Sunday, October 24, 2010

ඉතින් දැන් එන්න


 “අම්මා.... මෙන්න අයියා....” මම කට ඇරියේ කේලමක් කියන්න.. ඒත් ඊට වඩා මොනවත් කියන්න ලැබුනෙ නෑ..අයියා අත් දෙකින්ම බදලා මගේ කට වැහුවා... මං දැගලුවේ මට හුස්ම ගන්න බැරිව මැරෙයි කියන බයට.. “කෑ ගහන්නේ නැතිව ඉන්නවා යෝදියේ.. ඔයාටත් කෑල්ලක් දෙන්නම්”
“ම්ම්..... අන්න එහෙම එන්න.. හැබැයි මට ලොකු කැල්ලක් ඕන”
මම අතින් ලොකු කැල්ල පෙන්නුවා.. “පෙරේති ආ ඉතින්” ලොකු කේක් කෑල්ලක් දෙන ගමන් අයියා එහෙම කිව්වේ ආදරේට කියලා මං දන්නවා..
“හරි ෂෝක් අයියයි නංගියි”
පිටි පස්සෙන් ඇහුන කටහඩට මං විතරක් නෙමෙයි අපේ සුපර් හීරෝත් ගැස්සුනා....අම්මා  ඉනට අත් දෙකත් තියාගෙන බලන් ඉද්දි බොරුවක් හදාගන්නවත් කටේ පුරවන් හිටි කේක් කැල්ල ගිලගන්නවත් වෙලාවක් තිබුනෙ නැ.. කටේ පුරව ගත්ත කේක් කැල්ලත් එක්ක කට ඇර ගන්න බැරි නිසා මං අයියාට මුවා වුනා.
“නෑ  අම්මා මේ නංගිට බඩගිනි කිව්වා ඒකයි”
“යකෝ මේකා කියන බොරු.... තරහටම මං වැලමිටෙන් ඇන්නා හොද පාරක්..
---------------------------------------------
මගේ අයියේ,
                           මට මේක මතක් වුනේ මේසේ උඩ තිබුන කේක් එක දැකලා. ඇත්තටම  මොන වැරද්ද කලත් අන්තිමට ඒක මගේ පිටින් යවන්න පුදුම දක්ෂයි. එහෙම කලේ සාමාන්‍යයෙන් කවුරුත් මට බනින්නෙ නැති නිසා. මොන තරම් වලි ගියත් අන්තිමට අපි හොද යාළුවෝ.. එන්න එන්න වයසින් වැඩි වෙද්දි අපි සහෝදරයන්ටත් වඩා හොද යාළුවෝ වුනා.. මගේ හැම දුකකදීම හෙවනැල්ලක් වුනේ ඔයා.. ජිවිතේ ගොඩාක් විදවන කාලේ මං මට මැරෙන්න ඕනේ කියලා කෑ ගහලා අඩද්දි මාව ජීවත් කරවන්න පුදුම ‍විදිහට වෙහෙසුනා. ජිවිතේ ගැන කියලා දුන්නා.. සමහර වෙලාවට අහන් ඉන්න බැරි තරම් බැන්නා.. කෑගැහුවා.. ඒ හැම දෙයක්ම  මට තියෙන ආදරේට කියලා මං දන්නවා.. ඇත්තටම මට පුදුමයි මේ වගේ ආදරයක් ලබන්න මට ලැබුන එක ගැන..
                                 ඒත් අද මට ජිවිතේ කියලා දුන්න කෙනාගේ ජිවිතේත් කුණාටුවකට අහුවෙලා කියලා දකිද්දි මේ හිතට කොච්චර දුකද. කවදාවත් කිසිම දෙයක් ගානකටවත් නොගත්ත කෙනා අද විදවනවා.. ඒකත් ආදරයක් හින්දා.. ඇත්තමයි ආදරේ නිසා කෙනෙකුට මෙච්චර දුකක් විදින්න පුළුවන් කියලා මං දැන ගත්තේ ඔයාගෙන්.මං දන්න කාලේ ඉදන් අයියන්ඩිට තිබුනේ හරි ආදරබර හිතක්.. ඉතින් කවුරුහරි කෙල්ලෙක් ගැන කියන්න පටන් ගනිද්දිම “ඔයා ඔය කියන්නෙ  කීවෙනි ගර්ල්ප්‍රෙන්ඩ් ගැනද කියලා අහන එක මගේ පුරුද්දක් වෙලා තිබුනෙ.. සෙනග ඉස්සරහ මෙහෙම අහලා හොදවයින් බැනුම් අහපු වාර අනන්තයි.. ආදරේ ගැන මෙච්චර සැහැල්ලුවෙන්  හිතපු ඔය හිත වෙනස් කරපු කෙනා ගැන අදටත් මට පුදුමයි.. ඔයා එයා ගැන මුලින්ම කියපු දවසේ ඇත්තටම මට මහා ලොකු දෙයක් හිතුනෙ නෑ.තවත් එක්කෙනෙක් විතරයි මට හිතුනෙ එහෙම..ඒත් කල් යද්දි ඔයා ටිකෙන් ටික වෙනස් වුනා. ගොඩාරියක් හොද වුනා.. ඒ ගැන වැඩිපුරම සතුටු වුනේ අම්මා.. නාහෙට අහන්නෙ නැති පෝරිසාදයෙක් වගේ හිටි කෙනා මනුස්සයෙක් වගේ ඉන්න එක ගැන කවුද සතුටු නොවෙන්නේ.. ඒත් ඒ සතුට වැඩිකල් නොරැදුනේ කාගේ අවාසනාවටද කියන්න මං දන්නේ නෑ.
                                     ඇය කාටවත් නොකියම යන්න ගියේ  ඇයි කියලා අදටත් ප්‍රශ්නයක්. එයා යන්න ගිහින් කියලා මට කිව්වෙ යාළුවෙක්.ඔයාට ඒක කියාගන්න බැරි වුනා. පිස්සෙක් වගේ හැම තැනම එයාව හොය හොය යද්දිවත් මට තේරුනේ නෑ ඔය හිතේ මොන තරම් ආදරයක් තියෙනවද කියලා. හැමෝම එකතුවෙලා එයාට බනිද්දි කවදාවත් වච‍නෙකින් වත් අයියා එයා ගැන වරදක් කිවේ නෑ..මේකටද ආදරේ කියන්නේ??? මම දන්නේ නෑ ඒක.... ඇය ගිහින් දැන් ගොඩක් දවස් වුනත් තාමත් ඔය ඇස් එයාව හොයනවා කියලා මං දන්නවා.. හිතේ දුකක් නෑ කියලා කොච්චර කිව්වත් එයාගේ පෝටෝ දිහා බලාන හූල්ලනවා.... 
                     ඉස්සර ලස්සන කෙල්ලෙක් දැක්කම මොනවාහරි මලගෝඩියක්  කරන ඔයා අද කෙල්ලෙක් දිහා හැරිලා බලන්නෙ නෑ... “ජිවිතේ දාලා ගිය කෙනෙක් වෙනුවෙන් අඩනවනම් තමන් ලග ඉන්න අය වෙනුවෙන් අඩන්නේ කවුද?” මං අඩපු වෙලාවක ඔයා මට එහෙම කීවා.... ඒ වචන ටිකම අද මට ඔයාට කියන්න වෙලා... ඉතින් හිත හදා ගන්න.... මං හැමදාම කියනවා වගේ “අපි වැඩිපුරම ආදරේ කරන්නේ ‍අපිට අහිමි දේවල් වලට”... ඉතින් දැන් එන්න.. මට පාළුයි... අපි ආයෙත් එකට හිනාවෙමු... එකට අඩමු... තනියම දුක් වෙනවට වඩා දුක බෙදා ගන්න එක හොදයි නේද?.. මට ඔයාගේ නැතිවෙච්ච දේ ආයෙත් ගෙනත් දෙන්න බැරි වෙයි.ඒත් මට පුළුවන් ඔයාට තනි නොවි ඉන්න දෙන්න..... මම තාමත් බලා ඉන්නවා පාර දිහා ඔයා එනකං.....
                                                            මේ චුටි නංගා..............................

