Saturday, December 31, 2011

සිනාසෙමු අපි හදවතින් අද

පිපෙන මල් වල පාට අරගෙන
සිතුවමක් ඇද
නුඹේ හිත මත
ගයනු මැන ගී තුටින් හැම කල....

රිදුනු හිත් සැම තුටින් හිනහෙන
දුකින් තොරවු සැපෙන් ඉතිරෙන
හෙටක් වෙනුවෙන් නැගෙන හිරු ලග
සිනාසෙමු අපි හදවතින් අද
මේ ලැබු  නව වසර සියලුම දෙනාට සුබම සුබ වේවා!!!!!

Wednesday, December 28, 2011

රිදවන්න කලියෙන් සිතක්- දැනගන්න කදුළක බර..

 
බිම බලා හඩන සද- සනසන්න හිතන් මම
ලියූ කවි බලා නුඹ- හිනහුනා ඔච්චමට...

ලියූ කවි සෙනේ කොළ- විසි කරලා ගං දියට
පාවෙනා හැටි බලන්- සිනාසුන නපුරා නුඹ..

සෙනහසේ කදුළු වල -උණුහුම නොදත් නුඹ
බොල් පිළිමයක් විය එදා- ආදරේ නොහදුනන..

ආදරේ කදුළින් නෙත්- තෙමා ගත් නුඹ
අද දකින විටදි- හිනහුනා මගේ හිත..

නුඹට වන් හිත් නැතත්- සරදමක් කරන්නට
රිදවන්න කලියෙන් සිතක්- දැනගන්න කදුළක බර..

Friday, December 16, 2011

ලෝකය බලන්න දෑස ඕනෙමද?

                      ගොඩක් දවසකින් මේ පැත්තට ආවේ නැ.  ආවේ නෑමත් නෙමෙයි එන්න හිතුනේ නැ. හිත් රිදිම් ගොඩාක් අතරේ අමාරුවෙන් හිනා වෙලා හිනා වෙලාම මහන්සියි දැන්. ඇත්තට හිනා වෙනවට වඩා ගොඩක් අමාරුයි බොරුවට හිනා වෙන එක. කදුළු වලට මිනිස්සු කැමති නැ. ඒ නිසාම අමාරුවෙන් හරි අපි හිනා වෙන්න ඕනේ... මට එහෙම කීවේ ඇස් දෙකම නොපෙනුනත් හිතෙන් ලෝකය දිහා අපුරුවට බලන නංගි කෙනෙක්... පහුගිය ටිකේ ඒ හැටි වැඩක් නොතිබුනත් කැම්පස් ආයෙත් පටන් ගත්ත නිසා පඩිපෙළවල් එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වුනා ආයෙමත්. මේ සැරේ මම කරන්න හිතාගෙන හිටපු විශයයන් තුනක් අතැරියා පඩිපෙළවල් හිංදම..  ජිවිතේ එක කරදරයක් ඉවර වෙද්දි තව එකක්.. එක බලාපොරොත්තුවක් බිදෙද්දි තව එකක්... මේ ජීවිතේ  හරි පුදුමාකාරයි..
                         කොහොම හරි මේ දවස් වල මට අලුත් යාළුවෝ දෙතුන් දෙනෙක් හම්බ වුනා.. හොස්ටල් එකේ අපේ රූම් පේළිය වෙන් කරලා තියෙන්නේ ආබාධිත අයට..  ඉතින් ඒක වෙනම රාජධානියක් වගේ තමා...අලුතින් ආපු නංගිලා කීපදෙනයි අපේ පරණ සෙට් එකයි එක්ක නිදහසක් ඇත්තෙම නැ... කොයි වෙලේ බැලුවත් අක්කේ... කියාගෙන කාමරේ දොර ගාව.. එයාලා හැමෝම දෙනෙත් නොපෙනන අය... අපට මේ ටිකේ  වැඩි වැඩක් නැති නිසාම කටවල් වලට නිදහසක් ඇත්තෙම නැ... ඔය අතරේ තමයි වලට (සරච්චන්ද්‍ර එළිමහන් රංගපිඨයට) නාට්‍යයක් ආවේ... කාලෙකින් නාට්‍යයක් බැලුවේ නැති නිසාත් යාළුවෝ හැමෝම ඒක බලන්න යන හිංදත් මමත් ගියා බලන්න... බකමූණා වීදී බසී.... ඒක බලලා ආවට පස්සේ නිතරම මගේ කාමරේට ඔළුව දාන සරෝ නංගි ගොඩාක් ආසවෙන් නාට්‍ය ගැන තොරතුරු ඇහුවේ... මම කැම්පස් ආවත් හරි වලට ගිහින් නැනේ අක්කේ... ආයේ නාට්‍යයක් ආවම මාවත් එක්ක යනවද... පෙනුනේ නැතිවට අහන් ඉන්න පුළුවන්නේ.... එයාගේ ඒ ඉල්ලීමට මුළු හිතම හෙල්ලුනා.. ඒවගේම අනෙක් දවසේ අනිවාර්යෙන්ම එයාවත් එක්ක යන්න අපි පොරොන්දු වුනා..  
            ඊළග සැරේ ආවේ ගැබ්බර මිනිසා නාට්‍ය....  ඒ වෙනකොට මට හොදටම උණ හැදිලා මුළු පලාතටම ඇහෙන්න කහින ගමන් උන්නේ.. ඒත් ඉතින් නාට්‍ය බලන එක නවත්තන්න ඒ වගේ පොඩි ලෙඩකට බෑනේ.. ලෙක්චර්ස් ඉවර වෙලා අපි හොස්ටල් එද්දිත් නංගා ලැස්ති වෙලා... 7.30ට තියෙන නාට්‍ය බලන්න 5.30 වෙනකොට ලෑස්තියි..  අපි කෝකටත් නංගාව කලින්ම යැව්වා හොදට ඇහෙන තැනක ඉන්න ඕන නිසා.. මම කවදත් හිටියේ පිටිපස්සෙම නිසා ගියේ පරක්කු වෙලා... මුළු වලම සෙනග පිරිලා තිබුනේ... ඒ අතරින් මම නංගාව දැක්කේ... සතුටින් පිරුණු හිනාවක් ඒ මුණේ තිබුනේ...නාට්‍ය පුරාවටම ඒ හිනාව රැදිලා තිබුනා...ඉතින් කවුද කියන්නේ මේ ලෝකේ දිහා බලන්න ඇස් ඕනමයි කියලා?? මේ ලෝකය බලන්න ඕනේ ලස්සන හදවතක් විතරයි..  ඇස් දෙකක් තිබුනත් ලෝකය නොදකින මිනිස්සු කීදෙනෙක් මේ පොළවේ ඉන්නවද????  ඒ වගේම ඇස් දෙක නොපෙනුනත් මේ ලෝකය දකින හදවත් කීයක් නම් මේ පොළවේ ඉන්නවද??? කවදා හරි හිතුනද ඒ ගැන....

Monday, November 14, 2011

වැදි පරම්පරාව පැවත එන්නේ කු‍වේණිගෙ දරු දෙදෙනාගෙන්ද

        අද මේ ලිපියෙන් මම කියන්න හදන්නේ අපේ රටේ ආදීවාසින් එහෙමත් නැත්නම් සාමාන්‍ය විදිහට වැද්දො කියලා හදුන්වන සමාජ කොට්ඨාසයේ වගතුග ටිකක්... 

                       වැදි ජනතාව කියන්නේ අපේ රටේ පැරණිම ජන කොට්ඨාසය කියලා හැමෝම දන්නවනේ..මොවුන්ගේ වාසස්ථාන පැතිරිලා තියෙන්නේ නැගෙනහිර, ඌව පළාත් ආශ්‍රිතව.. ඕනැම රටක ආදී වාසීන් අතර තම ජාතියේ ආරම්භය ගැන විවිධ ජනප්‍රවාද, ජනකතා වගේ දේවල් පැවතෙනවා.. වැද්දන් අතරත් මේ වගේ මතවාද කීපයක්ම තියෙනවා. ඒ මතවාද අතර වඩාත්ම ජනප්‍රිය එක තමයි

තම මුතුන්මිත්තන් පැවතගෙන එන්නේ කුවේණියගේ දරුදෙදෙනාගෙන් බව.
 අනෙක් මතය තමයි විජය රජුගේ බෑණාකෙනෙකු වු පණ්ඩුවාසුදේව රජුගේ දිවිදොස් නැසිමට මලය රටේ මලරජුගේ පාරම්පරිකයන් විසින් ඔවුන්ව එවපු බව...
 
ඒ වගේම ඔවුන් අතර තියෙන එක ජන කතාවක් තමයි  එක කාලෙක අපේ රටේ හිටපු දරුණු රජ කෙනෙක් මිනිසුන් මරාගෙන කෑම නිසා එයින් බේරිමට කැළයට පැන ගිය පිරිසෙන් පැවතගෙන එන බව..
                   කොහොම වුනත් සාමාන්‍ය පිළිගැනීම කුවේණියගේ දරුදෙදෙනාගෙන් පැවත එන බව... එසේ වුනත් මොවුන් පැවතගෙන එන්නේ මධ්‍යධරණී සහ නීග්‍රිටෝ(ඉන්දියාවේ ප්‍රධාන ආදීවාසී කොට්ඨාසයක්) කියන පිරිසගෙන් බව විවිධ පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම යක්ෂ සහ නාග කියන ගෝත්‍ර වල මිශ්‍ර විමකුත් සිදු වෙලා තියෙනවා. වර්ථමාන වැදි ජනතාවත්  ඉන්දියාවේ වනගත පෙදෙස්වල මේ වන විටත් ජීවත් වෙන මාලදේවන්, ඉරුලා, ෂෝලගා කියන ජන කොට්ඨාසයනුත් අතර යම් යම් සමානකම් තියෙන බවත් ඔප්පු වී තිබෙන නිසා වැදි ජනයාගේ සම්භවයට ඉන්දීය බලපෑමක් තියෙන්නට ඇති කියලා හිතන්න පුළුවන්..
ලංකාවේ සබරගමුව කියන නම හැදිලා තියෙන්නේ දඩයක්කාරයන්ගේ ගම එහෙමත් නැත්නම් වැද්දන්ගේ ගම කියන තේරුමින්.. සබර කියන්නේ වැද්දා කියන්න සමාන පදයක් ඒ වගේම කැලය කියන තේරුමත් එකෙන් කියවෙනවා.
වැදි ජනතාව අතර මිත්‍යා විශ්වාස අඩුයි...ඔවුන් දෙවිදේවතාවන් ගැන ඒ හැටි විශ්වාසයත් හෝ ඇදහීමක් සිදු කරන්නේ නැහැ.ඒත් ඒ වෙනුවට ඔවුන් මළවුන් සහ යකුන් ගැන දැඩිව විශ්වාස කරනවා. දොළ යකු, මහ කිරි අම්මා, රාහු යකා වැනි අය සදහා ඔවුන් විවිධ පුද පුජා කරයි. තම වරිගේ පුද්ගලයෙක් මිය ගියාම ඒ පුද්ගලයා නෑයකෙකු වී ඉපදෙන බව ඔවුන් විශ්වාස කරනවා.ඒ වගේම කෙනෙකු මියගියාම ඒ වාසස්ථානය අතහැර දමා යන සිරිතක් ඔවුන්ට තියෙනවා.වැදි ජනතාව අතර විවිධ උත්සව නැටුම් අදටත් දකින්න පුළුවන්. ඒ අතර 
කිරි කොරහ උත්සවය
කොළමඩුව උත්සවය
රාහුයකා උත්සවය
නෑයකු උත්සවය    වගේ උත්සව පවතිනවා.


