Thursday, September 21, 2017

විශ්මයාර්ථ ඇස්!!!!!!



සත්තු වත්තක කූඩු කරපු සත්තු දිහා අපි ගිහින් කන්න වගේ බලන් ඉද්දි....... උන්ව බලලා හිනා වෙද්දි උන්ට මොනව හිතෙනව ඇද්ද කියල මම වෙලාවකට කල්පනා කරනවා.... සමහර වෙලාවට ඒ සත්තුන්ට මොනවත්ම හිතෙන්නෙ නැතුව ඇති...  සමහර විට හිතෙනවත් ඇති...

කවුරුහරි කෙනෙක් තමන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා නම් ඒ වෙලාවට දැනෙන හැගිම කොහොම වුනත් හොද එකක් නම් නෙවෙයි කියලා  මම දන්නේ ඒ හැගීම මමත් අත් විදින නිසා.....


හිතේ සතුටින් වැඩට ගියත් කොහෙන් හරි එන ඒ විශ්මයාර්ථ ඇස් එක්ක හැප්පෙන එක ලේසි දෙයක් නෙමෙයි... කොච්චර ගණන් නොගෙන හිටියත් අපේ සමහර මිනිස්සුන්ගේ පුදුමයෙන් පිරිච්ච ඇස් දරාගන්න එක හරි අපහසුවක්....


"ඔයා දැක්කද එයාව.... දැක්කද එයා ලියන හැටි..... "

කෙනෙක් තවකෙනෙක්ට ඇගිල්ලෙන් ඇනලා මාව පෙන්නද්දි මම නෑහුණකන්ව ඉන්නවා...

පුංචි දරුවෙක් ඒ විදිහට බලන එක අමුත්තක් විදිහට මට දැනෙන්නේ එහෙමත් වෙලාවක.... මොකද මහ මිනිස්සුන්ට වඩා වෙනස් ඇස් ඒ දරුවන්ට තියෙන නිසා ... පුංචි එවුන් කෙලින්ම මගේ ලගට එන්නේ නෑ.... වටෙන් වටෙන් ඇවිත් මගේ නිල රථය දිහා බලනවා... මගේ කකුල් තියෙනවද බලනවා... ඒ වෙලාවට මට හිනා යනවා... ඒ හිනාවත් එක්කම මම එයාලට කතා කරනවා.. 

"මාත් එක්ක රෝද පුටුවේ රවුමක් යමුද" 

මම එහෙම අහද්දි ඒ මුණුත් හිනාවකින් පිරෙනවා... හැබැයි ඒත් එක්කම දිග ප්‍රශ්න පත්තරයක් දිග ඇරෙනවා.... ඔය අතර අති පණ්ඩිත පොඩි මහාචාර්යවරු නැතුවමත් නෙමෙයි.... එහෙම අයට නම් මගේ එක රැවිල්ලක් නැතුවම බැරිවෙනවා... මොකද ඒ අහන ප්‍රශ්න දරා ගන්න ටිකක් විතර අමාරු නිසා.......

දවසක් පුංචි කෙලි පැටික්කියක් මගේ ලගට දුවගෙන එනවා... වටෙන් වටෙන් ඇවිත් හිනා මූණක් දාලා ප්‍රශ්න පත්තරේ දිගාරිනවා....

"ඇයි ඔයා රෝද පුටුවක ඉන්නේ?"
 
"මේක මගේ අලුත් වාහනේ නිසා...." මම හිනා වෙලා කටට එන උත්තරයක් දෙනවා...

"බොරු කියන්න එපා.. ඔයාට කකුල් නෑ?" හයියෙන් කැගහපු මේ කෙල්ල මේසේ යටින් නැවිලා මගේ කකුල් හොයනවා... 

සෙනගක් මැද්දේ පුංචි එකීගේ හැසීරිම මාව අසරණ නොකෙරුවාමත් නෙවෙයි.. ඒත් මට ඒ දරුවා ගැන කේන්තියක් දැනුනේ නැ... කේන්තියක් දැනුනේ ඒ දරුවාගේ හැසිරිමත්, ප්‍රශ්න කෙරිල්ලත් දිහා බලන් හිනාවෙවි හිටි ඒ දරුවගේ අම්මා ගැන....

