කොත්මලේ ගැන කියවෙන ජනකතා අතරේ පොන්න නැකැත්තා වගේම දුටුගැමුණු කුමාරයත් ප්රසිද්ධ චරිතයක්..
කාවන්තිස්ස රජතුමා එක්ක අමනාප වෙලා එතුමාට කාන්තාවන්ගේ ආබරණ යැව්වට පස්සේ තමන් ගැන පිය රජ්ජුරුවෝ උදහස් වෙයි කියලා හිතලා දුටුගැමුණු කුමාරයා පල්ලම් බැස්සේ කොත්මලේට...ඒ ඉතින් හැංගිලා ඉන්න හොද තැනක් හිංදා වෙන්ට ඇති..මෙහෙම ආපු කුමාරයා ගැන කලින් වතාවේ මම කිව්වනේ..
කුමාරයා නවාතැන් ගත්ත ගෙදරින්ම පෙළවහකුත් කරගෙන කාලයක් මාවෙල වෙල් යාය අස්වැද්දුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි යුද්ධ කාලෙකදි උවමනා වෙයි කියලා.. ඒ කාලේ ගුත්තා කියලා පෙනි හිටපු කුමාරයා මේ කුඹුරු යායෙන් හොද අස්වැන්නක් ලබා ගත්තලු...අන්තිමට අස්වැන්න කපලා ඉවරවෙලා ගමගෙදරට වි ටික ගෙනියන්න හදනකොට කුමාරයා කලේ කමතේ ඉදන් ගම ගෙදරට යනකන් බිම දිගේ කෙවිටකින් ඉරක් ඇදපු එකයි. ඒ ඇදපු ඉර දිගේ අර වී ටික ගම ගෙදරටම ඇදිලා ගියාලු.
මේ අලුත් අස්වැන්නෙන් පළමුවෙන්ම කිරිබතක් උයලා කුමාරයට දිලා තියෙනවා.. උණු උණුවෙන් දීපු මේ කිරිබත් ටික කන්ට හදිස්සි වෙච්චි කුමාරයා තැනින් තැන ඇගිල්ලෙන් ඇන ඇන කන්ට පටන් අරගෙන. මේක දැකපු වයසක ආච්චි අම්මා කෙනෙක් ගත් කටටම කිව්වලු බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ කරන්ට හදන තාලෙටනේ කියලා..ඒක අහපු කුමාරයා අහලා තියෙනවා ඇයි එහෙම කියන්නේ කියලා..එතකොට ඒ වයසක උන්දැ කියල තියෙන්නේ ඔහොම කුරුල්ලෝ කොටනවා වගේ තැනින් තැන කලබලේට කන්ට හොදත් නැ යුද්ධ කොරන්ට හොදත් නැ..පිළිවෙලකට එක කොනක ඉදන් කන්ට පුරුදු වුනොත් අනික් හැම වැඩක්ම පිළිවෙලකට කරන්ට පුරුදු වෙනවා කියලා...කුමාරයා පස්සේ කාලේ යුද්දෙ පටන් ගත්තම ඇගේ උපදේසයත් ඒ විදිහටම පිළිපැද්දා කියලයි කියන්නේ...අපි පුංචි කාලේ අපිට පිළිවෙළකට කන්ට පුරුදු කරද්දි අපේ ආච්චි අම්මලා නිතරම ඔය කතාව කියනවා...
දිගට ලියන්ට කම්මැලි..ඉතිරිය පස්සේ දාන්නම්