Wednesday, May 25, 2011

ටික දිනකට සමු ගන්නම්..

                              අකීකරු හිතට ටිකක් වෙහෙසයි දැන්. ඒ නිසා පොඩි විවේකයක් ගන්න හිතුවා..ටික කාලෙකට බ්ලොග් අවකාශයෙන් ඈත් වෙන්න හිතුවෙ ඒ නිසායි.. ටික කාලයක් නැවතිලා තිබුනු වෛද්‍යෙ ප්‍රතිකාර ආයෙමත් ආරම්භ වුනාට පස්සේ මගේ සාමාන්‍ය දින චර්යාව ටිකක් වෙනස් වුනා..වැඩිපුර නිදාගන්නයි..කිසිම දෙයක් නොකර ඔහේ බලා ඉන්නයි තමයි දැන් කැමැත්ත. ඒකට හේතුව දැනෙන අධික වේදනාව..ඇටමිදුළු පසාරු කරගෙන යන තරම් වේදනාවකුත් එක්ක තවදුරටත් කීබෝඩ් එක උඩ අත් ගෙනියන්න කම්මැලියි.ඒ අස්සෙ එහෙන් මෙහෙන් සිද්ද වෙන දේවල් එක්ක හැප්පෙන්න හිත හයිය කරන් ඉන්න ටිකක් විතර අමාරුයි. ඒත් මම මෙතනින් යන්නේ මට උවමනා නිසා මිසක් කාටවත් උවමනා නිසා නෙමෙයි.
               මේ වේදනාවට හුරු වෙන්න මට ටික කාලයක් ඕන..ඒ කාලය අතරතුරදි මගේ යාළුවන්ට මාව අමතක නොවේවි කියලා හිතනවා.ඉක්මනටම ආයෙත් එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්..

Tuesday, May 24, 2011

අකිකරු හිත කියන්නේ බොරුකාරියක්ලු.

                          අකිකරු හිත කියන්නේ බොරුකාරියක්ලු. කාගෙත් අනුකම්පාව ගන්න බ්ලොග් එකක් ලියනවලු.. ඔව් එයා එහෙම තමයි කිව්වේ..මම තේරුම් කරන්න හැදුව  ගොඩක් ..මම කවුද කියලා...ඒත් ඔහුට අනුව මම වංචාකාරියක්.. මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න බොරු ලියන්නියක්..
                 අනුකම්පාව?? ඇයි මට කාගෙවත් අනුකම්පාවක්? මගේ මේ ජිවිතේ අකමැතිම වචනයක් වුන අනුකම්පාව.. ලබා ගන්න මම මොකටද ලියන්නේ? මම මේ බ්ලොග් එක පටන් ගද්දි හිතුවෙ මම ගැන කිසිම දෙයක් හෙළි නොකර ඉන්නයි..ඒත් පස්සේ හිතුනා මේකේ මගේ ජිවිතේ ගැන ලියන්න. අපි වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නව කියලා පෙන්නන්න.අපිත් අනෙක් අය වගේම සාමාන්‍ය මිනිස්සු කියලා ටික දෙනෙකුට හරි තේරුම් කරලා දෙන්න. ඒකයි මම මගේ ජිවිතේ ගැන අකුරු කෙරුවේ...එහෙම නැතිව අනුකම්පාවක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි..අනුකම්පාව ලබා ගන්න ඕන වුනා නම් මම මේක ලියන්නේ මෙහෙම නෙමෙයි..මම මේ ජිවිතේ මෙච්චර දුරක් ආවේ මගේ කකුල් දෙකේ හයියෙන් නෙමෙයි මගේ හිතේ හයියෙන්..             
                           ඊයේ හවස මූණු පොතේදි ඔහු  අකිකරු හිත කියන්නේ බොරුකාරියක් කියලා ලොකු චෝදනාවක් කලා. ඔහු කිවේ ලියලා තියෙන  විදිහෙ දේවල් කෙනෙකුට විදින්න පුළුවන් දේවල් නෙමෙයි කියලා...මම දන්නව ඔහු අදත් මේක කියවාවි කියලා.එහෙනම් මට කියන්න තියෙන්නේ “ඔව් ඔබ වගේ සරුවපිත්තල ලෝකවල ජිවත් වෙන මිනිස්සුන්ට මේ වගේ දුක් විදින්න බැ.ඒත් ඔබ නොදන්නව වුනාට මිටත් වඩා අපා දුක් විදින ඒත් ලෝකෙට පේන්න ලස්සනට හිනාවෙන මිනිස්සු මේ පොළවේ ඉන්නවා.

