Friday, July 31, 2015

පීවිතේ කියන්නේ මේකට වෙන්න ඇති

කාර්යබහුල ජීවිතේ අස්සෙන් පුංචි රිදී රේඛාවක් පායමින් තිබුණා. 
හතරවටින්ම අදුර පැතිරිලා තියෙද්දිත් එදා වගේම මගේ අත හයියෙන් අල්ලගෙන ඒ රිදි රේඛාව මගේ හීනයක් කලේ අම්මා.
"ඔව්! ඔයාව හොද කරන්න පුළුවන්".... ආයෙමත් ඒ වචන විශ්වාස කරන්න උවමනාවක් මට තිබුනෙ නෑ. ඒත් අම්මා ආයෙත් විශ්වාස කලා. මට වදයක් වෙනකන්ම එයා ඒක විශ්වාස කලා. අම්මා කවදාවත් මං තරම් ඉක්මනට පරදින්න කැමති වුනේ නෑ ඒ හේතුව නිසාම මම විදවපු වාර අනන්තයි.... 

"මම ඔයාව ඉන්දියාවේ එක්ක යනවා" ඒක අම්මගේ අන්තිම  තිරණේ වුණා. 
"මට බෑ ආයෙත් විදවන්න" 
අපි රණ්ඩු වුනු හැම පාරම දිනුවේ අම්මා. අන්තිමේදි හිත ඇතුලේ බලාපොරොත්තු පණ ගහන්න පටන් ගත්තා. ඒත් ඒක එළියට පෙන්නන්න මට ඕන වුනේ නෑ. 
"හරි අපි යමු. මම කවදාවත් රටින් පිට ගිහින් නෑනේ!මේක හොද අවස්ථාවක් වෙයි" මම මගේම හිත රවට්ටගත්තා.
හැමෝම මම ඇවිදගෙන ගෙදර එනවා බලන්න පෙරුම් පුරද්දි අයියණ්ඩි කිව්වේ,
" උඹ ආයෙත් විදවන්නයි හදන්නේ, අම්මගේ හීන වලට රැවටෙන එක නතර කරපන්"කියලා. ඔය මගුල් කරලා උඹ ඉන්න තත්වෙනුත් පහළට වැටෙයි කියලා මූණටම කියපු අයියණ්ඩි මං වෙනුවෙන් අම්මා එක්ක යුද්ධ කලා. ඒත් අම්මව පරද්දන්න අයියට බැරි වුණා. 
ඒකයි  අම්මා කියන එකේ තේරුම. 
අයියත් එක්ක රණ්ඩුවෙන අම්මගේ ඇස් වලින් ගලපු කදුළු නතර කරන්න මම කිවේ මේ ගමන යන්නේ මට ඕන නිසා අම්මා කියන නිසා නෙවෙයි. අයියගේ කට වහන්න ඒ වචන වලට පුළුවන් වුනා.
මුලින්ම ඔවුන් මාව කැදෙව්වේ පරික්ෂණ වලට. මෙහේ වෛද්‍යවරු මාර්ගයෙන් හැම දේම සූදානම් වෙද්දිත් මම හිත ගල් කර ගත්තා. බොරුවට බලාපොරොත්තු ඇති කරගන්නේ නෑ කියලා. මේක නිකම්ම නිකන් විනෝද ගමනක් විතරයි. හැම වෙල්ම මම එහෙම හිතුවා.....
අන්තිමේදි මම ඉන්දියාවට ගියේ අම්මගේ හීනෙට පණ දෙන්න.........
ඔව් අම්මගේ හීනෙට තටු ආවා....
"මෙයාව හොද කරන්න පුළුවන්. අස්ථි බද්ධ කරන්න වෙයි.  වියදම් දරන්න පුළුවන්ද?"
ගාණ කීයද අහන්නෙත් නැතුවම අම්මා පුළුවන් කීවා..... 
"මම මගේ මුළු සේසතම විකුණලා හරි ඔයාව හොද කරගන්නවා......"

 ඒ වචන වලට මුළු හිතම පිච්චිලා ගියේ එක පාරක් දෙපාරක් නෙවෙයි....
හරියටම ජනවාරි පළවෙනිදා ආයෙමත්  මම ලංකාවට ආවේ අම්මගේ හීනේ උඩ නැගලා.... 

