Sunday, August 26, 2012

කතාවක් දිගේ ඇවිද යමුද 11


අදුරු හෙවනැලි අස්සෙන් මතු වුනේ වෙන කවුරුත් නෙමෙයි ,
පාල!!!!!
ඇස් දෙකත් නළලේ ඉන්ද ගෙන පාල අපි දිහා බලන් හිටියේ හරියට අපි හොල්මන් කියලා හිතාගෙන වගේ.
"මොන මගුලක්ද මේ? එතකොට පාලද මේ හොල්මන් කරන්නේ?" මගේ හිතට ආපු පළවෙනි ප්‍රශ්නෙ ඒක. ඒත් මම කතා කරන්න කලින් අමන්දා මැද්දට පැන්නා...
"පාල!! මොනවද මේ කළුවරේ කලේ? එතකොට තමුසෙද මේ දේවල් කලේ...මට නම් හිතා ගන්නවත් බෑ පාල මෙහෙම කරයි කියලා.." අමන්දගේ  කෑ ගැහිල්ලට පාල විතරක් නෙමෙයි මාවත් ගැස්සිලා ගියා.
"ම..මම මොනවත් කලේ නෑ චූටි මැණිකේ."
"මොනවත් කලේ නැත්තම් දැන් ටිකකට කලින් ඔහේ මොනව කරනවද අපි දැක්කේ?"
ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර පාල ළග නැ වගෙ මගෙ මිත්‍රයා..
"පාල මේ බලනවා... අපි දැන් මේක හොදින් බේරගමු. දැන් අපිට ඇත්ත කිව්වේ නැත්තන් අපට සිද්ධ වෙනවා පොලීසියට කියන්න."
"පොලීසියට යන්න තරං වැරැද්දක් මම කළේ නෑනේ දෙයියනේ..මම නිකමට අර පඩිපෙළ දිගේ ගියා විතරයි... ඒක හිරේ ලගින්න තරං වරදක්ද චුටි මැණිකේ..."
පාල වැදගෙනම බිම වාඩි වුනා.
"නිකමට? ඉස්සර වෙලා බෙරිහන් දුන්න විදිහට ආයෙත් ඒ පැත්තට යන්න තරම් හිතේ හයියක් ඔහේට තිබුනද? අනික ආයේ එන්නේ නෑ කියලා නේද කිව්වේ?"
"ඒ වෙලාවේ හිතේ වේගෙට එහෙම කිව්වා තමයි. ඒ වුනාට මෙහෙ දාලා යන්න මගේ තුං හිතකවත් නෑ චූටි මැණිකේ...පුංචි සංදියේ ඉදලා මම හැදුනේ මේ වහල යටනේ.ඉතින් චුටි මැණිකේ හිතනවද කන්ට දීපූ අත හපා කන්ට තරං නරුමයෙක් කියලා මම?"
"ඒකම තමයි පාල මමත් අහන්නේ ? හරි මට දැන ගන්න ඕන දැන් අර පඩිපෙළ දිගේ ආවේ  මොකටද කියලා? ඒ පැත්ත කවුරුත් පාවිච්චි කරන්නේ නෑනේ?"
අමන්දගේ ඒ ප්‍රශ්නෙත් එක්ක පාල ආයෙත් කන්කෙදිරි ගාන්න පටන් ගත්තා... ඔන්න මගෙ මිත්‍රයා මට හොදටම විශ්වාසයි පාල කියන්නේ අපි හිතාගෙන හිටපු ජාතියේ මිනිහෙක් නම් නෙමෙයි.
"මම එතනට ගියේ අර දුවපු මනුස්සයා  කොහේ ඉදන්ද ආවේ බලන්න...නැත්තං මොකක් හරි හෝඩුවාවක් තියෙනවද බලන්න."
පාලගේ මේ වචන මගේ සැකේ තවත් වැඩි කරනවා..
"ඉස්සර වෙලා අර තරම් බය  වුන කෙනා කොහොමද එතනට ගියේ තනියම?"
"මයේ ඇස් දෙකටම දැක්කනේ ඒ මිනිහා දුවනවා. ඉතින් තවත් එතන කවුරුත් ඉන්න විදිහක් නෑනේ. ඒ හිංදයි මම බලන්ට ගියේ."
