Friday, November 4, 2011

ජීවිතය වටා බැදි මහා පවුරක්...

                                      ජීවිතෙන් ගිලිහෙන හැමදේටම ගිලිහෙන්නට ඉඩ හැරිය පසුත් ජීවිතය වෙනුවෙන් කුමක් හෝ ඉතිරි වෙනු ඇතැයි මා සිතේ දැඩි විශ්වාසයක් තිබුණි. එසේ වුවද රෝද පුටුවක් මතට ඇද වැටුනු ජීවිතයෙන් මා නොසිතු තරම් දෑ ගිලිහෙමින් තිබුනි... එදා අවුරුදු දහයක පොඩි කෙල්ලක වු මාගේ ජීවිතයෙන් බොහෝ දේ පලා යන්නට වු අතර ඒවා මා අසලම නතර කරගන්නට මා බෙහෙවින්ම වෙහෙස වුයෙමි...එසේ නතර කරගත නොහැකිව හඩා වැටෙන විට මා සනසාලන්නට මා අබියස උන්නේ ඔහුය... මා දෙපයෙන් සිටගෙන දස අතේ ඇවිදින කල ඔහු රෝද පුටුවක් මතට වී බලා සිටි අයුරු අදද මට මතකය...එකල ඔහුගේ රෝද පුටුව තල්ලු කරන්නට තරම්වත් උස නැතිවු නමුදු මා හැකි වෙර යොදා ඔහු කියනා තැන් වලට ඔහුව තල්ලු කරගෙන යාමෙන් මහත් සතුටක් ලැබුවෙමි.. ඔහු මාගේ සොහොයුරාය. මගේ චූටි අයියාය. එහෙත් අප අතර තිබුනේ සහ අදටද පවතින්නේ සහෝදරත්වය ඉක්මවා ගිය  පුදුමාකාර බැදීමකි. ඒ බැදිමට දිය යුතු නම කුමක්දැයි  සිතා ගැනිමට මට කිසි විටෙක නොහැකිය....ඔහු විටෙක මට සහෝදරයෙක්ම විය...විටෙක මිතුරෙක් විය. තවත් විටෙක ඔහු මට ගුරුවරයෙකු විය. දෙවියන් විසින් මාගෙන් උදුරා ගත් දැ වෙනුවට හිලව් වශයෙන් එවන් සහෝදරයෙකු මාහට ලබා දෙන්නට ඇතැයි මා විශ්වාස කලෙමි.. 
                             පසුකලක මාද ඔහු මෙන්ම රෝද පුටුවක් මතට ඇද වැටුනු පසු අප අතර පැවති බැදීම තවතවත් දැඩි වුයේ එහි වේදනාව එක ලෙස දැනුනු නිසා වන්නට ඇත..මා පණ පිටින් වළදමන්නට යන කල එයට එරෙහිව අම්මා සමග දැඩි ලෙස රණ්ඩු කලේත් එදා මුළු දවසම කාමරයට වී සිටි සිටියේත් මාගේ වේදනාව ඔහුටද තේරුම් ගිය නිසා වන්නට ඇත. ජීවිතයෙන් බොහෝ දෑ ගිලිහෙන කල චූටි අයියා මට වඩා ප්‍රචණ්ඩකාරි විය. කිසි විටෙක පරදින්නට කැමති නොවීය.. විටෙක කුණාටුවක් මෙන් ප්‍රචණ්ඩව හැසිරෙන ඔහු ආදරය අබියස මළමුහුද මෙන් නිසංසල වෙයි. සැබවින්ම ඔහු කුඩා කල සිට මා දුටු වීර චරිතයක් විය..ලෝකයාට මා මෙන්ම ඔහුද ආබාධිතයෙකු පමණක් වුවද අදටද බොහෝ කාඩ්බෝඩ් වීරයන් අසල මා දකින සැබැ වීරයා ඔහුය..ඒ ඔහු මට ජීවිතය ඉගැන්වූ නිසාය.. 
                                     අප අතර යම් හෝ මත ගැටුමක් පැවතියේ ආදරය බෙදා ගැනිම සම්බන්ධයෙන් පමණකි. අම්මාගේ ආදරය වැඩියෙන් තමන් සතු කර ගන්නට මාත් චූටි අයියාත් ලොකු අයියාත් පිටතට නොපෙන්නු අරගලයක නිරත වුනි. බොහෝ විට අප දෙදෙනාම සිතා උන්නේ ලොකු අයියාට වැඩි සැලකිලි ලැබෙන බවයි.එසේ වුවත් ලොකු අයියා නිතරම චෝදනා කලේ අප දෙදෙනා ගැන හැරෙන්නට ඔහු ගැන එතරම් නොසලකන බවයි.මේ තත්වය තුල අප අතර සිටිමෙන් ලොකු අයියාගේ මානසික තත්වය බිද වැටි ඉගනීම අඩපණ කර ගනීයැයි බියෙන් අම්මා අයියාව ගමෙන් පිට කර ලොකු ඉස්කෝලෙක දමා ඉගැන්වීම අප දෙදෙනාගේම අසතුටට හේතු වූවාක් මෙන්ම එය අප දෙදෙනා අතර දැඩි බැදිමක් ඇති කර ගැනීමටත් ලොකු අයියාගෙන් දුරස් වීමටත් හේතු විය.අප දෙදෙනාම එකම බෝට්ටුවේ බව සිතන්නට පුරුදු වුයේ එතැන් පටන්ය. අදටද අප හා ලොකු අයියා  අතර ඇත්තේ මහා දුරස්ථ බවකි. අම්මාගේ ආදරය බෙදා ගැනීම වෙනුවෙන් එදා මෙන්ම අදත් අප අතර පවතින්නේ ආදරණිය අරගලයකි.
                  මම පුංචි පවුලක බාලයාවිමි.  සැමගේම උතුරා හැලෙන ආදරය මැද දිවි ගෙවු මා හිටි අඩියේ අසනීප වීම ඔවුන් දරා ගත්තේ අසීරුවෙන් බවද මම දනිමි.. එසේ වු පසුත් මා අසල දැවටෙමින් ජීවිතය නැමති පොත මට කියා දුන්නේ ඔහුය. වේදනාව දරා ගත නොහැකිව මරණය යදිමින් සිටි දිනයන් හිදි කදුළු වියළා ගන්නා අයුරුත් ජීවිතය ජීවත් කරවන්නට ඊට වඩා වෙහෙස විය යුතු බවත් නිරන්නරයෙන් කියා දුන් ඔහු බිදුණු හිත ගල් හිතක් බවට පෙරලා ගන්නට අවශ්‍ය දිරිය මට ලබා දුන්නේය. ඔහු ජිවිතය ඉගෙන ගත්තේ තනිවමය..එබැවින් ඔහු මට වීරයෙකුම වන්නේය.. සැබවින්ම  නොසිතු මොහොතක කැඩී බිදි ගිය මගේ සිහින මාළිගාවෙහි ඉතිරිවු නටඹුන්  රැක ගන්න මේ ජීවිතය වටා මහා පවුරක් මෙන්  නැගි සිටින්නේ ඔහුය..

