Monday, December 31, 2012

මම ඔබට සුබ පතන්නේ නෑ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන්

''අලුත්'' කියන වචනේ හිතට ගේන්නේ අමුතුම හැගීමක්... ඒක හරියට හීන් බලාපොරොත්තුවක් , සතුටක් වගේ දෙයක්.......
ඉතින් අද උදේ ඉදන් ඇහෙන වචන කීපයක්...
සුබ "අලුත්" අවුරුද්දක් වේවා!!!
අලුත් කියන වචනෙට මිනිස්සු හරි ආසයි.........
ඉතින් හැමදෙයක්ම අලුතින් පටන් ගන්න සූදානම්......
ඒත් මම ඔබට සුබ පතන්නේ නෑ  කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන්...
ඒ වෙනුවට මම පුංචි දෙයක් කියන්නම්....

මේ අලුත් අවුරුද්දේ අලුත් දෙයක් පටන් ගන්න කලින් මතක් කරන්න පරණ අවුරුද්දේ කරන්න බැරිව අතරමග අතෑරලා දාපු දේවල් ගැන... නරකද ආයෙමත් අතරමග නතර කරපු දේ අවසානයක් වෙනකන් මේ අවුරුද්දේ ඇදගෙන ගියොත්!!!!!

අපි කොච්චර කිව්වත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන අවුරුද්දක් ගැන... ඔබට මතකද ඒ වගේ අවුරුද්දක් පහු වුනා කියලා මේ ජීවිත කාලෙදිම? නෑ ඒක එහෙම වෙන්නේ නෑ .... ජීවිතේ එකතු වෙන සතුටට වඩා දශමෙකින් හරි වැඩිපුර අපිට දුක් විදින්න වෙනවා... අන්න ඒ දුක විදින්න (විදවන්න නෙමෙයි) ඔබේ හිතට හයියක් එකතු කරගන්න..

මේ අවුරුද්දෙත් ඔබේ ජීවිතේට ගොඩක් අය ඇවිදන් ඒවී... ඒත් කාටද කියන්න පුළුවන් ඒ අය ආයෙමත් ඔබේ ජීවිතෙන් පිටතට ‍නොයයි කියලා... ඒ යන අය දිහා බලලා හූල්ලන්න නෙමෙයි... ඔය හිතේ නවතින්න බලන් ඉන්න අය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් හිතක් හදා ගන්න...

ජීවි‍තේට ලැබෙන්නේ හොද දේවල් විතරක් නෙමෙයි.. නරක දේවලුත් ලැබෙනවා... ඒ දේවල් වෙන් කරලා හදුන ගන්න පුළුවන් විදිහෙ නිරවුල් මනසක් හදා ගන්න...

මේ ලෝකේ රැවටිලිකාරයෝ බොහෝමයි... කොච්චර නැ කිව්වත් අපි රැවටෙනවමයි... අඩුම තරමින් ඒ එක්කෙනෙකුගෙන් හරි බේරිලා ඉන්න උත්සහ කරන්න...

මේ ජීවිතේ හරිම කෙටියි.... අපි අරන් යන දේ ගැන නෙමෙයි අපිට දීලා යන්න පුළුවන් දේ ගැන හිතන්න පටන් ගන්න...

අවුරුද්ද අවසානයේ ආපහු හැරිලා බලද්දි සතුටින් ලොකූ හුස්මක් ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න...

ඉතින් මේ හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!



Thursday, December 27, 2012

ඉතින් ඒ මදෑ නේද


පාර දිගේ එද්දි මාව පහු කරන් ගොඩක් දෙනෙක් ගියත් ඒ අයට මං ගැන තැකීමක් තිබුනෙ නෑ. ඒත් අතරින් පතර මං දිහාවට එල්ල වෙච්ච ඇස් තියෙන වග නොදැනුනා නෙමෙයි. ඒත් මට ඒ අය ගැන ඒ හැටි වැටහීමක් නොතිබුනේ බිමට නැවුනු ඇස් දෙකෙන් මගේ කකුල් වල ඇගිලි ගණන් කරමින් ගිය නිසා.
ගණන් කරන එක.... පුංචි කාලේ ඉදන්ම මට තිබුනු පුරුද්දක්.
පඩිපෙළක් දකිද්දි.... ගස් පේලියක් දකිද්දි... පාරේ යන බස්.... ගෙවල් වල ජනෙල් ගාණ ඒ විතරක්ද මගේ ලගින්  වාඩිවෙලා ඉන්න කෙනාගේ ඇගිලි ගාන....ඇයි මගේ අතේ ඇගිලි...කකුලේ ඇගිලි... කොච්චර ගැන්නත්.. හැමදාම ගැන්නත් එපාවුනේ නෑ....

