Sunday, October 31, 2010

"ටකස්"

හුගවෙලාවකට පස්සේ
"ටකස්"
වැටුනා රුපියලක්
මළකඩ කාපු 
බෙලෙක් කෝප්පයට.....





Saturday, October 30, 2010

අන්තරේ නැමති ඌරන් කැකුණ තලනකොට ආණ්ඩුවේ හබන් කුකුළන්ට රජ මගුල්


                                                 දැන් මට නිවාඩුය.. ඒ එස්.බී. ඇමතිතුමන්ට හා අන්තරේට පින්සිදු වන්නටය.  මේ දවස් වල “සරසවි අරගලය” මාධ්‍යයට හොද මාතෘකාවක් වෙලාය. එය කඩේ යන්නට ලැබුනු අතිවිශේෂ අවස්ථාවකි...මේ කඩේ යෑම කොයි තරම් වේගවත්ද කිවොත්  එහි හරි වැරැද්දින් වැඩක් නැත. උවමනා කඩේ යෑම පමණකි. ආයේ දෙකක් නැත, වැරදි කරුවෝ සරසවි සිසුන්ය.. උන්ට කාලා තෙලය. මේ දැන් මාධ්‍ය විසින් සියලු දෙනාගේ ඔළු ගෙඩි වලට ඇතුල් කර තිබෙන දෑය. සරසවිය තුල මාධ්‍ය විසින් කියන තාලයේ පිරිස් නැතැයි මා කියන්නේ නැත.. එහෙත් උන් බහුතරය නොව සුළුතරයකි.. අන්තරයේ පදයට නටන්නට තරම් මෝඩ රැළක් සරසවි තුල ඉදීවි යැයි මා සිතන්නේ නැත. උන් එතනට ගියේ තණකොළ කාලා නොවේය.(දිනක් නවක මන්ත්‍රි වරුන් පිරිසකට දේශනයක් කිරිමට ගිය අපගේ දේශපාලන අංශයේ  මහාචාර්‍යතුමෙකු කීවේ උන්ට දේශන කරනවාට වඩා අඹේවෙල ඉන්න වැස්සියන්ට එම දේශනය කලානම් හොද බවය.)
                                                         අන්තරේ පදයට නටන දෙතුන් දෙනෙක් සිටි.. ඒත් 90% ක්ම උත්සහ කරන්නේ හැකි තාක් ඉක්මනින් උපාධිය ගෙන මෙතනින් පිට වෙන්නටය..  මොකද සරසවිය තුල හිදින්නේ රන් හැන්ද කටේ ගහගත් රාජ කුමාරවරු නොවන නිසාය. උන්ටත් ජීවත් වෙන්නට ඕනාය. බලු දුක් විදලා උගන්නන්න මහන්සි වෙන අම්මලා අප්පච්චිලාගේ හිතට නිවනක් වෙන්න ඕනාය..... ඒකට රස්සාවක් ඕනාය.
                                                     හැම දුකක්ම විදින්න වෙන්නේ පොඩි මිනිහටය.. සල්ලි කාරයින්ගේ ළමයි කිසි දිනෙක හොස්ටල් වල ඉන්නේ නැත..... නවක වදයට ලක් වෙන්නේද නැත. කැන්ටින් කෑම කන්නේද නැත... ඒත් අනෙක් උන් ඔය සියලු දේම කල යුතුය... මොකද ඒ සියල්ලටම සල්ලි උවමනා නිසාය..... හැම පැත්තෙන්ම තැලෙන එකාව දැන් උඩ පැන පැන තලන එක දැන් සෙල්ලමක් වෙලාය... බඩු මිල ඉහල ගියාට කම් නැත....  කැන්ටින් කෑම කන එකාට බඩු මිල වැඩි වෙන එක හොදින් දැනේ... එත් මොනවා වුවත් කම් නැත...දැන් කලයුතු එකම දේ සරසවි සිසුන් මර්ධනය කිරිමය.... මොකද මේ වෙනකොට  කියන විදිහට රටේ ලොකුම ප්‍රශ්නය සරසවි සිසුන්ය... ඉතින් දැන් සරසවි පිරිසිදු කිරිම ඇරඹිලාය... පේරාදෙණිය දින නියමයක් නොමැතිව වසා දමලාය... රජරටට පොලීසිය දමලාය... ආණ්ඩුව කරන්න යන්නේ කුමක් දැයි ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්ය... දැන් අපේ උන් කතා කරන්න බයය. මොකද තවමත් උන්ගේ පිටවල් හරහා වැදුනු බෙල්ට් පාරවල් බැටන්පොලු පාරවල් මැකි නැති නිසාය.... මෙතෙක් කල් පහර වැදුනේ කොල්ලන්ට පමණි..... දැන් කොල්ලෙක් වුවත් කෙල්ලෙක් වුවත් කම් නැත.. හිතේ හැටියට පහර දිය හැක.. එයට ආණ්ඩුවෙන් තුති මල් ලැබේ........
                                            මා හදන්නේ අන්තරේ අය සුදනන් කරන්නට නොවේය..... අන්තරේ නිසා වුනේ කරදර වැඩි වුන එක විතරය.. උන්ගේ විකාර වැඩ නිසා අද අප ගෙදරය... එදා කොළඹ ගිය අපේ උන් එතනට අන්තරේ අය එනතෙක් ඔවුන් එන බවක් දැන සිටියේ නැත.. අන්තරේ එන බවක් දන්නේනම් බහුතරයක් එයට යන්නේද නැත... මේ ගැටළු කවදා කොහෙන් ඉවර වේදැයි කිව නොහැකිය...  මට  හිතෙන්නේ මෙපමණකි, අන්තරේ නැමති ඌරන් කැකුණ තලනකොට ආණ්ඩුවේ හබන් කුකුළන්ට රජ මගුල් කියාය.....