                                        තව කිදෙනෙක් හිතනවද දන්නේ නැ මම බ්ලොග් එක ලියන්නේ අනුකම්පාව ගන්න කියලා. මම අද වෙන තුරු කාගෙන්වත් අනුකම්පාවක් ඉල්ලුවෙ නැ.මට මේ මිනිස්සු අතරෙ විශේෂ කෙනෙක් වෙන්න ඕන වුනේ නැ.. මම මගේ කැඩුනු, හරියට නමා ගන්නබැරි ඇගිලි වලින් තවමත් අනෙක් අයගේ වේගෙටම ලියනවා..ඒ අතරේ දහදොලොස් වරක් පෑන අතැරෙනව තමයි.ඒත් ඒක කොච්චර අමාරු වුනත් විභාග වලදි අමතර වෙලාවක් ඉල්ලුවෙ නැ මම. අනුකම්පාවක් ඉල්ලුවෙ නැ . මට ඕන වුනේ අනෙක් අයගේ මට්ටමටම එන්න..ඔහු කියනවා මම මේ ලියලා තියෙන විදිහෙ කෙනෙක් නම් ඉගන ගෙන රැකියාවක් කරන්නෙ කොහොමද කියලා.මම හිතන්නෙ නැ මට රැකියාවක් කරන්න බැරිවෙයි කියලා.පොලවේ පය ගහන්න විතරයි මට බැරි.
මහ රූස්ස ගස් වගේ ඉන්න ඔබලා අතරේ මම පුංචි තුත්තිරි ගහක් විතරයි. ඒ තුත්තිරි ගහ පුංචි සුළගකටත් සෙලවෙනවා. ඒත් මහා සුළි කුණාටු වලදි නොසෙල්වි බලා ඉන්න හයියක් තියෙනවා.


Thursday, May 19, 2011

මම දන්නෙ නැ ඔබ වෙනුවෙන් මොනව කියන්නද කියලා........

සංසාර ගමනේ එකම එක නැවතුම්පලක් වුනු මේ ජිවිතේ 
ආරම්භ වුනෙත් අපේ උවමනාවට නෙමෙයි..
අවසාන වෙන්නෙත් අපිට ඕන වෙලාවට නෙමෙයි.
ඒ වගේම මේ ජිවිතේ ගෙවෙන්නෙත් අපිට ඕන විදිහට නෙමෙයි...
අපේ ජිවිතේ...මගේ ජිවිතේ... කියලා රැක ගන්න හිතුවට
ඇගිලි අතර හිර කරගත්ත දිය දෝතක් වගේ ඉහිරිලා යනවා.......
මරණය යදින මිනිස්සු ඕන තරම් ඉද්දි
ජිවිතේ ජය ගන්න හදන මිනිස්සු 
මේ ලෝකෙන් යන්නෙ ඇයි කියලා
මම දන්නෙ නැ............................
ඒ වගෙම මම දන්නේ නැ ඔබ වෙනුවෙන් මොනව කියන්නද කියලා........
ඔබට නිවන් සුව කියලා කියන්නද
නැතිනම් ආයෙමත් අපි අතර ඉපදේවා කියලා කියන්නද..
එහෙමත් නැතිනම්
කවදාවත් මේ වගේ දුකක් නැති 
ලස්සන නැවතුම්පලක් ලැබේවා කියල පතන්නද