ඇගිලි ගණන් කරමින් වුනත් නොදැනුවත්වම මම හරි තැනට ඇවිත් තිබුනා. ඒක ඇත්තටම පුරුද්දට වගේ වෙන දෙයක්. ඒකට කියන හරි වචනේ ගියා කියන එක නෙමෙයි...ඉබේම ගියා වගේ දෙයක්....
මම දොරින් ඇතුළු වුනා... මම දැනන් හිටියා මම ඇතුල්වෙනවත් එක්කම ගොඩක් දෙනෙක්ගේ ඇස් මගේ පැත්තට හැරෙන වග. අවුරුදු තුනක් හතරක් ගෙවිලා ගියත් තාමත් ඒ ඇස් වලින් බේරෙන්න මට බැරි වුනා. මොනවා වුනත් ඒ ඇස් වල පිරෙන්නේ මොනවගේ අදහස් ද කියලා අමුතුවෙන් ඔළුව උස්සලා බලන්න උවමනාවක් මට තිබුනෙ නෑ. ඒ ඇස්වල, වගේම පල් හෑලි කියවෙන කටවල් වලින් පිටවෙන මුණුමුණුවල් මේ හිතේ පතුලෙ හැමදාමත් ඇදිලයි තිබුනේ. ඒවා මට අලුත් දේවල් නෙමෙයි. තවමත් බිමට නැමුනු ඇස් වලට වටේ ඉන්න හැම එකාවම පේන වග එයාලා නොදන්නවා ඇති. බලන්නේ ඇස් වලින් විතරයි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ... එයාලා දන්නෙ නෑ හිතටත් බලන්න පුළුවන් කියලා. ඇස් තිබුනත් මම ගොඩක් දේවල් බැලුවෙ හිතෙන්. ඇස් වලට පේනවට වඩා ගොඩක් දේවල් හිතට පේනවා.