Wednesday, October 27, 2010

සද නැතිව ඉන්න පුළුවන්ද අහසට


“කුමුදු මල් පිපිලා මුළු පලාතම සුවදයි” සදවතියගේ හිත ඒ සුවදින්  පිරුනා... ඇය මූළු අහස පුරාම තමන්ගේ ලා කහ පැහැති සළුව විහිදුවමින් ලස්සනට නැටුවා.. ඇගේ නැටුමට පුංචි මල් වශී වුනා....

ඒත් එකපාරටම.......

අහස ඇය‍ට ඔච්චම් කලා.. ඇගේ සළුව සිදුරු කරන් යන්න තරම් සැර සුළගකින් නැටුමට බාධා කලා. හිතුවක්කාර අහසට ඕන උනේ අනෙක් අය සදවතිය දිහා බලන එක නවත්වන්න.

‘ඇයි මෙහෙම කරන්නේ” සදවතිය දුකින් ඇහුවා....

“සද අයිති අහසට.. ඉතින් ඔයාට නටන්න දෙන්නත් නටන්න නොදී ඉන්නත් මට පුළුවන්”       උද්දච්ච අහස එහෙම කිව්වා.
  
“මම  අයිති අහසට බව ඇත්ත. ඒත් මට මාව අහිමි කරන්න එපා.” සදවතිය ආයාචනා කලා. අහස සමච්චලේට හිනා වුනා...

“ ඔබට ඉරිසියයි හැමෝම මං දිහා බලන එකට..  හැමෝම ඔබ දිහා බලන්නේ මම ඔබට එළිය දෙන නිසයි”
මේ වචන ඇහුනම අහසට හොදටම කේන්ති ගියා..... ඔහු ගුගුරපු හඩින් සදවතිය විතරක් නෙමෙයි මුළු පාලාතම කැලඹුනා.........

“නූඹ හිතනවනම් නුඹ නැතිව මට වැජඹෙන්න බෑ කියලා....  නුඹට වැරදිලා.. නුඹ නැතිවට මට ඕන තරම් තරු කැට ඉන්නවා... එයාලා නුඹට වඩා මට ලෙංගතුයි” මේ වචන විස පොවාපු ඊතල වගේ සදවතියගේ හිත පසාරු කලා....

“ඒ කියන්නේ මං නැතිව ඔබට ඉන්න පුළුවන්?”
 “ඔව් මට පුළුවන්”

“එතකොට මං නෑ කියලා ඔබට දුක නෑ?”
“මගේ තනියට ඕන තරම් තරු කැට ඉන්නවා.... නුඹ නෑ කියලා විශේෂයක් වෙන්නේ නෑ”

මේ වචන සදවතිය කවදාවත් අපේක්ෂා කල ඒවා නෙමෙයි...

