Monday, October 17, 2011

හිතුව තරම් ලේසි නැති කැම්පස් ජීවිතේ

                       කැම්පස් ජිවිතේ ගැන ගොඩක් දෙනෙකුට තියෙන්නේ සොදුරු මතකයන්....ඒත් මට නම් කැම්පස් එක ගැන මතක් වෙද්දි හිතෙන්නේ අයියෝ කවද්ද මේ මගුල ඉවර වෙන්නේ කියලා....... හැබැයි බොරු කියන්නේ මොකටද කැම්පස් තේරුනාට පස්සේ නම් ඒ ගැන තිබුනේ මාර උණක්.. විශේෂයෙන්ම පේරාදෙණි එන්න...හිතුවා වගේම පේරාදෙණියට තේරිලා මුල්ම දවසේ හාහා පුරා කියලා ආවට පස්සෙයි තේරුනේ හිතුවට වඩා වැඩේ අමාරු බව. ගෙදරින් එද්දි පොදි බැදගෙන ආපූ සතුටුදායක සිතුවිලි බොහෝමයක් මුල් දවස් වලම හේදිලා ගියා..වැඩි දෙනෙකුට මුල් දවස් වල කැම්පස් එක එපා වෙන්නේ රැග් එක නිසා.. ඒ වුනාට මට කැම්පස් එක එපා වෙන්න වෙන හේතු කිපයක්ම තිබුනා. මට තිබුන ලොකුම ප්‍රශ්නේ වුනේ පඩිපෙළවල්...!!
            අපේ ෆැකල්ටියේ යන යන තැන පඩිපෙළවල්..ඒවා දැක්කම මට සසර කළකිරුණා.. අප්පොච්චියේ..!!මම කොහොමද මේ පඩිපෙළවල් වලින් යන්නේ??  මගේ ජිවිතේ මම අකමැතිම දේවල් අතරේ මුලිකම වෙන්නේ පඩිපෙළවල්... පොඩි පොඩි පඩිපෙළවල් වලින් යන එක නම් කොහොම හරි කර ගත්තත් පඩි 4-5ක් තියෙන තැන් වලින් යන එක කොහොමත් කරන්න බැරි වුනා...ඒ හිංදාම අදටත් මට ෆැකල්ටියේ ගොඩක් තැන් වලට යන්න බෑ..මේ ගැන අපේ පීඨාධිපතිතුමියත් එක්ක කතා කලාට පස්සේ යම් තරමක සහනයක් ලැබුනා..ඒ මම යන තැන් වල පඩිපෙළවල් වලට ලෑලි තට්ටුවක් දාන එක...හරස් අතට තියෙන ලෑලි උඩ රෝද පුටුවක් යවන එක ඒ තරම් ලේසි නොවුනත් එහෙම හරි පිළියමක් ලැබුනු එක හොදයි කියලා හිත හදා ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා..මේ වෙනකොට ලංකාවේ නීතියට අනුව සෑම රජයේ ආයතනයකම ආබාධිත අයට  ඇතුලු විමට හැකි වන පරිදි සකසා තිබිම අනිවාර්ය කර තිබුනත් ඒක හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා නම් මම දන්නේ නැ..  පේරා කැම්පස් එක හදලා තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් නිසා ඒ වගේ පහසුකම් සැපයීම අමාරුයි කියලයි  මගේ ඇඩියාව අහපු නිළධාරින් කීවේ...ඒ වගේම මීට කලින් අපේ ෆැකල්ටියේ රෝද පුටු පාවිච්චි කරපු අය නොසිටිය නිසා ඒ වගේ පහසුකම් ගැන අවධානයක් නොදුන් බවත් කිව්වා..හැබැයි මට පස්සේ තවත් රෝද පුටු  පාවිච්චි කරන දෙන්නෙක්ම ආව නිසා ඔවුන්ට සිද්ද වුනා තුන්දෙනෙක්ගෙම කන්කෙදිරිගෑම් වලට උත්තර දෙන්න...