8 comments:

  1. Nangi,apiwa dala giya kenek gana duk wela wadak na neda?eyalta ehema yanna puluwan kiyanne eyala api gana hithanne na kiyana ekane?ai e nisa ehema kenek gana hithala thaman gana hithana ayatai thamantai dukak athi kara ganne,yana kenata yanna dila thamanta aadre karana aya gana balana eka thama honda,apita kawa wath balen nawaththa ganna bane nangi,dan balanna aiyata sathutu wenna puluwan honda nangiyek innawa,thawa tika kaalekin nangita honda akka kenekuth hambei ne,"time heals everything",aiyta me tika therum karala denna balanna,
    dennatama jayawewa!

    ReplyDelete
  2. trip ගිහින් ආපු ගමන් උ​දේම ආවේ ඔයාගේ blog එකට. මම ලබපු සතුට මැද්දට පුංචි දුකකුත් වැටුනා මේ ටික කියවලා. ලස්සනයි. නෑ නෑ ලස්සනයි නෙමේ... දුකයි.

    ReplyDelete
  3. හ්ම්ම්ම්

    මම කඳුළු පිහදාගන්නම්.

    ඔයත් උත්සාහ කරල බලන්න.

    ReplyDelete
  4. @අකීකරු හිත :-
    හිතට වදින්නම ලියන්න පුලුවන් නේද!!
    ගොඩක් ආදරය කල ළඟින් ම හිටපු කෙනෙක්ව අමතක කරන එක ගොඩක් අමාරු දෙයක්.
    ඒ දේවල් අත්තැකීමක්ම කරගෙන ජීවිතේ ලස්සන කරගැනීම අප සතු දෙයක්.....ජීවිතෙ ලස්සන කර ගන්නෙත් කාලකණ්නි කර ගන්නෙත් අපේම වරදින්...

    ReplyDelete
  5. මේ වගේ අයිය කෙනෙක් ලැබෙන්න අකීකරු හිත පින් කරලා ඇති. නමුත් කතාව කියවන යද්දී හිතට දුකකුත් ඇති වෙනවා. ලිපි ලියන Style එක නියමයි. අකීකරු හිත , දිගටම ලියන්න. !!!!!

    ReplyDelete
  6. මේක හරියට මටම කිව්වා වගේ...

    ReplyDelete
  7. ඔයාගේ හිත නම් පුදුමාකාරයි අක්කේ.....ගොඩක් හිතට වදින්නම ලියනවා නේ....????

    ReplyDelete