ඉතිරි මාස දෙකේ අම්මා හතර අතේ දිව්වේ සල්ලි හොයන්න.... එයා ආදරෙන් ගෙනාපු වාහනේ විකුණුවේත් ගේ උගසට තියලා ණයක් ගත්තෙත් පුළුවන් තරම් ඉක්මනින් මගේ ඔපරේෂන් එක කරන්න....
මාස තුනක් ඉන්දියාවේ නවතින්න හැමදේම සුදානම් වෙද්දි හිතට බයක් නොදැනුනා නෙවෙයි... ඒත් ආයෙමත් මම හිට ගන්නවා කියන හිතුවිල්ල ඒ බය ඈතට තල්ලු කරලා දැම්මා.......මගේ කාර්යාල මිතුරෝ මං වෙනුවෙන් මුදල් එකතු කරලා තිබුණා මගේ පවුලේ අය ඇරෙන්න මං වෙනුවෙන් දෙයක් කරපු පළවෙනි පාර. ඒ සල්ලි මගේ අතට දීලා මං වෙනුවෙන් සෙත් පිරිත් කියන්න එයාලා ලෑස්ති කරලා තිබුණා. එදයි මට තේරුණේ මම මගේ ජීවිතේ හොද මිනිස්සු හම්බ කරගෙන තියෙන වග....
හැමෝම මං වෙනුවෙන් සල්ලි හොයද්දි මං බලන් හිටියේ මට කවදා හරි එයාලා වෙනුවෙන් දෙයක් කරන්න ලැබෙන්න කියලා හිතෙන් ඉල්ලන ගමන්...
හැමදේම ලෑස්ති කරගෙන මම ආයෙමත් ඉන්දියාවට ගියේ හීන ගොඩාරියකුත් එක්ක.
ඔපරේෂන් හතරක් මාස 3ක් ඇතුළත කරන්න ඔවුන් ලෑස්ති වෙලා හිටියා. ඔවුන් ඒ ගැන කිව්වේ හරිම සරල විදිහට.... ඒත් ඒ වෙද්දි බය කියන දේ හිත වෙලා ගෙනයි තිබුනේ මොනව වුනත් අම්මා බය වෙයි කියන බයට මම චණ්ඩියා වගේ හිටියා....අම්මව රිදවන්න උවමනාවක් තිබුනේ නෑ මට...
පළවෙනි ඔපරේෂන් එකට මාව ගද්දි ඔවුන් කීවේ සිහි නැති කරන්නේ නෑ ඉනෙන් පහළ හිරිවට්ටනවා විතරයි කියලා.ඒ කතාව  මාව නිකම්ම හිරිවැට්ටුවා.හොද සිහියෙන් කපන කොටන තැනක ඉන්න මං කැමති වුනේ නෑ. ඒත් මම ඒකට මූණ දුන්නා.... පැය ගාණකට පස්සේ මාව එළියට ගත්තා. අම්මගේ බලාපොරොත්තු පිරුණු මූණ මගේ වේදනාව අඩු කලා....ඒත් ඔපරේෂන් එකට කලින් කියපු විදිහට අස්ථි බද්ධ කිරිමක් ඔවුන් කරලා තිබුනේ නෑ.... ඒ ගැන අහද්දි ඔවුන් කීවේ ඔපරේෂන් එක අසාර්ථකයි කියලා.......
දවස් 15ක් තිස්සේ පරීක්ෂණ කරකර හරි උත්තරයක් නොදී ඔවුන් මග ඇරියා.... අම්මා වැලහින්නක් වගේ අඩා වැළපෙද්දි අයියණ්ඩි කෝල් කරපු හැම වාරෙකදිම අම්මත් එක්ක රණ්ඩු වුණා.. 
අන්තිමේදි අම්මා පැරදුනා...
මට ඉතිරි වුනේ වේදනාව විතරයි...
මැරෙන්න තරම් වේදනාවක් දැනෙද්දිත් අඩන්න ඉඩක් තිබුනේ නෑ. ඒ අම්මා තවත් රිද්දන්න හිතක් නොතිබුනු නිසා.... අයියණ්ඩි කිව්වා වගේම හිටියටත් වඩා පහළට වැටුනු මම ලංකාවට ආවා....
තාමත් වේදනාවෙන් ඇදුම්කන කකුලත් එක්ක අම්මට පේන්න හිනා වෙනවා.... බොරුවට හිනාවෙනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.... ඒත් ජීවිතේ අමාරුම දේවල් කරපු මට ඒ බොරුව කරන එක එච්චරම අමාරු නෑ...
මං වෙනුවෙන්ම හීන දැකපු අම්මගේ හීන හැබෑ කරන්න බැරි වුනු දුවෙක් විදිහට එයා ඉස්සරහ තාමත්  රෝද හතරක් උඩ ජීවත් වෙනවා....
ඔව්!!!! පීවිතේ කියන්නේ මේකට වෙන්න ඇති......



Wednesday, April 30, 2014

ඇහුනේ මළකදට පමණද



හදවතක් අස්සේ
පැනනැගපු යුද්දේ
උණ්ඩයට හිස නමා
ඇද වැටුන දවසේ

ලේ මතින් පිපුණ මල්
සුදු වතින් නොවේ දිලුනේ

වඩම් වෙත පොදි බැදී
මල් මුමුණනා සද්දේ
ඇහුනේ මළකදට පමණද
හදවතේ යුද්දේ

Friday, August 9, 2013

ජිවිතය වෙනුවෙන් සටන් කරන්න....