                       පඩිපෙළවල් ප්‍රශ්නේ වැඩිපුරම දැනුනේ පුස්තකාලේට යද්දි...මේ වෙනකොට මගේ අවසාන අවුරුද්දත් පටන් ගත්තත් මම පුස්තකාලේට ගිහින් තියෙන්නේ දෙපාරයි.. පුස්තකාලේ තියෙන ලිෆ්ට් එක අපට පාවිච්චි කරන්න දෙන්න කියලා මුල් කාලෙදිම ඉල්ලුවත් ඒකට ප්‍රතිචාර ලැබුනේ අවුරුද්දක් ගියාට පස්සේ... මේ දේවල් එක්ක කන්කෙදිරි ගගා වැඩ කරන අතරෙදි මේ වෙනකොට යම්තාක් දුරට අපේ ඉල්ලීම් ඉටු වෙමින් යනවා..ඒත් අපි යනකන්ම ඒවා සම්පුර්ණ නොවෙන වග නම් හොදටම විස්වාසයි...මොකද මේ ලංකාවනේ.... ඒ මොනව උනත් බොහෝමයක් දෙනෙක් මට උපරිමයෙන් උදව් කලා. මගේ අම්මා.. යාළුවෝ... ගුරුවරු...අක්කලා අයියලා....ඒ වගේම උදේ හවා පාරේ යද්දි එද්දි හමුවෙන මිනිස්සු පවා ඒ අතරේ ඉන්නවා...  ඒ අතරෙම උදව්වක් ඕන වුන වෙලාවක දැක්කත් නොදැක්කා වගේ යන...වචනෙන් විතරක් පණ වුනත් දෙන ඈයොත් ඕන තරම්...මේ පඩිපෙලවල් ප්‍රශ්නේ හිංදා මම දේශන මගඇරපු අවස්ථා ඕන තරම්..සමහර වෙලාවට කම්මැලි හිතුනම ඒ පිටින් දාලා මග ඇරලා ගෙදර ආපු අවස්ථාත් එමටයි....පහුගිය වාරේම සදුදා දවස මම ගෙදර හිටියේ ඔය පඩිපෙළවල් ප්‍රශ්නේ හින්දා මට දේශන වලට සහභාගි වෙන්න බැරි නිසා...
                        පඩිපෙළවල් ප්‍රශ්නේ ඇරුනම මට මුල්ම දවස් වල තිබුන තවත් ප්‍රශ්නයක් වුනේ හොස්ටල් එකේ ඉදලා ෆැකල්ටියට එන දුර... ඒ වෙනකොට මම කවදාවත් පාරක රෝද පුටුවෙන් ගිහින් තිබුනේ නැ.ගමේදිවත් මම පාරේ රෝදපුටුවෙන් නොගියෙ පාරේයන අනික් මිනිස්සු මම දිහා බලන අමුතු විදිහ නොරිස්සු නිසා..ඒත් කැම්පස් එකේදි ඒකට වෙන පිළියමක් තිබුනේ නෑ. පාරට බහින්නම සිද්ධ වුනා...මුල් දවස් වල නම් වටපිටාවේ අයට මාව අමුත්තක් වුනත් කල් යද්දි ඒක සාමාන්‍ය දෙයක් වුනා..හැබැයි අදටත් සමහර දවස්වලට බස් වල යන අයත් ජනේලෙන් ඔළුව දාලා අමුතු විදිහට බලන වෙලාවලුත් තියෙනවා..එක දවසක් බස් එකක යන ආච්චි අම්මා කෙනෙක් ජනේලයෙන් ඔළුව දාලා අනේ මයේ දරුවට දෙයියංගෙම පිහිටයි කියද්දි නම් හිතට දැනුනේ අමුතුම හැගීමක්...
              මේ හැම දෙයක් එක්කම කැම්පස් ජිවිතේ ඉක්මනින්ම ගෙවිලා යනව නම් තමා මම වැඩියෙන්ම කැමති...ඒත් හැමෝටම වගේ අන්තිම දවස් ලං වෙද්දි මටත් මේක දාලා යන්න දුක හිතෙයි දන්නේ නැ...මොකද දෙයක් අහිමි වෙද්දිනේ ඒකේ අගේ වැඩිපුර දැනෙන්නේ....

