Thursday, January 27, 2011

අපුරු කෝච්චිය

                  
                     මේක වුනේ මාස ගානකට කලින්...ඒ අපේ සර් කෙනෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් පවත්වපු පුංචි සාදයක්...මේ සාදයට ආරාධනා කලේ අපි දහදෙනෙකුට විතර..ඒ හැමෝම සර්ගේ අතිජාත ගෝලයෝ ටිකක්. සෙනග ගැවසෙන තැන් වලට අකමැති වුනත් ඔන්න ඉතින් මටත් එන්න කියාපු නිසා අපි සෙට් එකම ලැස්ති වුනේ පාටියට යන්න... මේ පාටියේ විශේෂත්වයක් තිබුනා.. ඒ තමයි  මේකට ආරාධනා ලැබුනු හැමෝම ආබාධිත අය විම.ඒ නිසා ඒකට යන එක ගැන බයක් තිබුනේ නැ..මොකද අපි  හැමෝම  එකම විදිහ නිසා අපි දිහා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලන් ඉන්න කවුරුත් නැති නිසාත්  හිතේ නිදහසේ ඕන දෙයක් කරන්න පුළුවන් නිසාත්..
                           මේ ගමනත් හරි අපුරු එකක් වුනා...අපි හැමෝම යන නිසා බස් එකක යන්නත් බැරි නිසා සර් අපට යන්න වෑන් එකක් එවලා තිබුනා..අපේ හොස්ටල් එකෙන් උන්නේ මමයි තව අක්කලා හතර දෙනෙකුයි. ඒ අතරින් රෝද පුටුවක් පාවිච්චි කලේ මම විතරයි.. අක්කලා හතර දෙනාම දෙනෙත් අන්ධ  අය..ඒහෙම වුනත් දෙනෙත් පෙනෙන බොහෝ අයට වඩා ලෝකය දැකපු තේරුම් ගත්ත අය. එයාලත් එක්ක  මගේ රෝද පුටු රාජයත් වැන් එකේ පටවගෙන  ඊළගට මගින් අපේ  අයියලා සෙට් එකත් නග්ග ගත්තා.එයාලා හැමෝමත් කලින් කියපු අක්කලා වගේ. තව රෝද පුටුවක් පාවිච්චි කරන මගේ යාළුවෙකුත් මග හිටිය නිසා එයාවත් දාගෙනයද්දි වෑන් එක ඇතුලේ එකම යුද්දයක්.මොකද හැමෝම මුණගැහුනේ ගොඩක් කාලෙකින්..ඉත්න් කතා කරන්න මොනතරම් දේවල් තියනවද? 
                                අන්තිමට අතුරු පාරක් ලග වෑන් එක නතර කෙරුවා. මෙතනින් එහාට වෑන් එකට යන්න බැ.ඔයාලට පයින් තමයි යන්න වෙන්නේ ඩයිවර් අංකල් එහෙම කියාපි. දැං කොහොමැයි අපි යන්නේ ..අනිත් එක අපේ එකෙකුවත් සර්ගේ ගේ තියෙන තැන දන්නෙ නැ..අපි දැනන් හිටියෙ සර්ගේ ගෙදර සුදු තාප්පෙකුත් නිල් ගේට්ටුවකුත් තියෙනවා කියලා විතරයි... ඉතින් කාටවත් හිතා ගන්න බැරි වුනා මක් කරන්නද කියලා..අන්තිමට  අපි තවත් එතනට වෙලා ඉදලා වැඩක් නැති හිංදා පයින්ම යන්න තිරණය කලා... ඔන්න ඉතින් මගේ රෝද පුටු රාජයත් පාරට දාගෙන අපි ලැස්තියි යන්න... ඒත් නොදන්න පාරක අපි කට්ටිය යනවා කියන එක සෙල්ලං වැඩක් නෙමෙයි..මොකද අපි අතරින් ඇස් පේන අය හිටියෙ තුන්දෙනයි.. ඇරත් ඒ පාර හොදටම අබලන් එකක්..ගල්..වලවල් පිරිලා...ඒත් ඉතින්  කොහොම හරි යන්නත් එපැයි..සර්ට ගත්තු තැගි ටිකත් උස්සගෙන අපි දැං යන්න සුදානම.ඉතින් මේ ගමන යන්න අපි ලේසි ක්‍රමයක් කල්පනා කරද්දි අපේ සුදු අයිය‍ට තමයි හොදම අදහස ආවේ. ඒ තමයි අපි එක්කෙනා පිටිපස්සේ එක්කෙනා යමු කියන එක..ඒ කියන්නේ අර අපි පොඩි කාලේ සෙල්ලම් කෝච්චි යන්නේ අන්න ඒ වගේ.. 
                          ඔන්න ඉස්සර වුනා මගේ යාළුවා.දෙවනියට මම.මට පිටිපස්සෙන් අනෙක් අය..ඔන්න දැං කෝච්චිය ගමන් ආරම්භ කලා. "අඩේ නංගි  හෝන් එකකුත් ගහගෙන යමන්."  පිටිපස්සේ උන්නු අයියන්ඩියෙක් බෙරිහන් දෙනවා... "අපරාදේ කඩල මල්ලක් වත් අරන් එන්න තිබුනේ හප හපා යන්න... " ඒ අදහස මට පිටිපස්සේ උන්නු අක්කගෙන්. දැන් අපි සැහෙන දුරක් ඇව්ත් ඒත් අර කියපු විදිහෙ ගේට්ටුවක් තිබුනේ නැ..  අපේ මේ  පුංචි කෝච්චිය අපිට විතරක් නෙමෙයි ඒ වට පිටාවේ හිටිය පුංචි එවුන්ටත් අපුරු අත්දකිමක් වෙන්න ඇති.. කටවලුත් ඇරන් අපි දිහා බලන් හිටියේ... අපේ කට්ටිය උඩ පැන පැන කැ ගගහා යද්දි මොන විකාරයක්ද කියලා හිතෙන්නත් ඇති...අන්තිමට පුංචි පුංචි අනතුරු දෙක තුනකිනුත් පස්සේ  අපට නිල් පාට ගේට්ටුව හොයා ගන්න පුළුවන් වුනා.. ඇත්තටම අපේ කෝච්චි ගමන හරි අපුරුයි.ඒ වගේම තමයි එදා තිබුනු උපන්දින සාදයත් වෙනස්ම විදිහෙ අපුරු එකක් වුනා...