කාලෙකට පස්සෙ ආයෙමත් අකීකරුහිතට ලියන්න හිතුන මොනවම හරි...
ජීවිතේ එක පාරක් වැටුනම නැගිටින්න හිතට හයියක් ගන්න එක ඒ හැටි දෙයක් නෙමෙයි... ඒත් නැගිටින නැගිටින සැරේට ඇදන් වැටෙන එක මහා විකාරයක්.... මොනව වුනත් එහෙම ඉදලා  නැගිටිද්දි හිතට දැනෙන්නේ හරි අපූරු සතුටක්....
ඔව් දැන් මම ඉන්නේ ඒ වගේ සතුටකින්!!!!!
මම දන්නවා ආයෙමත් කොයි වෙලාවක හරි මාව ඇදන් වැටෙන බව.... එතෙක් මම සතුටින්!!!
කැම්පස් ජීවිතේට සමු දෙන දවස් එද්දී හිතට ආව ලොකුම ප්‍රශ්නේ මම ඊළගට මොනවද කරන්නේ?

රස්සාවක්???

කැම්පස් එකෙන් එළියට එනකොටම කාටවත් එහෙම රස්සාවක් ලැබෙන්නෙ නැති බව දැනන් හිටියත් මට ඊට වඩා බයක් තිබුනා. කවුද කැමති වෙන්නේ මම වගේ කෙනෙකුට රස්සාවක් දෙන්න?
හිතේ තිබුන ලොකුම බය ඒක...
ඒත්..
නොහිතපු විදිහට කැම්පස් එකේ ගෙවපු අන්තිම දවස් වල සම්මුඛ පරීක්ෂණයකට කැදවීමක් ලැබුනා. 

කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔහේ ඉල්ලුම් පත්‍ර  පුරවලා කවදාවත් පාස් වෙයි කියලා නොහිතපු විභාගයකටත් ඉදලා හදිසියෙම සම්මුඛ පරීක්ෂණයකට කැදවද්දි කොහොමටවත් ඒක මට ලැබෙන්නේ නැති වග මම දැනන් හිටියා...
කවදාවත් සම්මුඛ පරීක්ෂණයකට ඉදලා නැති මම එදා කොළඹ ගියේ  අම්මත් එක්ක.
යන්න ඕන වෙලාවටත් වඩා පරක්කුවෙලා එතනට යද්දි හැම තැනකදිම වගේ මුලින්ම ආවේ පෙඩිපෙල් ප්‍රශ්න. හැමෝම ආයතනයකට ඇතුල් වෙන්නේ ඉස්සරහ දොරෙන් වුනත් මට යන්න වුනේ පස්ස දොරෙන්.
ඒ යද්දිත් සීයක් විතර පොළිමේ. පුරුදු විදිහටම හැමෝගෙම ඇස් මගේ නිල රථය දිහාට හැරෙද්දි පුළුවන් තරම් ඒ ඇස් මග ඇරලා අයිනකට වුනා.
කොහොමින් හරි කැදවීමක් ලැබුනම  සහතික ටිකත් තදින් අල්ලගෙන මම ඇතුලට ගියේ රස්සාව කෙසේ වෙතත් කිසිම අකරතැබ්බයක් වෙන්න එපා කියලා දෙයියන්ට කියන ගමන්.

මම කොහොමද එතන දොර ඇර ගන්නේ?
මම කොතනද රෝද පුටුව නවත්ත ගන්නේ? මේ ප්‍රශ්න හිතේ පිරිලා තිබුනත්  අවාසනාවකට ඒ එකකටවත් උත්තර මගේ ළග තිබුනේ නෑ

වෙන දෙයක් වෙච්චාවේ මාව මරන් කන්නැයි කියලා ඇතුලට යද්දි එතන හිටිකෙනෙක් දොර ඇලා දුන්නා. පළවෙනි ප්‍රශ්නේ විසදුනා. දෙවනි ප්‍රශ්නෙත් ඒත් එක්කම විසදුනේ ඉන්ටර්වීව් බෝර්ඩ් එකේ හිටපු සර් කෙනෙක්ම නැගිටලා එතන තිබුන පුටුව අයින් කරලා මට ඉඩ හදලා දුන්න  එකෙන්.

පුදුමයකට වගේ ඇතුලෙදි කවුරුවත් මම දිහා පුදුමෙන් බැලුවේ නැ.
ඒ නිසාම හිතේ බය පැත්තකින් තියලා අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. 

ඔයා හිතනවද ඔයාට මේක කරන්න පුළුවන් කියලා?
සත්තකින්ම මමත් හිටියේ ලොකු සැකයකින් මට පුළුවන්ද?
ඒත් ඕන මගුලක් කියලා පුළුවන් කිවා...
තව ප්‍රශ්න වැලකට පස්සේ ඔවුන මට සමු දුන්නා....
 මම එළියට ආවේ ආයේ කැදවිමක් ලැබෙන්නේ නැති වග හිතේ තියාගෙන... ජීවිතේ කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නැති වග මම දැනන් හිටියා...

මාසයක් දෙකක් ඔහේ ගෙවිලා ගියා....
ආයෙමත් ලිපියක් ලැබුනා.......
පත්වීම් භාර ගන්න දිනයක් කියලා....

