Tuesday, June 5, 2012

අපේ ආදී මුතුන් මිත්තන්ගේ පාරිසරික ඥානය......



                                        අද වෙනකොට සමාජය ගොඩාක් වෙනස් වෙලා වගේම හැම දෙයක්ම නවීන තාක්ෂණයත් එක්ක මුහු වෙලා. ඒක වරදක් නෙමෙයි... ඒත් මේ නවීන තාක්ෂණ වැලි තලාවෙන් අපේ පාරම්පරික දැනුම වැහිලා යන එකයි ගැටළුව... අද ගොඩක් දෙනෙක් අපේ සාම්ප්‍රධායික අදහස් වලට හිනා වෙනවා. ඒවා මිත්‍යා විශ්වාස විතරයි කියලා බැහැර කරනවා.....ඒත් අපි නොදන්න බොහෝ දේ ඒ මත සැගවිලා තියෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතලා බැලුවද? ඒකාලේ අපේ මිනිස්සු මේ සොබාදහමත් එක්කයි ජීවත් වුනේ..ඔවුන් දේවත්වයෙන් සැලකුවේ මේ පරිසරය... මූලිකත්වය දුන්නේ පරිසරයට...  අපේ පැරැන්නන් තුල අපූරු පාරිසරික ඥානයක් තිබුනා.. ඒ මත ගොඩනගා ගත්ත විශ්වාසයන් පද්ධතියක් තිබුනා... බැලූ බැල්මට ඒවා මිත්‍යා විශ්වාස... හරියට මෙන්න මේ වගේ දේවල්...
  • නිවසකට අවශ්‍ය ලී බඩු හදන්න ගහක් කපද්දි ඒක අමාවක දිනයක කැපුවොත් ගුල්ලෝ ගහන්නේ නැතිව දිගු කාලයක් භාවිතා කල හැකියි....
  • කතුරුමුරුංගා ගස් , පැපොල් ගස් ‍නිවසේ වහලයට වඩා උස යන්න හොද නෑ...
  • නිවස ඉදිරිපිට පෙතන්, කොබෝලීල ගස් හිටවන එක හොදයි........
  • අරලිය වගේ ගස් නිවසක් ඉදිරියේ හිටවන්න හොදනෑ...
                    බැලූ බැල්මට මේවා මිත්‍යා විශ්වාස. මොකද ඔවුන්ට හැකි වුනේ නෑ මේවගේ විද්‍යාත්මක බවක් පැහැදිලි කරන්න.. ඔවුන් හැම දෙයක්ම ඉගෙන ගත්තේ අත්දැකිමෙන්.  අපි බලමු පළවෙනි මතය.. නිවසකට අවශ්‍ය ලී බඩු හදන්න ගහක් කපද්දි ඒක අමාවක දිනයක කැපුවොත් ගුල්ලෝ ගහන්නේ නැතිව දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන් කියන එක. ගහක ක්‍රියාකාරිත්වයට අවශ්‍ය එක සාධකයක් තමයි ආලෝකය කියන්නේ.. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට හිරු එළිය අවශ්‍යයි කියලා අපි හැමෝම දන්නවා. සද එළිය කියන්නෙත් හිරු එළියේ පරාවර්ථනයක්නේ. එනිසා සද එළියෙදීත් ගහක පටක ක්‍රියාකාරි වෙනවා.. ඒ පටක අතර පවතින ඉඩ වැඩි වෙනවා.. ඒත්  අමාවක දවසකදී ආලෝකය නොලැබෙන නිසා කලින් තරම් ක්‍රියාකාරිත්වයක් ගහේ සිදු වෙන්නේ නැ...  මේවගේ වෙලාවක ගහක් කැපුවොත් ඒතුල ගුල්ලෝ ඇති වීමේ ඉඩකඩ අඩුයි. අපේ පැරැන්නන්ට මේ දේවල් පැහැදිලි කරන්න බැරි වුනාට විද්‍යාව මගින් මේ දේවල් අපිට උගන්නන්න පෙර සිටම මේ දැනුම අපි  අතරම රැදි තිබුනා... අනිත් එක තමයි කතුරුමුරුංගා, පැපොල් වගේ තවත් ගස් වැඩිය උස යන්න හොද නෑ කියන එක. මේ මතය ගොඩනැගෙන්නේ නම් ආරක්ෂාව වෙනුවෙන්... මේ ගස්වල කදන් එතරම් හයිය ඒවා නෙවෙයි. ලොකු බරක් දරන්න කොහොමටවත් බෑ. මේ වගේ ගහක් උසට හැදිලා ඒකේ  නැගලා දරුවන් අනතුරක් කරගනී කියන බයට ඔවුන් තුල මෙවන් මතයක් ගොඩනැගුනා වෙන්න පුළුවන්... එතකොට පෙතන්, කොබෝලීල ගස්, මේවා වල තියෙන විශේෂත්වය තමයි අකුණු සන්නයනය කිරිම.... මේ හරහාත් නිවෙස් වලට සිදුවිය හැකි අනතුරු අවම කර ගන්න ඔවුන් උත්සහ කලා.අරලිය වගේ ගස් ගෙවල් වල හි‍ටවන්න හොදනෑ කියන්නේ කාලෙකට මේ ගස් වල කොළ හැළිලා මූසල පෙනුමක් ගෙනදෙන හිංදා... තව මේවගේ දේවල් බොහෝමයයි....මේ දේවල් එක්ක බලද්දි මේවා මිත්‍යාවිශ්වාසම පමණක්ය කියලා කා‍ටද තර්ක කරන්න පුළුවන්??
        බටහිර විශ්වාසයන් අපේ රටට එන්න කලින් අපේ වටේ තිබුනේ පරිසරය කේන්ද්‍ර කරගත් සාරධර්ම පද්ධතියක්..පසුකාලෙදියි ඒක මානව කේන්ද්‍රීය එකක් බවට පත් වුනේ. බටහිර මතවාදයන්ට අනුව ඔවුන්ගේ සාරධර්ම පද්ධතිය ගොඩනැගෙන්නේ පහත ආකාරයට..
දෙවියන්