වැදි ජනතාවගේ විවාහ ජීවිතය බොහෝම ප්‍රීතිමත් එකක් ලෙසයි සලකන්නේ. එක භාර්යාවක් සමග පමණක් ජිවත් වෙන ඔවුන් වෙනත් කාන්තාවන් සමග කිසිදු සබදතාවක්  පවත්වන්නේ නැ. ඒ වුනත් බිරිද මිය ගිය පසු වෙනත් කාන්තාවක් විවාහ කර ගැනිම වරදක් ලෙස සලකන්නේත් නෑ. වැද්දන් තම ආදරය පෙන්වන්නේ වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන්. සොයා ගත්ත ආහාර වලින් බිරිදට කොටසක් වෙන් කිරිම පළමුව කරන දෙයක්.දරුවන්ටත් එසේමයි.  විවාහයේදි ඔවුන් දෑවැද්ද ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැ. තරුණියගේ පියාට තෑගි විදිහට මී පැණි, වේලපු දඩමස් වගේ දේවල් ගෙනත් දීලා විවාහය ගැන විමසනවා. දෙමාපියන් ඒකට කැමති නම් තරුණිය විසින් තරුණයාට දිය ලණුවක් දීමෙන් විවාහය සිදුවෙනවා. උත්සව ගැනීමක් එහිදි සිදු වෙන්නේ නැ. විවාහය ගැන සලකද්දි සහෝදර සහෝදරියන් අතරර විවාහයට දැඩි තහනමක් වැද්දන් අතර තියෙනවා.ඒත් මේ තහනමයි කුවෙණිගේ දරු දෙන්නගෙන් වැද්දන් පැවතගෙන එනවා කියන කතාවයි අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා?
 වැද්දෝ ගැන කතා කරද්දි වැදි භාෂාව ගැන කතා නොකරම බෑනේ.... මොවුන් කතා කරනවට වඩා ඉගියෙන් අදහස් දැක්වීමට කැමතියි. ඒකට හේතුව දඩයමේ යද්දි වැඩි සද්ද බද්ද කිරිම් සිදු නොකරන නිසා වෙන්න ඇති. එහෙම වුනත් වැදි ගීත, නැලවිලි කවි ඔවුන් අතරේ නොඅඩුව දැකගන්න පුළුවන්..ඒ වගේමයි මන්ත්‍ර වගේ දේවලුත්.

මේ තියෙන්නේ වැදි ගීතයක්
වැල්කොබ්බා වැල දුන්න නමා ගෙන
මොරියන් කෙච්චක් කර වතුරාගෙන
වැල් ඉච්කෙයියා පිටට දමාගෙන
දෝනී කෙල්ලක් ඉච්චර කරගෙන
එන්ඩලු මගෙ පුත කිරි බෑනා

වැදි යාදින්නක්
හෙරගල වැද්දනේ
මරගල්ල වැද්දනේ
කුබොහුගල වැද්දනේ
හු කියන වැද්දනේ
වී කොටන වැද්දනේ
මෙකී නොකී වැද්දනේ
පුද කැපගෙන් වැද්දනේ

වැදි මන්ත්‍ර
අලියට- ඉච්චට චල්ලය්
            පච්චට චල්ලය්
            දෑල දෙචල්ලය්
            සිටු අප්පා සිටු (මේක හොදයි   සදරුට )

නයාට- ඉරි දෙයියනේ චැලගි
            සද දෙයියනේ චැලගි
            පචේ බුදුන්නේ චැලගි
            සිටු චැලගි සිටු

මම ඔබට ගහනවා කියලා කියන්නේ - කැරියට ගචන්න
මම ඔබේ ඔළුව පලනවා - ඉන්තුල කොටා පලා
මං යනවා - මං ගඡ්ඡපං
ඉදගෙන කතා කරන්න -ඇන බාන බනවපන්කොයි
  
වැදි සමාජෙත් දැන් ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා. නාගරිකයන්ගෙනුයි සංචාරකයන්ගෙනුයි  පිරෙන ඔවුන්ගේ ගම්මාන  වෙනස් වෙන්න පටන් ගෙන. සරල ජීවිතේකට හුරු වෙච්ච වැදි ජනයා දැන් දැන් තම ගති පැවතුම් වෙනස් කරගන්න පටන් ගෙන...කාලයක් යද්දි නමට විතරක් වැද්දෝ වෙයිද දන්නේ නෑ



Friday, November 4, 2011

ජීවිතය වටා බැදි මහා පවුරක්...

                                      ජීවිතෙන් ගිලිහෙන හැමදේටම ගිලිහෙන්නට ඉඩ හැරිය පසුත් ජීවිතය වෙනුවෙන් කුමක් හෝ ඉතිරි වෙනු ඇතැයි මා සිතේ දැඩි විශ්වාසයක් තිබුණි. එසේ වුවද රෝද පුටුවක් මතට ඇද වැටුනු ජීවිතයෙන් මා නොසිතු තරම් දෑ ගිලිහෙමින් තිබුනි... එදා අවුරුදු දහයක පොඩි කෙල්ලක වු මාගේ ජීවිතයෙන් බොහෝ දේ පලා යන්නට වු අතර ඒවා මා අසලම නතර කරගන්නට මා බෙහෙවින්ම වෙහෙස වුයෙමි...එසේ නතර කරගත නොහැකිව හඩා වැටෙන විට මා සනසාලන්නට මා අබියස උන්නේ ඔහුය... මා දෙපයෙන් සිටගෙන දස අතේ ඇවිදින කල ඔහු රෝද පුටුවක් මතට වී බලා සිටි අයුරු අදද මට මතකය...එකල ඔහුගේ රෝද පුටුව තල්ලු කරන්නට තරම්වත් උස නැතිවු නමුදු මා හැකි වෙර යොදා ඔහු කියනා තැන් වලට ඔහුව තල්ලු කරගෙන යාමෙන් මහත් සතුටක් ලැබුවෙමි.. ඔහු මාගේ සොහොයුරාය. මගේ චූටි අයියාය. එහෙත් අප අතර තිබුනේ සහ අදටද පවතින්නේ සහෝදරත්වය ඉක්මවා ගිය  පුදුමාකාර බැදීමකි. ඒ බැදිමට දිය යුතු නම කුමක්දැයි  සිතා ගැනිමට මට කිසි විටෙක නොහැකිය....ඔහු විටෙක මට සහෝදරයෙක්ම විය...විටෙක මිතුරෙක් විය. තවත් විටෙක ඔහු මට ගුරුවරයෙකු විය. දෙවියන් විසින් මාගෙන් උදුරා ගත් දැ වෙනුවට හිලව් වශයෙන් එවන් සහෝදරයෙකු මාහට ලබා දෙන්නට ඇතැයි මා විශ්වාස කලෙමි.. 
                             පසුකලක මාද ඔහු මෙන්ම රෝද පුටුවක් මතට ඇද වැටුනු පසු අප අතර පැවති බැදීම තවතවත් දැඩි වුයේ එහි වේදනාව එක ලෙස දැනුනු නිසා වන්නට ඇත..මා පණ පිටින් වළදමන්නට යන කල එයට එරෙහිව අම්මා සමග දැඩි ලෙස රණ්ඩු කලේත් එදා මුළු දවසම කාමරයට වී සිටි සිටියේත් මාගේ වේදනාව ඔහුටද තේරුම් ගිය නිසා වන්නට ඇත. ජීවිතයෙන් බොහෝ දෑ ගිලිහෙන කල චූටි අයියා මට වඩා ප්‍රචණ්ඩකාරි විය. කිසි විටෙක පරදින්නට කැමති නොවීය.. විටෙක කුණාටුවක් මෙන් ප්‍රචණ්ඩව හැසිරෙන ඔහු ආදරය අබියස මළමුහුද මෙන් නිසංසල වෙයි. සැබවින්ම ඔහු කුඩා කල සිට මා දුටු වීර චරිතයක් විය..ලෝකයාට මා මෙන්ම ඔහුද ආබාධිතයෙකු පමණක් වුවද අදටද බොහෝ කාඩ්බෝඩ් වීරයන් අසල මා දකින සැබැ වීරයා ඔහුය..ඒ ඔහු මට ජීවිතය ඉගැන්වූ නිසාය.. 
                                     අප අතර යම් හෝ මත ගැටුමක් පැවතියේ ආදරය බෙදා ගැනිම සම්බන්ධයෙන් පමණකි. අම්මාගේ ආදරය වැඩියෙන් තමන් සතු කර ගන්නට මාත් චූටි අයියාත් ලොකු අයියාත් පිටතට නොපෙන්නු අරගලයක නිරත වුනි. බොහෝ විට අප දෙදෙනාම සිතා උන්නේ ලොකු අයියාට වැඩි සැලකිලි ලැබෙන බවයි.එසේ වුවත් ලොකු අයියා නිතරම චෝදනා කලේ අප දෙදෙනා ගැන හැරෙන්නට ඔහු ගැන එතරම් නොසලකන බවයි.මේ තත්වය තුල අප අතර සිටිමෙන් ලොකු අයියාගේ මානසික තත්වය බිද වැටි ඉගනීම අඩපණ කර ගනීයැයි බියෙන් අම්මා අයියාව ගමෙන් පිට කර ලොකු ඉස්කෝලෙක දමා ඉගැන්වීම අප දෙදෙනාගේම අසතුටට හේතු වූවාක් මෙන්ම එය අප දෙදෙනා අතර දැඩි බැදිමක් ඇති කර ගැනීමටත් ලොකු අයියාගෙන් දුරස් වීමටත් හේතු විය.අප දෙදෙනාම එකම බෝට්ටුවේ බව සිතන්නට පුරුදු වුයේ එතැන් පටන්ය. අදටද අප හා ලොකු අයියා  අතර ඇත්තේ මහා දුරස්ථ බවකි. අම්මාගේ ආදරය බෙදා ගැනීම වෙනුවෙන් එදා මෙන්ම අදත් අප අතර පවතින්නේ ආදරණිය අරගලයකි.
                  මම පුංචි පවුලක බාලයාවිමි.  සැමගේම උතුරා හැලෙන ආදරය මැද දිවි ගෙවු මා හිටි අඩියේ අසනීප වීම ඔවුන් දරා ගත්තේ අසීරුවෙන් බවද මම දනිමි.. එසේ වු පසුත් මා අසල දැවටෙමින් ජීවිතය නැමති පොත මට කියා දුන්නේ ඔහුය. වේදනාව දරා ගත නොහැකිව මරණය යදිමින් සිටි දිනයන් හිදි කදුළු වියළා ගන්නා අයුරුත් ජීවිතය ජීවත් කරවන්නට ඊට වඩා වෙහෙස විය යුතු බවත් නිරන්නරයෙන් කියා දුන් ඔහු බිදුණු හිත ගල් හිතක් බවට පෙරලා ගන්නට අවශ්‍ය දිරිය මට ලබා දුන්නේය. ඔහු ජිවිතය ඉගෙන ගත්තේ තනිවමය..එබැවින් ඔහු මට වීරයෙකුම වන්නේය.. සැබවින්ම  නොසිතු මොහොතක කැඩී බිදි ගිය මගේ සිහින මාළිගාවෙහි ඉතිරිවු නටඹුන්  රැක ගන්න මේ ජීවිතය වටා මහා පවුරක් මෙන්  නැගි සිටින්නේ ඔහුය..