Saturday, May 14, 2011

මගේ දෙනෙත් යුග හැරයන කදුළක්

කන්දක් පාමුල කෙන්දක් වැලපෙයි
කන්දටමයි මා පෙම් බැන්දෙ කියා...
ඒ කදු මුදුනේ කුසුමක් වැලපෙයි
හිරුටයි මගෙ හිත පිදුවෙ කියා...
අහසට අයිතිය පවරා දුන් හිරු
හඩා වැටෙයි
කෝ මගේ සදවතිය කියා......

                           කිසිදා නොලැබෙන දේකට පෙම් බැදි
                           හදවත් රිද්මය හුරු පුරුදු නිසා
                           මගේ දෙනෙත් යුග හැරයන කදුළක්
                           හඩා වැටෙයි
                           තවමත් මට ආදරෙයි කියා

Sunday, May 8, 2011

අකීකරු හිතගේ නිල රථය

ජංජාලේ පුරා ඔහෙ කැරකි කැරකි ඉද්දි හිතුනා අද මොනා හරි ලියලා දන්න ඕන කියලා...ඒත් ලියන්ට දෙයක්මතක් වුනේම නැ...අන්තිමට මම තිරණය කොලා මගේ අතිජාත මිත්‍රයා එහෙමත් නැත්තං හෙවනැල්ලටත් වඩා මගේ ලගින් ඉන්න මගේ රෝද පුටු රාජයා ගැන කියන්ට...මම දැං පාවිච්චි කොරන්නේ ඔය පිංතුරේ තියෙන විදිහෙ එකක්. අත කඩා ගත්තට පස්සේ අතින් තල්ලු කරන එක අමාරු වුන නිසා තමයි මේකට බැස්සෙ...
 ඇත්තටම ගස් ගල් ගානේ දුව දුව ඉදලා එකපාරට අසනිප  වුනාම හිතා ගන්න බැරි වුනා මොනා කරන්නද කියලා.අවුරුදු 10ක් 12ක් කියන්නේ මම හිතන විදිහට උපරිම නැටිල්ලක් නටන කාලේ.ඒ කාලෙදිමයි මට මේකක උපකාර ගන්න වුනේ.මුලින්ම රෝද පුටුවක ඉද ගනිද්දි හිතුනෙ නැ ජිවිතේ පුරාම මේ විදිහට ඉන්න වෙයි කියලා..ඒත් අන්තිමට මේ ජිවිතේට හුරු වුනා... මම මුලින්ම පාවිච්චි කලේ පුංචි ලී පුටුවක්.ඒකට රෝද හයි කරලා.. හරියට පුංචි කරත්තයක් වගේ..ටික කාලයක් ඉස්කෝලේ ගෙනිච්චෙත් ඒක.ඒත් එහෙදි යාළුවොත් එක්ක ඕක පදිද්දි ටිකක් අමාරු වුනා..මොකද මගේ ඉස්කෙලේ තිබුනේ තැනිතලා බිමක නෙමෙයි..ඒ වගේම මට හිටියේ ටිකක් විසේකාර යාළුවෝ ටිකක්..ඒයාලත් පුටු ඇන්දෙ  ඉදෙගන මාත් ඒක්ක රවුමක් යනවා. ඒ නිසාම  ඒක වැඩිකල් පාවිච්චි කලේ නැ.ඊළගට තමයි සාමාන්‍ය රෝද පුටුවක් ගත්තේ..ඉස්කෝලේ කාලේ පුරාවටම ගෙව්වෙ ඒකේ..අන්තිමට මේ පුටුව...
                    මේක ඉලෙක්ට්‍රොනික් එකක් වුන නිසාම ආයෙත් අත කඩා ගන්න වුනේ නැ. දැන් ඉතින් මේක තමයි හෙවනැල්ල වගේ මාත් එක්ක ඉන්නේ.උදේ 6 ඉදන් රැ 7-8 වෙනකන් පුටුව උඩ ගෙවන ජිවිතේ මුල් කාලේ අමාරු වුනත් දැන් නම් ගානක්වත් නැහැ..සාමාන්‍ය රෝද පුටුවකට වඩා මේක නිසා පහසුයි.මොකද පැය 4ක් 5ක් චාජ් කලාට පස්සේ දවස් තුනක් විතර යන්න පුළුවන්.ඒ වගේම තරමක් වේගයෙනුත් යන්න පුළුවන්...හදිස්සියකට ඒක ගොඩක් පහසුයි. විශේෂයෙන් මට මේකේ අගේ වැඩිපුර දැනුනේ කැම්පස් එකෙදි.කාගෙවත් උදව්වක් නැතිව මට තනිවම යන්න පුළුවන් නිසා තවත් කෙනෙකුට කරදර කරන්න වෙන අවස්ථා අඩුයි.ඒ වගේම හොස්ටල් එකේ ඉදලා කිලෝමිටරයක් විතර එන්න ඕන නිසා අත් දෙක කැඩෙනකල් තල්ලු කරන්නේ නැතිව ආවැකි...මම මේ රෝද පුටුව පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් දවස් වල මටත් වඩා ප්‍රශ්න තිබුනේ බලා ගෙන ඉන්න මිනිස්සුන්ට..ඇත්තටම ගමේ ජිවත් වෙන අපි වගේ අයට මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න ඇති.ඒක කොහොමද යන්නේ? මොනවගෙන්ද වැඩ කරන්නේ තව ප්‍රශ්න කෝටියයි..ටික දවසක් යද්දි එයාලටත් පුරුදු වුනා දැකලම...
                 මේ ගැන ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම තියෙන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි .අපේ අයියන්ඩිගේ පුංචි දෝණි...එයා නම් වැඩිපුර කැමති මේකේ කැලි ගලවන්න..හරි ඉක්මනට අතට පැනලා පුටුව එකම තැන කරකවන එක එයාගේ විනෝදාංශේ...අන්තිමට දෙන්නටම කැරකිල්ල හැදුනම තමයි නතර වෙන්නේ...එයාට මේ දේවල් හරි විනෝදයක් වුනත් මම පතන්නේ කවදාවත් කිසිම කෙනෙකුට රෝද පුටුවක් පාවිච්චි කරන්න වෙන්න එපා කියලා..මුළු දවසම රෝද පුටුව උඩ ගෙවන ජිවිතේ පිටට පේන තරම් ලේසි නැ.




