරිසරයක...අවුරුදු ගාණක් මේ කකුල් දෙකට ඒ පොළවේ රස්නෙ නොලැබුනත් අදටත් ඒ උණුහුම මතකයි මට..මම පුංචි කාලේ අකමැතිම දේ බස් වල යනඑක.. ඉස්කෝලේ යන්න ටික දුරක් තිබුන නිසා බස් එකේ යන්න කිව්වත් අයියලවත් මමවත් කවදාවත් ඒ වැඩේ කලේ නෑ.. අපේ ගෙවල් ලග ඉදන් ඉස්කොලේ ලගට අඩි පාරක් තිබුනා..අඩිපාරක් කිවට ඒක පඩිපෙලක්..කොහොම හරි කිලෝමිටරයක් විතර දුරයි...කදු මුදුනක ඉදලා පහල‍ට බහින්නයි තිබුනේ..ඒක හරි අපුරූ ගමනක්....උදේ පාන්දර මීදුම අස්සෙන් කන්ද පහලට දුවන එක කොයිතරම් අපුරුද???? මේ පඩිපෙල දෙපැත්තේ කුඹුරු තිබුනා..අපේ පැති වල කුඹුරු තියෙන්නෙ හෙල්මැලි ක්‍රමයට..ඒ කියන්නේ තට්ටු තට්ටු... ඒ කියන්නේ මෙන්න මේ වගේ...


කන්ද පහල දුවන්න ගිහින් ඔය කුඹුරු වල වැටිලා..මඩකරියා වගේ ආයෙමත් ගෙදර යන්න වුන අවස්ථාත් එමටයි.. ඇත්තටම ගොයම් හැදෙන කාලෙට ඒ පරිසරය කියන්න බැරි තරම් ලස්සනයි....වටපිට බලබල වතුර වලවල් වල පැන පැන අයියලගෙන් බැනුම් අහඅහා ඉස්කෝලේ යනව වගේද බස් එකක හිර වෙලා යනඑක..මේ විදිහට කැලැ අස්සේ රිංගලා දවසක් ගැරඩියෙකුට බයවෙලා කෑ ගහලා අයියා මාව අයෙමත් ගෙදර එලෙව්වා... ඒවා අද හරි සොදුරු මතකයන්...
ඒ වගේම යාළුවොත් එක්ක චන්ඩියෙක් වෙන්න හිතාගෙන ලොකු ඇලකින් පනින්න ගියා දවසක්.. කොහොම හරි ගල් වලින් පැන පැන ඇවිත් මැද හරියෙදි පැන ගන්න බැරි වෙච්චි..අන්තිමට චන්ඩිකම පැත්තකින් තියලා මහ හයියෙන් බෙරිහන් දිලා ඇඩුවා..ඒ කැගැහිල්ලට ඒ ලග හිටපු මාමා කෙනෙක් ඇවිත් යන්තම් ගොඩ ගත්තා... ඒ වගේ මෝඩ වැඩ කරන්න හරි දක්ෂයි මම...අපේ අයියලත් දැනන් උන්නා මම හිටි ගමන් මැටි වැඩ කරන බව..ඒ නිසා හැම වෙලේම මාව පරිස්සම් කලා.... ඒත් සමහර වෙලාවට එයාලම මාව මෝඩයා කරපු අවස්ථාත් තියෙනවා..දවසක් දා ලොකු අයියණ්ඩි මගෙන් අහපි “ඔයාට මම එලොව පොල් පෙන්නන්නද?” මමත් මෙලොව පොල් දැකලා තිබුනත් එලොව පොල් දැකලා නැති නිසා එක පයින් නෙමෙයි දෙපයින්ම කැමති වුනා.. අන්තිමට අයියා මගේ කන්දෙකෙන් අල්ලලා අඩි දෙකක් විතර උඩට ඉස්සුවා.. ඇත්තටම එදා  වරුවක් විතර යනකන් මගේ කන්දෙක රතු වෙලා තිබුනේ.... 
                      ඒ වගේම තමයි හොරා පොලිස් සෙල්ලමේදි හැමදාම හොරා වෙන්න වුනේ මට..මොකද අයියලා දන්නවා මං වගේ මෝඩ හොරෙක්ව අල්ලන්න ලේසි කියලා... හැබැයි ඉතින් සමහර දවස් වල එයාලට හොයා ගන්න බැරිතැන් වල හැංගිලා මමත් විරයා වුනා කලාතුරකින්..ඒ වෙලාවල මට උදව් කලේ අත්තම්මා..එයාටත් දුක හිතෙන්න ඇති මම හැමදාම අහුවෙලා ගුටිකද්දි.... 
                                   මේ දේවල් එක්ක පුංචි කාලේ ගෙවිලා ගියේ හරි ඉක්මනට... මේ විදිහට කුරුළු පිහාටුවක් වගේ පාවෙවි උන්නු මට අද මෙහෙම ඉන්න උනේ ඇයිද කියලා මම තාමත් හිතනවා.. තාමත් ඇස් දෙක පියාගෙන හිතෙන් ඒ කුඹුරු අතරින් වැටිච්ච පඩිපෙලේ තාමත් දුවනවා මම... ඒ වෙලාවට හිතේ අදුරුම කොනක හීන් විලාපයක් ඇහෙනවා..ඒත් ඒ වෙලාවට ඒක ඇහෙන්නැති වෙන්න මම මාත් එක්කම හිනා වෙනවා.....අන්තිමට අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නෑ කියලා හිත හදා ගන්නවා....