සමහර වෙලාවට අම්මම උගන්නලා දරුවව මගේ ගාවට එවනවා.... ඒ වගේ මිනිස්සු ගැනනම් ම‍ට ඇති වෙන්නේ මහා පිළිකුළක්.... අර දරුවා මැලිකමින් ඇඹරෙද්දි ඒ දරුවව මගේ ඉස්සරහට තල්ලු කරනවා....

"ගිහින් අහන්නකෝ ඒ ඇන්ටිගෙන් ඇයි එහෙම ඉන්නේ කියලා??"

"අනේ පව් නේද"

"බලන්නකෝ ඒ ඇන්ටිගේ ඇගිලි වල චුටි"

"ලගට ගිහින් බලන්නකෝ එයා ලියන හැටි..."
 
පුංචි එකාව මගේ ඉස්සරහට තල්ලු කරනවා.... ඒ වෙලාවට නම් ඔළුව කෙලින් කරලා බලන්න බැරි තරම් කේනිතියක් එනවා...ඒත් මේ මම රස්සාව කරන තැන නේද කියලා හිත තද කර ගන්නවා...

ඇයි මිනිස්සුන්ට මේ තරම්වත් සාමාන්‍ය දැනීමක් නැත්තේ කියන එක ගැන මට පුදුමයි... තවකෙනෙකුගේ අඩුපාඩුවක් එයා ඉස්සරහම රස කර කර විදින එක මොනවගේ හැගිමකින් කරනවද කියලා මම දන්නේ නෑ... 

ඉස්සර නම් ඒ වගේ මිනිස්සු ඉස්සරහ මුළු දත් සෙට් එකම පෙන්නලා හිනා වෙලා එක දිගට බලා ඉන්න පුරුද්දක් මට තිබුණා.. මොනව වුනත් ඒක හරි සාර්ථක ක්‍රමයක් ..... ඒ හිනාවට මිනිස්සු බයයිද ලැජ්ජයිද මන්දා.. කොහොම හරි ඉක්මනින් තමන්ගේ විශ්මයාර්ථ ඇස් මගෙන් අයින් කරගන්නවා.... ඒත් දැන් රාජකාරි කරන තැන ඒ වගේ හිනාවක් දාන්න විදිහක් නෑ.. මොකද රාජකාරි කරන තැනකට ඒ හිනාව ගැලපෙන්නේ නැති නිසා...

සමහර මිනිස්සුන්ගේ හැසීරිම් කවමදාවත් වෙනස් වෙන ඒවා නෙවෙයි... එයාලා දිහා බලන් ඉන්න දරුවොත් හැදෙන්නේ ඒ විදිහට... ඒක මහා අවාසනාවක්....
.
තමන්ට වගේම තමන් ඉස්සරහ ඉන්න මනුස්සයාටත් හැගීම් දැනීම් තියෙනවා කියලා විතරක් වත් තේරුම් ගන්න මේ මිනිස්සුන්ට පුළුවන් නම් මේ රට මීට වඩා ටිකක් හරි වෙනස් වේවි......

3 comments:

  1. මටත් ඔය ඇස්දෙක , කට ඇරගෙන මගේ දිහා හරි වෙන කෙනෙක් දිහා හරි බලන එකට මාරම තරහයි. ඇත්තම කිව්වොත් මම එහෙම මිනිස්සු දිහා රවලා බලලත් තියෙනවා.

    මේ අත්දැකීම ඔබගේද? නිකමට අහන්නේ... උත්තර දුන්නේ නැතත් කමක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් ලිඛිතා මේක මගේම අත්දැකීමක්... හැමදාම වගේ මූණදෙන

      Delete
  2. සහෝදරි මේ සමාජේ වැරද්දක් ඕක.තමුන්ව එතනට ආදේශ කරලා හිතන්න පුරුදු වෙලා නැති කමේ වැරැද්ද ...
    "මට එහෙම වුනොත් කොහොමද ?"වැඩි දෙනෙක් එහෙම හිතන් එවුන් නෙමෙයි ..

    ReplyDelete