Tuesday, November 30, 2010

දැන් ඉස්සර වගේ නෙමෙයිලු.


මහ සයුර බර කල්පනාවක.....
සයුරත් එක්ක තරහ වෙච්ච....
රළ පෙළක්
මගේ ලගට ඇවිත්...
ගතු කියනවා සයුර ගැන..
දැන් ඉස්සර වගේ නෙමෙයිලු..
හරි වෙනස්ලු....
මීට ටික කාලෙකට කලින්
 මම නුඹ ගැන
මේ වෙරළේ ඉදගෙන
කියපු වචන ටික
රළපෙළ
හරි ඉක්මනට
කොපි කරලා..

Friday, November 26, 2010

කේන්තිය නිවෙන තෙක්--බඩපුරා කෑවෙමි


ගසති මරති මහ යුද්දෙකි....
                                       ලේ වැගිරීම් දසත ගලති....
          ඒ මැද්දට මැදිවු මා
                                      අසරණයෙකි..
ඔරලෝසු කටු කැරකුණි..
                                   කඩු හරඹ නිම වුනි
   ඉංගිරිසි පන්තිය ඇරුනි          
                                       සාමය උදාවුනි.
 හෙළ වදන් සිහි කරමිනි
                                      සුද්දන්ට බනිමිනි
                වරුසාව මැදිනි 
                                      යන්නට ආවෙමි
             වරුසාව තද වුනි 
                                      කැන්ටිමට රිංගුවෙමි
කේන්තිය නිවෙන තෙක්
                                     බඩපුරා කෑවෙමි

Monday, November 22, 2010

නොබලන් මිනිසුනි නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්....



ආබාධිත කියන වචනය අදාළ වෙන්නෙ සමහර මිනිස්සුන්ට විතරයි..මට නිතරම හිතෙන්නේ ඒ වචනය මට අදාල එකක් නෙමෙයි කියලයි.. ඒ වුනත් නිතර දෙවේලේ මාව ආබාධිතයෙක් විදිහට හදුන්වන නිසාම මා එසේමැයි හිතන්නට මගේ හිත බලහත්කාරයෙන් තල්ලු කරනවා.. ආබාධිතයෙක් විම මානසික ‍වේදනාවක් වුන කාලයකුත් තිබුනා..ඒත් දැන් එහෙම නෑ.....
ආබාධිතයෙකුට එයාගේ දෙපාවල තියෙන නොහැකියාව ගැන තේරුමක් නෑ... එයාට ඒක දැනෙන්නේ අපහසුවක් හෝ කරදරයක් ලෙස පමණයි... ඒත් ඒක තමන්ට ඕන දේ කරන්නත් තමන්ට ඕන දේ ප්‍රාර්ථනා කරන්නත් බාධාවක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා..ඒවා අබ්බගාතයි කියලා හිතෙන්න පටන් ගන්නේ අනෙක් අය ඒ විදිහට සැලකුවොත් විතරයි..