Thursday, February 16, 2012

පිල්ලියකට බයේ මැරෙනකන්ම නිදා ගත්තේ නෑලු...

                                      කොත්මලේ ගැන මම මීට කලින් ජනකතා කීපයක්ම කිව්වනේ.. කොත්මලේ ගැන කියද්දි දුටුගැමුණු කුමාරයා වගේම පොන්න නැකැත්තා ගැනත් වැඩිපුරම කියවෙනවා. ඒ විතරක් නෙමෙයි කොත්මල් පුරවරයේ කන්දකින් පහළට වැටෙන හැම දිය ඇල්ලකටම අපූරු කතන්දර පටබැදිලා තියෙනවා. රම්බොඩ ඇල්ල, ගැරඩි ඇල්ල, පූනා ඔය වගේ දිය ඇලි වල නම් හැදුන හැටි ගැන අපූරූ කතා ගොඩාරියයි.. ඒ වගේම කොත්මලේ ගැන කියද්දි කොත්තුණු ගොඩ වලවල් ගැනත් එක එක කතා ගොඩයි. මේවිදිහෙ කතා අතරේ තියෙන තවත් කතාවක් තමයි ඕතලාවේ හාමුදුරුවෝ ගැන තියෙන කතා.. 

                ඕතලාවේ හාමුදුරුවෝ කියන්නේ ඒ කාලේ කොත්මලේ හිටපු ප්‍රසිද්ධ චරිතයක්. වෙන මොනවටවත් නෙමෙයි. මන්තර ගුරුකම් වලට. ගමේ මිනිස්සු විතරක් නෙමෙයි රටේ ලොකු ලොකු ඇත්තොත් උන්වහන්සේ ලගට ආවයි කියලයි කියන්නේ...  ලංකාව මොන තරම් දියුණු වුනා කිව්වත් අදටත් අපේ මිනිස්සු ලග ඔය මිත්‍යා විශ්වාස කියන දේවල් නම් අඩු වෙන්නේ නැනේ. කොහේ හරි පිළිමයක රැස් විහිදෙනවා කිව්වොත් එහෙමත් නැත්නම් කොහේ හරි තැනක හාස්කම් තියෙනවා කිව්වොත් මෙන්න පහුවෙනිදම පරම්පරාව පිටින්ම එතන.... කොහොම වුනත් අදටත් ඔය මන්තර ගුරුකං කරන හාමුදුරුවරු ඕන තරම් ඉන්නවා...ඒ වගේ දේවල් පූජ්‍ය පක්ෂයට ඒතරම් ගැළපෙනව කියල නම්  මම හිතන්නේ නෑ.. කොහොම වුනත් අදටත් පත්තරයක් ගත්තම දාලා තියෙන ඇඩ් වල වශි ගුරුකං වල ඉදලා තවත් විවිධාකාර ගුරුකං කරන හාමුදුරුවරු ගැන දාලා තියෙන්නේ....
                     කොහොම වුනත් මේ හාමුදුරුවන් ලගට නොයෙක් තරාතිරම් වල අය ඇවිත් තියෙනවා. ඒකට හේතුව ඒ ගුරුකං කවදාවත් වැරදිලා නැති එක.. කොහොම උනත් හාමුදුරුවන්ගේ  සහෝදරයා ඒ කියන්නේ උන්වහන්සේගේ මල්ලිත් මේ මන්තර ගුරුකං කරන්න දැනගෙන ඉදලා තියෙනවා. දවසක මේ දෙන්නා අතර ඇතිවෙන ආරවුලක් දුරදිග ගිහින් ඒක ලොකු වෛරයකට පෙරලෙනවා. මේ හේතුව උඩ මල්ලි තමන්ව විනාශ කරන්න කලින් තමන්ම  මොනව හරි කරන්න ඕන කියලා හිතපු හාමුදුරුවෝ තීරණය කරලා තියෙන්නේ මල්ලිව විනාශ කරන්න පිල්ලියක් යවන්න. දවසක් රෑ උදව්වට කට්ටඩියෙකුත් එක්ක සොහොනට ගිහින් මළමිනියක් ගොඩ අරගෙන ඒ අවශ්‍ය විදහට කරුණු කාරණා සිද්ධ කරලා  පිල්ලියක් යවලා තියෙනවා මල්ලිව විනාශ කරන්න. මේ විදිහට යැව්වා වුනත්  උන්වහන්සේගේ මල්ලිත් ගුරුකං දන්න නිසා  පිල්ලිය එන්න කලින්ම ඒකෙන් බේරෙන්න ඕන කටයුතු සිද්ධ කරනවා. ගුරුකං හොදින් දන්න කෙනෙකුට මේ විදිහට එවපු පිල්ලියක් ආයෙමත් හරවලා යවන්න පුළුවන් එවපු කෙනා ලගටම...  පස්සේ හාමුදුරුවෝ දැන ගන්නවා තමන් යවපු පිල්ලිය ආපහු හරවලා එවලා බව.  මේ විදිහට එවපු පිල්ලිය තමන්ව මරලා දායි කියන බයට එදා ඉදන් හාමුදුරුවෝ නිදාගෙන නැ. තමන්ට නින්ද ගියොත් පිල්ලිය ඇවිත් තමන්ව මරයි කියලා හිතලා මැරෙනකන්ම නිදා ගත්තේ නැතිව බලන් හිටියා කියලයි කියන්නේ. තමන් කරපු දෙයක් කවදා හරි තමන්ටම විදවන්න වෙනවා කියන්නේ මේ වගේ දේවල් වලට නේද?