වටේටම මුනුමුනුවවල් ඇහුනට ඒවා නෑහුන ගානට මම මගේ පුරුදු තැනටම ගියා. දේශනේ පටන් ගන්න වෙලාව පහුවෙලා... ඒත් තාමත් සර් ඇවිත් නෑ...ඒක එයාගේ පුරුද්ද.... කැම්පස් එකට ආපු මුල්ම දවස වල සින්නො කියලා දුන්නේ දේශනේ විනාඩි 15ක් පරක්කුයි නම් නැගිටලා යන්න කියලා... ඒත් අද? කාටවත් එහෙම නැගිටලා යන්න උවමනාවක් නෑ. සමහරු තමන්ගේ ලෝකවල... තවත් සමහරු තවත් කෙනෙකුගේ  ලෝකෙක... එවගේම තවත් කොටසක් ඒ ඒ ලෝක වල ඉන්න එවුන් ගැන චරිත සහතික දෙන ගමන්...... එතකොට මම?? සටහන් පොත දිග ඇරගෙන පෑනත් අතින් අරගෙන ලියන්න බලාගෙන හිටියේ... ඒකත් පුරුද්දට වගේ. අවුරුදු ගාණක් තිස්සේ කරපු දේනේ. න්‍යායන්....... සංකල්ප... නිර්වචන...... පොත පුරාම පිරිලා ඉතිරිලා.. ඒත් ඔළුවේ?
තාමත් වටේටම ගෝසාව...මේ තරම් සද්දෙ මොකද?? ඇදිලා ගිය මූණු...කල්පනාවෙන් පිරිච්ච මූණු.. ගොඩක් එක පොදියට...  දැනුයි තේරුනේ... අද තමයි අපි දේශන වලට ඉන්න අන්තිම දවස......... මේක දාලා යන්න බැරිවුන අයගේ මූණුයි ඒ ඇද වෙලා ගිහින් තියෙන්නේ....
ඒත් මට...හීන් සතුටක්..............
සර් ආවා දුවගෙන වගේ... 
සතුටට තිතක්... පෑන තියා ගත්තා රූල උඩින්..... 
සර් කියනවා අපි ලියනවා... අපි ලියනවා සර් කියනවා... 
මොනවා ලියනවද කියලා තේරුමක් නෑ. කොහොමත් දැන්ම ඕවා තේරුම් අරගෙන මොකටද? විභාගෙට දවසකට දෙකකට කලින් තේරුනොත් මදෑ... ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ ..ඒ තියරියට මම කැමති වුනේ මේ ළගකදි ඉදලා... 
හිතට හරි නිදහසක් ඒක....
නිදහස.......... 
දවසක් කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි එයා කියනවා එයා කැමතිලූ එයාට කුරුල්ලෙක් වෙන්න පුළුවන් නම්... කුරුල්ලෝ හරි නිදහසේ ජීවත් වෙනවලු.....
ඒක ඇත්තක්ද? 
කුරුල්ලෝ නිදහසේ ජීවත් වෙනවද? ඒත් මම නම් හිතන්නේ උන්ට අපි හිතන තරම් නිදහසක් නෑ... උන් කෑම හොයා ගන්න ඕන...කූඩූ හදා ගන්න ඕන.. බිත්තර ටික රැක ගන්න ඕන පැටව් ටික රැක ගන්න ඕන.. වහිද්දි නොතෙමී ඉන්න තැනක් හොයා ගන්න ඕන... තමන්ව මරාගෙන කන්න බලන් ඉන්න පූස් තඩියෝ ගැන කල්පනාවෙන් ඉන්න ඕන... තව කොච්චරක් දේ තියෙනවද උන්ටත් කරන්න...
නිදහස ඇතිවෙන්නෙ හිතේ.......... 
මොන තරම් වැඩ කන්දරාවක් වුනත් හිතේ සන්තෝසෙන් කරනව නම් අපි ඉන්නෙ නිදහසේ. ඒත් හිතේ ඔය තත්වෙ නැත්තම් ඕකේ අනිත් පැත්ත...
දේශනේ අවසන් වෙලා යද්දි හැමෝගෙම  කටින් පිටවුනේ අදින් පස්සේ මේ වගේ එකතු වෙන්නෙ නෑ නේද කියන එක........... ඒ අස්සේ කෙනෙක් කණුවක් බදාගෙන අඩා වැටෙනවා. ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු මම පාරට ආවා.
ඒ අතරේ කෙනෙක් මගෙන් අහනවා... 
ඔයාට දුක නැද්ද මෙහෙන් යන්න?
නෑ මට දුකක් නෑ... මගේ උත්තරේට එයා කැමැත්තක් දැක්කුවෙ නෑ..
ඔයාට දුක නැද්ද යාළුවෝ දාලා යන්න... ආයෙමත් ප්‍රශ්නයක්...
අපි ආයේ කොහේ හරි හම්බවෙයිනේ... ඉතින් ඇයි දුක්වෙන්නේ?
ඒ වුනාට මට නම් දුකයි...අපිට මේ යාළුවෝ ආයේ හම්බ නොවෙන්නත් පුළුවන්...
ඔව් වෙන්න පුළුවන්....ඒත් අපි දුක් වුනා කියලා අපිව මෙහෙ නවත්ත ගන්නේ නෑනේ..... වෙලාව ආපුවම කාටවුනත් යන්න වෙනවා....
අපි හරියටම දන්නව නම් අපිට මේ දේවල් අතෑරලා යන්න වෙනවා කියලා ඇයි ඉතින් දුක් වෙන්නේ? හෙටින් පස්සේ ජීවිතේ මීට වඩා වෙනස්........ මම කැමතියි ඒකට... 
ජීවිතේ එකම විදිහට ගෙවිලා යද්දි කෝ ජීවිතේට අත්දැකීම්.....
අපි දවසක් හරි මේකෙන් යන එක ගැන දුක් වෙවි ඉන්නව නම් ඒකෙන් වෙන්නේ අපිට ඉස්සරහට ලැබෙන්න තියෙන ජීවිතෙන් දවසක් නාස්ති වෙන එක.........
ඔය කිව්වට අන්තිම මොහොතේ ඔය ඇස් වලටත් කදුළු එයි.
මංදා මට නම් එහෙම හිතෙන්නෙ නෑ...ඉස්කෝලෙ දාලා එන දවසෙ වත් මම ඇඩුවෙ නෑ... මොකද එදා මට බලාපොරොත්තුවක් තිබුනා කැම්පස් එන්න... අද කැම්පස් එක දාලා යන්න වුනත් ඒ ගැන මට දුකක් නෑ. මොකද මම මගේ අරමුණු වලින් එකක් ඉෂ්ට කර ගෙන ඉවරයි... දැන් අලුත් බලාපොරොත්තුවකට කාලේ හරි...
එතනින් එහාට එයා මොනවත් කිව්වේ නෑ...
ජීවිතේ අතෑරෙන දේවල් බලෙන් අල්ල ගනිද්දියි දුක දැනෙන්නේ....... ඒත් කිසි දෙයක් අල්ල නොගත්තම.. තමන් වෙනුවෙන් ඉතිරි වෙන පුංචිම දේටත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්...

කැම්පස් ජීවිතෙන් මගේ වටේ ඒ විදිහට ඉතිරි වුනු මතක සටහන් ගොඩයි....   
ඉතින් අද මට සතුටින් ඒකට සමු දෙන්න පුළුවන්... 
න්‍යායන් සංකල්පයන් මගේ ඔළුවේ රැදිලා නෑ... 
ඒත් මම ජීවත් වෙන හැටි ඉගෙන ගත්තා... එක පාරක් වැටෙද්දි දෙපාරක් උත්සහ කරන්න ඉගෙන ගත්තා... රෝද හතරක් උඩ ගෙවෙන ජීවිතේට වුනත් වටිනාකමක් දෙන්නේ කොහොමද කියලා මම ඉගෙන ගත්තා...