මිනිසා

ගැහැණිය

දරුවන්

තිරිසන් සතුන්

ශාක
නමුත් අපේ සාරධර්ම පද්ධතිය රැදිලා තිබුනේ මීට වෙනස් ආකාරයකට.. ආචාර්ය හේරත් මහතා ඒ ගැන දක්වන්නේ මේ විදිහට.
හිරු-සදු ප්‍රමුඛ ස්වභාවධර්මය

මව(පෘතුවිය)

පියා (මේඝ)

කිරි අම්මා (වනාන්තර)

දියණිවරු(ගංගා)

සත්ත්ව ප්‍රජාව
                     මේ දේවල් වලින් අපේ මිනිස්සු පරිසරයට මොන තරම් ලෙංගතු විදිහට ජීවත් වුනාද කියලා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ. පරිසරයටත් සත්ත්ව ප්‍රජාවටත් හිංසාවක් නොවී තමන්ගේ කටයුතු කරගන්න ඔවුන් බොහෝ උත්සහ දැරුවා. වගාවකදි වුනත් සතෙකුට සිද්ද වෙන හානිය ගැන කම්පා වුනා. ඒ ගැන දෙවියන්ට කන්නලව් කලා.. මේ විදිහේ අපූරු කන්නලව්වක් අපේ ආදී රජරට සහ ලග්ගල වැසියන් අතරේ තිබිලා තියෙනවා... ආචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා එම ප්‍රදේශයේ කරන ලද ගවේශනයක් තුලින් ඔවුන්ගේ මේ කන්නලව්..කවි..ගීත ගැන දක්වලා තියෙනවා.. ඒ අතරින් හේන් කෙටීමට පෙර  කෑළෑ ගිනිතියද්දි කරන කන්නලව්වක් තමයි මේ.....
හු ..හු.. හු..
අවසරායි බෝ - අවසරායි බෝමේ අඩවිය
රැකුම් බැලුම් කරන අපගේ අයියනායක දෙවිමහ
රා‍ජෝත්තමයාණන් වහන්සේ ගේ ආනුභාවයෙන්
ආඥාවෙන්, වෙළුම් කා තිබෙන මේ වල් පැලැස්සේ
ඉහළ පහළ ගෝටා ගැහි, දරණ ගැහී, ගුලි ගැහි,
හිල් ගැහි, වල් ගැහි ඉන්නා පා ඇත්තෝ, පා නැත්තෝ,
කුගාන ඇත්තෝ, බඩ ගාන ඇත්තෝ
කුරුල්ලන්, කොබෙයිනයන්, හන්දි ඇත්තෝ
හන්දි නැත්තෝ එකීමෙකී කුරාකූඹියාගේ පටන්
බූටාවේ මහ ඇත්තෝ දක්වා වූ සෑම සියලු පරාණකාරයෙක්ම
මේ හූවෙන්, මේ කැළැ ගෝට්ටියෙන් වැල් වෙලුම් පැලැස්සෙන් 
ගොඩ වෙන්ඩ
මම හේන කොටන්නේ සතා සිවුපාවා නැති බංග කොරන්ට නොවේ
කුරක්කං අමු මුං පෙනේරි ටිකක් වවා අඹු දරුවන් ආත්තු කරන්ඩයි
ඒකට ඉඩ දී ඒකං වෙලා යන්ඩ අවසරායි අවසරායි අවසරායි....
          