23 comments:

  1. අතීතයෙන් අහුලන මතක සහ බට්ටිගෙ බ්ලොගේට පස්සෙ මුණගැහුන කියවන්න ආස හිතෙන බ්ලොගයක්... මොන දෙයක් වුනත් තමන්ගෙ ගමන යන්න ෆිට් එකක් තියෙන මිනිස්සුන්ගෙ කතා වලට සාතන්ගෙ පුදුම කැමැත්තක් තියෙන්නෙ...

    ReplyDelete
  2. බය වෙන්න එපා නංගි. ඔයාගෙ ඔය දිරිය ගමන සාර්තක වේවා.

    ReplyDelete
  3. අපේ කැම්පස් එක තියෙන්නේ කදුකරයක හන්දා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. පීඨාධිපතිතුමිය කරපු වැඩෙත් යම්තාක් දුරට ප්‍රයෝජනවත් උනා නම් ඒක සතුටක් !!!

    සමහර පඩි පෙළවල් වල දෙන්නෙක් මාරු වෙන්නත් බෑ. එහෙම වෙලාවට නම් එපා වෙන්නැති.

    නිසූපා අක්කා වගේ මාත් ඔය දිරිය ගමනට සුබ පතනවා. විජේවර්ධනේ නම් ලේසියෙන්ම යන්න පුලුවන්. ඒත් සංගමිත්තා එක ලැබුනොත් නම් කාගේ හරි උදව් ගන්න වෙයි ඔයාට

    ReplyDelete
  4. සොයුරිය ඔබ කියවලා තියනවා ඇතිනේ බරීස් ප්ලෙවොයිගේ ද ස්ටොරි ඔෆ් ද රියල් මෑන්.
    ඔබට ජය පතනවා!!

    ReplyDelete
  5. මට හිතෙන හැටියට අකීකරු හිත තාම කැම්පස් අවුට් වෙලා නැතුවැති. අවුට් උනේ ලඟදි නම් අපිත් එක්ක උපාධි ගන්න ඒවි. කොහොමහරි හම්බ උන වෙලාවක අනිවාර්යෙන් මම් වචනයක් දෙකක් කතා කරලා යන්න එන්නම්. අකීකරු හිත වගේ කෙනෙක් එක්ක වචනයක් කතා කරන්න ලැබීමත් සතුටක් !!!!

    ReplyDelete
  6. කැම්පස් හැමඑකකම වගේ පඩිලෙළවල් නං තියනවා.අවුට් උනයි කියලත් පඩිපේලි නගින්න සිද්ධවෙනඑක නවත්වන්න බැරිවේවි. ඒත් සැලෙන්න එපා.ඔන දෙයක් කරන්න හිත ශක්තිමත් කරගන්න.

    ReplyDelete
  7. ඔය හිතේ හයියම ඇති නංගො.... ඔයට ඉහලට යන්න... හැම දෙකටම සුබ පතනවා.....

    ReplyDelete
  8. ඔයා ජීවිතයට ලස්සනට මුහුණු දෙනවා නංගි.

    ReplyDelete
  9. @සාතන් - ස්තුතියි මේ පැත්තේ ආවට
    @නිසුපා- ස්තුතියි අක්කේ...
    @මධුරංග- කදුකරය ලස්සනයි...ඒත් බාධක වැඩි... :) මට හම්බ වුනේ රාමනාදන් එක...තව අවුරුද්දක් මේකේ ඉන්න වෙනවා අයියො
    @වෙද ගෙදර මහ වෙදනා - අනේ මම කියවලා නැනේ..
    @රාජ්- ඔව් යාළු මම දන්නවා පඩිපෙළවල් මෙතනින් කෙලවර නොවෙන බව..ස්තුතියි ආවට..
    @පිස්සා පලාමල්ල- සුබ පැතුමට වගේම මේ පැත්තට ආවටත් ස්තුති වේවා
    @prasanna86k - ලස්සනට නම් මංදා ...ඒත් මූණ දෙනවා ඉතින්

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. "මං හැමදාම ආදරේ කලේ ඉක්මනින්ම අහිමි වෙන දේවල් වලට..."
    මේ අදහසනම් ගොඩක් ලස්සනයි...

    මුල ටික කියවනකොටනම් මන් හිතුවේ විහිළුවක් කියල ඒත් සම්පුර්ණ කතාවම කියෙව්වහමයි තේරුනේ...ගොඩක් දුකත් හිතුන ඒත් සතුටකුත් හිතෙනවා මෙච්චර දුරක් ජිවිතේ ජයගත්තා එකට..

    "අහස උසට හීන මාළිගා හදපු..ඒ හීන මාළිගා බිදිලා යනවා මේ ඇස් දෙකෙන්ම දැකපු කෙනෙක්.. බිදුනු මාළිගාවේ නටඹුන් අතර නැති වුන ජිවිතේ හොය හොයා සක්මන් කරන්නියකි මම"

    මේ ජීවිතය අනිවාර්යයෙන්ම හම්බෙයි..ඒ ඔය තියෙන උත්සාහය හින්දම..

    ජය වේවා.....!

    ReplyDelete
  12. අනිවාරයෙන්ම දාලා යන දවදට දුක හිතෙයි කියලා කියන්න බෑ...ඒත් ඇස් වලට කදුලු එයි කියලා අනිවා කියන්න පුලුවන්

    දෙවි පිහිටෙන් ජිවිතේ දිනන්න ශක්තිය ලැබෙනවා ඔයාට

    ReplyDelete
  13. අත පය හතර තිබිලත් මට කැම්පස් එකකට යන්න බැරි වුනේ මගේ මොලේ නැති කම නිසා ..අපි හැමෝටම යම් දෙයක් අඩුයි .. කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නෑ නේද ?

    අත පය හරියට තිබිලත් උසස්පෙල කඩෛම පැනගන්න බැරි වෙච්ච මට වඩා ඔයා කොයිතරම් දක්‍ෂද ?

