Tuesday, July 17, 2012

ඔයාව කවදාවත් සනීප කරන්න බෑ

                                   රාගම පුනරුත්ථාපන රෝහල මම කොච්චර අකමැති තැනක් වුනත් ඒකේ හිටපු කාලෙදි මගේ ජීවිතේට ගොඩක් අත්දැකීම් ලැබුනා. හොද ඒවා වගේම නරක ඒවත්....ආපහු ඉස්කොලේ යන්න තිබුන ආසවත් ගෙදරින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුන එකත් නිසා මම ඒ ජීවිතේට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ...
                                   මෙහෙදි කලේ ව්‍යායාම කරවන එක. උදේ වරුවේ එක තැනක..ඒකට කිව්වේ  O.T.කාමරේ කියලා.එතනදි කලේ හරි සරල ව්‍යායාම..ඒවා කොහොමටවත් අමාරු දේවල් නෙමෙයි...ඒත් හවස ව්‍යායාම කරන තැන ඊට වඩා වෙනස්.එතනදි කරන්න තිබුනේ තරමක් අමාරු ඒවා. එතනට කිව්වේ  P.T කාමරේ කියලා... මෙතනට යන්න නම් මම කවදාවත් කැමති වුනේ නෑ.. මොකද ගියොත් ගොඩක් වෙලාවට එන්න වුනේ අඩාගෙන..
                         ඒත් O.T.කාමරේට මම ආස කළා.. එතනදි ව්‍යායාම කලේ අත් වලට. එනිසා ඒවා මට අමාරු වුනේ නැ. අනික එතන හිටපු මිස්ලා දෙන්නත් ගොඩක් හොදයි.. උදෙන්ම එතනට ගිහින් පුංචි පුටුවකට වෙලා අත් වලින් එක එක දේවල් උස්සන්න.. ඇගිලි වලට ව්‍යායාම වගේ දේවල් කරන්න තමයි තිබුනේ.ඒ දේවල් හරිම විනෝදයි.. ගොඩක් දේවල් අපි මොන්ටිසොරි යන කාලේ කරපු සෙල්ලම් වගේ ඒවා.. මේ නිසා හිතේ කිසිම බයක් නැතිව උදේ වරුව ගෙවෙනවා.
                        දවසක් පුරුදු විදිහටම මම පුටුවකට වෙලා එක එක පාට ලී කැට වගයක් ඒවා රදවන ලී රාමුවට හයි කරමින් හිටියා.. ඒ වෙලාවේ මගෙ ළගට ආවේ කාන්ති මිස්.. කාන්ති මිස් කියන්නේ කළු මහත කෙනෙක්.. පෙනුමෙන් සැර පෙනුමක් තිබුනට පුදුමාකාර හොද හදවතක් තිබුන කෙනෙක්... කාන්ති මිස් මගේ ළගට ඇවිත් තිබුන පුංචි පුටුවක වාඩි වුනා. එයත් හෙමින් මාත් එක්ක ලී කැට එකින් එක රාමුවේ රදවන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට අපි දෙන්නා ලී කැට ඔක්කොම රදවලා ඉවරයි... ඊට පස්සේ කාන්ති මිස් කලේ හෙමින් මගේ අතින් අල්ල ගන්න එක..මම පුරුදු විදිහට හිනා වෙලා බලන් හිටියේ කාන්ති මිස් මට රිද්දන්නේ නෑ කියලා විශ්වාස කල නිසා. මගේ අතින් අල්ල ගෙන එයා කතා කරන්න පටන් ගත්තා.