           එදා මිනිස්සු හිතුවේ තමන් ගැන විතරක් නෙමෙයි. සතා සිවුපාවා ගැනත් මේ ගහ කොළ ගැනත් හිතුවා... මේ හැම දෙයක්ම තමංගෙම දෙයක් විදිහට රැක්කා..
ඒත් දැන්??

17 comments:

  1. ‍බොහොම වටින කාරණා ටිකක්නොවැ. මමත් අදහස් ටිකක් එකතු කරන්නම්.

    //කතුරුමුරුංගා ගස් , පැපොල් ගස් ‍නිවසේ වහලයට වඩා උස යන්න හොද නෑ..// මේ කාරණය තනිකරම පරිභෝජනය මත පදනම් වෙච්ච දෙයක්. මොකද ගස්ලබු ගෙඩි, කතුරුමුරුංගා කොල සහ මල් කෙකිවලින් කැඩීම ප්‍රායෝගික නැහැ. කඳ ශක්තිමත් නැති නිසා අතින් කඩාගන්නට ගහට නගින්නට හැකියාවකුත් නැහැ. ඒ නිසා ගස උස යන්නට නොදීම තමයි වඩාත් සුදුසු.

    //අමාවක දිනයක කැපුවොත් ගුල්ලෝ ගහන්නේ නැතිව දිගු කාලයක් භාවිතා කල හැකියි.... //
    මේ කාරණය ඇත්තක්. ඒකට ගසේ ජලප්‍රමාණය බලපාන එකත් ඇත්ත. ඒත් ඒ ප්‍රභාසංස්ලේෂණ වෙනසක් නිසාම නොවෙයි නේද.(හේතුව රෑට ඉර එලිය නැති නිසා නම් ගහ කපන්න ඕන අමාවක දවසට පහුවෙනිදායි)මේක සදෙහි ගුරුත්වාකර්ෂණයයි තව ගහක් තුල සිදුවන හරියටම හදුනා නොගත්ත හේතු රැසකුයි සහ ඔයා කිව්ව කාරණයයි එකතුවෙච්ච සංකීර්ණ ‍ක්‍රියාවලියක ප්‍රතිළුලයක් කියලයි මම නම් හිතන්නේ.

    ජය !

    ReplyDelete
    Replies
    1. “ගහ කපන්න ඕන අමාවක දවසට පහුවෙනිදායි“
      මම අහලා තිබුනේ අමාවක දවසේ කියලා..
      ඔබ එකතු කල කරුණු වලට බොහෝමත්ම ස්තුතියි

      Delete
  2. වැදගත් පෝස්ට් එකක් අක්කේ..දැන් ගොඩක් නම් වැඩිහිටියෝ කියන එවා එ කනින් අහලා මේ කනින් එලියට දාන්නේ එයාලා දන්න දෙයක් නැහැ කියලා...එත් අපිට වඩා පුලුල් දැනුමක් තියෙන එ අයගේ උපදෙස් ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. පොත පතින් ඉගෙන නොගත්තත් අත්දැකීමෙන් එයාලා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ

      Delete
  3. නොදැන හිටපු කරුණු ගොඩක්.. කාලෙන් කාලෙට අදහස් වෙනස් වෙනවා.. ඒක නම් ඇත්ත..

    ReplyDelete
  4. හොඳ ලිපියක් වරුණි...

    ReplyDelete
  5. වැදගත් ලිපියක්. අතීත මුතුන් මිත්තන්ගෙ විශ්වාස ගැන හිතන්න දෙයක් මතක් කරල දුන්න එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට අලුත් වගේ.. සාදරයෙන් පිළිගන්නවා... ස්තුතියි ඔයාටත්

      Delete
  6. ගොඩක් වටින ලිපියක් නංගි. !!!
    නොදන්න කරුණු බොහෝමයක් දැන ගත්තා.

    ReplyDelete
  7. මේ වගේ කරුණු රාශියක් අපිට ප්‍රාථමිකේදී මට මතක විදිහට 5 පංතියේදි ඉගැන්නුවා.... කෘමිනාශක පාවිච්චි නොකර ගොවිතැන් කරපු හැටි වගේ. දැන් ළමයින්ට එහෙම පාඩම් තියෙනවාද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත..කෘමි නාශක පාවිච්චි නොකර ගොවිතැන් කරන්න ඉස්සර මිනිස්සු අපූරු ක්‍රම යොදාගෙන තියෙනවා...මම හිතන්නෑ දැන් ඒ දේවල් උගන්නනවා ඇති කියලා

      Delete
  8. පාරිසරික සාධක මත අනාවැකි පලකිරීමටත් පැරැන්නෝ අති දක්ශයි...

    ReplyDelete