Thursday, October 27, 2011

ආදරය සහ ආකර්ෂණය..

මේ මාතෘකාව පහුගිය වාරේ මගේ එක සබ්ජෙක්ට් එකක ප්‍රධාන මාතෘකාවක්...ඒ ගැන පොඩි නිබන්ධනයක් ලියන්න අපිට පැවරිලා තිබුනා.. අම්මපා උඹලා ඔව්වා ඉගෙන ගන්ටද බං කැම්පස් යන්නේ කියලා අයියන්ඩි මගෙන් ඇහුවේ මම ජංජාලේ කැරකි කැරකි ඒ ගැන තොරතුරු ටිකක් හොයද්දි...ඔන්න පහළින් තියෙන්නේ ඒකට එකතු කරපු කරුණු වලින් ටිකක්...

                            ආකර්ෂණය සහ ආදරය පිළිබදව විමසා බැලීමේදි ඒවා අතර අන්තර් සබදතාවක් දැක ගත හැකි වේ... ආකර්ෂණය ආදරයක මුලික අවස්ථාව ලෙසද ඇතමුන් සලකන අතර සාමාන්‍ය තත්වයන්හිදි බොහෝ දෙනා මෙම ආකර්ෂණය ආදරයක් ලෙස වැරදි වටහා ගැනිමකට පෙළඹේ. තරුණ ප්‍රජාව අතර මෙම වැරදි වැටහිම වැඩි වශයෙන් දැක ගත හැකි අතර තවකෙනෙකු පිළිබද තමන්ගේ සිත තුල ඇතිවන්නාවු  ආකර්ෂණය ආදරය ලෙස වරදවා වටහා ගැනීම නිසා ගැටළුකාරි තත්වයන්ට මුහුණ දුන් අවස්ථාත් බහුලව දක්නට හැකිය...
සමාජවිද්‍යාත්මකව ගත් විට ආකර්ෂණය ඇති වීමට බලපාන සාධක 4කි.

සමීපත්වය- එකිනෙකා අතර පවතින දුරස්ථ බව අඩු වීම ආකර්ෂණයට හේතුවක් බව..මෙය බොහෝ විට බලපවත්වන්නේ ප්‍රේම සබදතා.. විවාහ සබදතා වලදි...( මම නම් හිතන්නේ ආකර්ෂණයට මේ දේ බල නොපාන බවයි)

සිත් ඇදගන්නා සුළුබව-  පුද්ගලයන් තුල ඇති සිත් ඇදගන්නා සුළු බව අන් අයගේ ආකර්ෂණය දිනා ගැනිමට සමත්කම් දක්වයි..මේ ගැන පර්යේෂණ කල Russel , Feingold  වැනි පර්යේෂකයන් දැක්වන්නේ කාන්තාවන් පිරිමින් කෙරෙහි ආකර්ෂණය වන්නේ ඔහුගේ චරිත ලක්ෂණ වලට දක්වන කැමැත්ත මත බවයි. එසේම පිරිමින් කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වන්නේ ඇයගේ බාහිර පෙනුම අනුවයි.. මේ නිසාම පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන නිතරම කනගාටු වෙන බවත් මේකප් බාවිතයට වැඩිවශයෙන් යොමු වන බවත් එම පර්යේෂණ වලින් සනාථවි තිබේ.(ඇත්තද මංදා)

සමානාත්මතාවය- මෙහිදි එක සමාන තත්වයන් වල සිටින දෙදෙනෙකු තුල ආකර්ෂණය ඇති විය හැක.උදාහරණ ලෙස මිතුරු මිතුරියන්..

කැමැත්තෙන් පෙළිම- අනෙක් කෙනා පිළිබද  දක්වන කැමැත්ත අනුව ආකර්ෂණය..නළුනිළියන්ට..විශේෂ පුද්ගලයන්ට දක්වන කැමැත්ත...

                  මේ වගේ ආකර්ෂණයක් එහි සංකීර්ණ මට්ටමට පත්වු විට ආදරයට පදනම වැටේ. මෙහිදි අදහස් වන්නේ තරුණ පිරිස් අතර ඇති වන ප්‍රේමණිය ආදරයක් පමණක් නොව කුඩා බිළිදාගේ සිට වැඩිහිටි පුද්ගලයි දක්වා දිවෙන ආදරයයි. කුඩා දරුවා පළමුව ආකර්ෂණය වන්නේ තමාට සමිප පුද්ගලයන්ටය..විශේෂයෙන් තම මවගේ උණුසුම වෙත දරුවා ආකර්ෂණය වේ. ඒ තුලින් දරුවා තුල මව පිළිබද ආදරයක් ඇතිවේ. ආදරය පිළිබද සලකා බලන විට එහි ස්වරුපය අනුව වර්ග වේ.

ප්‍රේමණිය ආදරය(Romantic love)-මෙය රාගික ආදරය ලෙසද හදුන්වයි. රාගික ආදරයට ඇබ්බැහි විම කෝපි වලට ඇබ්බැහි වීම හා සමාන කරනු ලබයි..විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන ආදරයවේ.කෙටිකාලිනය.විවාහය දක්වා දිවෙන ආදරයකි.

පරාධීනආදරය( Depended  love) -එකිනෙකා කෙරෙහි රදා පවති.මෙය වඩාත් සවිමත් සදාකාලික ආදරයක් ලෙස සලකයි. මවක් සහ දරුවෙකු අතර ඇති වන්නේ මෙවන් ආදරයකි. 

සුහදආදරය- රාගික ආදරයට වඩා ගැඹුරු සහ සිසිල් වු ආදරයකි..දිගුකාලිනය.රාගික ආදරයක් පසුකාලිනව සුහද ආදරයක් පවට පත්වීමේ අවස්ථාව වැඩිය.

ආදරය ගැන සැලකීමේදි බහුතරයක අදහස වන්නේ කාන්තාව ඉක්මනින් සහ පහසුවෙන් ඊට නැඹුරු වෙන බවයි.(ඒත් ඒක පිරිමින්ටත් පොදු දෙයක් කියලායි හිතෙන්නෙ).ඒ වගේම පිරිමින්ට තමන්ගේ සිතේ පවතින ආදරයක් පහසුවෙන් ඉවත් කර ගත නොහැකියි. කාන්තාව තම ආදරය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවද වෙනස් වීමේදි පිරිමියාට වඩා ඉක්මනින් වෙනස් වේ. ආදර සබදතා වලදි ඉන් වැඩි ආශ්වාදයක් ලබන්නේ කාන්තාවය.(මම නම් දන්නේ නැ ඕවා..) 
         කොහොම වුනත්  mark twin දක්වන්නේ කවුරු ආදරය ගැන මොනව කිව්වත් විවාහ වී වසර 5ක් වත් යන තුරු ආදරය ගැන නිවැරදිව තේරුම් ගත නොහැකි බවයි... ( ඒ ගැන අහන්න ඕන අත්දැකිම් තියෙන අයගෙන්ම තමයි)


                                                                                                                                                                                                                                                                                            