කිසිම දෙයක් ගැන බලාපොරොත්තු නොවි ඉදිද්දි ලැබෙන පුංචිම පුංචි අවස්ථාවත් ජිවිතේට මහ මෙරක් වගේ... 
පුදුමාකාර සතුටක්!!!!
ඒත් එක්කම ප්‍රශ්න ගොඩාරියක් මගේ  ඉස්සරහට කඩන් වැටෙන්න තියෙන බව හිතද්දි බයක් නොතිබුනා නෙමෙයි...
අන්තිමේදි  පත්වීම භාර ගනිද්දි ඒ බය දෙගුණ වුනා.

මම ඉස්කෝලේ යන කාලේ  දේශපාලන විද්‍යා පොතක පිට කවරේ ඇරිස්ටෝටල් කියපු වාක්‍යයක් ලියලා තිබුනා... ඒක මම ගොඩාක් ආස කරපු වගේම බයක් දැනුන හැම වෙලාවකම මතක් කරන දෙයක් අදටත්

සටන් කරන්න... 
ජිවිතය වෙනුවෙන් සටන් කරන්න... 
බිය නොවන්න.... බිය යනු මරණයයි.... 
ලෝකයා ඔබව බය කරයි...
බිය නොවන්න.. 
ජිවිතය වෙනුවෙන් සටන් කරන්න.....

ඉතින් මම ගේ අලුත් බලාපොරොත්තුව වෙනුවෙන් සටන පටන් ගත්තා. 
පඩිපෙල් ප්‍රශ්න මුලටම
මට වැඩ කරගන්න පුළුවන් වෙයිද?
මිනිස්සුත් එක්ක ගැවසෙන්නෙ කොහොමද?
මාව කොහොම පිළිගනීද?
පහුගිය කාලේ පුරාවටම මේ ප්‍රශ්නත් එක්ක ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් පැත්තකට ගියා.

මේ  මගේ රැකියාවේ  සතුටින් පිරුනු හයවෙනි මාසේ . 
ශාඛා කාර්යාල තුනකින්ම මාව බාර ගන්න බෑ කිව්වත් එක අපූරු ප්‍රධානියෙක් මාව ඒ ශාඛාවට ගැනිමේ අභියෝගය බාර ගත්තා.... 
ඔහුට සතුටුදායක  සේවයක් ලබා දෙන්න මට පුළුවන් වුන නිසාම අනිත් අයට වගේම පිළිගැනීමක් මටත් ලැබුනා.... 
ඉතින් මම දැන් සතුටින් පිරුනු, කාර්යබහුල, මිනිස්සු පිරුන  තැනක ජීවිතේට අලුතින් අත්දැකීම් එකතු කරනවා...
කොහොම වුනත් මම දැන් පින් දෙනවා මාව බාර ගාන්න බෑ කිව්ව අයට මොකද එයාලා එහෙම නොකරන්න මට මේ තරම් හොද තැනක්, සුන්දර හදවතක් ඇති ප්‍රධානියෙක් වගේම තවත් සුන්දර අපූරු සහෝදර පිරිසක් ලැබෙන්නේ නෑ...
ඉතින් මේ දවස්වල මගේ ආදර්ශ පාඨය  
                            හැමදේම වෙන්නෙ හොදටයි....!!!





Tuesday, January 22, 2013

"වෙලාවකට ඇත්ත කතා කරන මිනිස්සු හරි කරදරයක්......"

''මම ආයෙමත් වැටෙන්නේ නෑ''
''ඔයා දැනටමත් වැටිලයි ඉන්නේ...''
 එයා එහෙම කිව්වේ සමච්චල් හිනාවකුත් එක්ක. ඒ හිනාව තරම් මාව කේනිති ගස්සන දෙයක් තවත් තිබුනෙ නෑ... 
''නෑ ඒක එහෙම නෙමෙයි!!''
 මට ඕන වුනා එයාට වැරදිලා කියලා ඔප්පු කරන්න. ඒත් අවාසනාවකට මම දැනගෙන හිටියේ නෑ මං කොහොමද ඒක කරන්නේ කියලා.

''දන්නවද මිනිහෙක් මුළු ලෝකෙටම පේන්න සතුටු වෙනවා වගේ පෙන්නන්න උත්සහ ගන්නෙ ඒ මිනිහා ඇතුළෙන් අන්තෙටම වැටුනම....''

