Saturday, June 25, 2011

ඇගේ ජිවන වාක්‍යය "සිහිනය" නම් විය

                    ඇයට තවත් සිහිනයක් දකින්නට අවශ්‍ය විය..නමුත් ඒ පිළිබද ඇගේ සිතේ වුයේ අපහැදිලි ඡායාවක් පමණි.ඒ ඡායාව යථාර්ථයක් කරන්නට ඇය තම හිතට බිදෙන් බිද ශක්තිය එකතු කරමින් සිටියේය..ජිවිතය තුල බිද වැටිම් පැවතුනු බව සත්‍යයක් සේම ඒ තුලින් ලැබු පන්නරයද එයටම සමාන බව ඇය තදින් විශ්වාස කරන්නීය... ජිවත් වීමට නම් සිහිනයක් අවශ්‍යය..ඒ ඇගේ ජිවන වාක්‍යයම විය..කොතෙක් සිහින ඇගේ දෙපා අබියස බිදි අළු දුවිලි වුවද තවමත් ඇ සිහින දකින්නීය...ඇගේ සිහින වලට මා ඇතැම් විට සිනහ වුනෙමි.සමච්චල් කලෙමි.අදටද ඇගේ ඇතැම් සිහිනයන්ට මා සිනාවෙමි.සමච්චල් කරමි.එහෙත් ඈ ඉන් කෝප නොවන්නීය..ඇයට මගේ සිනහව සරදම දැනෙන්නේවත් නැත..ඈ සිහිනය තුල ගිලි ගොස්ය...
                             ඇතැම් දිනෙක මා ඇයට සිහින බිදෙන විට හිතට දැනෙන වේදනාව  තේරුම් කිරිමට  මහත් සේ වෙහෙස වුනි. එහෙත් ඒ සිහිනයෙන් ඈ මුදවන්නට මා හට නොහැකි විය..ඒ වෙනුවට සිදු වුයේ  ඇගේ සිහිනයන්  පිරි අගාධයක මා සිර විම පමණි... මට ඉන් මිදිමට අවශ්‍ය විය... ඒහෙත් ඇයට අනුව මා ජිවිතය වෙනුවෙන් සිහිනයක් දැකිය යුතුය..ඒ සිහිනය ඇගේ ඇස් ඉදිරියේ සැබැවක් කල යුතුය.. ඇය මට අභියෝග කරන්නීය..ඈ මගේ සිත හොදින් හදුනයි...ලගා විමට නොහැකි වුවද අභියෝගයන්ට මා කැමති බව ඈ දනි..ඉදින් දිගින් දිගටම ඇය මා ඉදිරියේ අභියෝගයන් තබා යයි...ඇයට අවශ්‍ය ඇගේ සිහිනය මා තුලින් සැබැ කරන්නටය..අවසානයේ මා නොදැනුවත්වම ඇගේ සිහිනයට නතු වුනෙමි...ඉන් මිදිමට මා බොහෝ වෙහෙස වුනෙමි...මා හට කිසිවෙකුගේ සිහිනයක් මා තුල වැඩෙන්නට ඉඩ හැරිමට අවශ්‍ය නොවීය..ඇගේ සිහින වලට මා කිසිදු ප්‍රියතාවයක් නොදැක්විමි.මට අවශ්‍ය වුයේ මේ මොහොතේ ජිවත් වෙන්නටය. අනාගතයට හෝ අතීතයට ආවඩමින් මහා බරක් හිස මත තබා ගැනිමට අවශ්‍ය වන්නේ ඇයි දැයි මා නිතරම ඇගෙන් ප්‍රශ්න කරමි.
                  හිතට දැනෙන නිදහසට මම අදටත් අසීමිතව ආදරය කරමි...එබැවින් ඇගේ සිහිනයන් මා තුලට නොගැනිමට මා හැකි තරම් වෙහෙස දැරිමි.එහෙත් ඈ මට වඩා දක්ෂය..ඉතා සූක්ෂමව ඈ මා ඇගේ සිහින අතර සිර කොට ඈතට වි බලා හීදියි..එය මා තදින් කෝප කරවන්නක් විය. මට හැකි අයුරින් මා ඇය රිදවුයෙමි.ඇගේ නෙත් මත කදුළු රැදුනද මගේ හිතට වේදනාවක් නොදැනුනි.එහෙත් මා සිත විඩාවට පත් කරන ඇගේ සිහින වලට ඈ වෙනදාටත් වඩා ආදරය කරන්නට විය..සැබවින්ම ඇගේ සිත රත්වු යකඩයක් බදුය..මා එය තලන්නට තලන්නට එය තදින් පන්නරය ලබන්නට විය...අවසානයේ මා ඇය හමුවේ පරාජය බාර ගතිමි. ඇගේ සිහිනය මා තුල ජිවත් කරවන්නට පටන් ගතිමි.