මට මගේ අප්‍රණික කකුල් ගැන ලැජ්ජාවක් දැනෙන්නෙ නෑ.. ඒත් මට ඒවා ගැන ලැජ්ජා හිතෙන්නේ සමහර අය මාව දැක්කම ඒ මූණු වල තියෙන හැගීම් ගැන වැඩියෙන් කල්පනා කරන්න ගත්තොත් විතරයි...මේ වගේ මූණු මගහැරලා යන්න මම වැඩියෙන්ම කැමතියි...මේ විදිහට ආබාධිතයෙක් දිහා අමුතු ඇහැකින් බලන්නේ දුර්වල හිත් තියෙන අය කියලයි මට හිතෙන්නේ... මම සතුටින් ඉන්නේ..දැන් මට වේදනාවක් නැ..ඒත් මගේ සතුට සමහරුන්ට ගැටළුවක්...මගේ සතුට එයාලා  දකින්නේ ධෛර්‍යවන්ත කමක් විදිහට.. ඒත් මං දන්න ධෛර්‍යවන්ත කමක් නැත.. පුංචි කූඹියෙක්ටත් බය මම කොහොම ධෛර්‍යවන්ත කෙනෙක් විදිහට දකිනවාද කියලා මං දන්නේ නෑ.... සමහර වෙලාවට මං ගැන කවුරු හරි අහද්දි අම්මා කියන්නේ
“එයා වෙලා තියෙන දේවල් අමතක කරලා සතුටින් ඉන්නවා” කියලා.... මේවා ඇහෙද්දි මට හිතෙන්නෙ මම සතුටින් නොසිටිය යුතුයි කියලා... ඒ වචන හරියට මට පෙනෙන්නෙ නැති අනාගතේ ගැන කියවෙන දුක්බර ඉගියක් වගේ..
“මම හොදින් ඉන්නවා...” ඒ මාව අමුතු විදිහට දකින හැමෝටම මම කියන දේ...
ඉස්සර නම් සෙනග පිරුනු තැන් වලට යන්න ‍මම හරිම අකමැතියි.. ඒත් දැන් මම ඕන තැනක රිංගනවා...සමහරු මං දිහා බලන්නේ මම හරියට සත්තු වත්තෙන් පැනලා යන සතෙක් දිහා බලනවා වගේ..  මං දිහා ඒ විදිහට බලද්දි ඉස්සර නම් හොම්බ කට සමතලා වෙන්න අනින්න හිතෙනවා... ඒත් මම දැන් කරන්නේ මූළු දත් සෙට් එකම පේන්න ඒ අයත් එක්ක හිනා වෙන එක.. ඒක හරි සාර්ථක ක්‍රමයක්.... එහෙම හිනා වුනාම එයාලා හරි ඉක්මනට අහක බලා ගන්නවා.. මට ඕන වුනේ සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න.. ආබාධිත කකුල් දෙකකට ඒ සිතුවිලි වෙනස් කරන්න බැරි වුනා..අනෙක් අයට මාව  වෙනස් විදිහට පේන්නේ ඇයි කියලා මම දන්නෙ නෑ..
මම මේක ලියන්න හිතුවේ මම සතුටින් ඉන්න එක ප්‍රශ්නයක් වුන කෙනෙක් නිසා... සමහරු හිතන්නේ ආබාධිතයෙක් වෙන එක ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතිව කදුළු පිරිච්ච ජිවිතයක් උරුම කරගන්න දෙයක් කියලා.. ඇත්තටම එහෙම නෑ.. මුළු ආත්මයම ලෙඩ කරගත්ත මිනිස්සු අතරේ කයින් ලෙඩ වීම කියන්නේ ඒ හැටි දෙයක් නෙමෙයි...............