Monday, October 17, 2011

හිතුව තරම් ලේසි නැති කැම්පස් ජීවිතේ

                       කැම්පස් ජිවිතේ ගැන ගොඩක් දෙනෙකුට තියෙන්නේ සොදුරු මතකයන්....ඒත් මට නම් කැම්පස් එක ගැන මතක් වෙද්දි හිතෙන්නේ අයියෝ කවද්ද මේ මගුල ඉවර වෙන්නේ කියලා....... හැබැයි බොරු කියන්නේ මොකටද කැම්පස් තේරුනාට පස්සේ නම් ඒ ගැන තිබුනේ මාර උණක්.. විශේෂයෙන්ම පේරාදෙණි එන්න...හිතුවා වගේම පේරාදෙණියට තේරිලා මුල්ම දවසේ හාහා පුරා කියලා ආවට පස්සෙයි තේරුනේ හිතුවට වඩා වැඩේ අමාරු බව. ගෙදරින් එද්දි පොදි බැදගෙන ආපූ සතුටුදායක සිතුවිලි බොහෝමයක් මුල් දවස් වලම හේදිලා ගියා..වැඩි දෙනෙකුට මුල් දවස් වල කැම්පස් එක එපා වෙන්නේ රැග් එක නිසා.. ඒ වුනාට මට කැම්පස් එක එපා වෙන්න වෙන හේතු කිපයක්ම තිබුනා. මට තිබුන ලොකුම ප්‍රශ්නේ වුනේ පඩිපෙළවල්...!!
            අපේ ෆැකල්ටියේ යන යන තැන පඩිපෙළවල්..ඒවා දැක්කම මට සසර කළකිරුණා.. අප්පොච්චියේ..!!මම කොහොමද මේ පඩිපෙළවල් වලින් යන්නේ??  මගේ ජිවිතේ මම අකමැතිම දේවල් අතරේ මුලිකම වෙන්නේ පඩිපෙළවල්... පොඩි පොඩි පඩිපෙළවල් වලින් යන එක නම් කොහොම හරි කර ගත්තත් පඩි 4-5ක් තියෙන තැන් වලින් යන එක කොහොමත් කරන්න බැරි වුනා...ඒ හිංදාම අදටත් මට ෆැකල්ටියේ ගොඩක් තැන් වලට යන්න බෑ..මේ ගැන අපේ පීඨාධිපතිතුමියත් එක්ක කතා කලාට පස්සේ යම් තරමක සහනයක් ලැබුනා..ඒ මම යන තැන් වල පඩිපෙළවල් වලට ලෑලි තට්ටුවක් දාන එක...හරස් අතට තියෙන ලෑලි උඩ රෝද පුටුවක් යවන එක ඒ තරම් ලේසි නොවුනත් එහෙම හරි පිළියමක් ලැබුනු එක හොදයි කියලා හිත හදා ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා..මේ වෙනකොට ලංකාවේ නීතියට අනුව සෑම රජයේ ආයතනයකම ආබාධිත අයට  ඇතුලු විමට හැකි වන පරිදි සකසා තිබිම අනිවාර්ය කර තිබුනත් ඒක හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා නම් මම දන්නේ නැ..  පේරා කැම්පස් එක හදලා තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් නිසා ඒ වගේ පහසුකම් සැපයීම අමාරුයි කියලයි  මගේ ඇඩියාව අහපු නිළධාරින් කීවේ...ඒ වගේම මීට කලින් අපේ ෆැකල්ටියේ රෝද පුටු පාවිච්චි කරපු අය නොසිටිය නිසා ඒ වගේ පහසුකම් ගැන අවධානයක් නොදුන් බවත් කිව්වා..හැබැයි මට පස්සේ තවත් රෝද පුටු  පාවිච්චි කරන දෙන්නෙක්ම ආව නිසා ඔවුන්ට සිද්ද වුනා තුන්දෙනෙක්ගෙම කන්කෙදිරිගෑම් වලට උත්තර දෙන්න...
                       පඩිපෙළවල් ප්‍රශ්නේ වැඩිපුරම දැනුනේ පුස්තකාලේට යද්දි...මේ වෙනකොට මගේ අවසාන අවුරුද්දත් පටන් ගත්තත් මම පුස්තකාලේට ගිහින් තියෙන්නේ දෙපාරයි.. පුස්තකාලේ තියෙන ලිෆ්ට් එක අපට පාවිච්චි කරන්න දෙන්න කියලා මුල් කාලෙදිම ඉල්ලුවත් ඒකට ප්‍රතිචාර ලැබුනේ අවුරුද්දක් ගියාට පස්සේ... මේ දේවල් එක්ක කන්කෙදිරි ගගා වැඩ කරන අතරෙදි මේ වෙනකොට යම්තාක් දුරට අපේ ඉල්ලීම් ඉටු වෙමින් යනවා..ඒත් අපි යනකන්ම ඒවා සම්පුර්ණ නොවෙන වග නම් හොදටම විස්වාසයි...මොකද මේ ලංකාවනේ.... ඒ මොනව උනත් බොහෝමයක් දෙනෙක් මට උපරිමයෙන් උදව් කලා. මගේ අම්මා.. යාළුවෝ... ගුරුවරු...අක්කලා අයියලා....ඒ වගේම උදේ හවා පාරේ යද්දි එද්දි හමුවෙන මිනිස්සු පවා ඒ අතරේ ඉන්නවා...  ඒ අතරෙම උදව්වක් ඕන වුන වෙලාවක දැක්කත් නොදැක්කා වගේ යන...වචනෙන් විතරක් පණ වුනත් දෙන ඈයොත් ඕන තරම්...මේ පඩිපෙලවල් ප්‍රශ්නේ හිංදා මම දේශන මගඇරපු අවස්ථා ඕන තරම්..සමහර වෙලාවට කම්මැලි හිතුනම ඒ පිටින් දාලා මග ඇරලා ගෙදර ආපු අවස්ථාත් එමටයි....පහුගිය වාරේම සදුදා දවස මම ගෙදර හිටියේ ඔය පඩිපෙළවල් ප්‍රශ්නේ හින්දා මට දේශන වලට සහභාගි වෙන්න බැරි නිසා...
                        පඩිපෙළවල් ප්‍රශ්නේ ඇරුනම මට මුල්ම දවස් වල තිබුන තවත් ප්‍රශ්නයක් වුනේ හොස්ටල් එකේ ඉදලා ෆැකල්ටියට එන දුර... ඒ වෙනකොට මම කවදාවත් පාරක රෝද පුටුවෙන් ගිහින් තිබුනේ නැ.ගමේදිවත් මම පාරේ රෝදපුටුවෙන් නොගියෙ පාරේයන අනික් මිනිස්සු මම දිහා බලන අමුතු විදිහ නොරිස්සු නිසා..ඒත් කැම්පස් එකේදි ඒකට වෙන පිළියමක් තිබුනේ නෑ. පාරට බහින්නම සිද්ධ වුනා...මුල් දවස් වල නම් වටපිටාවේ අයට මාව අමුත්තක් වුනත් කල් යද්දි ඒක සාමාන්‍ය දෙයක් වුනා..හැබැයි අදටත් සමහර දවස්වලට බස් වල යන අයත් ජනේලෙන් ඔළුව දාලා අමුතු විදිහට බලන වෙලාවලුත් තියෙනවා..එක දවසක් බස් එකක යන ආච්චි අම්මා කෙනෙක් ජනේලයෙන් ඔළුව දාලා අනේ මයේ දරුවට දෙයියංගෙම පිහිටයි කියද්දි නම් හිතට දැනුනේ අමුතුම හැගීමක්...
              මේ හැම දෙයක් එක්කම කැම්පස් ජිවිතේ ඉක්මනින්ම ගෙවිලා යනව නම් තමා මම වැඩියෙන්ම කැමති...ඒත් හැමෝටම වගේ අන්තිම දවස් ලං වෙද්දි මටත් මේක දාලා යන්න දුක හිතෙයි දන්නේ නැ...මොකද දෙයක් අහිමි වෙද්දිනේ ඒකේ අගේ වැඩිපුර දැනෙන්නේ....

Tuesday, October 4, 2011

කොත්මලේ සහ දුටුගැමුණු

                                                දුටුගැමුණු කුමාරයා කොත්මලේ හැංගිලා හිටපු කාලේ ගැන කතා කිපයක් මම කලින් කිවානේ. දුටුගැමුණු කුමාරයා ඒ කාලේ අස්වද්දපු කුඹුරත් කුමාරයා හිටි තැන් ගැනත් අදටත් මාවෙල ගම් වැසියො කතා කරන්නේ හරි ආඩම්බරෙන්..කුමාරයා විවේක ගත්ත අම්බලමත් ඔහු නාපු පිහිල්ල ලෙස හදුන්වන රජ පිහිල්ලත් අදටත් එහි දැක ගන්න පුළුවන්.කුමාරයා මේ විදිහට හැංගිලා ඉන්න අතරෙදියි ඔහුට පොන්න නැකැත්තා හමු වෙන්නේ.ඒ කුමාරයා දකින හීන තුනක් ගැන අනාවැකි අහන්න ගිය වෙලාවකදි.
                        කුමාරයා දැකපු හීන තමයි, මාපට ඇගිල්ලේ මීවදයක් බැදලා තියෙන එකත්, තමන්ගේ දිව ගොඩාක් දික්වෙලා ලංකාව වටේම ගිහින් ආයෙත් දිව කෙටි විමත්... මට අනෙක් හීනේ නම් මතක නැ..ඒ ගැන කාට හරි මතක නම් කියන්න. මේ හීන අනුව පොන්න නැකැත්තා දැන ගන්නවා මේ දුටු ගැමුණු කුමාරයා බවත් අනාගතේදි ඔහු රජ වෙන බවත්...කොහොම හරි කුමාරයාගේ ඉල්ලිම පිට ඔහු මේ රහස කාටවත් එළි කරන්නේ නැ..කුමාරයා රජ වුනාට පස්සේ පොන්න නැකැත්තට ඔහු වෙනුවෙන් සේවය කරන්නත් අවස්ථාව ලැබෙනවා.
                             කාවන්තිස්ස රජුගේ අභාවයත් එක්ක දුටුගැමුණු කුමාරයාට රජකම බාර දෙන්න අවශ්‍ය නිසා මගුල් ඇතා පිරිවරාගෙන කන්ඩායමක් කොත්මලේට එනවා.ඒ ආවට පස්සේ තමයි ගම් වැසියෝ දැන ගන්නේ මේ දුටු ගැමුණු කුමාරයා විත්තිය..කොහොම හරි කොත්මලේ වැසියන්ටත් ආරාධනාවක් ලැබෙනවා කුමාරයාගේ ඔටුනු පැළදවිමේ උත්සවයට..
                 එහිදි කොත්මලේ ගමෙනුත් පිරිසක් ඒකට සහභාගි වුනාලු.ඒ දවසේ රෑ මේ පිරිසටම නිදා ගන්න දිලා තියෙන්නේ එක කාමරයක්... තිබිලා තියෙන්නේ එක ඇදක්. මේ පිරිසට හිතා ගන්න බැරි වුනාලු කවුද ඇදේ නිදා ගන්නේ කියලා. අන්තිමේදි එක්කෙනෙකුට ඇද දීලා අනෙක් අය බිම නිදා ගන්න අකමැති වෙලා කට්ටියම කරලා තියෙන්නේ ඇදේ ඔළුව තියාගෙන බිම නිදා ගත්ත එක... මේක දැකපු රජ වාසලේ අය කියලා තියෙන්නේ කොත්මලේ ඇත්තන්ට කවදාවත් හරියට නායකයෙක් පත්කර ගන්ට බැ කියලා... ඒ කතාව ඇත්තක් කියලා බොහෝදෙනා පිළි ගන්නේ මෑතක් වෙනකන්ම කොත්මලේ නායකත්වය ගන්න හරිහමන් කෙනෙක්නොහිටිය හිංදා..දැන්නම් ඒක වෙනස් වෙලා..

Wednesday, September 28, 2011

බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ කරන්ට හදන තාලෙටනේ

කොත්මලේ ගැන කියවෙන ජනකතා අතරේ පොන්න නැකැත්තා වගේම දුටුගැමුණු කුමාරයත් ප්‍රසිද්ධ චරිතයක්..
                           කාවන්තිස්ස රජතුමා එක්ක අමනාප වෙලා එතුමාට කාන්තාවන්ගේ ආබරණ යැව්වට පස්සේ තමන් ගැන පිය රජ්ජුරුවෝ උදහස් වෙයි කියලා හිතලා දුටුගැමුණු කුමාරයා පල්ලම් බැස්සේ කොත්මලේට...ඒ ඉතින් හැංගිලා ඉන්න හොද තැනක් හිංදා වෙන්ට ඇති..මෙහෙම ආපු කුමාරයා ගැන කලින් වතාවේ මම කිව්වනේ.. 