ඉතින් ඒ මදෑ නේද

Wednesday, August 29, 2012

කතාවක් දිගේ ඇවිද යමුද (අවසාන කොටස)


ලාම්පුව වැටුනත් එක්කම මුළු කාමරේම අදුරු වුනා.
මගෙ මිත්‍රයා ඔයා දොර ගාවට යන්න. එළියට පනින්න දෙන්න එපා...
"අමන්දා ඉක්මනට එළියක් අරන් එන්න!!!!"
ඒත් එක්කම අමන්දා අරන් ආව ඉටිපන්දම් එළියෙන් කාමරේ යන්තම් එළිය වෙද්දි මගේ ඇස් හෙව්වේ මාවත් පෙරලගෙන දිව්වේ කවුද කියලා....
ඔබත් අමන්දත් හැරෙන්න එකපාරටම කාවවත් මට එක පාරටම පෙනුනේ නෑ. ඒත් කාමරේ දකුණු පැත්තේ අදුරු මුල්ලක ලොකු ගුලියක් හෙලවෙනවා වගේ පෙනෙද්දි අමන්දා අතේ තිබුන ඉටිපන්දම අරන් මම ඒ පැත්තට එල්ල කලා....
කකුල් දෙක අස්සේ මූණ ඔබාගෙන ගැහෙන මේ මනුස්සයා කවුද? මේ පාල නම් නෙමෙයි!!!! මම අමන්දා දිහා බැලුවේ එයාවත් මේ මනුස්සයාව අදුරනවද බලන්න.. ඒත් අමන්දගේ මුහුණෙන් ඒ වගක් පෙනුනෙ නෑ.
"ඔහේ කවුද?" මගේ ප්‍රශ්නෙට නෙවෙයි ඔහු ඔළුව ඉස්සුවේ. ඒ වෙනුවට තවතවත් ඔළුව හංගගත්තා.
"තමුසේ මොනවද මගේ ගෙදර කරන්නේ?...."
මොනවා හොරකම් කරන්නද ආවේ? .....
"කොච්චරකල් ඉදන් මෙහෙ ඉන්නවද?"
අමන්දගේ මේ ප්‍රශ්න වැලටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ...
"මේ වැඩේ හරියන්නෙ නෑ අමන්දා අපි පොලීසියට කතා කරමු. එතකොට මේ කට ඇරෙයිනේ." මම එහෙම කිව්වේ පොලීසිය ගැන කිව්වම හරි මොකක් හරි ප්‍රතිචාරයක් තියෙයි කියලා...
ඒත් ඇහුනේ හීන් ඉකිබිදීමක් විතරයි!!!
මේ මනුස්සයා අඩනවාවත්ද? අදුරටම තවතවත් ගුලි වෙන මේ මනුස්සයා ගැන මට ඇති වුනේ මහ පුදුමයක්...මේ වගේ බයේ ගැහෙන කෙනෙක් මම කවදාවත් දැකලා නෑ... මම තව ටිකක් ඉටිපන්දම් එළිය ඒ පැත්තට එල්ල කලේ හරියටම මේ මනුස්සයා මොනවගේද කියලා බලා ගන්න.
කිළිටි වෙලා ගිය කළු දිග කබායකින් මුළු ඇගම වැහිලා තිබුනත් මේ මනුස්සයා ඒ තරම් වයසක කෙනෙක් නෙමෙයි කියලා මට තේරුනා.. ඒත් බෙල්ල ලගටත් වඩා දිගට වැවිලා තිබුනු කොන්ඩේ නිසා ටිකක් අමුතු පෙනුමක් එක්වෙලා තිබුනා. මම හෙමින්ම ඔහු ලග බිම දණගහගත්තේ ඔහුගෙන් අනතුරක් වෙනව නම් මේ වෙනකොටත් එහෙම දෙයක් වෙලා තියෙන්න ඕන නිසා. ඔහු ඉන්නේ කාටවත් අනතුරක් කරන්න පුළුවන් තත්වයක නොවන වග ඔබටත් පේනවා නේද මගෙ මිත්‍රයා..
"දැන් කියන්න ඔයා මොකද මෙහෙ කරන්නේ කියලා..."  තව දුරටත් මොහුව බය කරන එකේ තේරුමක් නෑ.ඒ නිසාම මම පුළුවන් තරම් සැර බාල කලා.
ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ....
"මේක හරි යන වැඩක් නෙමෙයි. මම පොලීසියට කතා කරනවා. මගේ ගෙදර මේ  විදිහට හැංගිලා ඉන්න තරම් හයියක් ආවේ කොහොමද?"