“ඔබ කියන්නේ ඔබ මට ආදරේ නෑ කියලද?” 
සදවතිය අන්තිම ප්‍රශ්නෙත් ඇහුවා... පිළිතුරු විදිහට ඇයට ලැබුනේ සරදම් හිනාවක් විතරයි.... අහස  සදවතියව ගනන් නොගෙන තරු කැට එක්ක හුරතල් වුනා....
සදවතියති‍ගේ ඇස් වලින් කදුළු බේරුනා... ඒත් ඒ කදුළු වල උණුසුම පුංචි කුමුදු මල් වලට විතරයි........ කුමුදු මල් තමන්ගේ පෙති මතට වැටුනු කදුළු කැට හෙමින් තුරුළු කර ගත්තා... සදවතිය වෙනුවෙන් ඔවුන්ට කරන්න පුළුවන් වුනේ එච්චරයි....... සදවතිය තමන්ගේ ඉරුනු සළුව තුරුළු කරන් ඈතින් ඈතට ඇදිලා ගියා.. කාටවත්ම නොපෙනෙ‍න තැනකට වෙලා හඩන්න ඇයට උවමනා වුනා........................ ඇය ගිහින් කන්දක් පිටිපස්සෙ හැංගුනා... හිතේ දුක යනකන් ඇඩුවා....

සදවතිය ගියාම අහස කළුවර වුනා... තරු කැට වලට පුළුවන් වුනේ නෑ ඇයගේ එළියට සම වෙන්න.... අහසට තේරුනා ඇය ගිය බව... මෙච්චර වෙලා නොදැනුනු තනිකමක් අහසට දැනුනා...... ඔහු හිතුවේ නෑ ඇය ඇත්තටම යයි කියලා... මොකද අහස දන්නවා ඇය කොයි තරම් අහසට පෙම් කලාද කියලා........

“මට ඕන කලේ ඇය මගේම විතරක් කර ගන්න” 
අහස මිමිණුවා...... අහස තමන්ගේ වළාකුළු සගයන්ව යැව්වා සදවතිය හොයන්න....... අහස තවමත් ආඩම්බරයී....ඇගෙන් සමාව ගන්න හිතුනෙ නෑ....
වෙනද වගේ සදවතිය වළාකුළු කී දේවල් ඇහුවේ නෑ......... ඇය ආවේ නෑ..........
අහස පාළු වෙලා... වෙනදා තිබුන සිරියාව නෑ.. අහසට තදින්ම දැනුනා ඇය නැති අඩුව... අන්තිමේදී  අහසට තේරුනා තමන් වෙන කාටවත් වඩා සදවතියට ආදරේ බව..... ජිවිතේ පළවෙනි පාරට ආදරය නිසා මොන තරම් දුකක් ඇති වෙනවද කියලා අහස තේරුම් ගත්තා.....

“අනේ මගේ සදවතිය... මම ඇයව රිදෙව්වා..”

අහස ගියා සදවතිය සොයාගෙන............ හැම තැනම හෙව්වා ඇයව.... අන්තිමට ආවා කදු මුදුනට....
ඒත් දැක්ක දෙයින් අහස ගල් වුනා.....
ඇගේ සුදු සළුව ඔහු අදුනගත්තා.... ඒ සළුව ගැඹුරු ගං දියේ ඈතට පාවෙනවා දැකපු අහස මුළු ලෝකෙම හෙල්ලෙන්න කෑ ගහලා ඇඩුවා.. ඒත් කවුරුත් අහසට අනුකම්පා කලේනෑ.....
අහස කදුළු අතරින් දැක්කා... පුංචි කුමුදු මල් ටිකත් පරවෙලා බව...
ආදරේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පටන් ගද්දිම අහස තනි වුනා............

Tuesday, October 26, 2010

මමත් හිටියේ නුඹලා අතරමයි


අදුරින් වසා ගත් ජිවිතයට   
හිරු එළියක් අවශ්‍යමදැයි
ලෝකයා අසන කල
කෙසේ නම් කියම්ද
මමද ඔබ වන් මනුෂ්‍යයෙකු බව..
ලොව දකින්නේ මේ දුබල කය මිස
ගැහෙන රිදෙන හදවත නොවේ.........
කමක් නෑ රිදුනාට තැවුනාට
හොදට පුරුදුයි මේ රිදවුම්.............
එනමුදු දිනයක නුඹලාම අසාවි මගෙන්
“මෙපමණ කල් කොහෙද හිටියේ නුඹ”
එදිනට මම කියමි...
“මමත් හිටියේ නුඹලා අතරමයි
ඒත් නුඹලාට නොපෙනුනා මාව........