"හරි එහෙනම් අපිත් පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් බලමු නේද අමන්දා... ඒ පඩිපෙළ කොහෙටද යන්නේ?"
"උඩ තට්ටුවේ එතන එළියෙන් තියෙන කොරිඩොව දිගේ ගියාම පොත් කාමරෙ ළගට යන්න පුළුවන්... ඔයාලට බලන්න ඕන නම් අපි යමු."
"නෑ නෑ එහෙ යන්ට ඕන නෑ චූටි මැණිකේ. එතන මොනවත් නෑ.. මම බැලුවනේ."
පාල ඉදන් හිටපු තැනින් නැගිට්ටේ අපි යන්න හදන එක නවත්තන්න වගේ.
"කමක් නෑ අපි නිකන් ගිහින් බලමු... මට ආසයි ටිකක් ඒ පැත්ත බලන්න. අනික ඉස්සෙල්ලා අපට හරියට පොත් කාමරේ බලන්නත් බැරි වුනානේ. අපි එතනින් ගිහින් කාමරෙත් ටිකක් බලමු." 
මම එහෙම කිව්වේ එතන බලන්න තියෙන ආසාව වගේම පාලගේ ප්‍රතිචාරය මොන වගේද කියලා දැන ගන්න.
"මේ රෑ කළුවරේ යන්ට එපා. අනික එතන මොනවත් නෑ..මම බලලයි ආවේ. මේ රෑ ජාමේ සීතලේ එළියේ ගැවසෙන්ට හොද නෑ. අනික මේ පැත්ත පුරුදු නැති තමුන්නැහේලාට මේ හීතල හොදම නෑ. දැං ඉතින් ඇතුලට යන්ට. මම රෑට කන්ට මොනා හරි හදලා දෙන්නම් ඉක්මනින්ම."
පාල ඒ ටික කිව්වේ ඉල්ලීමකටත් වඩා අණක් දෙන්නා වගේ.
පාල එහෙම කිව්වේ ඇත්තටමද නැත්තම් අපි යන එක වළක්වන්නද?
"එක අතකින් පාල කියන එක හරි මේ සීතලේ අපි යන්න ඕන නෑ. හෙට අපි බලමු. දැන් එන්න ඇතුළට. මේ සිතල ඔරොත්තු දෙන්නේ නෑ කාටවත්." 
අමන්දා එහෙම කියද්දියි මට දැනුනේ මාව හොදටම වෙව්ලන බව.
"හරි එහෙනම් යමුකෝ. එන්න මගෙ මිත්‍රයා අපි ඇතුළට යමු."
පාල අපි යනකන්ම බලන් හිටපු වග දැක්කේ අතුළට ඇවිල්ලා ආයෙමත් හැරිලා බලපු වෙලාවේ. මේ අවුලේ කොහේ හරි තැනක පාලත් ඉන්නවා කියන එක ගැන නම් මට දැන් ලොකු විශ්වාසයක් තියෙනවා. මම හිතන්නේ ඔබටත් ඒක දැනෙන්න ඇති නේ මගෙ මිත්‍රයා...
කෝ මේ අමන්දා? අපි එයත් එක්ක ටිකක් කතා කරමු..
ඕ මේ මොකද වුනේ!!! කරන්ට් එක ගියා නේද?  හොද වෙලාවට අපි එළියේ නොහිටියේ.
එන්න අපි හෙමිට යමු.
කොහොම වුනත් පාල අපිට යන්න නොදුන්න එක ගැන පොඩි සැකයක් මගේ හිත ඇතුලේ කැරකෙද්දියි, අමන්දා තරප්පු පෙළ ළග ඉදන් අපිට එතනට එන්න කියලා අතින් සංඥා කලේ.
ඒ පාර මෙයා මොනවද කරන්න යන්නේ?
'හෙමිට එන්න. අපි මේ පැත්තෙන් උඩට යමු. මට පාල කිව්ව දේවල් ගැන සැකයි. එයා අපි උඩට යනවට කැමති නෑ වගේ ඔයාලට තේරුනේ නැද්ද." අමන්දා ඇහැව්වේ හෙමීට.
"ඒක නම් එහෙම තමයි. අපි එහෙනම් ඇතුලෙන් ගිහින් බලමු. මටත් හිතෙනවා පාල මොනා හරි අපෙන් වසන් කරනවා කියලා." එන්න මගේ මිත්‍රයා අපි යමු.