''මම එහෙම වෙලා නෑ....'' සත්තමයි අතට අහුවෙන මානේ මොනවම හරි දෙයක් තිබුනනම් ,
දමලා අනිනවා මම ඒ මූණ සමතලා වෙන්න.......
''මම කිව්වේ නෑ ඔයාට එහෙම වෙලා කියලා....ඒත් දැන් ඔයාගේ කේන්තියෙන් පේනවා ඔයා හරියටම තොප්පිය දාගෙන කියලා.''
ආයෙමත් ඒ නොසන්ඩාල හිනාව.......
''ඔයාට වැරදිලා.........''
 කතාව පටන්ගත්ත වෙලාවෙ ඉදන් මම මේ කියන්නේ එකම වචන ටික කියලා දැනගෙනත් මම ඒකම කිව්වෙ වෙන වචන මතක් වුනේ නැති හිංදාද එහෙම නැත්තං කියන්න වෙන දෙයක් නැති හිංදද කියලා මම දන්නෙ නෑ..
''ඔයා ආයෙමත් පුරුදු  නරක වැඩේමයි කරන්නේ..... තමංගේ හිත රවට්ට ගන්න එපා ඔහොම... හිතින් මවා ගන්න ලෝක ඉක්මනට කඩාගෙන වැටෙනවා... ඒක මට වඩා හොදට ඔයා දන්නවානේ? ඔයා ආයෙමත් හීන දකින්න පටන්ගෙන... හරි ඉක්මනට ඔයා ඒක ඇතුළෙ අතරමං වෙනවා...''
''ඉතින් ඔයාට මොකද?''
''හීන බලන්නේ මම නම්, ඒක ඇතුළෙ හිරවෙන්නේ මම නම් ඔයැයිට තියෙන අමාරුව මොකද්ද?''
''මට දුකයි ඔයාගේ හීන ලෝකේ ආයෙමත් බිදෙනවා.. ආයෙමත් ඇස් රතු වෙනවා... මෙතන තියෙන හිනා යන වැඩේ මේ හැම දෙයක්ම වෙන බව ඔයත් හොදටම දන්න එක...''
''මගේ හීන බිදෙන්න දෙන්නේ නෑ මම මේ පාර.....''
මම කිව්වේ විශ්වාසෙන්...එහෙමත් නැත්නම් මං ඉන්නේ විශ්වාසෙන් කියලා එයාට පෙන්නන්න ඕන නිසා........
''ඔයා හිතනවද ඔයා මහ ලොකු දෙයක් කරා කියලා? දන්නවද මේ ලෝකෙට ඔයා අන්ත අසරණ එක අබ්බගාතයෙක් විතරයි.......''
ඒ වචන ඇල්පෙනිති තුඩු වගේ පපුවටම වැදුනත් වෙනදා වගේ ඇස් වලට කදුළු ආවේ නැති එක ගැන මං සතුටු වුනා.... මට ඕන වුනා කටට එන හැම වචනෙකින්ම එයාට දමලා ගහන්න..........
ඒත් මම එයාට මගේ ඉවසීම පරික්ෂා කරන්න තවත් අවස්ථාවක් දුන්නා.....
''ඔයා කොච්චර උඩට ගියත් ඔයා කවුද කියන එක වෙනස් වෙන්නේ නෑ...කවුරුවත් ඒක අමතක කරලා නෑ ඔයාට අමතක වුනාට.........''
තවත් මොන මොනවදෝ කියවගෙන ගියත් මම ඇහුම්කන් නොදී ඇතැරියා........... පුදුමෙකට වගේ මගේ කේන්තිය අඩු වෙමිනුයි තිබුනේ......ඒ අතරේ එයාගේ වචන වල තිබිච්ච සමච්චල් ගතිය වෙනුවට මොකක්දෝ හිස් කමක් එකතු වෙලා තිබුනා.......

සත්තකින්ම වෙන මොනවටත් වඩා මම බය වුනේ ඒ හිස් කමට.............

"වෙලාවකට ඇත්ත කතා කරන මිනිස්සු හරි කරදරයක්......" 
එයාලා කතා කරන්න පටන් ගත්තම වදින්නේ කොතනටද රිදෙන්නේ කොතනටද කියලා තැකීමක් නෑ..........
එයාගේ කතාව නැවතිලා තිබුනා..........
ඒත් එයාගේ වචන දිගේ හිත දිගටම යන්න පටන් ගද්දිම මම දැනගත්තා මේ මගේ හීන මගේ අතින්ම මරා දාන්න ගත්ත පළවෙනි පියවර කියලා...........
අබ්බගාත කියන වචනෙට තරම් මම වෛර කරපු වචනයක් නැති තරම්......... ඒ වුනත් ඒක මගේ ජීවිතේම කියලා තේරෙනකොට මම ජීවිතේටත් වෛර කරන්න ගත්තා ඒ කාලේ......

ඒත් කල් යද්දි මට වෙනස් වෙන්න ඕන වුනා........

ජීවිතේට ආදරේ කරන්න ඕන වුනා.........

අන්තිමේදී ගොඩක් අමාරුවෙන් මම එක කළා..........

ඒත් දිගින් දිගටම හම්බ වෙන  පඩිපෙළවල් ඉස්සරහ මාව අසරණ වෙන්න පටන් ගනිද්දි පඩිපෙළවල් මග ඇරලා කැළැ පාරවල් තෝර ගත්තා........
ඒත් මේ පාරවල් ලේසි නෑ කියලා තේරෙද්දි ආපහු හැරෙන්න පුළුවන් කමක් තිබුනෙ නෑ මට.........