Sunday, October 24, 2010

ඉතින් දැන් එන්න


 “අම්මා.... මෙන්න අයියා....” මම කට ඇරියේ කේලමක් කියන්න.. ඒත් ඊට වඩා මොනවත් කියන්න ලැබුනෙ නෑ..අයියා අත් දෙකින්ම බදලා මගේ කට වැහුවා... මං දැගලුවේ මට හුස්ම ගන්න බැරිව මැරෙයි කියන බයට.. “කෑ ගහන්නේ නැතිව ඉන්නවා යෝදියේ.. ඔයාටත් කෑල්ලක් දෙන්නම්”
“ම්ම්..... අන්න එහෙම එන්න.. හැබැයි මට ලොකු කැල්ලක් ඕන”
මම අතින් ලොකු කැල්ල පෙන්නුවා.. “පෙරේති ආ ඉතින්” ලොකු කේක් කෑල්ලක් දෙන ගමන් අයියා එහෙම කිව්වේ ආදරේට කියලා මං දන්නවා..
“හරි ෂෝක් අයියයි නංගියි”
පිටි පස්සෙන් ඇහුන කටහඩට මං විතරක් නෙමෙයි අපේ සුපර් හීරෝත් ගැස්සුනා....අම්මා  ඉනට අත් දෙකත් තියාගෙන බලන් ඉද්දි බොරුවක් හදාගන්නවත් කටේ පුරවන් හිටි කේක් කැල්ල ගිලගන්නවත් වෙලාවක් තිබුනෙ නැ.. කටේ පුරව ගත්ත කේක් කැල්ලත් එක්ක කට ඇර ගන්න බැරි නිසා මං අයියාට මුවා වුනා.
“නෑ  අම්මා මේ නංගිට බඩගිනි කිව්වා ඒකයි”
“යකෝ මේකා කියන බොරු.... තරහටම මං වැලමිටෙන් ඇන්නා හොද පාරක්..
---------------------------------------------
මගේ අයියේ,
                           මට මේක මතක් වුනේ මේසේ උඩ තිබුන කේක් එක දැකලා. ඇත්තටම  මොන වැරද්ද කලත් අන්තිමට ඒක මගේ පිටින් යවන්න පුදුම දක්ෂයි. එහෙම කලේ සාමාන්‍යයෙන් කවුරුත් මට බනින්නෙ නැති නිසා. මොන තරම් වලි ගියත් අන්තිමට අපි හොද යාළුවෝ.. එන්න එන්න වයසින් වැඩි වෙද්දි අපි සහෝදරයන්ටත් වඩා හොද යාළුවෝ වුනා.. මගේ හැම දුකකදීම හෙවනැල්ලක් වුනේ ඔයා.. ජිවිතේ ගොඩාක් විදවන කාලේ මං මට මැරෙන්න ඕනේ කියලා කෑ ගහලා අඩද්දි මාව ජීවත් කරවන්න පුදුම ‍විදිහට වෙහෙසුනා. ජිවිතේ ගැන කියලා දුන්නා.. සමහර වෙලාවට අහන් ඉන්න බැරි තරම් බැන්නා.. කෑගැහුවා.. ඒ හැම දෙයක්ම  මට තියෙන ආදරේට කියලා මං දන්නවා.. ඇත්තටම මට පුදුමයි මේ වගේ ආදරයක් ලබන්න මට ලැබුන එක ගැන..
                                 ඒත් අද මට ජිවිතේ කියලා දුන්න කෙනාගේ ජිවිතේත් කුණාටුවකට අහුවෙලා කියලා දකිද්දි මේ හිතට කොච්චර දුකද. කවදාවත් කිසිම දෙයක් ගානකටවත් නොගත්ත කෙනා අද විදවනවා.. ඒකත් ආදරයක් හින්දා.. ඇත්තමයි ආදරේ නිසා කෙනෙකුට මෙච්චර දුකක් විදින්න පුළුවන් කියලා මං දැන ගත්තේ ඔයාගෙන්.මං දන්න කාලේ ඉදන් අයියන්ඩිට තිබුනේ හරි ආදරබර හිතක්.. ඉතින් කවුරුහරි කෙල්ලෙක් ගැන කියන්න පටන් ගනිද්දිම “ඔයා ඔය කියන්නෙ  කීවෙනි ගර්ල්ප්‍රෙන්ඩ් ගැනද කියලා අහන එක මගේ පුරුද්දක් වෙලා තිබුනෙ.. සෙනග ඉස්සරහ මෙහෙම අහලා හොදවයින් බැනුම් අහපු වාර අනන්තයි.. ආදරේ ගැන මෙච්චර සැහැල්ලුවෙන්  හිතපු ඔය හිත වෙනස් කරපු කෙනා ගැන අදටත් මට පුදුමයි.. ඔයා එයා ගැන මුලින්ම කියපු දවසේ ඇත්තටම මට මහා ලොකු දෙයක් හිතුනෙ නෑ.