                              කුමාරයා නවාතැන් ගත්ත ගෙදරින්ම පෙළවහකුත් කරගෙන කාලයක් මාවෙල වෙල් යාය අස්වැද්දුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි යුද්ධ කාලෙකදි උවමනා වෙයි කියලා.. ඒ කාලේ ගුත්තා කියලා පෙනි හිටපු කුමාරයා මේ කුඹුරු යායෙන් හොද අස්වැන්නක් ලබා ගත්තලු...අන්තිමට අස්වැන්න කපලා ඉවරවෙලා ගමගෙදරට වි ටික ගෙනියන්න හදනකොට කුමාරයා කලේ කමතේ ඉදන් ගම ගෙදරට යනකන් බිම දිගේ කෙවිටකින් ඉරක් ඇදපු එකයි. ඒ ඇදපු ඉර දිගේ අර වී ටික ගම ගෙදරටම ඇදිලා ගියාලු. 
                                  මේ  අලුත් අස්වැන්නෙන් පළමුවෙන්ම කිරිබතක් උයලා කුමාරයට දිලා තියෙනවා.. උණු උණුවෙන් දීපු මේ කිරිබත් ටික කන්ට හදිස්සි වෙච්චි කුමාරයා තැනින් තැන ඇගිල්ලෙන් ඇන ඇන කන්ට පටන් අරගෙන. මේක දැකපු වයසක ආච්චි අම්මා කෙනෙක් ගත් කටටම කිව්වලු බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ  කරන්ට හදන තාලෙටනේ කියලා..ඒක අහපු කුමාරයා අහලා තියෙනවා   ඇයි එහෙම කියන්නේ කියලා..එතකොට ඒ වයසක උන්දැ කියල තියෙන්නේ ඔහොම කුරුල්ලෝ කොටනවා වගේ තැනින් තැන කලබලේට කන්ට හොදත් නැ යුද්ධ කොරන්ට හොදත් නැ..පිළිවෙලකට එක කොනක ඉදන් කන්ට පුරුදු වුනොත් අනික් හැම වැඩක්ම පිළිවෙලකට කරන්ට පුරුදු වෙනවා කියලා...කුමාරයා පස්සේ කාලේ යුද්දෙ පටන් ගත්තම ඇගේ උපදේසයත් ඒ විදිහටම පිළිපැද්දා කියලයි කියන්නේ...අපි පුංචි කාලේ අපිට පිළිවෙළකට කන්ට පුරුදු කරද්දි අපේ ආච්චි අම්මලා නිතරම ඔය කතාව කියනවා...

දිගට ලියන්ට කම්මැලි..ඉතිරිය පස්සේ දාන්නම්

Sunday, September 25, 2011

මිරිවැඩි සගළක් ඉල්ලා නොහඩමි.....(අදට අකීකරු හිතගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙනවා)

                                 රෝහලේ කොරිඩොව කෙළවරට වෙලා පන්සිය පණස් ජාතක පොත තරම් ලොකු වෛද්‍ය වාර්ථා පිරුනු ෆයිල් කවර ටිකත් තුරුල් කරගෙන අම්මත් මාත් බලා ගෙන උන්නේ මගේ අලුත් හීනෙට පණ දෙන්න දෙවි කෙනෙක් එනකන්.....ආයෙමත් හීන දකින්නේ නෑමයි කියලා මම පොරොන්දු වෙලා තිබුනත් හිත ඇතුලේ කෙළවරක හැංගුනු එකම එක හීනයක් ආයෙමත් හිත පුරාම සැරිසරන්න ගත්තේ නොදැනුවත්වම...අවුරුදු 12ක් තිස්සෙ පොළවේ පය නොගහපු කකුල් දෙක නිසා හිත කොයි තරම් නම් විදෙව්වද කියලා වචනෙකින් දෙකකින් කොහොමද විස්තර කරන්නේ..ජිවිතේ දරා ගන්නම බැරි තරම් දුක දැනෙන වෙලාවෙදිත් හිනා වෙන්නම පුරුදු වුන මට දැන් දුක මොකද්ද සතුට මොකද්ද කියලා වෙන් කරගන්න බැරි තරම්....
                                       කොරිඩෝව  දිගේ එහෙට මෙහෙට යන ලෙඩ්ඩු ....නර්ස්ලා...දිහා මම ඔහේ කැරකි කැරකි බල බල ඉද්දි ඩොක්ට ඇවිත් ඇතුළට කතා කලා. ඇත්තටම ඒ වෙලාවේ මට ඇයව පෙනුනේ දෙවි කෙනෙක් විදිහට... මගේ රෝග තත්වයට යම් තරමක හරි සුවයක් දෙන්න ඇය ගොඩක් උත්සහ කරන බව මම දැනගෙන හිටියා..ඒ හිංදම මම ඇස් දල්වගෙන බලා හිටියේ හැමදාම ඇහෙන වචන ටික වෙනුවට වෙනස් දෙයක් ඇසිමේ බලාපොරොත්තුවෙන්..
ඉතින් කොහොමද දරුවෝ?
ඇය එහෙම අහද්දි මගේ කටට ආවේ මම හැමදාම හැමෝටම මන්තරයක් වගේ කියන වචන ටික... මම හොදින් ඉන්නවා.. ඩොක්ට...!
හොදයි... මම ඔයාට එන්න කිවේ ඇයි දන්නවද?
මම ඔළුව වැනුවා... 
දරුවෝ මම අනෙක් අයත් එක්ක ඔයා ගැන කතා කලා..ඒත් ඔයා දැන් ඉන්නේ දුර්වල මට්ටමක..ඒ නිසා එයාලා බයයි ඔයාව ඔපරේෂන් එකට අරන් අවදානමක් ගන්න.. අනිත් එක ලංකාවේ ඒ වගේ දෙයක් කරන්න තියෙන හැකියාව අඩුයි... ඔයාට තේරෙනවා නේද?
උගුරේ මොකද්දෝ හිර වෙලා වගේ දැනුන නිසා  මම ඒකටත් ඔළුව වැනුවා...
කෝකටත් ඔයා දිගටම බෙහෙත් ගන්න ඕනා හොදද? එහෙම නැති වුනොත් තවත් දුර්වල වෙයි....අපි තව උත්සහ කරල බලමු...
අම්මා තව තවත් ඇගෙන් ප්‍රශ්න අහමින් හිටියත් ඒ කිසිම දෙයක් ගැන අහගෙන ඉන්න ඕන වුනේ නැ මට...
කාලෙකට පස්සේ පණ  දෙන්න හදපු හීනේ ඉපදෙන්න ඉස්සෙල්ලම  වළලලා දාන්න සිද්ධ වුනා...ඒ හීනෙත් මගෙන් ඈතට ගියාම හිස් වෙච්ච හිත පිරෙන්න මම ලොකු හුස්මක් පුරව ගත්තේ හිත හිස් වුනාම තියෙන මුසල ගතියට අකමැති නිසා...වගේම කාගෙවත් ඉස්සරහ මගේ කදුළු වට්ටන්න අකමැති නිසා..
ආයමත් අපි එන්න හැරුනා.කකුල් දෙකේ රැදිලා තිබුනු කවදාවත් බිම නොතියපු සපත්තු දෙක දකිද්දි මම මටම හිනා වුනා...   සුපුරුදු පරිදි  අතිසාර්ථක ලෙස ආයෙමත් අකීකරු හිත පැරදුනා .... ඒත් ............
-----------------------------------------------------
                            දුක සතුට දෙකම ජිවිතේට අයිති දෙයක්....බිදිලා ගිය හීනෙට සිරිලා ගිය හිතට මතක් වුනා එකපාරටම අද දවස...ඔව් ඒක විශේෂයි....ඒ කියන්නේ අදට අකීකරු හිතගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙනවා... අවුරුද්දක්... අපෝයි..ඒක හරි ලොකු කාලයක්...මෙච්චරකල් මම මේකේ රැදිලා හිටියේ අපුරු මිනිසුන් ටිකක් මට මේ බ්ලොග් අවකාශයෙදි හමු වුන නිසා... 
                        මම මුලින්ම කියෙව්වේ කතන්දරගේ බ්ලොග් එක..ඊට පස්සේ සොදුරු සිත.. මගේ මරණය කියෙව්වා...ආස හිතුනා මටත් ලියන්න..වෙන මොනවටවත් නෙමෙයි..හිත ටිකක් සැහැල්ලු කර ගන්න...එහෙම ආපු මට මුලින්ම උදව් කලේ ළමයා මල්ලි..සින්ඩි ගැන මට කියලා දුන්නේ එයා...ඊට පස්සේ  ගෝල්ඩ් ෆිෂ් අයියා මගේ බ්ලොග් එක ගැන පෝස්ට් එකක් දාලා තිබුනා..එකෙනුයි මාව ගොඩක් අය අදුන ගත්තේ...මේ දෙන්නා නැත්නම් සමහර විට මම මේක නවත්තලා දාන්න තිබුනා...ඉතින් ඒ දෙන්නටම ගොඩාරියක් ස්තුති වෙනවා අද මම...ඒ වගේම නම් විදිහට නොකිවට මාව බලන්න ආපු...කමෙන්ට් කරපු...හැම වෙලාවකම මාව දිරිමත් කරපු  හැමෝටම ස්තුතියි...ඔයාලා නිසයි මම අවුරුද්දක් තිස්සේ කුරුටු ගැවේ...


