Thursday, January 20, 2011

පොඩ්ඩි


                                           
                             පුංචි එකීගේ කෑ ගැහිල්ලට පොඩ්ඩි උන්නේ හොදටෝම කලබල වෙලා. මේ ඇඩියාව නවත්ත ගන්න විදිහක් ඒ වෙනකොට පොඩ්ඩි දැනගෙන උන්නෙ නැ.අප්පොච්චත් එක්ක තරහ වෙලා අම්ම ගෙදරින් ගිය වෙලාවේ ඉදන් ගෙදර ඉතිරි වෙලා තියෙන මූසල පෙනුම පොඩ්ඩිගේ හිත තවත් කලබල කරලා..ඒ මදිවට මල්ලිත් නහයෙන් අඩ අඩා පොඩ්ඩිගේ පස්සෙන් වැටිලා..ඒකාටත්  බඩගිනි වෙලා.අප්පොච්ච ලගට යන්නත් බයයි. උන්දැ හිටියෙත් කේන්තියෙන්.. හැම මගුලකටම අන්තිමට කර ගහන්න උනේ පොඩ්ඩිට.. පොඩි එකිව පරක් කරගන්න පොඩ්ඩි තමන් දන්න හැම සෙල්ලමක්ම දැම්මා.ඒ වෙනකොට පුංචි එකී කිරි බොන වයසේ.අවුරුද්දක්වත් වෙලා නැ.. පොඩ්ඩිට හිතා ගන්න බැරි වුනේ අම්ම කොහොම මේ පුංචි පැටියව දාලා ගියාද කියලා..ඒ වෙද්දි පොඩ්ඩි උන්නේ පහවසරේ. හරියට පුංචි එකීව වඩා ගන්නවත් පුළුවන් වයසක නෙමෙයි..ඒත් එදා ඉදලා පුංචි එකීව බලා ගත්තේ පොඩ්ඩි.
                                       අම්ම ආයෙත් ආවේ නෑ. පොඩ්ඩි කොහොම හරි පුංචි එකීව නලවගන්න ඉගෙන ගත්තා. මල්ලිත් එක්ක එකතු වෙලා  පුංචි එකීව ආදරෙන් හදා ගත්තා. අප්පොච්චට මේ දේවල් ගැන තේරුමක් තිබුනේ නැ.උන්දැ ගොඩක් වියදං කලේ බීමට.ඒ මොනව වුනත් ළමයි ටිකට හරි ආදරෙන් හිටියා. පුංචි එකී ටික ටික ලොකු වුනා. ගෙදර අය පුංචි එකීට ආදරේට කීවේ සුදු මැණිකේ කියලා. සුදු මැණිකේ පොඩ්ඩිගේ අතේ එල්ලිලා ඇවිදින්න ඉගෙන ගත්තා.පොඩ්ඩිගේ ළමා කාලය ගෙවුනේ සුදු මැණිකේ වෙනුවෙන්..පොඩ්ඩි ලස්සන හීන ගොඩාරියක් එක්ක ජිවත් වෙච්චි කෙල්ලෙක්..ඒත් ඒ හීන සුදු මැණිකේ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වුනා.. එහෙම වුනත් කවදාවත් පොඩ්ඩි දුක් වුනේ නැ.ඒ නැති වුන දේවල් ගැන කල්පනා කලෙත් නෑ. එයාගේ මුළු ලෝකේම වුනේ සුදු මැණිකේ. සුදු මැණීකේත් පොඩ්ඩිට ආදරේ කලේ අම්මෙකුට වගේ.ටික කාලයක් යද්දි අම්ම ආයෙමත් මේ ජිවිත වලට එඹෙන්න පටන් ගත්තා. මුලින් මුලින් සුදු මැණිකේ අම්මගේ මූණවත් බැලුවේ නැ. තමන්ට ඕන කාලේ ලග නොහිටපු කෙනා දැනුත් ඕන නැ කියලයි එයා කීවේ. එක දවසක් සුදු මැණිකේ කිව්වේ මම ඔයාගේ දරුවෙක් වෙලා ඉපදුනාට වැඩිය පොඩ්ඩිගේ දරුවෙක් වෙලා ඉපදුනානම් මීට වඩා සතුටින් ඉන්නවා කියලා. අම්මට ඒ වචන ටික සැරේට වැදුනා.මොන හේතුවකටද මන්ද එයා එදා ඉදන් පොඩ්ඩි එක්ක හිත හොදින් හිටියේ නැ.  තමන්ට නොලැබුන ආදරේ පොඩ්ඩිට ලැබෙද්දි එයාට කේන්ති යන්න ඇති.                                    
                                        කොහොම හරි අම්ම ආයෙමත් එයාලා අතරට ආවා..මුලින්ම පොඩ්ඩිගේ මල්ලිව එයා ලගට ගත්තා. ඒ වෙනකොට පොඩ්ඩි ඉස්කෝල ගමන හමාර කරලයි උන්නේ.  සුදු මැණිකේට උගන්නන්න ඕන හිංදා පොඩ්ඩි ගාමන්ට් යන්න පටන් ගත්තා.හම්බවෙන හැම සතේම සුදු මැණිකේ වෙනුවෙන් වියදම් කලා. මේ විදිහට කාලේ ගෙවිලා යද්දි අම්මා සුදු මැණිකෙට ටිකින් ටික ලං වුනා. පොඩ්ඩිට දැනුනා සුදු මැණිකෙ තමන්ගෙන් ටික ටික ඈත් වෙන බව..ඒත් මොනවත් කියන්නේ කොහොමද.. ඒ අම්මා... පොඩ්ඩි හිත හදා ගත්තා.අම්ම ලග හිටියොත් එයා හොදට ඉගෙන ගනි..ආරක්ෂාවත් හොදයි පොඩ්ඩි තමන්ටම කියා ගන්නවා.. සුදු මැණිකෙ ගියා අම්ම ලගට.. ගෙදර ඉතිරි වුනේ අප්පොච්චයි පොඩ්ඩියි විතරයි.                   
                            අදටත් පොඩ්ඩි ගාමන්ට් යනවා.. අප්පොච්චත් එක්ක හැමදාම පාර බලනවා සුදු මැණිකෙ එයාලව බලල යන්න ඒවි කියලා..ඉර බැහැගෙන යද්දි හීන් කදුළකුත් එක්ක පොඩ්ඩි අප්පොච්චට ඇහෙන්න මෙහෙම කියනවා. "සුදු මැණිකෙට වැඩ ඇති...හෙට අනිද්දට ඇවිත් යාවි..."

4 comments:

  1. ලස්සන post එකක්, හොඳයි තව ලියන්න. මගෙ සුභපැතුම්

    ReplyDelete
  2. ගොඩ කාලෙකට පස්සේ අනුන්ගේ කතාවකට, ඇස් දෙකට කඳුළු ඉනුවා.

    ReplyDelete
  3. ඇත්තටම ලස්සන කතාවක් ..හරිම සංවේදී විදිහට ලියලා තියනවා ..

    ReplyDelete