පුපුරු ගහන තරු කැට....

පුපුරු ගහන තරු කැට
දෙකක් අස්සේ
සැර අකුණු පිපිරෙද්දියි
මම දැන ගත්තේ
බෙරි වෙච්ච වළාකුළ
ලොකු වරුසාවකට 
අර අදින බව...

Saturday, December 4, 2010

අම්මෙකුගෙන් කිරි බිපු කටකින් කොහොමද ඔය ජරාව බොන්නේ??


 දයාබර අයියේ
ජිවිතේ කියන්නේ හරි අපුරු දෙයක්...”  මෙච්චර සැර කුනාටු ජිවිතේ පුරාම හමද්දිත් මට එහෙම හිතෙනවා.... මට හිතෙන්නේ දුක් විදින එකෙත් අමුතුම රසයක් තියෙනවා කියලා... මෙහෙම කියද්දි ඔයා කියයි මට  පිස්සු කියලා.. දුක් විදින එකේ මොන රසයක්ද කියලා අහයි... අනේ මන්දා.. ඒත් ඒ ම‍ට හිතෙන විදිහ..
                          අපිට දුක ගැනත් සරලව හිතන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න අඩුයි කියලයි මම හිතන්නේ...ගොඩක් අය ජිවිතයට පුංචි ප්‍රශ්නයක් ආවත් පුදුම විදිහට කඩා වැටෙනවා...ඒත් හැම වෙලාවෙම මතක තියා ගන්න අපිට වඩා දුක් විදින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.. සමහරු ප්‍රශ්න වලට බයේ පැනලා යනවා..ජිවිතේම දාලා යනවා...එහෙමත් නැත්නම් තමන්ගේ ජිවිතේ අරක්කු බෝතලේකට උගස් කරනවා...
                                    විශේෂයෙන් ආදරෙන් පැරදුනාම ගොඩාක් අය මේ තත්වෙට වැටෙනවා.. ඒත් මම නම් කියන්නේ ආදරෙන් ඇති වෙච්ච දුක නැති කරගන්න කව්රුහරි බොනවනම් ඒ මනුස්සයා තමන්ගේ ජිවිතේටවත් ආදරේ කරන්න දන්නේ නැති කෙනෙක් කියලා...තමන්ගේ ජිවිතේටවත් ආදරේ කරන්න දන්නෙ නැති කෙනෙක්  කොහොමද තව කෙනෙකුට ආදරේ කරන්නේ... මම මෙහෙම කියනකොට ඔයාගේ හිත රිදේවි...... ඒක මම දන්නවා.. ඒත් ඒක නේද ඇත්ත..මම දන්නවා ඔයා වගේ ගොඩක් අය ඉන්නවා.. ආදරේ නිසා .. ජිවිතේ තියෙන ප්‍රශ්න නිසා මිවිතට ජිවිතේ දන් දුන්න... ගොඩක් සංවේදි හිත් තියෙන ඒ වගේ මිනිස්සු ඒ වගේ විනාස වෙන්න හදන්නේ ඇයි කියලා මම දන්නෙ නැ...ජිවිතේ ප්‍රශ්න එනවා තමයි ඒත් ඒවා විසද ගන්න නම් හොද සිහියක් තියෙන්න ඕන නේද? මම එහෙම කියද්දි ඔයා කියයි “කියන්න නම් ලේසි..කරන්න තමයි අමාරු” කියලා..ඇත්ත කටට එන වචන ටික කියන්න ලේසි.. කරන්න අමාරුයි.. ඒත් අමාරුවෙන් හරි කලොත්...??
                                 පොඩ්ඩක් හිතන්න අම්මා ගැන...එයා ජිවිතේ මොන තරම් දුක් විදින්න ඇද්ද? අපිව හදන්න..අපට කවන්න පොවන්න ලොකු මහත් කරන්න..ඒ වගේම එයාට ජිවිතේ මොන තරම් ජිවිතේ ප්‍රශ්න තියෙන්න ඇද්ද? අපේ අත්තම්මා කියන්නේ අම්මාටත් අහසටත් නිවනක් නෑ කියලා.. ඒකේ තේරුම එයා මොනව කලත් බැනුම් අහන්න වෙනවා කියලා..ළමයෙක් වරදක් කලත් බනින්නේ අම්මට... ඉතින් එයා මොන තරම් නම් දුකක් උහුලනවද?මේ වගේ ප්‍රශ්න කියලා අපේ අම්මලා ජිවිතෙන් කවදාවත් පැනලා ගියාද?? එයාලා දුක නිවා ගන්න කියලා අපේ අයියණඩිලා වගේ බෝතලයක් අතට ගත්තද??? නෑ නේද? අම්ම කෙනෙක් කවදාවත් එහෙම කරන්නෙ නැත්තේ එයා එයාගේ ජිවිතේට ආදරේ නිසා..එයාගේ ජිවිතේ කියන්නේ එයාගේ දරුවො ටික.. ඉතින් ඒ වගේ අම්මෙකුගෙන් කිරි බිපු කටකින් කොහොමද ඔය ජරාව බොන්නේ??  පොඩ්ඩක් හිතන්න... අම්මෙක් එයාගේ ලේ ටිකයි කිරි කරලා අපට පොවන්නේ... එයාගේ ඒ ලේ ටිකට කරන අගෞරවයක් නෙමෙයිද ඔය ජරාව බොන එක.. මම දන්නවා ඔයා අම්මට ගොඩාරියක් ආදරේ බව.. ඉතින් ඒ හිත රිද්දන්න එපා..
                  මම දන්නවා තමන් බලාපොරොත්තු වෙන ජිවිතේ..ආදරේ නොලැබුනාම ජිවිතේ එපා වෙනවා.. කලකිරෙනවා... ඒත් එහෙම කියලා ජිවිතෙන් පැනලා යන්න නම් ඇයි අපි ඉපදුනේ.... ඔයා දන්නවද සමහර වෙලාවට ජිවිතේ නරකම  කාලෙදි තමයි ජිවිතේ හොදම දේවල් වෙන්නේ... ඔයා හැමදාම ජිවිතේ වැහුනු දොරක් ලගට වෙලා කොච්චර බලන් හිටියත් වැඩක් නෑ.. පොඩ්ඩක් වටපිට බලන්න ඔයා නොදැකපු දේවල් ගොඩයි....
ඇස් අරින්න..බලන්න වටේටම... ඔයා හිතන රටාව වෙනස් කරන්න.. ඊට පස්සේ ඔයාට තේරේවි මේ ජිවිතේ ඒ තරම් නරක නැති බව....
                                                                   මේ චුටි නංගා