අමන්ද ඉන්නේ හොදටම කේන්ති ගිහින් කියලා තේරුනත්, එයාට ප්‍රතිඋත්තර දෙන්න ගියේ නැ මම. කොහොමත් තමන්ගෙම ගෙදර තමන්ට හොරෙන් කවුරු හරි හැංගිලා ඉන්නවා කියලා දැනගද්දි මොන මනුස්සයටද තරහ නොයන්නේ...කොහොමත් මේ මනුස්සයා අපි අහන දේකට උත්තර දෙන්නෙත් නැති එකේ කරන්න තියෙන එකම දේ පොලීසියට කියන එක කියලා මටත් හිතෙනවා. ඒක හොදයි නේද මගෙ මිත්‍රයා....!!!
"දෙයි හාමුදුරුවනේ....මම කිව්වනේද මෙහෙට එන්ට එපා කියලා....."
එක පාරට පිටිපස්සෙන් ඇහුනේ පාලගේ කටහඩ...
"මගේ ගෙදර මට ඕන තැනක යන්න පාලගෙන් අවසර ගන්නේ අහවල් දේකටද මම? අනික මේ බලනවා මේ ගුලි වෙලා ඉන්න එකා දිහා බලනවා... මටත් හොරෙන් මගේ ගෙදර රිංගගෙන ඉන්න හොරගෙඩියෙක්... පාල කියන්නේ මෙච්චර දේවල් වෙනකනුත් බලන් ඉන්න කියලද?"
"ඒ ...ඒ ... කියන්නේ හැම දෙයක්ම අහුවුනා කියන එකද???" පාල මුණුමුනු ගගා කියව කියව හෙමින් හෙමින් ස්සට ගියා...
"ඒ කියන්නේ පාලත් මේ දේවල් දන්නවා කියන එකද?" අමන්දා සැරෙන් එහෙම අහද්දි  පාල කලේ බිම බලා ගත්ත එක...
ඕ..හෝ...!!!පාලත්මේකේකොටස්කාරයෙක්...!!!!                                                           
"හොදයි මේ මනුස්සයා කට අරින්නෙත් නැති එකේ දැන් පාලවත් කියනවා බලන්න මේ සිද්ද වුන දේවල් වල අග මුල සේරම... එහෙම නැති වුනොත් කලින් අමන්දා කිව්වා වගේ මේ මනුස්සයාට විතරක් නෙමෙයි පාලටත් සිද්ධ වෙන්නේ කූඩුවේ ලගින්ට.."
"අනේ... මාවනම් ඕන හිරේක දැම්මට කමක් නෑ... ඒත් චුටි හාමු මහත්තයාට මොනවත් කරන්ට එපා..!!! මම කියන තැනකට වදින්නම්... චුටි හාමු මහත්තයා අහිංසකයි දෙයියනේ...!!!"
චුටි හාමු මහත්තයා!!!!
මට එක්වරම බැලුනේ පැත්තක ගුලිවෙලා ඉන්න මනුස්සයා දිහා...තවමත් ඉස්සෙල්ලා හිටපු විදිහටමයි.
"කියන දෙයක් තේරෙන්න කියනවා පාල... මේ මනුස්සයා කොහොමද හාමු මහත්තෙක් වෙන්නේ? අනික කවදාවත් මම දැකලා නෑ මේ මනුස්සයාව...." අමන්දාගේ ප්‍රශ්නයට උත්තර හදා ගන්න වගේ පාල ටික වෙලාවක් කල්පනා කරනවා...
"බොරු එහෙම ගොතන්න ලැස්තිවෙන්න එපා පාල..."
"අනේ නෑ... මම කල්පනා කලේ මේවා කොහෙන් පටන් ගන්නද කියලා... තවත් මේවා හංගන් ඉන්න එකෙන් පලක් නැනේ... "
අත් දෙකත් පපුවට තද කරගෙන පාල කිව්වේ ඇත්තටම කියලා මොහොතකට මට හිතුනා...
"මම හැමදේම කියන්නම් චූටි මැණිකේ..ඒත් ඊට කලින් අර අහිංසකයව නැගිට්ටවලා ඉන්නම්... චූටි හාමු මහත්තයා කළබල වලට හරි බයයි...ඒකයි ඔහොම ඉන්නේ.."
"මේ තරම් ලොකු මනුස්සයෙක් ඔහොමත් බය වෙනවද? "අමන්දා ඇහැව්වේ සරදමට වගේ.. හරි නම් අපිනේ බය වෙන්න ඕන...