දැන් ඔයා මෙහෙට ඇවිත් ටික කාලයක් වෙනවා නේද?
මම ඔළුව වැනුවා.
ඔයා දන්නවද ඔයාට තියෙන අසනීපේ ගැන පුතේ?
ඒකටත් මම ඔළුව වැනුවා. 
හරි දැන් මම කියන දේ හොදින් අහගන්න..හරිද?
මිස් එහෙම කියද්දි ආයෙමත් මම කලේ ඔළුව වනන එක...
ලොකු හුස්මක් අරගෙන මිස් කතා කරන්න පටන් ගත්තා.
ඔයාට තියෙන අසනීපෙත් එක්කයි ඔයා දැන් ඉන්න තත්වේ එක්කයි ආයෙත් ඔයාට ඉස්සර වගේ වෙන්න බෑ. ඔයාට තේරෙනවා නේද මම කියන දේ?
මට ඔළුව වනන්න අමතක වුනා.
කාන්ති මිස් මගේ අත තවත් තදින් අල්ල ගත්තා...
 මම  බලන් හිටියෙ මිස්ගේ සාරිය දිහා.. ඒක ලස්සනයි..
ඔයාට තියෙන අසනීපේ කවදාවත් සනීප කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔයාට දැන් මේ ජීවිතේට හුරු වෙන්න සිද්ධ වෙනවා මගෙ දරුවෝ..
මම බැලුවේ මිස්ගෙ මූණ දිහා... ඒත් මිස් බලන් හිටියෙ මගෙ අත දිහා.
මිස්ගෙ අත කළුයි..... මිස්ට දුක ඇති කළු වුන එක ගැන මට මුලින්ම හිතුනෙ එහෙම..
ඒත් ඊට පස්සෙයි මතක් වුනේ මිස් කිව්වේ මොකද්ද කියලා.
මම ආයෙත් ඔළුව වැනුවා..
හොද දරුවා.. ඔයා දැන් උත්සහ කරන්න ඕන දැන් මේ ජීවිතේට හුරු වෙන්න..
 හොද වෙලාවට මෙතන අම්මා නොහිටියේ.. හිටියනම් මූණ රතු කරගෙන ඇස් දෙකේ කදුළු පුරවගෙන කාන්ති මිස් එක්ක වාද කරාවි.  මට සතුටු හිතුනා අම්ම එතන නැති එක ගැන. ඒ ඇරෙන්න වෙන කිසිම හැගීමක් දැනුනේ නෑ.. අද මට පුදුම හිතෙනවා ඒ වෙලාවේ මට ඇඩුනේ නැත්තේ ඇයි කියලා.
ඊට ටික දවසකට පස්සේ  P.T කාමරේ දී වාට්ටුව බාර ඩොක්ට මගේ ලගට ආවා.. ඒ වෙනකොට මම හොදටම හෙම්බත් වෙලා හිටියේ.. මගේ නැවිච්ච කකුල් දෙක පටියකින් බැදලා ඒක ස්ප්‍රීන් එකකට සම්බන්ධ කරලා ඇදිලා හිටින විදිහට  කම්බි දැලකට සම්බන්ධ කරලා තිබුනේ.. වේදනාව උපරිමයි...
ඒ අතරේ ඩොක්ට කියන්න පටන් ගත්තා.
මෙයාට තියෙන්නේ සනීප කරන්න බැරි ලෙඩක්. තවත් මෙහෙ තියාගෙන ඉන්නවට වඩා හොදයි ගෙනියන එක.
මට දැනුනේ ඇස් දෙක බොදවෙනවා විතරයි.. කදුළු ඔහේ ගලාගෙන ගියා... 
එකම දේ වුනත් කියපු විදිහ කොච්චර වෙනස්ද කියලා තේරෙන්නේ අදයි මට..
ඒත් ඒ කදුළු අතරින් මට සතුටක් දැනුනා මොකද මම ආයෙත් ගෙදර යනවා.. ආයෙමත් ඉස්කොලේ යනවා...!!!!! කියලා මතක් වුන නිසා.
 




22 comments:

  1. හ්ම්... දෙයක් කියන විදිය අනුව ඒක දැනෙන විදිය වෙනස් තමා.

    ReplyDelete
  2. ඔයා තාම ප්‍රතිකාර ගන්නවද

    ReplyDelete
    Replies
    1. ටික කාලයක් නවත්තලා තිබුනා.. ඒත් දැන් ආයෙමත් බෙහෙත් කරනවා අක්කා

      Delete
  3. oyata une mokakda kiyala therenne neha. Dukak nethnam kiyanwada?
    Oyage profile eketh wisthara nehane.

    ReplyDelete
  4. මොනවද කමෙන්ට් කරන්නේ කියලා හිතා ගන්න බෑ...
    නමුත් මම් හොදාකාරව එක දෙයක් දන්නවා. නංගිට තියෙන්නේ ධෛර්යවන්ත හිතක් !!! ඒ ටික විතරයි මම් දන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ අයියා එහෙම නෙමෙයි.විදවලම පුරුදු වෙලා

      Delete
  5. එක දෙයක් නැති උනත් තව කොච්චර දේවල් තියෙනවද ලෝකෙ කරන්න.ජීවිත කාලෙම එකතැන හිටපු අයට වඩා ඔයා වාසනාවන්තයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අතින් නම් මම වාසනාවන්තයි