Sunday, May 1, 2011

හොද හැටි තෙමියං..

                        මුළු අහසම කළුවර වෙලා...අඩලා අඩල අන්තිමට අඩා ගන්නවත් පණ නැතිව හුල්ලන කෙනෙක් වගේ අහස අතරින් පතර කදුළු කැට හෙලනව...අහස අඩනකොට බලන් ඉන්න ආසා හිතෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නැ...තමන්ගේ කදුළු පිරිච්ච ඇස් දෙක මිදුම් සළුවෙන් වහගෙන අඩද්දි උහුල ගන්න බැරි තරම් බර කදුළු කැට හීන් සිරුවේ මගේ අත උඩට වැටුනා....
                              සති අන්තයේ ගෙදර යන්න අම්මත් එක්ක පිටත් වෙලා, අම්මා බඩු වගයක් ගන්න ගිය අතරේ වාහනේ ජනේලයෙන් එළියට අතත් දාගෙන මම අහසින් වැටෙන කදුළු එකතු කලා... ඒ අතරේ පාරේ අනෙක්  කෙලවරේ හුරු පුරුදු මුහුණක් මතු වෙද්දි..මගේ අතේ එකතු කල කදුළු ඇස් දෙකට උනනවා වගේ දැනුනා...ඒ මුහුණ මගහැරලා මම ඉක්මනට අනෙක් පැත්ත බලා ගත්තේ එයා මාව දකීවි කියන බයට..ඒත් අවාසනාවකට ඒ ඇස් වලින් හැංගෙන්න බැරි වුනා..මුලින්ම මම ලගට ආපු ඇය කතා කලා... 
කොහොමද නංගි  මාව මතකද ඔයාට...ඔයා ගෙදර යනවද... 
තෙමුනු මගේ අතින් අල්ලන ගමන් එයා එහෙම ඇහුවා.. අහපු දේට උත්තර දෙන්න කලියෙන් මගේ ඇස් නැවතුනේ ඇගේ අත ලග..ඇගේ සුරතේ පුංචි රන් මුදුවක් ලස්සනට දිලිසුනා..ඒත් ඒ දිස්නේ මේ ඇස්  නිලංකාර කරන්න තරම් ආඩම්බරෙන් දිලිසෙද්දි මට ඇතිවුනේ මං ගැනම දුකක්... 
ඔව් අක්කා ගෙදර යනවා... ඔයා කොහෙද මෙහේ?....

