Thursday, January 27, 2011

අපුරු කෝච්චිය

                  
                     මේක වුනේ මාස ගානකට කලින්...ඒ අපේ සර් කෙනෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් පවත්වපු පුංචි සාදයක්...මේ සාදයට ආරාධනා කලේ අපි දහදෙනෙකුට විතර..ඒ හැමෝම සර්ගේ අතිජාත ගෝලයෝ ටිකක්. සෙනග ගැවසෙන තැන් වලට අකමැති වුනත් ඔන්න ඉතින් මටත් එන්න කියාපු නිසා අපි සෙට් එකම ලැස්ති වුනේ පාටියට යන්න... මේ පාටියේ විශේෂත්වයක් තිබුනා.. ඒ තමයි  මේකට ආරාධනා ලැබුනු හැමෝම ආබාධිත අය විම.ඒ නිසා ඒකට යන එක ගැන බයක් තිබුනේ නැ..මොකද අපි  හැමෝම  එකම විදිහ නිසා අපි දිහා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලන් ඉන්න කවුරුත් නැති නිසාත්  හිතේ නිදහසේ ඕන දෙයක් කරන්න පුළුවන් නිසාත්..
                           මේ ගමනත් හරි අපුරු එකක් වුනා...අපි හැමෝම යන නිසා බස් එකක යන්නත් බැරි නිසා සර් අපට යන්න වෑන් එකක් එවලා තිබුනා..අපේ හොස්ටල් එකෙන් උන්නේ මමයි තව අක්කලා හතර දෙනෙකුයි. ඒ අතරින් රෝද පුටුවක් පාවිච්චි කලේ මම විතරයි.. අක්කලා හතර දෙනාම දෙනෙත් අන්ධ  අය..ඒහෙම වුනත් දෙනෙත් පෙනෙන බොහෝ අයට වඩා ලෝකය දැකපු තේරුම් ගත්ත අය. එයාලත් එක්ක  මගේ රෝද පුටු රාජයත් වැන් එකේ පටවගෙන  ඊළගට මගින් අපේ  අයියලා සෙට් එකත් නග්ග ගත්තා.එයාලා හැමෝමත් කලින් කියපු අක්කලා වගේ. තව රෝද පුටුවක් පාවිච්චි කරන මගේ යාළුවෙකුත් මග හිටිය නිසා එයාවත් දාගෙනයද්දි වෑන් එක ඇතුලේ එකම යුද්දයක්.මොකද හැමෝම මුණගැහුනේ ගොඩක් කාලෙකින්..ඉත්න් කතා කරන්න මොනතරම් දේවල් තියනවද? 
                                අන්තිමට අතුරු පාරක් ලග වෑන් එක නතර කෙරුවා. මෙතනින් එහාට වෑන් එකට යන්න බැ.ඔයාලට පයින් තමයි යන්න වෙන්නේ ඩයිවර් අංකල් එහෙම කියාපි. දැං කොහොමැයි අපි යන්නේ ..අනිත් එක අපේ එකෙකුවත් සර්ගේ ගේ තියෙන තැන දන්නෙ නැ..අපි දැනන් හිටියෙ සර්ගේ ගෙදර සුදු තාප්පෙකුත් නිල් ගේට්ටුවකුත් තියෙනවා කියලා විතරයි... ඉතින් කාටවත් හිතා ගන්න බැරි වුනා මක් කරන්නද කියලා..අන්තිමට  අපි තවත් එතනට වෙලා ඉදලා වැඩක් නැති හිංදා පයින්ම යන්න තිරණය කලා... ඔන්න ඉතින් මගේ රෝද පුටු රාජයත් පාරට දාගෙන අපි ලැස්තියි යන්න... ඒත් නොදන්න පාරක අපි කට්ටිය යනවා කියන එක සෙල්ලං වැඩක් නෙමෙයි..මොකද අපි අතරින් ඇස් පේන අය හිටියෙ තුන්දෙනයි.. ඇරත් ඒ පාර හොදටම අබලන් එකක්..ගල්..වලවල් පිරිලා...ඒත් ඉතින්  කොහොම හරි යන්නත් එපැයි..සර්ට ගත්තු තැගි ටිකත් උස්සගෙන අපි දැං යන්න සුදානම.ඉතින් මේ ගමන යන්න අපි ලේසි ක්‍රමයක් කල්පනා කරද්දි අපේ සුදු අයිය‍ට තමයි හොදම අදහස ආවේ. ඒ තමයි අපි එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යමු කියන එක..ඒ කියන්නේ අර අපි පොඩි කාලේ සෙල්ලම් කෝච්චි යන්නේ අන්න ඒ වගේ.. 
                          ඔන්න ඉස්සර වුනා මගේ යාළුවා.දෙවනියට මම.මට පිටිපස්සෙන් අනෙක් අය..ඔන්න දැං කෝච්චිය ගමන් ආරම්භ කලා. "අඩේ නංගි  හෝන් එකකුත් ගහගෙන යමන්."  පිටිපස්සේ උන්නු අයියන්ඩියෙක් බෙරිහන් දෙනවා... "අපරාදේ කඩල මල්ලක් වත් අරන් එන්න තිබුනේ හප හපා යන්න... " ඒ අදහස මට පිටිපස්සේ උන්නු අක්කගෙන්. දැන් අපි සැහෙන දුරක් ඇව්ත් ඒත් අර කියපු විදිහෙ ගේට්ටුවක් තිබුනේ නැ..  අපේ මේ  පුංචි කෝච්චිය අපිට විතරක් නෙමෙයි ඒ වට පිටාවේ හිටිය පුංචි එවුන්ටත් අපුරු අත්දකිමක් වෙන්න ඇති.. කටවලුත් ඇරන් අපි දිහා බලන් හිටියේ... අපේ කට්ටිය උඩ පැන පැන කැ ගගහා යද්දි මොන විකාරයක්ද කියලා හිතෙන්නත් ඇති...අන්තිමට පුංචි පුංචි අනතුරු දෙක තුනකිනුත් පස්සේ  අපට නිල් පාට ගේට්ටුව හොයා ගන්න පුළුවන් වුනා.. ඇත්තටම අපේ කෝච්චි ගමන හරි අපුරුයි.ඒ වගේම තමයි එදා තිබුනු උපන්දින සාදයත් වෙනස්ම විදිහෙ අපුරු එකක් වුනා...