Saturday, November 20, 2010

ලොක්කයි සොක්කයි

ලොක්කෙකුගේ මානව හිමිකම් කැඩුනාම
කොල්ලොයි බල්ලොයි
සේරම මහ පාරේ
යටි ගිරියෙන්
බෙරිහන් දුන්නත්
සොක්කෙකුගේ  
මානව හිමිකම් කැඩුනාම
කොල්ලෙක් තියා බල්ලෙක්වත් නෑ

Thursday, November 18, 2010

දේව්දාස් වගේද කූවේණි...


විජයට රැවටුන කූවේණිය ගැන
 නොකීවාට
පාරෝට රැවටුන දේව්දාස් ගැන
අපේ උන් 
වැලපෙන අපූරුව.................



Tuesday, November 16, 2010

හොර වෙද්දු සහ පණ පිටින් වල දැමීම...............



වෙද මහත් (හොරු) මට මතක් වෙනකොටත් ඇතිවෙන්නේ පුදුමාකාර කේන්තියක්.. මං කියන්නෙ නෑ හොද වෙදමහත්තුරු නෑ කියලා... ඒත් මම නම් දැකපු තරමක් දැක්කෙ හොර වෙද්දු.. මගේ අසනීප තත්වෙත් එක්ක මාව මේ ලංකාවේ ඉන්න ගොඩක් වෙද්දු ලගට ගෙනිච්චා....
එක වෙදෙක් කීවා “ මට පුළුවන් මේ ‍ලෙඩේ හොද කරන්න. ඒත් ඒකට මේ කකුල කඩලා ආයෙත් හදන්න ඕන කියලා..” අපෝයි ඒක අහපුවම මට කලන්තේ නොදැම්ම එක විතරයි.ඔන්න ඉතින් මං පටන් ගත්තා හූ තියන්න... කාටද දෙයියනේ තමන්ගේ අතක් පයක් කඩනකන් බලන් ඉන්න පුළුවන්... ඒත් මගේ කෑ ගැහිල්ලෙන් පලක් වුනේ නෑ... ඔන්න වෙදා හරිබරි ගැහිලා වාඩිවෙලා පටන් ගත්තා වැඩේ.. මට හෙල වෙන්නවත් හැටියක් නෑ මොකද දෙතුන් දෙනෙක් මාව අල්ලන් හිටියේ...
අන්තිමට මම බලන් ඉද්දිම මගේ කකුල කැඩුවා... ඒක මතක් වෙද්දි තවමත් මාව හිරි වැටිලා යනවා......උන්දැ මගේ කකුල කැඩුවට ආයේ හැදුවේ නම් නෑ......... එතකොට මට අවුරුදු 12ක් විතර....මට පලවෙනි පාරට වෙද්දු එපා වුනේ එදා....
තව සැරයක් මාව ඇදන් ගියා දේවාලෙකට.. ඒකේ හිටියෙත් වෙදෙක්.. උන්දැ කියාපි මාව හොද කරන්න ඕන නම් වළදාන්න ඕන කියලා.. ඒ සැරේනම් කෑකෝ ගහන්න තරම්වත් හයියක් තිබුනේ නෑ මට.. කලින් වෙදා කල වින්නැහිය නිසා නැගිට ගන්නවත් පුළුවන් වුනේ නෑ මට......ඔන්න ඉතින් මාව වලදාන්න හැමදේම ලෑස්තියි... දෙයිහාමුදුරුවනේ.. එදා මාව පණපිටින් වල දැම්මා...මම දන්නෑ කවුරුත් මේක විශ්වාස කරයිද කියලා... ඒත් ඇස් දෙකයි නහයයි කටයි විතරයි යන්තං ඉතිරි වුනේ..... එදානම් වෙද්දු විතරක් නෙමෙයි ජිවිතෙත් එපාම වුනා...එදා දවසම මම හිටියෙ පස් යට.. මං කෑගගහා ඉල්ලුවා මාව ගොඩ ගන්න කියලා.. ඒත් කවුරුත් ඒක කලේ නෑ.... ඊට පස්සෙ මං කලේ මම දන්න හැම වචනයක්ම කියලා හැමෝටම බැනපු එක...
කෙහොම හරි අන්තිමේදි මාව ගොඩ ගත්තා.. ඒත් වෙදා කියපු හොදක් නම් තිබුනේ නෑ... ඊට පස්සේ මිනිහගෙන් ඒ ගැන අහපුවාම  මිනිහා දෙයියන්ගෙන් ඒ ගැන අහන්න ඕන කියලා ගියා.. ඒ දෙයියෝ කොහේ හිටි එකෙක්ද කියලා නම් දන්නෙ නෑ... ‍මගේ හිතේ තබුන තරහට මම කා එක්කවත් කතා කලේවත් කෑවෙවත් නෑ එදා.. පස් යට දවසක් ගෙවනවා කියන එක මේ කියන තරම් ලේසි නෑ... ඒ වෙලාවේ මට හිතුන දේවල් අකුරු කරන්න බෑ මට.... පහුවෙනිදා වෙදා ආයෙත් ආවා.. දන්නවද ඒ යෝධයා කියපු දේ.. මිනිහා කියාපි මාව වළදාලා තියෙන්නේ රාහු කාලේ ඒකයි හරි ගියේ නැත්තේ කියලා.. අපේ ගොන්නුන්ටත් ඒවා ඇත්ත... වෙදා කීවා ආයෙත් වළදාමු කියලා... අන්තිමේදි දෙවෙන් පාරටත් මාව වළ දැම්මා.... ඒත් වුන සෙතක් නම් නෑ.....
මේ විදිහේ වෙද්දු සල්ලිවලට ඕනම දෙයක් කරනවා.... කෙනෙක් ගේ දුක මේ විදිහට සල්ලි කරන්න කෙහොම හිත හදාගන්නවද කියල හිතා ගන්න බෑ... මේ වගේ මිනිස්සුත් එක්ක ජිවිතේ හොදට තෙම්පරාදු වෙලා දැන්... තාමත් මට සමහර වෙලාවට හීනෙන් පේනවා මාව වළදාපු හැටි..... දැන්නම් මම මැරෙන්න බය නෑ මොකද මම දන්නවා පස් යට ඉද්දි ඒක මොනවගේද කියලා..........