"මම හැමදේම කියන්නම් කිව්වනේ මැණිකේ..." බිම ගුලි වෙලා ඉන්න මනුස්සයාව වත්තම් කර ගන්න ගමන් පාල එහෙම කිව්ව නිසා අමන්දා තවත් කියන්න ගිය දේවල් නවත්ත ගත්තා..
අම්මෙකුගේ උණුහුමට ගුලි වෙන පුංචි එකෙක් වගේ පාලට ලං වුන මේ මනුස්සයා ගැන පළවෙනි පාරට මොකක්දෝ අනුකම්පාවක් මගේ හිතේ ඇතිවුනා.
"හරි අමන්දා අපි පාලගෙන් මේ ගැන අහගමු. එත් මේ කළුවරේ ඒක කරන්න බෑනේ... අපි පහළට ගිහින් මේ ගැන කතා කරමු...අමන්දා ඒකට කැමති වුන නිසාම එයාටම ඉස්සර වෙන්න දීලා මම අයිනට වුනා.
පාල මෙයාවත් පහළට අරන් යමු..."
පහළට එනවත් එක්කමආපහු කරන්ට් එක ආව නිසා අමන්දා අතේ තිබුනු ඉටිපන්දම නිවලා දැම්මා...
දැනුයි මම හරියටම අපේ අමුත්තව දැක්කේ... ඒ මුහුණේ මොකක්දෝ හුරුපුරුදු බවක් දැනුනත් ඒ ගැන කල්පනා කරන්න කලින් අමන්දා කතා කරන්න පටන් ගත්තා.
හරි දැන් කියනවා බලන්න පාල හැම දෙයක්ම...
එන්න මිත්‍රයා අපි මෙතන ඉදගෙන පාලගෙ කතාව අහමු...
"මම කියන්නම් හැම දෙයක්ම...".
"මේ චුටි මැණිකේ ඉස්සරහා ඉදන් ඉන්නේ වෙනකවුරුත් නෙමෙයි.
චූටි මැණිකෙගෙම සහෝදරයෙක්!!!"
මොකක්????
"ඔව් ඒක ඇත්ත චුටි මැණිකේ... මේක චූටි මැණිකේ විතරක් නෙමෙයි තව ගොඩක් දෙනෙක් නොදැන හිටි කාරණයක්... ඇත්තටම ලොකුහාමුයි ලොකු මැණිකෙයි විතරයි දැනන් හිටියේ චූටි හාමු ජීවත් වෙන වගක්..".
"මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි පාල.. අප්පච්චිවත් අම්මවත් මට කියලා නෑ මේ ගැන කවදාවත්..."
"ඔව් මැණිකේ.. කිව්වේ නෑ තමා.. චූටි හාමු මහත්තයා ඉපදුනේ චූටි මැණිකෙ ඉපදෙන්ට අවුරුදු 3 කට කලින්. ඒත් ඒ ඉපදුනේ සාමාන්‍ය දරුවෙක් විදිහට නෙමෙයි... කවුරුත් හිතුවෙ නෑ ජීවත් කරන්න පුළුවන් වෙයි කියලා... විසබීජයක් ගිහින් කියලයි කිව්වේ... ලොකු හාමුයි මැණිකෙයි  පුදුමාකාර විදිහට දුක් වුනා ඒ වෙලාවේ...කොහොම හරි බේර ගන්නමයි බැලුවේ.. අන්තිමට දොස්තර මහත්තුරු කොහොම හරි අපේ චූටි හාමුව බේර ගත්තා... ඒත් ඒ වෙනකොට අපේ ලොකු හාමුගේ අම්මා මේ දරුවගේ වෙලාව බලවලා...ඒ වෙලාවේ කියලා තිබුනලු මේ දරුවා ගෙදරට ගෙනාවොත් මුළු පරම්පරාවම විනාස වෙනවා කියලා.... ඒ කාලේ ඕවා හරියට විශ්වාස කරනවා චුටි මැණිකේ...ඒ හිංදා දරුවව මේ ගෙදරට ගේනවට අකමැති වුනා... ලොකු හාමුටත් කරගන්ට දෙයක් තිබුනේ නෑ... අන්තිමට ලොකු හාමු තීරණේ කලා දරුවව වෙන කොහේ හරි නවත්තන්ට. අනික ලොකු මැණිකෙත් බයේ හිටියේ කවුරුහරි දරුවට මොනා හරි කරදරයක් කරයි කියලා...ඒ හිංදා කාටවත් නොකියා දරුවව වෙනම තැනක නැවැත්තුවා.. මයේ ගෑනි තමා දරුවව බලා ගත්තේ මැණිකේ..." මේ දේවල් කියාගෙන යද්දි පාලගේ ඇස් වලින් කදුළු  ගලාගෙන ගියා...