හීන ලෝකෙට වඩා ඇත්ත ලෝකේ හරි අමාරුයි... අඩුම තරමේ කෑ ගහලා අඩන්නවත් නිදහසක් නෑ එතන..... 
ඉතින් මං කොහොමද මගේ හීන ලෝකේ අතාරින්නේ?
එතනදී මට ඕන විදිහට අඩන්නත් හිනා වෙන්නත් නිදහසක් තියෙද්දි ඇයි මං හීන ලෝකෙන් බිමට බහින්නේ....... 
කොච්චර දිගට කල්පනා කලත් උත්තරයක් නෑ.......
එත් අන්තිමට මං තීරණය කළා හීන අතාරින්න..........

Monday, December 31, 2012

මම ඔබට සුබ පතන්නේ නෑ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන්

''අලුත්'' කියන වචනේ හිතට ගේන්නේ අමුතුම හැගීමක්... ඒක හරියට හීන් බලාපොරොත්තුවක් , සතුටක් වගේ දෙයක්.......
ඉතින් අද උදේ ඉදන් ඇහෙන වචන කීපයක්...
සුබ "අලුත්" අවුරුද්දක් වේවා!!!
අලුත් කියන වචනෙට මිනිස්සු හරි ආසයි.........
ඉතින් හැමදෙයක්ම අලුතින් පටන් ගන්න සූදානම්......
ඒත් මම ඔබට සුබ පතන්නේ නෑ  කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන්...
ඒ වෙනුවට මම පුංචි දෙයක් කියන්නම්....

මේ අලුත් අවුරුද්දේ අලුත් දෙයක් පටන් ගන්න කලින් මතක් කරන්න පරණ අවුරුද්දේ කරන්න බැරිව අතරමග අතෑරලා දාපු දේවල් ගැන... නරකද ආයෙමත් අතරමග නතර කරපු දේ අවසානයක් වෙනකන් මේ අවුරුද්දේ ඇදගෙන ගියොත්!!!!!

අපි කොච්චර කිව්වත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන අවුරුද්දක් ගැන... ඔබට මතකද ඒ වගේ අවුරුද්දක් පහු වුනා කියලා මේ ජීවිත කාලෙදිම? නෑ ඒක එහෙම වෙන්නේ නෑ .... ජීවිතේ එකතු වෙන සතුටට වඩා දශමෙකින් හරි වැඩිපුර අපිට දුක් විදින්න වෙනවා... අන්න ඒ දුක විදින්න (විදවන්න නෙමෙයි) ඔබේ හිතට හයියක් එකතු කරගන්න..

මේ අවුරුද්දෙත් ඔබේ ජීවිතේට ගොඩක් අය ඇවිදන් ඒවී... ඒත් කාටද කියන්න පුළුවන් ඒ අය ආයෙමත් ඔබේ ජීවිතෙන් පිටතට ‍නොයයි කියලා... ඒ යන අය දිහා බලලා හූල්ලන්න නෙමෙයි... ඔය හිතේ නවතින්න බලන් ඉන්න අය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් හිතක් හදා ගන්න...

ජීවි‍තේට ලැබෙන්නේ හොද දේවල් විතරක් නෙමෙයි.. නරක දේවලුත් ලැබෙනවා... ඒ දේවල් වෙන් කරලා හදුන ගන්න පුළුවන් විදිහෙ නිරවුල් මනසක් හදා ගන්න...

මේ ලෝකේ රැවටිලිකාරයෝ බොහෝමයි... කොච්චර නැ කිව්වත් අපි රැවටෙනවමයි... අඩුම තරමින් ඒ එක්කෙනෙකුගෙන් හරි බේරිලා ඉන්න උත්සහ කරන්න...

මේ ජීවිතේ හරිම කෙටියි.... අපි අරන් යන දේ ගැන නෙමෙයි අපිට දීලා යන්න පුළුවන් දේ ගැන හිතන්න පටන් ගන්න...

අවුරුද්ද අවසානයේ ආපහු හැරිලා බලද්දි සතුටින් ලොකූ හුස්මක් ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න...

ඉතින් මේ හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!



Thursday, December 27, 2012

ඉතින් ඒ මදෑ නේද


පාර දිගේ එද්දි මාව පහු කරන් ගොඩක් දෙනෙක් ගියත් ඒ අයට මං ගැන තැකීමක් තිබුනෙ නෑ. ඒත් අතරින් පතර මං දිහාවට එල්ල වෙච්ච ඇස් තියෙන වග නොදැනුනා නෙමෙයි. ඒත් මට ඒ අය ගැන ඒ හැටි වැටහීමක් නොතිබුනේ බිමට නැවුනු ඇස් දෙකෙන් මගේ කකුල් වල ඇගිලි ගණන් කරමින් ගිය නිසා.
ගණන් කරන එක.... පුංචි කාලේ ඉදන්ම මට තිබුනු පුරුද්දක්.
පඩිපෙළක් දකිද්දි.... ගස් පේලියක් දකිද්දි... පාරේ යන බස්.... ගෙවල් වල ජනෙල් ගාණ ඒ විතරක්ද මගේ ලගින්  වාඩිවෙලා ඉන්න කෙනාගේ ඇගිලි ගාන....ඇයි මගේ අතේ ඇගිලි...කකුලේ ඇගිලි... කොච්චර ගැන්නත්.. හැමදාම ගැන්නත් එපාවුනේ නෑ....