දැක්කත් ඇති, නිවන් යන්නට


ගැහැණු චපලය....
එලෙසමද පිරිමින්?????
අපෝ නෑ.................
දැක්කත් ඇති
නිවන් යන්නට
දැක්ක තැන මල් තියා වැදපන්..
දනින් වැටී..........
සාදූ සාදූ.........

Monday, November 15, 2010

සුසානයක මල් වඩමක සුවදට


සුසානයක මල් වඩමක සුවදට
මුකුලිත බඹරුන් සෙමින් ඇදේ...
මිලාන වූ මල්පෙති මත පොර වැද
තලා පෙලා රොන් උරන රගේ

පරවුන මල දැක වල්මත්  බඹරුන්
සරදම් වියරුව පාන දිනේ
උන්ගේ තුඩුමත තැවරුනු රොන් පොද
මල ගැන කදුළක් නැවුම් කලේ...

Sunday, November 14, 2010

කඩපන් මගේ හිත

මලක් වෙන්න දන්නෙ නෑ මම
                           ඒ නිසයි ගලක් වුනේ....
මල් පෙති කඩන තරම්
        ලේසි නෑ,
ගලක් කඩන එක...
                           රිදුනාට උඹේ අත
මම මක් කරන්නද?
           ඕනෙම නම්
දෙන්නම්  තවත් අවස්ථාවක්
        පුළුවන් නම් 
                      කඩපන් මගේ හිත

Tuesday, November 9, 2010

අබ්බගාතයින්ට මොන කැම්පස්ද?