අපි වෙඩින් එකෙන් පස්සේ නුවර  පොඩ්ඩක් ඇවිදින්න ආවා නංගා... ඇයි ඔයා වෙඩින් එකට ආවේ නැත්තේ.. අයිය කිවා ඔයා එයි කියලා...

මම.... හොස්පිටල් ගියා...ටෙස්ට් එකේ රිපෝට් ටික ගන්න එන්න කියලා තිබුනා...

 මොනාද ඩොක්ට කිවේ??

එයා කිවා බෙහෙත් දෙන්න පුළුවන් කියලා...ඊට පස්සේ ඔපරේෂන් කිපයක් කලාම ඇවිදින්න පුළුවන් වෙවි කියලා...මම ඔහේ කියවගෙන ගියා...

ෂා... හොදයිනේ..අයියා දැන ගත්තම සතුටු හිතෙයි....

එයා එහෙම කියද්දි මට හිනා ගියා...සමහර විට එයාට දැනෙන්න ඇති ඒ හිනාව ඇතුලේ තිබුනේ කේන්තියක් කියලා..එයා ඔහේ කියව කියව ඉද්දි මම උන්නේ අම්මට හිතෙන් බැන බැන..ඒ අතරේ ආයෙමත් කවදාවත් මුණනොගැහෙයි කියලා හිතපු කෙනත් මං ලගට ඇවිත් නතර වුනාම කියන්න කිසිම දෙයක් තිබුනෙ නැ..ඒ අස්සේ ඇය ඔහුට මම කියපු දේවල් කියද්දි.. 
මේ ඇත්තද චුටි??

මම කලේ ඔළුව වනපු එක..

මට සතුටුයි චුටි ගොඩාක්...ඔයාට ඕනම උදව්වක් ඉල්ලන්න... පුළුවන් හැම දෙයක්ම අපි කරන්නම්....
“අපි... ඒ වචනේ හිත ඇතුලටම කා වැදුනා... මට ඕන වුනේ මගේ පාඩුවේ ඉන්න දිලා මෙතනින් යන්න කියන්න..ඒත් කියවුනේ එහෙම විශේෂ දෙයක් නැ... ඕන වුනොත් කියන්නම් කියලා....
                       මෙච්චර වෙලා හුල්ලපු අහස මහ හයියෙන් අඩන්න පටන් ගද්දි වැහි කදුළු වලට ඒ දෙන්නා තෙමෙන්න පටන් ගත්තා..ඒ නිසාම ඉක්මනට සමු දෙන්න පුළුවන් වුනා... වැස්සෙ තෙමිගෙන යන ඔවුන් දකිද්දි මට හිතුනේ මෙච්චරයි “හොද හැටි තෙමියං.. ඒක මහ නපුරු අදහසක් තමයි..ඒත් ඒ අදහසට පුළුවන් වුනා මගේ කදුළු නවත්තන්න...