තවත් එක්කෙනෙක් විතරයි මට හිතුනෙ එහෙම..ඒත් කල් යද්දි ඔයා ටිකෙන් ටික වෙනස් වුනා. ගොඩාරියක් හොද වුනා.. ඒ ගැන වැඩිපුරම සතුටු වුනේ අම්මා.. නාහෙට අහන්නෙ නැති පෝරිසාදයෙක් වගේ හිටි කෙනා මනුස්සයෙක් වගේ ඉන්න එක ගැන කවුද සතුටු නොවෙන්නේ.. ඒත් ඒ සතුට වැඩිකල් නොරැදුනේ කාගේ අවාසනාවටද කියන්න මං දන්නේ නෑ.
                                     ඇය කාටවත් නොකියම යන්න ගියේ  ඇයි කියලා අදටත් ප්‍රශ්නයක්. එයා යන්න ගිහින් කියලා මට කිව්වෙ යාළුවෙක්.ඔයාට ඒක කියාගන්න බැරි වුනා. පිස්සෙක් වගේ හැම තැනම එයාව හොය හොය යද්දිවත් මට තේරුනේ නෑ ඔය හිතේ මොන තරම් ආදරයක් තියෙනවද කියලා. හැමෝම එකතුවෙලා එයාට බනිද්දි කවදාවත් වච‍නෙකින් වත් අයියා එයා ගැන වරදක් කිවේ නෑ..මේකටද ආදරේ කියන්නේ??? මම දන්නේ නෑ ඒක.... ඇය ගිහින් දැන් ගොඩක් දවස් වුනත් තාමත් ඔය ඇස් එයාව හොයනවා කියලා මං දන්නවා.. හිතේ දුකක් නෑ කියලා කොච්චර කිව්වත් එයාගේ පෝටෝ දිහා බලාන හූල්ලනවා.... 
                     ඉස්සර ලස්සන කෙල්ලෙක් දැක්කම මොනවාහරි මලගෝඩියක්  කරන ඔයා අද කෙල්ලෙක් දිහා හැරිලා බලන්නෙ නෑ... “ජිවිතේ දාලා ගිය කෙනෙක් වෙනුවෙන් අඩනවනම් තමන් ලග ඉන්න අය වෙනුවෙන් අඩන්නේ කවුද?” මං අඩපු වෙලාවක ඔයා මට එහෙම කීවා.... ඒ වචන ටිකම අද මට ඔයාට කියන්න වෙලා... ඉතින් හිත හදා ගන්න.... මං හැමදාම කියනවා වගේ “අපි වැඩිපුරම ආදරේ කරන්නේ ‍අපිට අහිමි දේවල් වලට”... ඉතින් දැන් එන්න.. මට පාළුයි... අපි ආයෙත් එකට හිනාවෙමු... එකට අඩමු... තනියම දුක් වෙනවට වඩා දුක බෙදා ගන්න එක හොදයි නේද?.. මට ඔයාගේ නැතිවෙච්ච දේ ආයෙත් ගෙනත් දෙන්න බැරි වෙයි.ඒත් මට පුළුවන් ඔයාට තනි නොවි ඉන්න දෙන්න..... මම තාමත් බලා ඉන්නවා පාර දිහා ඔයා එනකං.....
                                                            මේ චුටි නංගා..............................

Saturday, October 23, 2010

කදුළු වැටුනා ................


ගෙවෙන තුරු පන්හිද
ඇමුණුවෙමි සියක් පද
එහෙත් කිනම් අරුමද
බොදවීය ඒ සියල් පද

බොද කලේ ඒ කවිපද
දෙනෙතින් ගැලු කදුළු කැට
නොකලෙමි කිසිදු වරදක් මම
කදුළු දුන්නේ නුඔයි සකිසද

දෙනෙත රිදවන කදුළු කැට
ගලායයි නම් මක් කරන්නද
තුන්හිතේ දුකත් අරගෙන
කදුළු වැටුනා කවි පෙලක් අතරට