             ජිවිතේ හොදටත් නරකටත් දෙකටම යාළුවෝ මුල් වෙනවා...අකීකරු හිතටත් ඉන්නවා යාළුවෝ ගොඩාරියක්... ඒ අතර විවිධාකාර අය උන්නා.. කලින් පෝස්ට් එකේ කීව යාළුවෝ දෙන්න හැමවෙලාවෙම මාව ඉස්සරහට තල්ලුකරන්න ගොඩාක් ට්‍රයි කලා. ඒත් කවදාවත් අකීකරු හිතට කැම්පස් යන හීනයක් නම් තිබුනෙ නෑ. ඒත් විභාගෙට මාස 3 ක් තියෙද්දි හදිසියේම මට ඒ වගේ අදහසක් ආවා.. ඒකට හේතු වුනෙත් තවත් යාළුවෙක්ගේ පුංචි වචන කිපයක් කියලා කිව්වොත් පුදුම හිතෙනව නේද... 
         අකීකරු හිතට හිටියා යාළුවෙක්..උන්මාද චිත්‍රා, රෝමියො තරම් ගොඩක් ෆිට් යාළුවෙක් නම් නෙමෙයි. ඒත් තරමක් හොද යාළුවෙක්. එයාට හැමදාම ඕන වුනේ මුදුනා වෙන්න.. මම ඉතින් මෙලෝරහක් නැතිව පිස්සු නැටුවත් කාටවත් දෙවෙනි වෙන්න නම් කැමති වුනේ නෑ.. ඒ නිසා අපි අතරේ පොඩිපහේ තරගයක් තිබුනා...විභාගේ අතලග වුනත් අපි තුන්කට්ටුව හිටියේ කිසිම ගානක් නැතිව.. ඒ වෙනකොට හැමෝම ක්ලාස් යනවා.. ඒත් අපි තුන්කට්ටුවෙන් එකෙක්වත් ක්ලාස් එකකට ගිහින් නෑ.... ඒ මොනව වුනත් ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවෙ නම් නෑ ඉතින්...
                      එක දවසක් මගේ රසවින්දනයක‍ට වැඩිම ලකුනු ලැබුනා..ඇත්තටම ඒක ලිව්වෙ එදා උදේ සර් පන්නතියට එන්න ටිකකට කලින්.. ඉතින් දැන් මගේ ඔළුවේ මල් පිපිලා.... සර් ඒක‍ට හොද කීව... තව උත්සහ කලොත් කැම්පස් යන්න පුළුවන් ඔයාට...සර් කීවේ එහෙම...
        ඒ වචන වලට මම හිනා වුනා... අපෝ මට මොන කැම්පස්ද? මට හිතුනෙ එහෙම... ටික වෙලාවකින් සර් පන්තියෙන් ගියා.... අර යාළුවගේ මූණ හොද නෑ... ඉතින් මං මක් කරන්නද....එයා අකීකරු හිතව පහු කරගෙන ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා.... ඒ යන ගමන් කීවේ වචන තුනක් විතරයි. ඒ
 “අබ්බගාතයින්ට මොන කැම්පස්ද”
සත්තමයි...ඒ වචන හිතට වැදුනා ගොඩක්....මං වචනයක්වත් කීවේ නෑ..ඇත්ත‍ටම මට කියන්න වචන තිබුනෙ නෑ... මට වඩා ඒ වචන දැනුනේ  උන්මාද චිත්‍රාට...මේ හිතට ඒ වචන බර වැඩිවුන බව එයාට දැනුනා........
එයා හැමෝටම ඇහෙන්න  කිවේ.... “අනිත් හැමෝටම වඩා අහස උසට පියාඹන්න වරා මලකට පුළුවන්....” (එයාල මට ආදරේට කීවේ වරා මලේ කියලා)
         ඇත්තටම අර යාළුවා ඒ වචන කීවේ තරහින් වුනත්, අද මම මෙතන ඉන්නෙ ඒ වචන නිසා... මට කැම්පස් එන්න හිතුනේ ඒ වචන නිසා...ඒ වෙනුවෙන් මම එයාට පිං දෙනවා මිසක් තරහක් නෑ...ඇත්තටම ඒ වචන නිසා අබ්බගාතයින්ටත් අනෙක් අයට වගේම හයියක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් වුනා මට...මේ ගමනට මට හයියක් වුනේ මගේ ආදරණීය උන්මාද චිත්‍රා...වරා මල පොළවට වැටෙන්න යද්දි ආයෙමත් අහසට යන්න සුළං රැල්ලක් වුනේ එයා....
තාමත් ජිවිතේ සමහර වෙලාවට මම මේ වචන මතක් කරනවා...
ඒවා ඇල්පෙනිති තුඩු වගේ..ඒත් ගල් වෙච්ච හිතකට ඇල්පෙනිති තුඩු පොඩි වැඩියි..........

Monday, November 8, 2010

පාළුයි ලොවම නුඹලා නැති දා මිතුරු..


