Sunday, January 31, 2016

යක්ෂයාට ප්‍රේම කලෙමි....



යක්ෂයින් ප්‍රේම කරන්නට නොදන්නේ යැයි කියන්නෝ කවුරුන්ද??

යක්ෂයින් තරම් සොුරු ප්‍රේම අඥාදායකයින් තවත් නොමැති බව මා ඉුරාම දනිමි...

ඒ මා යක්ෂයාට ප්‍රේම කළ බැවිනි....

යක්ෂ ප්‍රේමයක කිමිදෙන්නට නම් යක්ෂ හදවතක් තිබිය යුතුමය....බොහෝ දෙනා දුටු අහිංසක බොළද පෙනුමට යටින් ඇති යක්ෂ හදවත හැදින ගත්තේ ඔහුය..ඔයා හරි අහිංසකයි කියූ අය අතර උඹ මහා යක්සනියක් කියු ඔහු මාගේ සිත පැහැර ගත්තේය...

මා වටා කැරකෙමින් එල්ල කල ගල් මුල් පහරවල් වලට ප්‍රතිප්‍රහාරයන් එල්ල වූ පසු ඒ යක්ෂ ඇස් තිගැස්සෙනු මා දුටිමි.... ඉන් මා ලැබූ සතුට අපමණය... මේ ක්‍රීඩාවට මා මෙන්ම ඔහුද නිරායාසයෙන්ම යොමුවූ බවක් පෙනුනු අතර ඔහුද ඉන් කුරිරු සතුටක් ලද බව මා විශ්වාස කරමි. අප අවට සිටිනවුන්ගේ විස්මය පිරුණු ඇස් මාගේ අවසානය දැන් එතැයි දැන් එතැයි බලා සිටියේය..

''ඌ උඹව හපයක් කරලා දායි...'' ඔවුන් නිතරම පැවසූයේය.

එනමුදු එසේ වූයේ නැත... මීයෙකු තම ග්‍රහණයට ගත් බළලෙකුගේ මෙන් සිතේ ඇති වන උද්දාමයකින් යුතුව ඔහු මා සමග සෙල්ලම් කලේය... ඔහුගෙන් ලද පහරවල් මග හරිමින් ඔහුව තව තවත් කෝප ගන්වන්නට මා සිත යොමු වූයේ ඇයි දැයි මා නොදනිමි... ඔහු ආදරය කලේ මා තුල වූ යක්ෂණියටය... එසේම ඔහු වෛර කලේද ඒ යක්ෂණියටමය..

මේ සියල්ලෙන් හති වැටුනු පසු ඔහු මා එළවා දමයි....
''මගේ දෑහැට නොපෙනී පල යන්ට යක්සනී....''
තව දුරටත් නොයිද මා පලා යමි.
හති වැටෙන තුරු දුවමි...
ඒ යක්ෂ පහරවල් වලට ශාප කරමින් දුවමි..
කොතරම් දුර දිවූවද ඔහුගේ විසල් සෙවනැල්ලෙන් මිදීමට නොහැකි බව හදවතට තේරුම් යන තෙක්ම දුවමි... හතිවැටුනු  මා අවසන නවතිමි. එහෙත් මා තවමත් ඔහුගේ පාමුලය..

මා බීමතින් වැටී සිටි ඔහුගේ පපුව මත කණ තබා බලමි... යක්ෂයාටද හදවතක් ඇත....එයද මාගේ හදවතේ ගැස්මට සමානව ගැහෙයි... ඒ රිද්මයට මා කවදත් ආසය...

''උඹ තවම ගියේ නැද්ද ?'' රතුවූ ඇස් නැවත මගෙන් අසයි...

මා නිරුත්තරය...

''මොන මුලක්ද තවත් කරන්නේ? පලයං කියලා නේද කිව්වේ?''

එයටද මා නිරුත්තරය...
''අම්මපා උඹ නම් යක්සනියක්ම තමයි.''.
''ඇයි උඹට අනික් ගෑණු වගේ වෙන්ට බැරි? ''
''උඹ අඩන්ට ඕන, උඹ වැළපෙන්ට ඕන... ඒත් උඹ හිනා වෙනවා...'' ඔහු තනිව මුමුණයි....

''ඔය නැහැදිච්ච හිනාව දැක්කම මට උඹව මරන්ටම හිතෙනවා...''
ඒ වචන වල ආදරේ දැනෙන්නේ මට විතරය....

මා දෙස බලා හූල්ලන අය බොහෝ වෙති. ඔවුනට අනූව මා මේ ගෙවන්නේ පූරුවේ කරුමයකි... 
''උඹ විහින් වලේ වැටුනේ .... දැංවත් දමා ගහල වරෙං..'' බීරී අලින්ට වීණා ගහනවා සේ මේවා ඇසී නෑසී යයි... 
මා හට නෑසුනද ඔහුට ඒවා ඇසුණු බව මා තේරුම් ගත්තේ ඔහු මා හැර ගිය පසුවය... ඔහු මා හැර ගියේ නිකම්ම නොවේ .. මා තුල වූ යක්ෂණියද ඇදගෙනය....

ඔහු නැති තැන මාද නොමැති බව ලෝකයා දැන සිටියේ නැත...

ඔහුගේ සෙවනැල්ල පාගා නැගී සිටි මා ලෝකයා ඉදිරියේ මහා වීරයෙකු වූවද මා පරැලක් සේ මුල්ලකට ඇද දමන්නට ඔහුට හැකි විය.....උහුලන්නට වේදනාවක් නොමැතිව හිත සාංකාවෙන් පෙළෙයි...
දැන් දැන් මට පිස්සු යැයි කියනා ලෝකයා නොදත් එකම දේ මා යක්ෂයාට ප්‍රේම කළ බවය...................

3 comments:

  1. මේ පටන් ගත්තු පටන් ගැනීම සාර්ථක ව මේ වසරේ ලිවීමට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා...... ජයවේවා

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ප්‍රේමය එකිනෙකා කියවන්නෙ එක එක විදියට.අනුන්ගේ ජීවිතවලින් තමුන්ගේ ප්‍රේමය හොයන්න නොයා තමුන් ඒකට කියැවීමක් හදාගන්න එක වටිනවා.. නමුත් ඉතින් ප්‍රේමයයි වෛරයයි අතරේ සම්බන්ධතාවක් තියෙනවාය කියන එක මම නොපිළිගන්නා කාරණාවක්.. මේ වසරේ දිගට ම ලියන්න සුබ ප්‍රාර්ථනා කරනවා අක්කාට..)

    ReplyDelete