ඇගිලි ගණන් කරමින් වුනත් නොදැනුවත්වම මම හරි තැනට ඇවිත් තිබුනා. ඒක ඇත්තටම පුරුද්දට වගේ වෙන දෙයක්. ඒකට කියන හරි වචනේ ගියා කියන එක නෙමෙයි...ඉබේම ගියා වගේ දෙයක්....
මම දොරින් ඇතුළු වුනා... මම දැනන් හිටියා මම ඇතුල්වෙනවත් එක්කම ගොඩක් දෙනෙක්ගේ ඇස් මගේ පැත්තට හැරෙන වග. අවුරුදු තුනක් හතරක් ගෙවිලා ගියත් තාමත් ඒ ඇස් වලින් බේරෙන්න මට බැරි වුනා. මොනවා වුනත් ඒ ඇස් වල පිරෙන්නේ මොනවගේ අදහස් ද කියලා අමුතුවෙන් ඔළුව උස්සලා බලන්න උවමනාවක් මට තිබුනෙ නෑ. ඒ ඇස්වල, වගේම පල් හෑලි කියවෙන කටවල් වලින් පිටවෙන මුණුමුණුවල් මේ හිතේ පතුලෙ හැමදාමත් ඇදිලයි තිබුනේ. ඒවා මට අලුත් දේවල් නෙමෙයි. තවමත් බිමට නැමුනු ඇස් වලට වටේ ඉන්න හැම එකාවම පේන වග එයාලා නොදන්නවා ඇති. බලන්නේ ඇස් වලින් විතරයි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ... එයාලා දන්නෙ නෑ හිතටත් බලන්න පුළුවන් කියලා. ඇස් තිබුනත් මම ගොඩක් දේවල් බැලුවෙ හිතෙන්. ඇස් වලට පේනවට වඩා ගොඩක් දේවල් හිතට පේනවා.