      Delete
  6. සහෝදරී, රාගම පුනරුත්තාපන රෝහල මටත් වසර එක හමාරක් සෙවන දුන්න තැනක්.ඒ 1999 -2000 කාලයේදී.ඔබ කිවූ අත්දැකීම් සියල්ල මටත් ලැබුණා.ඔබ කිවූ තරුණ චිකිත්සකවරියෝ දෙන්නා තම මුල්ම පත්වීම ලබා මෙම රෝහලට පැමිණියේ මා එහි නේවාසික ප්‍රතිකාර ලබන යුගයේදීය.දෙදෙනාගෙන් වඩා උස තැනැත්තිය මා සමගම උසස් පෙළ අමතර පන්තිවලට සහබාගි වුවාය.ඇයට මා පිළිබඳව කිසිදු මතකයක් නොතිබුණු මුත් කුමන හෝ හේතුවකට මුහුණු දහස් ගණනක් අතර ඇයගේ මුහුණ මගේ මතකයේ රැදී තිබුණි.ඇය සහ මා මාවත් දෙකක ගමන්කර තිබුණි.මා යුද සේවය තෝරාගත් අතර ඇය මිනිසුන් සුවපත් කිරීමේ සේවාව තෝරාගෙන තිබුණි.එක් කලක සිසුන් ලෙස එකම විෂය ධාරාවක් හැදෑරු අප නැවත රෝගියෙකු සහ චිකිත්සකවරියක ලෙස නැවත මුණ ගැසින.ජීවිතයේ සැටි එලෙසය.මා රෝහලට පැමිණි මුල් දින කිහිපය ඇතුලතම මා හට නැවත කිසිදිනක දෙපයින් නැගී සිටිය නොහැකි බව දැනුම් දෙනු ලැබීය.මා කල රැකියාව නිසාදෝ මා හටනම් එම පුවත දැනුම් දුන්නේ අනෝරා වැස්සක් පරිද්දෙනි.භාහිරට නොපෙනෙන්නට දැඩි උත්සහයක් ගත්තද මටද අහසපොලව කැරකෙන ගතියක් දැනුනි.තව සුළු මොහතකින් මා සිහිසුන් තත්වයකට පත්වූ බව කීම මට ලැජ්ජාවක් නොවේ.එවන් දෙයක් දරාගැනීම මරණය දරාගැනීමට වඩා අසීරු දෙයක් බව අත්දැකීමෙන් දනිමි.මගේ රෝහල් ජීවිතය නම් ඉතා ප්‍රිය ජනක වූ බව කියමි.මා සිටි 12 වාට්ටුවේ රෝගීන් සියලුමදෙනා මගේ හිතවතුන් වූ අතරම 5 වාට්ටුවේ සිටි ගැහැණු රෝගීන් බොහොමයක් දෙනා සමග හිතවත්ව සිටියෙමි.දවසේ වැඩිකලක් රෝහල් බිමේ තුරු වදුලු අතරේ ගත කලෙමි.පසුකලක වෙන්වූ මගේ පෙම්වතියද මේ කාලයේ සති පතාම මා හමුවීම සදහා පැමිණියාය.ඉඩක් ලැබුණු විට ඉතාමත්ම හිතවත් රෝගියෙක් දෙන්නෙක් සමග කාටත් හොරෙන් බියර් බෝතලයක් දෙකක්ද හිස් කලෙමි.මගේ රෝහල්ගත ජීවිතයනම් මට ඉතා ප්‍රිය වූ බව නැවත කියමි.මේ වනවිට මා රෝහලින් නික්ම වසර 12 පමණ ඇත.මා නැවත නම් එහි ගියේ නැත.නමුත් ඒ මතකය නම් කිසිදින නොමැකෙන බව දනිමි.

    ReplyDelete
    Replies
    1. අපෝ මට නම් ඒ ජීවිතේට කොහොමටවත් ආස වුනේ නෑ. සමහර විට ගෙදර ගැන වැඩියෙන් හිතපු නිසා වෙන්න ඇති... මම ඊට පස්සෙ දවසකත් ගියා අම්මෝ එතනින් එනකන් මම එපා වෙලා හිටියෙ

      Delete
  7. ඔයාට තියෙන්නෙ හරිම ධෛර්යවන්ත හිතක් නංගි.හැමදාටම ඒක ඔයා ගාව තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හැමදේම දරා ගන්න පුරුදු වෙන හිතක් අක්කා

      Delete
    2. පච නොකියා ඉදින්. පුරුදු වෙන්න දෙයක් නෑ. ඔය තියෙන හිතට පුලුවන් ඕන දෙයක් දරාගන්ඩ !!!

      Delete
  8. හැම අදුරු වලාවකම චූටි හරි රීදී රේඛාවකුත් තියේ...
    ජීවිතේ කියන්නේ ඔහොම එන අභියෝග ජය ගැනීමක් තමා සහෝදරී..
    ජයග්‍රහනය කියන්නේ ඔය කිසිම දේකින් නොවැටී ඉන්න එකයි..

    ReplyDelete
    Replies
    1. මමත් තදින්ම විශ්වාස කරනවා හැම අදුරු වළාවකම රීදී රේඛාවක් තියෙනවමයි කියලා

      Delete
  9. මොකද්ද ඔයාට තියන ලෙඩේ?

    ReplyDelete
    Replies
    1. මුලින්ම නම් කිව්වෙ එක අසනිපයක් Osteogenesis imperfecta කියලා. ඒත් දැන් නම් කියනවා ඒක නෙමෙයි කියලා.හැබැයි තාමත් අසනීපෙ මොකක්ද කියලා හරියටම හොයාගෙන නැහැ

      Delete
  10. මමත්සමහරක් වේලාවට යන තැනක්

    මාසයකට ලිපි 4ක් 5ක් ලියමුකෝ දරැවො

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබ එහෙ යන්නේ?
      ඉස්සර නම් එහෙම ලිව්වා.. ඒත් දැන් කම්මැලි වගේ ලියන්න

      Delete