Tuesday, November 30, 2010

දැන් ඉස්සර වගේ නෙමෙයිලු.


මහ සයුර බර කල්පනාවක.....
සයුරත් එක්ක තරහ වෙච්ච....
රළ පෙළක්
මගේ ලගට ඇවිත්...
ගතු කියනවා සයුර ගැන..
දැන් ඉස්සර වගේ නෙමෙයිලු..
හරි වෙනස්ලු....
මීට ටික කාලෙකට කලින්
 මම නුඹ ගැන
මේ වෙරළේ ඉදගෙන
කියපු වචන ටික
රළපෙළ
හරි ඉක්මනට
කොපි කරලා..

Friday, November 26, 2010

කේන්තිය නිවෙන තෙක්--බඩපුරා කෑවෙමි


ගසති මරති මහ යුද්දෙකි....
                                       ලේ වැගිරීම් දසත ගලති....
          ඒ මැද්දට මැදිවු මා
                                      අසරණයෙකි..
ඔරලෝසු කටු කැරකුණි..
                                   කඩු හරඹ නිම වුනි
   ඉංගිරිසි පන්තිය ඇරුනි          
                                       සාමය උදාවුනි.
 හෙළ වදන් සිහි කරමිනි
                                      සුද්දන්ට බනිමිනි
                වරුසාව මැදිනි 
                                      යන්නට ආවෙමි
             වරුසාව තද වුනි 
                                      කැන්ටිමට රිංගුවෙමි
කේන්තිය නිවෙන තෙක්
                                     බඩපුරා කෑවෙමි

Monday, November 22, 2010

නොබලන් මිනිසුනි නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්....