වටේටම මුනුමුනුවවල් ඇහුනට ඒවා නෑහුන ගානට මම මගේ පුරුදු තැනටම ගියා. දේශනේ පටන් ගන්න වෙලාව පහුවෙලා... ඒත් තාමත් සර් ඇවිත් නෑ...ඒක එයාගේ පුරුද්ද.... කැම්පස් එකට ආපු මුල්ම දවස වල සින්නො කියලා දුන්නේ දේශනේ විනාඩි 15ක් පරක්කුයි නම් නැගිටලා යන්න කියලා... ඒත් අද? කාටවත් එහෙම නැගිටලා යන්න උවමනාවක් නෑ. සමහරු තමන්ගේ ලෝකවල... තවත් සමහරු තවත් කෙනෙකුගේ  ලෝකෙක... එවගේම තවත් කොටසක් ඒ ඒ ලෝක වල ඉන්න එවුන් ගැන චරිත සහතික දෙන ගමන්...... එතකොට මම?? සටහන් පොත දිග ඇරගෙන පෑනත් අතින් අරගෙන ලියන්න බලාගෙන හිටියේ... ඒකත් පුරුද්දට වගේ. අවුරුදු ගාණක් තිස්සේ කරපු දේනේ. න්‍යායන්....... සංකල්ප... නිර්වචන...... පොත පුරාම පිරිලා ඉතිරිලා.. ඒත් ඔළුවේ?
තාමත් වටේටම ගෝසාව...මේ තරම් සද්දෙ මොකද?? ඇදිලා ගිය මූණු...කල්පනාවෙන් පිරිච්ච මූණු.. ගොඩක් එක පොදියට...  දැනුයි තේරුනේ... අද තමයි අපි දේශන වලට ඉන්න අන්තිම දවස......... මේක දාලා යන්න බැරිවුන අයගේ මූණුයි ඒ ඇද වෙලා ගිහින් තියෙන්නේ....
ඒත් මට...හීන් සතුටක්..............
සර් ආවා දුවගෙන වගේ... 
සතුටට තිතක්... පෑන තියා ගත්තා රූල උඩින්..... 
සර් කියනවා අපි ලියනවා... අපි ලියනවා සර් කියනවා... 
මොනවා ලියනවද කියලා තේරුමක් නෑ. කොහොමත් දැන්ම ඕවා තේරුම් අරගෙන මොකටද? විභාගෙට දවසකට දෙකකට කලින් තේරුනොත් මදෑ... ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ ..ඒ තියරියට මම කැමති වුනේ මේ ළගකදි ඉදලා... 
හිතට හරි නිදහසක් ඒක....
නිදහස.......... 
දවසක් කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි එයා කියනවා එයා කැමතිලූ එයාට කුරුල්ලෙක් වෙන්න පුළුවන් නම්... කුරුල්ලෝ හරි නිදහසේ ජීවත් වෙනවලු.....
ඒක ඇත්තක්ද? 
කුරුල්ලෝ නිදහසේ ජීවත් වෙනවද? ඒත් මම නම් හිතන්නේ උන්ට අපි හිතන තරම් නිදහසක් නෑ... උන් කෑම හොයා ගන්න ඕන...කූඩූ හදා ගන්න ඕන.. බිත්තර ටික රැක ගන්න ඕන පැටව් ටික රැක ගන්න ඕන.. වහිද්දි නොතෙමී ඉන්න තැනක් හොයා ගන්න ඕන... තමන්ව මරාගෙන කන්න බලන් ඉන්න පූස් තඩියෝ ගැන කල්පනාවෙන් ඉන්න ඕන... තව කොච්චරක් දේ තියෙනවද උන්ටත් කරන්න...
නිදහස ඇතිවෙන්නෙ හිතේ.......... 
මොන තරම් වැඩ කන්දරාවක් වුනත් හිතේ සන්තෝසෙන් කරනව නම් අපි ඉන්නෙ නිදහසේ. ඒත් හිතේ ඔය තත්වෙ නැත්තම් ඕකේ අනිත් පැත්ත...
දේශනේ අවසන් වෙලා යද්දි හැමෝගෙම  කටින් පිටවුනේ අදින් පස්සේ මේ වගේ එකතු වෙන්නෙ නෑ නේද කියන එක........... ඒ අස්සේ කෙනෙක් කණුවක් බදාගෙන අඩා වැටෙනවා. ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු මම පාරට ආවා.
ඒ අතරේ කෙනෙක් මගෙන් අහනවා... 
ඔයාට දුක නැද්ද මෙහෙන් යන්න?
නෑ මට දුකක් නෑ... මගේ උත්තරේට එයා කැමැත්තක් දැක්කුවෙ නෑ..
ඔයාට දුක නැද්ද යාළුවෝ දාලා යන්න... ආයෙමත් ප්‍රශ්නයක්...
අපි ආයේ කොහේ හරි හම්බවෙයිනේ... ඉතින් ඇයි දුක්වෙන්නේ?
ඒ වුනාට මට නම් දුකයි...අපිට මේ යාළුවෝ ආයේ හම්බ නොවෙන්නත් පුළුවන්...
ඔව් වෙන්න පුළුවන්....ඒත් අපි දුක් වුනා කියලා අපිව මෙහෙ නවත්ත ගන්නේ නෑනේ..... වෙලාව ආපුවම කාටවුනත් යන්න වෙනවා....
අපි හරියටම දන්නව නම් අපිට මේ දේවල් අතෑරලා යන්න වෙනවා කියලා ඇයි ඉතින් දුක් වෙන්නේ? හෙටින් පස්සේ ජීවිතේ මීට වඩා වෙනස්........ මම කැමතියි ඒකට... 
ජීවිතේ එකම විදිහට ගෙවිලා යද්දි කෝ ජීවිතේට අත්දැකීම්.....
අපි දවසක් හරි මේකෙන් යන එක ගැන දුක් වෙවි ඉන්නව නම් ඒකෙන් වෙන්නේ අපිට ඉස්සරහට ලැබෙන්න තියෙන ජීවිතෙන් දවසක් නාස්ති වෙන එක.........
ඔය කිව්වට අන්තිම මොහොතේ ඔය ඇස් වලටත් කදුළු එයි.
මංදා මට නම් එහෙම හිතෙන්නෙ නෑ...ඉස්කෝලෙ දාලා එන දවසෙ වත් මම ඇඩුවෙ නෑ... මොකද එදා මට බලාපොරොත්තුවක් තිබුනා කැම්පස් එන්න... අද කැම්පස් එක දාලා යන්න වුනත් ඒ ගැන මට දුකක් නෑ. මොකද මම මගේ අරමුණු වලින් එකක් ඉෂ්ට කර ගෙන ඉවරයි... දැන් අලුත් බලාපොරොත්තුවකට කාලේ හරි...
එතනින් එහාට එයා මොනවත් කිව්වේ නෑ...
ජීවිතේ අතෑරෙන දේවල් බලෙන් අල්ල ගනිද්දියි දුක දැනෙන්නේ....... ඒත් කිසි දෙයක් අල්ල නොගත්තම.. තමන් වෙනුවෙන් ඉතිරි වෙන පුංචිම දේටත් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්...

කැම්පස් ජීවිතෙන් මගේ වටේ ඒ විදිහට ඉතිරි වුනු මතක සටහන් ගොඩයි....   
ඉතින් අද මට සතුටින් ඒකට සමු දෙන්න පුළුවන්... 
න්‍යායන් සංකල්පයන් මගේ ඔළුවේ රැදිලා නෑ... 
ඒත් මම ජීවත් වෙන හැටි ඉගෙන ගත්තා... එක පාරක් වැටෙද්දි දෙපාරක් උත්සහ කරන්න ඉගෙන ගත්තා... රෝද හතරක් උඩ ගෙවෙන ජීවිතේට වුනත් වටිනාකමක් දෙන්නේ කොහොමද කියලා මම ඉගෙන ගත්තා...

ඉතින් ඒ මදෑ නේද