Saturday, September 24, 2011

පොන්න නැකැත්තා - කොත්මලේ ගණිතයා සහ දුටුගැමුණු කුමාරයා

කොත්මලේ  කියන්නේ කදු වළල්ලකින් වටවෙච්චි ගමක් වගේම නානාප්‍රකාර ජනකතා වලිනුත් පිරිච්ච ගමක්... සත්‍ය අසත්‍යතාව කොහොම වුනත් අපුරු රසවත් බවක් මේ ජනකතා වල කැටි වෙලා තියෙනවා .අපි පුංචි කාලේ ඉදන්ම රසකර කර අහපු මේ කතා වලින් කිපයක් මේකේ ලියලා දාන්න හිතුනේ ඒ නිසයි. 
                              මේ කතා අතර පොන්න නැකැත්තා සම්බන්ධ කතා හරි අපුරු ඒවා.. මේ නම අහද්දි කාට හරි හිතෙන්න පුළුවන් මේක කුණුහරුපයක් වගේනේ කියලා.. ඒත් මේක දෙමළ භාෂාවෙන් ආපු වචනයක්..දෙමළෙන් (තෙළිගු)  "පොන්" කියලා කියන්නේ රත්තරන් වලටලු.මේක තෙළිගු බමුණු කුළයක නමක් විදිහටයි සලකන්නේ.මේ පරම්පරාව නක්ෂත්‍රය ගැන ඉතා විශාල දැනුමක් ඇති අය. මේ විදිහට මේ පරම්පරාවේ  කෙනෙකුට පුස්කොළ පොතක් හම්බ වෙලා තියෙනවා. රාවණා රජතුමාගේ කාලේ නිදන් කරපු රත්තරන් පුහුලක් ගැන තොරතුරු මේ පොතේ තිබිලා ඔහු ලංකාවට එනවා මේ රත්තරන් පුහුල ගන්න. මේ පොන්න නැකැත්තා එන්නේ කොත්මලේට. ඒ මේ නිධානේ තිබුනේ කොත්මලේ මාවෙල කියන ගමේ නිසා.මෙහෙම ආපු ඔහු කොත්මලේ පදිංචි වෙලා ඒ ගමේම කාන්තාවක් විවාහ කර ගන්නවා. මේ විවාහයේ යටි අරමුණ වුනේ නිධානේ ගන්න අවශ්‍ය බිල්ල සදහා ඔහුගේම කුළුදුල් දරුවෙක් ඇති කර ගැනිමයි. කෙසේ වෙතත් ඔවුන්ට උපදින දරුවා බිලි දිලා පොන්න නැකැත්තා මේ රත්තරන් පුහුල ගන්නවා..(ගැරඩි ඇල්ල, රම්බොඩ ඇල්ල කියන දියඇලි වල නම් හැදුන හැටි කියවෙන ජනකතා වල තියෙන්නෙත් මිට සමාන කතාවක්) ඒත් එක ගල් තලාවකදි  ඔහු වෙහෙස නිමා ගැනිමේ අදහසින් රන් පුහුල ගල් තලාවේ තියලා වතුර ටිකක් බොන්න යනවා. ඒහෙම යනවත් එක්කම ගල්තලාව ඉරි තලලා රන් පුහුල යට ගියා කියලයි මේ ජනකතා වල කියවෙන්නේ.රන් පුහුල යට ගියපු තැන අද හදුන්වන්නේ පුසුල්පිටිය කියලා. පුසුල් පිටිය රජමහා විහාරයේ තමයි අතිතයේදි ධන්තධාතුන් වහන්සේත් සගවලා තිබුනේ. රන් පුහුල නැති වුන එක ගැන ඇතිවෙච්ච කම්පනයත් එක්ක ජිවිතේ නැති කර ගන්න හදපු පොන්න නැකැත්තා බේරගෙන තියෙන්නේ හාමුදුරුවො කෙනෙක් . මේ හාමුදුරුවන් ගෙන් බණ අහලා පොන්න නැකැත්තා බෞද්ධයෙක් වුනා.මේ විදිහට ලංකාවට ආපු පොන්න නැකැත්තාගෙන් පැවත එන පරම්පරාව නක්ෂත්‍රය ගැනත් ගණිත කර්ම ගැනත් හසල දැනුමක් ඇති අය නිසා ඔවුන්ට හැකි වෙනවා රාජ සභාවට ගිහින් රජු වෙනුවෙන් සේවය කරන්න.
                             පස්සේ කාලෙක දුටු ගැමුණු කුමාරයා කාවන්තිස්ස රජුත් එක්ක අමනාප වෙලා  පලායන්න හදද්දි විහාර මහා දේවි ඔහුව එව්වෙ කොත්මලේට.මේ විදිහට ආපු දුටුගැමුණු  කුමාරයා කොටගේපිටියේ වීසුරුගෙදර වැඩකාරයෙක් විදිහට වෙස් වලාගෙන ජිවත් වෙන්න පටන් ගන්නවා. ගුත්තා , හිද්දලයා වගේ නම් වලින් දුටු ගැමුණු කුමරු අප්‍රසිද්ධියේ පෙනි ඉදලා තියෙනවා වගේම තමන් පදිංචි වුන ගෙදරම හිටිය රන්මැණිකාව විවාහ කරගත්තත් ඇයටවත් තම රහස එළි කරන්නේ නැ.මේහෙම කාට හැංගුවත්  ඒ වෙන කොට ගමේ ජිවත් වෙච්ච පොන්න නැකැත්තගෙන් ඒ රහස සගවන්න කුමාරයාට බැරි වෙනවා. දුටුගැමුණු කුමාරයා දකින හීනයක තේරුම දැන ගන්න පොන්න නැකැත්තා ලගට යද්දි තමයි මේ රහස එළිවෙන්නේ.

                          දුටුගමුණු රජතුමා ඒ දැකපු අපුරු හීනයත්.... පොන්න නැකැත්තා යකුන් බැදගෙන වැඩ ගත්ත හැටිත්...පොන්න නැකැත්තාට සිකුරා හමුවිමත් ඔහු මිය ගිය හැටිත් ගැන කතා කිපයක්ම මම ඊළග සැරේ දාන්නම්....

ප.ලි. - මෙම ජනකතා බොහොමයක් මම  දැනගත්තේ මම අපේ ඉස්කොලේ හිටපු උඩුවක ගුරු පියාණන්ගෙන්.. ඒ වගෙම කොත්මලේ ජනකතා කියන පොතත්...මිට අමතරව ප්‍රබෝධ කහදගමගේ සර්ගේ ලිපි සහ ඔහු ලියපු කොත්මලේ ඇත්තෝ  කියන පොතෙනුත් කොත්මලේ ගැන ගොඩක් දේවල් දැනගත්තා..ඒ දේවල් ආශ්‍රෙයනුයි මෙය ලියුවේ.
(ඇනෝ ස්තුතියි මගේ වරද පෙන්වා දුන්නට)

Wednesday, September 7, 2011

බට්ටිච්චි


දුක  හිතිච්ච බට්ටිච්චි
පාන්දර බෙරිහන් දෙච්චි
අනේ මං ඇහැරිච්චි
පන්නන්නයි හිතුවේ බට්ටිච්චි......
වද නොදි පල බට්ටිච්චි
අද නිවාඩු දවසක් වෙච්චි
මං කෑ මොර දෙද්දි
උඹේ කට වැඩි වෙච්චි
මොන හොල්මනක් වැහිච්චි
බලන්ට මං යද්දි
බිම වැටුනු පැටික්කි
බල බලා අඩයි බට්ටිච්චි....
වැලලුවත් පස් යට පැටික්කි
අඩයි තාමත් බට්ටිච්චි
ජිවිතේ ඔහොමයි වෙච්චි
නාඩන් උඹ බට්ටිච්චි...

Thursday, August 18, 2011

(නො)දකින


හංසියක නොවේ මම
දියෙන් කිර වෙන් කරන......
මනුසත් දුවක් වෙමි
දුක සතුට මත රැදුන.....

සුදු පියාපත් නොමැත
නිල් අහස කළඹන්න....
ඒ නමුදු නෙත් ලදිමි...
ඒ අහස දැක ගන්න....

අහසටම පෙම් බදින
නෙත් ඇතත් මා සතුව
පොළො උණුසුම නොලද
දෙපා රිදවයි   හිතම

කදුළු ඉනුවත් විටෙක 
සිනහා නැගුවේ නිබද
කදුළු බර වැඩි නිසයි
හිනහෙනා මේ ලොවට



Tuesday, August 9, 2011

දකිති-නොදකිති

 
මලම දකිති - කටු නොදකිති
බඹරු  දකිති  - විස නොදකිති
රුවම දකිති - සිත නොදකිති
හැඩම  දකිති -ගුණ නොදකිති
.
.
කලක් ගතවුනි
.
.
කටුම දකිති - මල නොදකිති
විසම දකිති  - බඹරු නොදකිති
සිතම දකිති - රුව නොදකිති
අගුණ  දකිති - හැඩ නොදකිති


Thursday, July 7, 2011

දෙවියන් විකුණන් කෑම....