"ඒත් අපි ආරංචිය යැව්වේ ඉස්පිරිතාලෙදිම අමාරුවෙලා දරුවා නැති වුනා කියලා... ඊට පස්සේ හාමුලා මෙහෙ ආවා... අනිත් අයත් ඒ කියපු දේවල් විශ්වාස කලා... ඒත් සැරින් සැරේ හාමුයි මැණිකෙයි දෙන්නම ආවා දරුවා බලන්න... ඒ ඇවිත් යන පාරක තමයි ලොකු  මැණිකෙගේ  වාහනේ පෙරළුනේ...චුටි හාමු මහත්තයා ටිකෙන් ටික ලොකු වෙද්දියි දැනගත්තේ හාමු මහත්තයට කතා කරන්ට බැරි වග. ඒත් අපි කියන දේ තේරෙනවා... චූටි හාමු මහත්තයා හරිම අහිංසක දරුවෙක් ඒ කාලේ ඉදලම... ලොකු මැණිකෙ වගේම චිත්‍ර අදින්න දස්සයා...තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා චිත්‍ර අදින එක තමයි කරන්නේ... මයේ ගෑනි නැති වුනාට පස්සේ මමයි හාමු මහත්තයාව බලා ගත්තේ...."
එතකොට මෙහෙ ආවෙ කොහොමද? පාලගේ දිග කතාවට විරාමයක් දෙන ගමන් මම ඇහුවා...
"ලොකු මැණිකෙ නැති වුනාට පස්සේ හාමු මහත්තයා රට යන්න ඕන කිව්වා.. තවත් චුටි හාමුව එහෙ තියනවට වඩා මෙහෙ ගෙනත් නවත්තමු කිව්වේ හාමු මහත්තයා.. මෙච්චර කාලයක් අර පොඩි ගේක හිරවෙලා ඉන්නවට වඩා මෙහෙ හොදයි කියලා තමා හිතුවේ. ඉතින් චුටි මැණිකෙවත් අරන් ලොකු හාමු ගියාම එදාම රෑ මම චූටි හාමුව මෙහෙ එක්ක ආවා.."
"ඒත් චූටි මැණිකේ ආයෙමත් ආවම මට කරගන්න දෙයක් නැතුව ගියා. ආයෙමත් පරණ ගෙදරට යන්ට චුටි හාමු කැමති වුනෙත් නෑ... ඒ හිංදා මම හිතුවා චූටි මැණිකෙව ආයෙමත් කොහොම හරි ඒ රටටම යවන්න... ඒ හිංදා චුටි මැණිකෙව බය කරලා මෙහෙන් යවන්න හිතාගෙනයි පහුගිය ටිකේ අර වගේ දේවල් කලේ."
පාල එක හුස්මට කියාගෙන යද්දි මම අහන් හිටියේ සුරංගනා කතා අහන පොඩි එකෙක් වගේ...
මම අමන්දා දිහාට හැරුනේ මේවට එයාගේ ප්‍රතිචාර මෙනවගේද බලන්න.
ඒ ඇස් වලින් කදුළු ගලාගෙන ගිහින් තිබුනා...
ටික වෙලාවකින් අමන්දා කතා කරන්න පටන් ගත්තේ මේ හැම කෙටම අවසාන තීන්දුව දෙන්න කියලා මට හිතෙනවා.
"පාල මට නිකන් හරි මේ ගැන කියලා තිබුන නම්... කවදාවත් මගෙ අයියට මෙහෙම හැංගිලා ඉන්න දෙන්නෙ නෑ මම... මොන විදිහට හිටියත් මේ මගේ සහෝදරයා නම් එයාටත් මේ දේවල් ගැන අයිතියක් තියෙනවා..."
අමන්දගේ ඒ වචන ටික මගේ හිතට සතුටක් එකතු කලා...
"තවත් හැංගිලා ජීවත් වෙන්න ඕන නෑ ඔයා... ඔයාගේ නංගි ඉන්නවනේ දැන්... අමන්දා එහෙම කිව්වේ ඔහු ගේ කරවට අත දා ගන්න ගමන්..,
බලන්න මගේ මිත්‍රයා ඒ මුණේ ලස්සන හිනාවක්...
ඉතින් තවදුරටත් අපි මෙතන ඉන්න එකේ තේරුමක් නෑනේ... ඔවුන්ට කතා කරන්න ගොඩක් දේවල් ඇති තනියම...
තව පැය ගණනකින් අපද සමු ගතයුතුයි මගෙ මිත්‍රයා....හොද මිතුරන්ට ස්තුති කරන සිරිතක් නැති නිසා මම ඔබට සුබ පතන්නම් මගේ මිත්‍රයා... අපි කතාවේ අවසානයටම ආවා...