25 comments:

  1. හ්ම්... බලමු පාල මොනවගේ චරිතයක් වෙයිද කියලා...

    ReplyDelete
  2. උඩට ගිහින් මොන ගිනි විජ්ජුම්බරයක් වෙයිද මන්දා .....?

    ReplyDelete
    Replies
    1. බය වෙන්ට එපා රොබින්. ඔයා ලග දුන්නක් තියෙනවනෙ

      Delete
  3. මං ඉතුරු කොටස් ටිකත් කියවලාම එන්නම්කෝ...

    ReplyDelete
  4. කරන්ට් නැතුව කලුවරේ...මට නම් බැරියෝ යන්න.........

    ReplyDelete
    Replies
    1. බය වෙන්ට එපා අක්කා ...අනේ අපි යං

      Delete
  5. සමහර විට පාල කියන්න ඇත්තේ ඇත්තක් වෙන්න පුළුවන්. අමන්දා (මම) ඇතුළු කට්ටිය පාල දිහා සැකෙන් බලද්දී එයා ගැන සැකයක් හිතෙන එක අරුමයක් නෙමෙයි. සමහර විට පාල මේකට සම්බන්ධ ඇති. නැත්තන් පාල කොහෙත්ම මේකට ගෑවිලාවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් එහෙම වෙන්නත් පුළුවන්

      Delete
  6. 11 ත් කියෙව්වා... කියවන්න කියවන්න ආස හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. තව ටික දුරයි කතාව... ඉදිරියටම එන්නකෝ

      Delete
    2. අනිවාර්යයෙන්ම... දිගටම බලනවා...

      Delete
  7. සහතික ඇත්ත.. කියවන්න කියවන්න ආස හිතෙනවා.. ඉක්මනට කතාව දාන්නකෝ....
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. හොදයි මම ඉක්මනට දාන්නම්..

      Delete
  8. පාල කියන්නේ ටිකක් සැක හිතෙන විදිහට ඉන්න චරිතයක් වගේ. අපි බලමු මොකද වෙන්නේ කියලා... !!!

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් එහෙම හිතෙනවා. අපි බලමුකෝ

      Delete
  9. මේකනම් මහ අණ්ඩපාලයෙක් වගේ. අපරාදෙ පොලිසියට කියන්ඩයි තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. මේ රෑ පොලීසි යන්න විදිහක් නෑනේ... අපි බලමුකෝ තව ටිකක්

      Delete
  10. හුඟ කාලෙකින් මේ පැත්තේ එන්ඩ බැරි උනා, අක්කන්ඩි ලොකු ගමනකුත් ගිහින්, ඔන්න මාත් එක්ස්ප්‍රස් ට්‍රේන් 1ක නැගලා ඉක්මනට ආවා

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ..හොද වෙලාවට ඔයා ආවේ...

      Delete
  11. මටත් හිතෙනවා පාලගේ මේවට කිසිම සම්බන්දයක් නැතුව ඇති කියලා. බලමුකෝ ඉස්සරහට ගිහින්.

    ReplyDelete
  12. යකඩෝ..කෝ මේකේ ඉතිරි ටික..වැඩක් පොලක් කොරන්නෙත් නැතුව මං ඔපීසියේ හොරාට මේක කියෝලා දැන් මේක මග නැවතිලා වස අමාරුවකයි වැටුනේ..

    ReplyDelete