                  
මිනිස්සුන්ට කරදරයක් වෙනකොට, දරා ගන්න අමාරු ප්‍රශ්න එනකොට ගොඩක් වෙලාවට දෙවියන් මතක් වෙනවා. අපෙන්ම පිං ලබා ගන්න දෙවියන්ගෙන් අපට පිහිටක් ලැබෙනකං බලන් ඉන්නවා.ඇත්තටම මම මේක ලියන්නේ දෙවියන්ට අගෞරව කරන්න නම් නෙමෙයි.ඒත් දෙවියන්වත් විකුණං කන මිනිස්සු නිසා දෙවියන් වුනත් හෑල්ලු වෙලා කියලයි මම හිතන්නේ.මේ දවස් වල ඔය දෙවියන් ගැන...විවිධාකාර කතා ඇහෙනවනේ.ඔය හාල් වල ආසනික් ගැනත් දෙයියො කියලා තියෙනවලුනේ..ඒවා ඇහෙන අතරෙදියි මට මේ පරණ සිදුවිම් මතක් වුනේ.
          ඒ මම අසනීප වුන මුල් කාලේ..ඒ දවස්වල මගේ ලෙඩේ හොද කරන්න ඉංග්‍රිසි බෙහෙත්, සිංහල බෙහෙත්, යන්තර මන්තර ගුරුකම් වගේ සෑම දෙයක්ම කරමින් හිටියේ. කවුරු හරි කිව්වොත් අර අහවල් තැන හොද වෙදමහත්තෙක් ඉන්නවා එහෙමත් නැත්නම් හොද දේවාලයක් තියෙනවා කියලා  අපේ අම්මා පහුවෙනිදට මාවත් එක්කන් එතන. ඒ වෙන කොට මම හැම දේකින්ම හෙම්බත් වෙලා හිටියේ.ඒ වගේම ඒ වෙද්දි වෛද්‍යවරු මගේ රෝගය විදිහට හදුනා ගෙන තිබුනේ Osteogenesis imperfecta  කියන රෝගය. ඒ වගේම ඒකට ප්‍රතිකාර නැති බවත් ඔවුන් කියා සිටියා. එක දොස්තර කෙනෙක් කිවේ ‘අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනව දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, ඒත් මේක කාටවත්ම කරන්න බැරි දෙයක්‘ කියලා. එදා තමයි ආයෙත් මහ පොළවෙ පය ගහන ආසාව මගෙන් ඈතට ගියේ. ඒත් මගේ ගෙදර අය ඊට පස්සේ සිංහල බෙහෙත් කරන්න... දේවාල ගානේ යන්න....තොවිල් නටන්න වගේ දේවල් පටන් ගත්තා.ඔය අතරෙදි තමයි මට දෙවියන් විකුණන් කන කීප දෙනෙක්වම හම්බ වුනේ. 
              ඉන් එක්කෙනෙක් තමයි මාව පණ පිටින් වැලලුවෙ. මේ කෙනා බෙහෙත් කලේ දේව බලයෙන් කියලයි මාව එතනට එක්ක ගියේ.කැළැවට ගිය තැනක තිබුන පොඩි ගල් ගුහාවක තමා මේ දේවාලේ තිබුනේ. දේව රූප ටිකකුත් තියාගෙන රතු පාට තිර ටිකකුත් එල්ලා හදලා තිබුන දේවාලේ නම් කොහොමත් මට ඇල්ලුවෙ නැ. ඊටත් වඩා ඒ මනුස්සයා ආවේස වෙලා නටන වෙලාවට නම්  ඒ මනුස්සයාට වඩා මාව වෙව්ලුවා බයට. දෙවියෝ කියනවා කියලා මේ මනුස්සයා කියපු හැම දෙයක්ම ඒ විදිහටම අපේ කට්ටිය කලා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මාව වල දැම්මෙත්.ඒ වගෙම තවත් දවසක මේ මනුස්සයා දෙවියෝ කිව්ව කියලා ගුලි වගයක් දුන්න බොන්න.ඒ මල ජරාව බොන්න බෑ කියල මම මහා යුද්ධයක් කලත් ඒවා මට පෙව්වා.ඒවා බීලා හවස් වෙද්දි තමයි වැඩේ පටන් ගත්තේ.මට එක දිගට වමනේ යන්න පටන් ගත්තා.ඒක නවතින පාටක් තිබුනෙ නැ. අන්තිමට අම්මා බැරිම තැන ආයෙමත් ගියා දේවාලෙට. එතකොටයි කියලා තිබුනේ ඒ ගුලි හදලා තිබුනෙ මොනවගෙන්ද කියලා.... ඒවා හදලා තියෙන්නේ වවුවෙකුගේ හදවතක් අරගෙනලු. අම්මපා ඒක අහපු වෙලාවේ ඉදලා මගේ වමනේ යෑම වැඩි වුනා.එදා නොමැරි බේරුනේ වාසනාවටද අවාසනාවටද දන්නැ... අදටත් මට වවුලෙක්ව දකිද්දි පුදුම අප්පිරියාවක් දැනෙන්නෙ...ඒ මනුස්සයා මට දුන්න වද වල හැටියට අද මම මෙහෙම ඉන්න එක ලොකු දෙයක් කියලයි හිතෙන්නේ....මේ වගේ දරුණුවට නැතත් දෙවියන් විකුණන් කාපු තවත් කෙනෙක් හිටියා.
               එයා ගෑණු කෙනෙක්.සාමාන්‍ය කෙනෙකුත් නෙමෙයි බැංකුවක වැඩ කරපු ගෑණු කෙනෙක්. මෙයා ගැන ආරංචි වුනාමත් පුරුදු පරිදි අම්මා මාව එක්කන් ගියා. එයා වැඩ ඇරිලා ඇවිත් තමා දේවාලේ වැඩ පටන් ගත්තේ. සුදු ඇදුමක් එහෙම ඇදලා පාසලබක් අතේ තියාගෙන එකත් හොලව හොලව මායම් වෙන හැටි නම් ආයේ කියලා වැඩක් නැ.හොල්මනුත් ඒ වගේ වෙන්න ඇති කියලා මට හිතුනා. එයා නම් කීවේ අපේ ගෙවල් අහල පහල කෙනෙක් හූනියමක් කරලා කියලයි.හැබැයි එයා කියපු හැඩරුව තියෙන කෙනෙක් නම් අපේ අහල පහල හිටියේ නැ. ඒවගෙම එයා කීවා මාව සොහොන් කාලිට  බාර කරලයි තියෙන්නේ..එයාගෙන් බේර ගන්න නම් ඒ වෙනුවට බිල්ලකුත් වඩේ 100 කින් හදපු  මාලයකුත් පුජා කරන්න ඕනැයි කියලා.ඇත්තටම ඒ සොහොන් කාලි මොන වගේද කියලා දැන ගන්න මට හරි ආසාවක් තිබුනේ...කවුරු වුනත් මාව බාර ගත්ත කෙනානේ..:D  වඩේ මාලේ නම් අපේ අම්මා පුජා කලා..ඒත් බිල්ලක් දෙන වැඩේට නම් ඒ තරම් කැමැත්තක් තිබුනේ නැ.ඒක පස්සේ දවසකට කල් දාගත්තා. මේ දේවල් කිරිම වෙනුවෙන් එයාට දේවාලයක් හදා ගන්න ආධාර කරන්න කියලයි ආපු හැමෝටම කිවේ...පස්සේ පස්සේ අම්මා තේරුම් ගත්තා මේක සිද්ධ වෙන්නේ සල්ලි වෙනුවෙන් කියලා...ඒ නිසා ඒකෙනුත් යාන්තම් බේරෙන්න පුළුවන් වුනා...මේ දෙවියන් විකුණන් කන දෙන්නෙක් විතරයි...මේ වගේ තවත් අය මගේ ජිවිතේදි හම්බ වෙලා තියෙනවා...අදටත් මට හිතා ගන්න බැරි ඇයි මේ මිනිස්සු තව කෙනෙකුගේ දුක ඉත්තෙක් කරගෙන තමන්ගේ බඩ පුරව ගන්න හදන්නෙ කියලා
 

Saturday, June 25, 2011

ඇගේ ජිවන වාක්‍යය "සිහිනය" නම් විය

                    ඇයට තවත් සිහිනයක් දකින්නට අවශ්‍ය විය..නමුත් ඒ පිළිබද ඇගේ සිතේ වුයේ අපහැදිලි ඡායාවක් පමණි.ඒ ඡායාව යථාර්ථයක් කරන්නට ඇය තම හිතට බිදෙන් බිද ශක්තිය එකතු කරමින් සිටියේය..ජිවිතය තුල බිද වැටිම් පැවතුනු බව සත්‍යයක් සේම ඒ තුලින් ලැබු පන්නරයද එයටම සමාන බව ඇය තදින් විශ්වාස කරන්නීය... ජිවත් වීමට නම් සිහිනයක් අවශ්‍යය..ඒ ඇගේ ජිවන වාක්‍යයම විය..කොතෙක් සිහින ඇගේ දෙපා අබියස බිදි අළු දුවිලි වුවද තවමත් ඇ සිහින දකින්නීය...ඇගේ සිහින වලට මා ඇතැම් විට සිනහ වුනෙමි.සමච්චල් කලෙමි.අදටද ඇගේ ඇතැම් සිහිනයන්ට මා සිනාවෙමි.සමච්චල් කරමි.එහෙත් ඈ ඉන් කෝප නොවන්නීය..ඇයට මගේ සිනහව සරදම දැනෙන්නේවත් නැත..ඈ සිහිනය තුල ගිලි ගොස්ය...
                             ඇතැම් දිනෙක මා ඇයට සිහින බිදෙන විට හිතට දැනෙන වේදනාව  තේරුම් කිරිමට  මහත් සේ වෙහෙස වුනි. එහෙත් ඒ සිහිනයෙන් ඈ මුදවන්නට මා හට නොහැකි විය..ඒ වෙනුවට සිදු වුයේ  ඇගේ සිහිනයන්  පිරි අගාධයක මා සිර විම පමණි... මට ඉන් මිදිමට අවශ්‍ය විය... ඒහෙත් ඇයට අනුව මා ජිවිතය වෙනුවෙන් සිහිනයක් දැකිය යුතුය..ඒ සිහිනය ඇගේ ඇස් ඉදිරියේ සැබැවක් කල යුතුය.. ඇය මට අභියෝග කරන්නීය..ඈ මගේ සිත හොදින් හදුනයි...ලගා විමට නොහැකි වුවද අභියෝගයන්ට මා කැමති බව ඈ දනි..ඉදින් දිගින් දිගටම ඇය මා ඉදිරියේ අභියෝගයන් තබා යයි...ඇයට අවශ්‍ය ඇගේ සිහිනය මා තුලින් සැබැ කරන්නටය..අවසානයේ මා නොදැනුවත්වම ඇගේ සිහිනයට නතු වුනෙමි...ඉන් මිදිමට මා බොහෝ වෙහෙස වුනෙමි...මා හට කිසිවෙකුගේ සිහිනයක් මා තුල වැඩෙන්නට ඉඩ හැරිමට අවශ්‍ය නොවීය..ඇගේ සිහින වලට මා කිසිදු ප්‍රියතාවයක් නොදැක්විමි.මට අවශ්‍ය වුයේ මේ මොහොතේ ජිවත් වෙන්නටය. අනාගතයට හෝ අතීතයට ආවඩමින් මහා බරක් හිස මත තබා ගැනිමට අවශ්‍ය වන්නේ ඇයි දැයි මා නිතරම ඇගෙන් ප්‍රශ්න කරමි.
                  හිතට දැනෙන නිදහසට මම අදටත් අසීමිතව ආදරය කරමි...එබැවින් ඇගේ සිහිනයන් මා තුලට නොගැනිමට මා හැකි තරම් වෙහෙස දැරිමි.එහෙත් ඈ මට වඩා දක්ෂය..ඉතා සූක්ෂමව ඈ මා ඇගේ සිහින අතර සිර කොට ඈතට වි බලා හීදියි..එය මා තදින් කෝප කරවන්නක් විය. මට හැකි අයුරින් මා ඇය රිදවුයෙමි.ඇගේ නෙත් මත කදුළු රැදුනද මගේ හිතට වේදනාවක් නොදැනුනි.එහෙත් මා සිත විඩාවට පත් කරන ඇගේ සිහින වලට ඈ වෙනදාටත් වඩා ආදරය කරන්නට විය..සැබවින්ම ඇගේ සිත රත්වු යකඩයක් බදුය..මා එය තලන්නට තලන්නට එය තදින් පන්නරය ලබන්නට විය...අවසානයේ මා ඇය හමුවේ පරාජය බාර ගතිමි. ඇගේ සිහිනය මා තුල ජිවත් කරවන්නට පටන් ගතිමි.
                    කුඩා කල මා ජිවිතය පිරි පැවතියේ සිහිනයන් ගෙනි....ඒ ඇගෙන් ලැබු ආභාෂය නිසා වෙන්නට ඇත.එහෙත් මාගේ සිහින එකින් එක බිද වැටෙද්දි ඒ දෙස උපේක්ෂාවෙන් බලා හිදිමට තරම් ශක්තිමත් හිතක් මට උරුම වි තිබුනේ නැත..බිද වැටුනු සිහින අතර ඊටත් වඩා වේගයෙන් මා ඇද වැටෙමින් සිටිද්දි ඇය මා වෙනුවෙන් අලුත් සිහින එකතු කරන්නට විය.සැබවින්ම මා ඒ මොහොතේ සිහින වලට බිය විය.ඒ තුලින් ලැබෙන්නේ පරාජය සහ දුක පමණක්ම බව මා තදින් ඇදහුයෙමි.එහෙත් මා හට ඇගෙන් මිදිමට නොහැකි විය.ඇගේ සිහින මා තුල පණ ගසා නැගිටින්නට පටන් ගත්තේ මා නොදැනුවත්වය.මා අප්‍රිය කල සිහිනයන් දැන් මගේම සිහිනයන් බවට පත් වෙමින් සිටි....තවමත් ඒ සිහිනයන්ට සිත බියෙන් සැලේ. මේ සිහින බිද වැටුනහොත් මේ ජිවිතය පැවතියාටත් වඩා පහලට ඇද වැටෙනු ඇතැයි මා ඇයට දහස්වර කියා ඇත.එයට වග කියන්නට වන්නේද ඇයටම බව මා කෝප වු සෑම විටම ඇයට කියමි.කෙසේ වුවද එය ඈ කණකට වත් ගන්නේ නැත.ඇය එතරම්ම ඇගේ සිහිනය විශ්වාස කරන්නීය..
                            ඇය දකින සිහිනය මාගේ පැහැබර අනාගතය ය.ඇයට මා සමාජයේ ඉහලින් වැජඹෙනු දකින්නට වුවමනාය..අද ජිවත් වෙන මට ඇයගේ සිහිනය තදින් වැලදුන හිසේරදයකට සමානය.එහෙත් මා එය දරා ගත යුතුය.ඒ මට ඈ පරාජය කල නොහැකි නිසාය.මක් නිසාද යත් ඇ මාගේ ආදරණිය අම්මා නිසාය..ඇ දුටු සිහින සියල්ලක්ම මා වෙනුවෙන් දුටු නිසාය.