13 comments:

  1. හරිම ලස්සනයි, තව ලියන්න. අපෙන් අප් එක ලැබෙනවා

    ReplyDelete
  2. එකමුතු කම, සහෝදරත්වය තියෙනවනම් හැම දෙයක්ම හොඳයි. එතැන කවුරුත් ආබාධිත නෑ. ඒත් එකමුතු කම, සහෝදරත්වය නැති සමාජයක් වුණත් සම්පූර්ණයෙන්ම ආබාධිතයි.
    ඉතින් ඔයාලගෙ එදා ඒ සතුට හැබෑම සතුටක්. එය ආරෝපණය කරපු සතුටක් නෙවෙයි.

    ReplyDelete
  3. ඔයාලා හැමමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  4. අනේ අනේ... කෝ ඉතිං කතාවේ ඉතුරු ටික... ඒකත් ලියන්න ඉක්මනට. ඒ සාදයේදී සතුටු වුන හැටි ගැන එහෙම...

    ReplyDelete
  5. හරිම අපූරැ අත්දැකීමක්...

    ReplyDelete
  6. අපූරු කෝච්චි ගමන.

    ReplyDelete
  7. අපෝ...ඔයා කතාව හොඳම හරියෙන් නතර කරලනෙ.පුංචි අනතුරුවලින් කාටවත් හානියක් එහෙම නෑනෙ...
    සර්ගෙ අපූරු උපන්දින සාදය ගැනත් ලියමුකො.

    කොහෙද මේ වැඩ අස්සෙ දිගටම මේ පැත්තට එන්න බැරි උනානෙ.ඔන්න අද ඉඳල හැමදාම එනවා.

    ReplyDelete
  8. @sampath - ස්තුතියි යාළුවා මේ පැත්තේ ආවට
    @``` Outsider``` - ඔයා කියන දේ සම්පුර්ණ ඇත්ත
    @තාරා -ස්තුතියි ඔයාට
    @prasanna86k - ලියන්න කම්මැලි අයියෝ
    @..ChAnDiKa.. -ඔව් ඇත්තටම ඒක අපූරු අත්දැකීමක්
    @ayesha- :D
    @dinesh- වැඩි හානියක් වුනේ නැ අයියා.... වැඩ අස්සෙ හරි මේ පැත්තෙ එන එක ගැන සතුටුයි

    ReplyDelete
  9. කස්ටිය ‍ජොලි‍යේ යන්නැති...... සමාජ‍යෙන් මුකුත් හිතයි කියලා බ‍යේ යනවට වඩා ‍කොච්චර ‍හොඳද.........

    ReplyDelete
  10. සික් මට ඒ වගේ එකක් බලන්න වාසනාවක් නැතිවුනා නේ.....

    ReplyDelete
  11. හෙහ් හෙහ් ෂා..... හැබැටම අපූරුකෝච්චියක් තමා :)
    කතාවේ හොඳමහරියෙන් නවත්තලා වගේ.....
    ලියමු ඒ ටිකත් :D

    ජයවේවාzzzzzzzzz

    ReplyDelete
  12. නියම යාලුවෝ ටිකක් තමයි අකීකරු අක්කට ඉඳලා තියෙන්නේ ...පොඩි කාලේ දඟමල්ලක් වගේ ?

    ඇත්තටම කෝච්චි යන එක පොඩි කාලේ මාත් කරපු දෙයක් ..තනියම නෙවේ කට්ටියත් එක්ක ..හැබැයි මම තමයි ඇන්ජිම ..

    ජය වේවා !!

    ReplyDelete
  13. මොකෝ නංගිය පේන්න නැත්තේ......!!ලියමුකො "මඤ්ඤං" කතාවක්වත්..

    ReplyDelete