Tuesday, August 28, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 12


                              මුළු නිවහනම අන්ධකාරයෙන් වසා ගත් මොහොතක මෙලෙස උඩුමහළට යෑම ගැන හිතේ බියක් නැතුවාම නොවේ. එහෙත් බිය වීමෙන් පලක් නැත. කෙසේ හෝ මේ සියල්ලෙහි තේරුම දැනගත යුතුය.  අමන්දා පිටුපසින් අපිත් යමු මගෙ මිත්‍රයා. ඒත් එක ඉටිපන්දමක එළියකින් පමණක් අදුර මැකෙන්නේ නැත.
"අමන්දා අපි තව ඉටිපන්දමක් හරි ටෝච් එකක් හරි අරන් යමුද? හදිසියේවත් මේක නිවුනොත් එහෙම?"
 මා එසේ ඇසුවේ මේ පැතිර ඇති අදුරට මා එතරම් කැමැත්තක් නොදක්වන නිසාමය.
"හරි එහෙනම් ඔයාලා මේකත් අරන් උඩට යන්න. මම තව ඉටිපන්දමක් අරන් එන්නම්."
 එසේ කියු අමන්දා නැවතත් පහලට හෙමින් හෙමින් යද්දී මා කල්පනා කලේ උඩට යනවාද එසේත් නැතිනම් ඇය එනතෙක් මෙතනම සිටිනවාද යන්නයි.
"අපි මොකද කරන්නේ මගෙ මිත්‍රයා!!! මම හිතන්නේ අමන්දා එනකම් අපි මෙතනම ඉමු."
 ඔබ මගේ යෝජනාවට කැමති වෙතැයි සිතමි.
ගිය ඉක්මනටම වගේ ආපහු එන අමන්දා අතේ තිබුනේ ඉටිපන්දමක් වෙනුවට ලොකු චිමිනි ලාම්පුවක්. ඒක හොදයි ඉටිපන්දමකට වඩා.
"එහෙනම් අපි යමු."
 පඩි එකින් එක උඩට නගිද්දි හිතේ තිගැස්ම වැඩි වුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්. අපි ආයෙත් අර කාමර වලට එබිකම් කරන්නයි යන්නේ. කලින් දැකපු දේවල් වලට වඩා වෙනස් දෙයක් තියෙන්න පුළුවන්ද එතන.... මම මගෙන්ම ඒ ප්‍රශ්න අහගත්තා. ඒත් ඒකට උත්තර දැනගන්න වෙන්නේ එතනට ගියාමයි. කල්පනාවත් එක්කම අපි උඩුමහළට ඇවිල්ලා කියලා දැනුනේ චිත්‍රකාමරේ දොර ඇතින් දකිද්දි.
"පොඩ්ඩක් ඉන්න අමන්දා. ඉස්සෙල්ලා අපි අතින් වෙච්ච වැරැද්ද ආයෙමත් වෙන්න හොදද නෑ කියලා මතක තියාගන්න."
"වැරැද්ද කිව්වේ?"
"වැරැද්ද කිව්වේ අපි දොර ලගදි හයියෙන් කතා කරපු එක. අපේ සද්දෙට තමා ඇතුලෙ හිටපු කෙනා පැනගන්න ඇත්තේ. අනික අපි මේ සැරේ චිත්‍ර කාමරේ දොරින් යන්නේ නැතිව පොත් කාමරේ දොරින් ඇතුළු වෙමු. මොකද එළියට යන්න  පුළුවන් දොරක් තියෙන්නේ එතනනේ."
 මම කතා කලේ පුළුවන් තරම් සද්දේ අඩු කරලා.
"ඒත් පාල කිව්වා නේද හිටපු කෙනා එළියට දිව්වා කියලා? එහෙම නම් ඇතුලේ කවුරුත් ඉන්න විදිහක් නෑනේ?"
"ඔව් අමන්දා ඔයා කියනදේත් හරි. ඒත් මට නම් පාලගේ කතාව ගැන දැන් දැන් පොඩි සැකයක් තියෙනවා. ඇතුලෙ කවුරු හරි හිටියත් නැතත් අපි ගිහින් බලමු. කෝකටත් අපි තුන්දෙනෙක් ඉන්න එකේ එක්කෙනෙක් චිත්‍රකාමරේටයි  තව කෙනෙක් පොත් කාමරේටයි එකපාරම ඇතුළු වෙමු. ඇතුළේ කවුරු හරි හිටියොත් එයාට පැනගන්න තියෙන හැම ක්‍රමයක්ම එතකොට නැතිවෙනවනේ."
ඒක හොදයි නේද මගෙ මිත්‍රයා!!!
"ඔන්න එහෙනම් අපි යමු දොර ළගදි කවුරුත් සද්ද කරන්න නම් එපා. අමන්දා ඔයා චිත්‍ර කාමරේට යන්න . අපි පොත් කාමරේට යන්නම්."
අඩි සද්හෛන එක වළක්වන්න මම මගේ සෙරෙප්පු දෙක එතනම ගැලෙව්වා. එන්න මගෙ මිතුයා අපි දොර ළගට යමු.
අදුරු කොරිඩෝව දිගේ හෙමින් හෙමින් දොර ළගට ආවට මොකක්දෝ ලොකු තිගැස්මක් මගේ හිතේ පැතිරෙනවා වගේ දැනුනා.
"මගේ මිත්‍රයා හෙමින් දොර අගුල කරකවන්න...."
ඔබ දොර අරිනවාත් සමගම අමන්දාද  අනෙක් දොර අරින ශබ්දය යාන්තමට ඇහුනා.  එක්වරම ඇතුළට යමු මගෙ මිත්‍රයා....
එක් වරම කාමරයට ඇතුළු වුවත් එහි පෙර තිබූ දෑට වඩා වෙනසක් නොපෙනීම මගේ බලාපොරොත්තු බිද දැම්මා වගේ.
ඒත් අමන්දට මොනා හරි හෝඩුවාවක් ලැබිලද දන්නෙ නැ නේද  මගෙ මිත්‍රයා. අපි මේ ඇතුළු දොරින් ඒ පැත්තට යමුද...
ලාම්පුවත් අරන් මම හැරෙනවත් එක්කම එහා පැත්තෙන් ඇහුනේ කෑ ගැහිල්ලක්...
ඒ අමන්දා නේද?
මම ඉක්මනටම පැන්නේ දොර අරින්න. ඒත් මම ප්‍රමාද වැඩි කියලා දැනුනේ මම අරින්නත් කලින් ඇරුනු දොරින් පැනපු කෙනෙක් මාවත් පෙරලගෙන දුවද්දි.
දෙයියනේ වැටුනු වේගෙට මගේ අතින් ලාම්පුවත් ඇතැරුනා.
"මගෙ මිත්‍රයා කවුරු වුනත් මේ මනුස්සයට එළියට පනින්න නම් දෙන්න එපා ."
" ඔය යක්ෂ පැටියාව ඉක්මනට අල්ල ගන්න."