ආබාධිත කියන වචනය අදාළ වෙන්නෙ සමහර මිනිස්සුන්ට විතරයි..මට නිතරම හිතෙන්නේ ඒ වචනය මට අදාල එකක් නෙමෙයි කියලයි.. ඒ වුනත් නිතර දෙවේලේ මාව ආබාධිතයෙක් විදිහට හදුන්වන නිසාම මා එසේමැයි හිතන්නට මගේ හිත බලහත්කාරයෙන් තල්ලු කරනවා.. ආබාධිතයෙක් විම මානසික ‍වේදනාවක් වුන කාලයකුත් තිබුනා..ඒත් දැන් එහෙම නෑ.....
ආබාධිතයෙකුට එයාගේ දෙපාවල තියෙන නොහැකියාව ගැන තේරුමක් නෑ... එයාට ඒක දැනෙන්නේ අපහසුවක් හෝ කරදරයක් ලෙස පමණයි... ඒත් ඒක තමන්ට ඕන දේ කරන්නත් තමන්ට ඕන දේ ප්‍රාර්ථනා කරන්නත් බාධාවක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා..ඒවා අබ්බගාතයි කියලා හිතෙන්න පටන් ගන්නේ අනෙක් අය ඒ විදිහට සැලකුවොත් විතරයි..මට මගේ අප්‍රණික කකුල් ගැන ලැජ්ජාවක් දැනෙන්නෙ නෑ.. ඒත් මට ඒවා ගැන ලැජ්ජා හිතෙන්නේ සමහර අය මාව දැක්කම ඒ මූණු වල තියෙන හැගීම් ගැන වැඩියෙන් කල්පනා කරන්න ගත්තොත් විතරයි...මේ වගේ මූණු මගහැරලා යන්න මම වැඩියෙන්ම කැමතියි...මේ විදිහට ආබාධිතයෙක් දිහා අමුතු ඇහැකින් බලන්නේ දුර්වල හිත් තියෙන අය කියලයි මට හිතෙන්නේ... මම සතුටින් ඉන්නේ..දැන් මට වේදනාවක් නැ..ඒත් මගේ සතුට සමහරුන්ට ගැටළුවක්...මගේ සතුට එයාලා  දකින්නේ ධෛර්‍යවන්ත කමක් විදිහට.. ඒත් මං දන්න ධෛර්‍යවන්ත කමක් නැත.. පුංචි කූඹියෙක්ටත් බය මම කොහොම ධෛර්‍යවන්ත කෙනෙක් විදිහට දකිනවාද කියලා මං දන්නේ නෑ.... සමහර වෙලාවට මං ගැන කවුරු හරි අහද්දි අම්මා කියන්නේ
“එයා වෙලා තියෙන දේවල් අමතක කරලා සතුටින් ඉන්නවා” කියලා.... මේවා ඇහෙද්දි මට හිතෙන්නෙ මම සතුටින් නොසිටිය යුතුයි කියලා... ඒ වචන හරියට මට පෙනෙන්නෙ නැති අනාගතේ ගැන කියවෙන දුක්බර ඉගියක් වගේ..
“මම හොදින් ඉන්නවා...” ඒ මාව අමුතු විදිහට දකින හැමෝටම මම කියන දේ...
ඉස්සර නම් සෙනග පිරුනු තැන් වලට යන්න ‍මම හරිම අකමැතියි.. ඒත් දැන් මම ඕන තැනක රිංගනවා...සමහරු මං දිහා බලන්නේ මම හරියට සත්තු වත්තෙන් පැනලා යන සතෙක් දිහා බලනවා වගේ..  මං දිහා ඒ විදිහට බලද්දි ඉස්සර නම් හොම්බ කට සමතලා වෙන්න අනින්න හිතෙනවා... ඒත් මම දැන් කරන්නේ මූළු දත් සෙට් එකම පේන්න ඒ අයත් එක්ක හිනා වෙන එක.. ඒක හරි සාර්ථක ක්‍රමයක්.... එහෙම හිනා වුනාම එයාලා හරි ඉක්මනට අහක බලා ගන්නවා.. මට ඕන වුනේ සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න.. ආබාධිත කකුල් දෙකකට ඒ සිතුවිලි වෙනස් කරන්න බැරි වුනා..අනෙක් අයට මාව  වෙනස් විදිහට පේන්නේ ඇයි කියලා මම දන්නෙ නෑ..
මම මේක ලියන්න හිතුවේ මම සතුටින් ඉන්න එක ප්‍රශ්නයක් වුන කෙනෙක් නිසා... සමහරු හිතන්නේ ආබාධිතයෙක් වෙන එක ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතිව කදුළු පිරිච්ච ජිවිතයක් උරුම කරගන්න දෙයක් කියලා.. ඇත්තටම එහෙම නෑ.. මුළු ආත්මයම ලෙඩ කරගත්ත මිනිස්සු අතරේ කයින් ලෙඩ වීම කියන්නේ ඒ හැටි දෙයක් නෙමෙයි...............