    ජය වේවා අක්කේ ..එලටම ඉගනගෙන රට වැඩක් කරන්න

    ReplyDelete
  14. මොනා කියන්නද කියලා හිතා ගන්න බැහැ නංඟා .....
    ඔයාට ජය .........
    සැලෙන්න එපා .......

    ReplyDelete
  15. නගෝ....හිත අත්නම් පතකුඩාද..........

    ReplyDelete
  16. කිව්වත් වගේ හැම එකකම වටිනාකම තේරෙන්නෙ ඒකෙන් අයින් වෙන්න ලන් උනාම නැත්තන් අයින් උනාට පස්සෙ තමා... මොනව උනත් "රතු මුහුද" කිව්ව වගේ "හිත ඇත්නන් පත කුඩාද?" සුබ පතනව අක්කේ :-)

    ReplyDelete
  17. ඔන්න බලන්න නංගියෙ තව ටික දවසකින් ඔයාටම හිතෙයි ජිවිතෙ ලස්සනම පරිච්ඡේදය මෙ කාලෙ කියලා .....
    …ඇත්තටම මට උඹෙ දහිරිය , උත්සහය අගේ කරන්න වචන නැ නංගියෙ.... ඉස්සරහටත් ජිවිතෙ ජය ගන්න යොධ බල යොධ ශක්තිය ලැබෙන්න කියලයි මෙ සිරි අයියගෙ පැතුම ....

    ReplyDelete
  18. ඔයාගේ කතාව කියෙව්වම මට හිතුණා ඔයාව හම්බවෙන්න ඇත්නම් කියලා...දුකකුත් ඇති වුණා. ඒත් ඔයාගේ ධෛර්යය දැක්කාම මට ඔයා ගැන ආඩම්බරයි. මම ඔයා ඉන්න තත්වේ උන්නා නම් මම දන්නවා මට ඔය තරම් ධෛර්යයක් තියෙන එකක් නෑ කියලා.
    ඔයා කිව්වට ඔයා ආදරේ කලේ හැමදාමට් අහිමි වෙන දේවල් වලට කියලා, ඔයා විතරක් නෙවෙයි අපි හැමෝම ආදරේ කරන්නේ අහිමි වෙන දේවල් වලට තමයි. මේ කිසිම දෙයක් සදාකාලික නෑනේ.
    පේරාදෙණිය මගෙත් සරසවිය...රාමනාදන් එකේ ඉඳලා ගලහා හන්දියට එනකල්ම සුන්දර, අසුන්දර මතක ගොඩක් එහේ මටත් තියෙනවා..
    මම ප්‍රාර්ථනා කරනවා සරසවියෙ හැම සුන්දර දෙයක්ම ඔයාට සතුටක් ගෙන දේවා කියලා...හැම වෙලේම සතුටින් ඉන්න උහ්සාහ කරන්න නගෝ...ඔයාට සදා ජය..

    ReplyDelete
  19. අක්කගේ ධෛර්යය දැක්කාම මට ඔයා ගැන ආඩම්බරයි..සුබ පතනවා ඔයා කැමති විදියට ඔයාගේ ජිවිතේ සාර්ථක වෙන්න කියල....

    ReplyDelete
  20. මුලින් ම අද තමයි මම මේ බ්ලොග් 1 කියවන්නෙ. ඔයා හරි අමුතු කෙනෙක් කියලා හිතෙනවා අක්කෙ. ඔයා දැන් ඉන්න තැනට එන්න ඔයාගෙ හිතේ කොච්චර ලොකු ධෛර්‍යයක් තියෙන්ඩ ඇති ද? හ්ම්ම්...................... කැම්පස් ලයිෆ් 1 මාර ෆන්ලු. ඔයාටත් ඒ සතුට ඒ විදිහට ම විඳ ගන්න ලැබේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම ඔයාගේ මුලු ජීවිතේ ම සාර්ථක වේවා!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  21. ඔයා තාමත් ඉන්නවද විශ්ව විද්‍යාලයේ?????? කතා කරන්න ආසයි...මම දැනගෙන හිටියේ නැහැ මේ වෙනකන් ඔයා මගේ ෆැකල්ටි එකේම කියලා...කතන්දරගේ බ්ලොග් එකට මදුරංග අයියගේ කමෙන්ට් එකක් හරහා මෙහාට ආවේ

    ReplyDelete
  22. @Deepika Priyadarshani- මම තාමත් ඉන්නවෝ... මේ අන්තිම අවුරුද්ද....මාව දැක්කොත් අනිවාරියෙන් කතා කරන්න හොදේ...

    ReplyDelete
  23. අපරාදේ මම මේක දැක්කේ දැන් නේ.. දැන් නම් අවුට් වෙලා ඇති නේ??

    ReplyDelete