 “අනාත මාරු‍තේ... කුනාටූ සාගරේ............” සින්දුව නැගලා යනවා.. ගීතයට අවශ්‍ය සංගීතය මගෙන්... ගායිකාව උන්නෙ මගේ ඩෙස්ක් එක උඩ ... ගායනය විතරක් නෙමෙයි නර්ථනයත් ඇගෙන්...අත පය එහෙ මෙහෙ විසික්වෙද්දි මගේ ඔළු ගෙඩියත් බේරගෙන  සංගීතෙ සපයන එකත් ලේසි වැඩක් නෙමෙයි...
“දිවිය තියෙන තුරු මගේ- ඔබයි ආදරේ...” මෙන්න ගායිකාව දොර දිහාට  අත් දෙකම දික් කරලා ආදරේ ප්‍රකාශ කරනවා.... පුදනකොටම කාපි යකා කීවලු.. මෙන්න දොර ලග අපේ සිංහල සර්... 
“හරි ෂෝක් මේක කෝලම් මඩුවක් කියලද හිතාන ඉන්නෙ ආ....?”  වැඩේ දරුණුයි වගේ.
“බහිනවා කිව්වෙ බිමට..”... සර් එහෙම කියද්දියි මතක් වුනේ අපේ ගායිකාව තවමත් ඩෙස්ක් එක උඩ කියලා.... ඊට පස්සෙ වුන දේවල් තරමක් ශෝකනීයයි....
-----------------------------------------------------------------
ඉස්කෝලේ කාලේ හරි අපූරුයි. මොන තරම් වැඩ තිබුනත් යාළුවොත් එක්ක පිස්සු නටපු හැටි මතක් වෙද්දි තාමත් හිනා යනවා.ඒ වගේම දුකයි ආයේ කවදාවත් ඒ කාලේ ලැබෙන්නෙ නැති නිසා. යාළුවෝ කියන්නේ අපේ හිත් වල හැමදාම ජිවත් වෙන අය. එයාලා අපේ ජිවිත වලින් ඈත් වුනත් එයාලගේ අඩි පාරවල් තාමත් අපේ හිත් වල මැකිලා නෑ. මටත් ඉන්නවා හැමදාම මේ හිත ඇතුලෙ සක්මන් කරන ආදරණිය පිස්සු යාළුවෝ දෙන්නෙක්.... අපි තුන්දෙනා තුන් තැනක. එක්කෙනෙක් මහ මුහුදෙනුත් එපිට ගිහින්. අනිකා ලංකාවෙ උන්නත් රැකියාවක් කරන නිසා දකින්නේ කාලෙකින්...  එහෙම කොහොම වුනත් ඉස්කොලෙන් අයින් වුනත් තාමත් එදා වගේමයි අපේ යාළුකම.හැමදාම  උදේට මේ දෙන්නගෙන්  massage 1ක් එහෙමත් නැත්නම් miss call 1ක් වරදින්නෙම නෑ.. කොයිතරම් කාර්‍යබහුල වුනත් යාළුකම අමතක වෙලා නෑ.. ඉතින් මට හිතෙනවා මං හරි වාසනාවන්තයි කියලා....
අපි තුන්දෙනා හොදම යාළුවෝ වුනත් තුන්දෙනා තුන් විදිහක්..  මගේ පිස්සුම යාළුවා  උන්මාද චිත්‍රා. ඒ තමයි අපේ ගායිකාව.. මට වගේම පිස්සු අදහස් තිබුන... පිස්සු වැඩ කිරිමේ පුරෝගාමි වුනු යාළුව තමයි මේ... යාළුවෙක් කියන වචනෙ තේරුම මං දැන ගත්තේ මෙයාගෙන්.. හැමදේම ගැන හරි සැහැල්ලුවෙන් හිතන මට වගේම හීන ගොඩාරියක් තියෙන කෙනෙක්... ඊළගට  රෝමියෝ...මෙයා ඇත්තටම හොද රෝමියෝ කෙනෙක්.. හැබැයි හැමදාම ආදරෙන් පරාද වුනා..  මෙයාගේ ආදරේ හිංදා අපි තරම් කටු කාපු වෙන අය නැතිව ඇති.... ඒත් ඒ හැම දෙයක්ම වතුරෙ ගියා... තාමත් එදා වගෙම අපි මාර කට්ටක් කනවා මෙයාගේ හිත හදන්න. මෙයාගේ ආදරේ ගැන වෙන වෙලාවක කියන්නම්... අගසව් දෙනම වගේ මගේ දෙපැත්තෙන් හිටියේ මේ දෙන්නා.  ඒ වගේම මොන මගෝඩි වැඩ කලත් අපි හිටියේ ඉස්සරහම පේලියේ.. අපි ඉතින් අපායට ගියත් ඉස්සරහින්ම යන අයනේ....එනිසාම අපරාදේ කියන්න බෑ කරන හැම මගෝඩි වැඩක්ම අතේ මාට්ටු කරගන්න එක අපේ පුරුද්දක් වුනා.අපේ පන්තියේ ගෑනු ළමයි 28 දෙනෙක් හිටියා.. ‍ඒත් පිරිමි ළමයි උන්නෙ දෙන්නයි.. එයින් එක් කෙනෙක් තමයි මේ අපේ රෝමියෝ.. මට ඒ හැටි හොර වැඩ කරන්න බැරි වුනත් මේ දෙන්නා හෙර වැඩ කරද්දි මුර කලේ මමයි...ඇත්තටම ඒ කාලේ  හරිම සුන්දරයි... ආයෙත් ඒ කාලේ එනවනම්.....

දෙනෙත බරයි කදුළකට අදුරු
හසරැලි බිදක් ඈතයි මුවගට සොදුරු
පියුමට සුවදක් වී පෙරදා එකට සැරූ
පාළුයි ලොවම නුඹලා නැති දා මිතුරු..