Monday, June 20, 2011

තරු එළියෙන් පාර අහන් - මම ආවා නුඹ ගාවට

කෙටි නිවාඩුවකට පස්සේ ඔන්න ආයෙමත් මේ පැත්තේ ආවා...ආවට මොකද අප්පේ.... හරි කම්මැලි කමක් වගේ එකක් දැනෙනවා.. මේ ටිකේම ගෙදර නිසා කම්මැලිකම උතුරනවා... ඔන්න හා හා පුරා කියලා ආව හැටියෙම මම ස්තුති කොරන්ට ඕන පහුගිය ටිකේ මේ පැත්තට නාවත් මම උන්නද මළාද කියලා හොයලා බලපු හැමෝටම..(විශේෂයෙන් ගෝල්ඩ් ෆිෂ් අයියන්ඩිට)
ඉතින් අකීකරු හිත පහුගිය ටිකේ පොඩි පොඩි අවුල් ගොඩක පැටලිලානේ හිටියේ..දෙයියන්ගේ පිහිටෙන් දැං ඒවා ඔක්කොම හරි...ආයෙමත් සුපුරුදු පරිදි පරණ විදිහටම ඉන්නවා...කන් දෙක රිදෙනකන් සින්දු අහලා...ඇස් රිදෙනකන් පොත් කියවලා...අම්මගෙන් බැනුම් අහනකම්ම ෆිල්ම් බලලා ආයෙමත් පරණ නිදහස් තැනටම මේ හිත ගෙනියන්න පුළුවන් වුනා..සත්තකින්ම දැං හිත හරි නිදහස්...මම දන්නේ නැ ඒ කොයි තරම් කාලෙකටද කියලා...ඒ වුනත් දැනෙන වේදනාව අමතක කරන්නත්..පරණ කුණු ගොඩවල් හිතෙන් අයින් කරගන්නත් පුළුවන් වුන එක ගැන සතුටුයි....
සද පළුවේ මම ඉදගෙන 
තරු ගැන්නා හනි හනිකට
තරු මුව මත රැදුනු හිනා
එළිය කලා මුළු ලෝකෙම...

තරු එළියෙන් පාර අහන්
මම ආවා නුඹ ගාවට
දෙනවද ඔය සිනා බිදක් 
ආසයි මම සිනා වෙන්න..




Wednesday, May 25, 2011

ටික දිනකට සමු ගන්නම්..

                              අකීකරු හිතට ටිකක් වෙහෙසයි දැන්. ඒ නිසා පොඩි විවේකයක් ගන්න හිතුවා..ටික කාලෙකට බ්ලොග් අවකාශයෙන් ඈත් වෙන්න හිතුවෙ ඒ නිසායි.. ටික කාලයක් නැවතිලා තිබුනු වෛද්‍යෙ ප්‍රතිකාර ආයෙමත් ආරම්භ වුනාට පස්සේ මගේ සාමාන්‍ය දින චර්යාව ටිකක් වෙනස් වුනා..වැඩිපුර නිදාගන්නයි..කිසිම දෙයක් නොකර ඔහේ බලා ඉන්නයි තමයි දැන් කැමැත්ත. ඒකට හේතුව දැනෙන අධික වේදනාව..ඇටමිදුළු පසාරු කරගෙන යන තරම් වේදනාවකුත් එක්ක තවදුරටත් කීබෝඩ් එක උඩ අත් ගෙනියන්න කම්මැලියි.ඒ අස්සෙ එහෙන් මෙහෙන් සිද්ද වෙන දේවල් එක්ක හැප්පෙන්න හිත හයිය කරන් ඉන්න ටිකක් විතර අමාරුයි. ඒත් මම මෙතනින් යන්නේ මට උවමනා නිසා මිසක් කාටවත් උවමනා නිසා නෙමෙයි.
               මේ වේදනාවට හුරු වෙන්න මට ටික කාලයක් ඕන..ඒ කාලය අතරතුරදි මගේ යාළුවන්ට මාව අමතක නොවේවි කියලා හිතනවා.ඉක්මනටම ආයෙත් එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්..

Tuesday, May 24, 2011

අකිකරු හිත කියන්නේ බොරුකාරියක්ලු.

                          අකිකරු හිත කියන්නේ බොරුකාරියක්ලු. කාගෙත් අනුකම්පාව ගන්න බ්ලොග් එකක් ලියනවලු.. ඔව් එයා එහෙම තමයි කිව්වේ..මම තේරුම් කරන්න හැදුව  ගොඩක් ..මම කවුද කියලා...ඒත් ඔහුට අනුව මම වංචාකාරියක්.. මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න බොරු ලියන්නියක්..
                 අනුකම්පාව?? ඇයි මට කාගෙවත් අනුකම්පාවක්? මගේ මේ ජිවිතේ අකමැතිම වචනයක් වුන අනුකම්පාව.. ලබා ගන්න මම මොකටද ලියන්නේ? මම මේ බ්ලොග් එක පටන් ගද්දි හිතුවෙ මම ගැන කිසිම දෙයක් හෙළි නොකර ඉන්නයි..ඒත් පස්සේ හිතුනා මේකේ මගේ ජිවිතේ ගැන ලියන්න. අපි වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නව කියලා පෙන්නන්න.අපිත් අනෙක් අය වගේම සාමාන්‍ය මිනිස්සු කියලා ටික දෙනෙකුට හරි තේරුම් කරලා දෙන්න. ඒකයි මම මගේ ජිවිතේ ගැන අකුරු කෙරුවේ...එහෙම නැතිව අනුකම්පාවක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි..අනුකම්පාව ලබා ගන්න ඕන වුනා නම් මම මේක ලියන්නේ මෙහෙම නෙමෙයි..මම මේ ජිවිතේ මෙච්චර දුරක් ආවේ මගේ කකුල් දෙකේ හයියෙන් නෙමෙයි මගේ හිතේ හයියෙන්..             
                           ඊයේ හවස මූණු පොතේදි ඔහු  අකිකරු හිත කියන්නේ බොරුකාරියක් කියලා ලොකු චෝදනාවක් කලා. ඔහු කිවේ ලියලා තියෙන  විදිහෙ දේවල් කෙනෙකුට විදින්න පුළුවන් දේවල් නෙමෙයි කියලා...මම දන්නව ඔහු අදත් මේක කියවාවි කියලා.එහෙනම් මට කියන්න තියෙන්නේ “ඔව් ඔබ වගේ සරුවපිත්තල ලෝකවල ජිවත් වෙන මිනිස්සුන්ට මේ වගේ දුක් විදින්න බැ.ඒත් ඔබ නොදන්නව වුනාට මිටත් වඩා අපා දුක් විදින ඒත් ලෝකෙට පේන්න ලස්සනට හිනාවෙන මිනිස්සු මේ පොළවේ ඉන්නවා.

                                        තව කිදෙනෙක් හිතනවද දන්නේ නැ මම බ්ලොග් එක ලියන්නේ අනුකම්පාව ගන්න කියලා. මම අද වෙන තුරු කාගෙන්වත් අනුකම්පාවක් ඉල්ලුවෙ නැ.මට මේ මිනිස්සු අතරෙ විශේෂ කෙනෙක් වෙන්න ඕන වුනේ නැ.. මම මගේ කැඩුනු, හරියට නමා ගන්නබැරි ඇගිලි වලින් තවමත් අනෙක් අයගේ වේගෙටම ලියනවා..ඒ අතරේ දහදොලොස් වරක් පෑන අතැරෙනව තමයි.ඒත් ඒක කොච්චර අමාරු වුනත් විභාග වලදි අමතර වෙලාවක් ඉල්ලුවෙ නැ මම. අනුකම්පාවක් ඉල්ලුවෙ නැ . මට ඕන වුනේ අනෙක් අයගේ මට්ටමටම එන්න..ඔහු කියනවා මම මේ ලියලා තියෙන විදිහෙ කෙනෙක් නම් ඉගන ගෙන රැකියාවක් කරන්නෙ කොහොමද කියලා.මම හිතන්නෙ නැ මට රැකියාවක් කරන්න බැරිවෙයි කියලා.පොලවේ පය ගහන්න විතරයි මට බැරි.
මහ රූස්ස ගස් වගේ ඉන්න ඔබලා අතරේ මම පුංචි තුත්තිරි ගහක් විතරයි. ඒ තුත්තිරි ගහ පුංචි සුළගකටත් සෙලවෙනවා. ඒත් මහා සුළි කුණාටු වලදි නොසෙල්වි බලා ඉන්න හයියක් තියෙනවා.