                    කුඩා කල මා ජිවිතය පිරි පැවතියේ සිහිනයන් ගෙනි....ඒ ඇගෙන් ලැබු ආභාෂය නිසා වෙන්නට ඇත.එහෙත් මාගේ සිහින එකින් එක බිද වැටෙද්දි ඒ දෙස උපේක්ෂාවෙන් බලා හිදිමට තරම් ශක්තිමත් හිතක් මට උරුම වි තිබුනේ නැත..බිද වැටුනු සිහින අතර ඊටත් වඩා වේගයෙන් මා ඇද වැටෙමින් සිටිද්දි ඇය මා වෙනුවෙන් අලුත් සිහින එකතු කරන්නට විය.සැබවින්ම මා ඒ මොහොතේ සිහින වලට බිය විය.ඒ තුලින් ලැබෙන්නේ පරාජය සහ දුක පමණක්ම බව මා තදින් ඇදහුයෙමි.එහෙත් මා හට ඇගෙන් මිදිමට නොහැකි විය.ඇගේ සිහින මා තුල පණ ගසා නැගිටින්නට පටන් ගත්තේ මා නොදැනුවත්වය.මා අප්‍රිය කල සිහිනයන් දැන් මගේම සිහිනයන් බවට පත් වෙමින් සිටි....තවමත් ඒ සිහිනයන්ට සිත බියෙන් සැලේ. මේ සිහින බිද වැටුනහොත් මේ ජිවිතය පැවතියාටත් වඩා පහලට ඇද වැටෙනු ඇතැයි මා ඇයට දහස්වර කියා ඇත.එයට වග කියන්නට වන්නේද ඇයටම බව මා කෝප වු සෑම විටම ඇයට කියමි.කෙසේ වුවද එය ඈ කණකට වත් ගන්නේ නැත.ඇය එතරම්ම ඇගේ සිහිනය විශ්වාස කරන්නීය..
                            ඇය දකින සිහිනය මාගේ පැහැබර අනාගතය ය.ඇයට මා සමාජයේ ඉහලින් වැජඹෙනු දකින්නට වුවමනාය..අද ජිවත් වෙන මට ඇයගේ සිහිනය තදින් වැලදුන හිසේරදයකට සමානය.එහෙත් මා එය දරා ගත යුතුය.ඒ මට ඈ පරාජය කල නොහැකි නිසාය.මක් නිසාද යත් ඇ මාගේ ආදරණිය අම්මා නිසාය..ඇ දුටු සිහින සියල්ලක්ම මා වෙනුවෙන් දුටු නිසාය.

6 comments:

  1. අන්තිමට තමයි කා ගැනද කියලා තියෙන්නේ කියලා තේරුනේ.

    ReplyDelete
  2. මේ "මම" කියලා ලිව්වේ පිරිමි කෙනෙක්ද නැත්නම් අකීකරු හිතමද??

    ReplyDelete
  3. සාම්ප්‍රදායිකයි.
    මෙලෝ රහක් නෑ...

    ReplyDelete
  4. මටත් මුලින්ම හිතාගන්න බැරුව කියෙවුවා ... පස්සෙයි දන්නේ

    ළමයි ගැන හීන දකින එක අම්මලාගේ හැටියක් .. අම්මලා ළමයි ගැන හිතන්නේ නැතුව වෙන කා ගැන හිතන්නද ? මටත් අම්මගේ හීන නම් හැබෑ කරන්න බැරි වුණා ..

    ReplyDelete
  5. hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm?

    ReplyDelete