18 comments:

  1. අනුන්ට කළදේ තමන්ට පළදේ කියලා කතාවකුත් තියෙන්නෙ..

    මම නම් දන්න විදිහට ලෝකයේ ජීවත් වෙන්න ඕනෙ හොඳම විදිහ "අනිත් අය තමුන්ට කරනවාට අකමැති දේවල් අනිත් අයට නොකිරීම"

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සම්පුර්ණ ඇත්ත

      Delete
    2. ඔබේ කතාවනම් හරියටම හරි ++++

      Delete
  2. මට නම් ඔය යන්තර මන්තර ගැන ඒ හැටි විස්වාසයක් නෑ.. හැබැයි මගේ අම්මයි තාත්තයි නම් ටිකක් විස්වාස කරනවා..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් ඕවා විශ්වාස කරනවා... මම නම් අකමැතිම දෙයක් තමයි මේ මන්තර ගුරුකං

      Delete
  3. එතකොට ඒ හාමුදුරුවො දැනන් ඉඳල නැද්ද ඒක නැති කරන හැටි ?....

    ReplyDelete
    Replies
    1. දැනන් ඉන්න නැතිව ඇති... නැත්නම් ඒ ගැන මොනා හරි කරයිනේ

      Delete
  4. අම්මෝ...නිදා ගන්නෙ නැතුව කොහොම හිටියද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. මටත් හිතා ගන්න බැරි... ඒත් මම ඒ ගැන අපේ අම්මගෙන් අහද්දි කීවේ ඒක ඇත්ත කියලා..

      Delete
  5. අනුන්ට ගුරුකමක් කරද්දි හොදයි.. තමන්ට කවුරුහරි ගුරුකමක් කරද්දි බයයි.. මේවට ඉතින් මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. අනුන්ට රිද්දන්න හිතන මිනිස්සුට මතක් වෙන්නේ නෑ ඒදේම තමන්ට උනොත් මොකද වෙන්නේ කියලා

      Delete
  6. ඔහොම සීන් එකක් මමත් අහලා තිබුනා .. අපේ පැත්තේ ඕකට කියන්නේ අංගමක් පිඹිනවා කියලයි ..ඇත්ත නැත්තනම් මමත් දන්නේ නැතුවා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අංගමක් පිඹිනවා කියන්නෙත් පිල්ලියක් යවනව කියන එකටමද මල්ලි

      Delete
  7. හොඳ වැඩේ හාමුදුරු කෙනෙක් වෙලක් පව් වැඩ කරනවට....

    ReplyDelete
  8. හරි ආසයි මේ වගේ අතීත රස කථා අහන්න..අර දිය ඇලි වලට නං හැදුන හැටිත් දානවද....

    ReplyDelete
    Replies
    1. දියඇලි වල නම් හැදුන හැටි ගැන කතා ගොඩක් තියෙනවා. පුළුවන් වෙලාවට දාන්නම්කෝ. ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  9. මට නම් නිදාගන්නේ නැතුව එක දවසක් ඉන්න බෑ !!

    ReplyDelete