8 comments:

  1. දන්නේ නෑ නංගියේ මොනා කියන්නද කියලා.... අද එයාට විශේෂ දවසක්ද...?

    ReplyDelete
  2. ඹාලු ෆිටි එක මේ බිලොග් පිටුවට ගොඩවැද්ලා කියෙවුව පළවෙනි කථාවම, ඹාලු ෆිටි එක ව ඇඬෙවුවා ....
    ඒ මොකද කියනවා නමි, මගේ අයියත් සහෝදරියගේ අයියා වගේම මට ජීවිතය කියලා දුන්න නිසා...
    මගේ අයියා මේ වෙලාවෙ මම ළඟ නෑ...ඒත් එයාගෙ උණුහුම, සුවඳ මට දැනෙනවා සහෝදරි...
    මටත් උඩහ කමෙන්ටි ගෙදර සහෝදරයා ඇහුව ප්‍රශ්නෙම අහන්ඩ ඕනෙ...ඒකට කමක් නෑ නේද?
    හමිමිමිමිමිමි
    හොඳ බිලොග් පිටුවක් අක්කණ්ඩි.. කඩිමයි...
    දිග ටම යන්න මගේ සුබපැතුමි පිළිගන්න...

    ReplyDelete
  3. අර කිව්වත් වගේ එයාට විෂේශ දවසක්ද ?
    අකීකරු හිතගේ ජීවිත කතාව කියවගෙන යනකොට මගේ හිතට මාරම ශක්තියක් එන්නේ. ඒ ඔයා කොච්චර බාධක තිබ්බත් තමන්ගේ කාර්යය හරියට කරගෙන යන කෙනෙක් නිසා.

    ReplyDelete
  4. දුක සැප බෙදා ගැනීමට සහෝදරයෙක් හෝ සහෝදරියක් ලැබෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ.
    අකීකරුගේ කොත්මලේ කතා ටික නං හරිම වටිනවා, මුල ඉදලම අකීකරුගේ සියලු සටහන් ටික කියෙව්වා.
    අකුරු එකින් එක කියවද්දී මම මගෙන්ම ගොඩක් දේවල් ප්‍රශ්න කලා, එත් හිත නිරුත්තරයි.
    ඔබ දෙදෙනාටම සුවය පතනවා.
    දිගටම ලියන්න....

    ReplyDelete
  5. ඔබේ සොහොයුරා මටද ලබැඳි සොහොයුරෙක්ම විය..ඔබත් ඔහුත් මගේ සිත අසල නිරතුරුවම සිටී...ඔබ දෙදෙනාගේ සොයුරු දම ආත්මයක් පාසා රැගෙන එන්නක්ම විය හැක..ඔබ දෙදෙනාට නිදුක් නීරෝගි භාවය හා දීර්ඝායුශ ලැබේවා...

    ReplyDelete
  6. මා රෝද පුටුවට වැටී වසර 12 ඉක්ම වෙමින් තිබේ.මා රැක බලා ගන්නේ මගේ බාල සහෝදරයාය.ඔහු මා නිසාම රැකියාවකට නොගිය අතරම තවමත් අවිවාහකව සිටියි.මට ඔබේ කතාව ඉතා පැහැදිලිය.ඔබ දෙදෙනාටම නිරෝගී සුවය පතමි.

    ReplyDelete
  7. ජිවිතේ ගොඩාක් දේවල් අපෙන් උදුරගෙන තවත් ගොඩාක් වටින දේවල් දෙනවා ... ආදරේ ගැන පුන්චි රණ්ඩුවක් උනත් වෙලාවකට ඉතින් සුන්දරයිනේ

    ReplyDelete
  8. නංගියෙක්ගේ ආදරය මොකද්ද කියලාවත් දන්නැති අයියලා ඉන්න රටක ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ. අද මගෙ අයියාට එයාට නංගියෙක් ඉන්නවා ද කියන එකත් අමතක වෙලා............... :(

    ReplyDelete