Thursday, January 20, 2011

පොඩ්ඩි


                                           
                             පුංචි එකීගේ කෑ ගැහිල්ලට පොඩ්ඩි උන්නේ හොදටෝම කලබල වෙලා. මේ ඇඩියාව නවත්ත ගන්න විදිහක් ඒ වෙනකොට පොඩ්ඩි දැනගෙන උන්නෙ නැ.අප්පොච්චත් එක්ක තරහ වෙලා අම්ම ගෙදරින් ගිය වෙලාවේ ඉදන් ගෙදර ඉතිරි වෙලා තියෙන මූසල පෙනුම පොඩ්ඩිගේ හිත තවත් කලබල කරලා..ඒ මදිවට මල්ලිත් නහයෙන් අඩ අඩා පොඩ්ඩිගේ පස්සෙන් වැටිලා..ඒකාටත්  බඩගිනි වෙලා.අප්පොච්ච ලගට යන්නත් බයයි. උන්දැ හිටියෙත් කේන්තියෙන්.. හැම මගුලකටම අන්තිමට කර ගහන්න උනේ පොඩ්ඩිට.. පොඩි එකිව පරක් කරගන්න පොඩ්ඩි තමන් දන්න හැම සෙල්ලමක්ම දැම්මා.ඒ වෙනකොට පුංචි එකී කිරි බොන වයසේ.අවුරුද්දක්වත් වෙලා නැ.. පොඩ්ඩිට හිතා ගන්න බැරි වුනේ අම්ම කොහොම මේ පුංචි පැටියව දාලා ගියාද කියලා..ඒ වෙද්දි පොඩ්ඩි උන්නේ පහවසරේ. හරියට පුංචි එකීව වඩා ගන්නවත් පුළුවන් වයසක නෙමෙයි..ඒත් එදා ඉදලා පුංචි එකීව බලා ගත්තේ පොඩ්ඩි.
                                       අම්ම ආයෙත් ආවේ නෑ. පොඩ්ඩි කොහොම හරි පුංචි එකීව නලවගන්න ඉගෙන ගත්තා. මල්ලිත් එක්ක එකතු වෙලා  පුංචි එකීව ආදරෙන් හදා ගත්තා. අප්පොච්චට මේ දේවල් ගැන තේරුමක් තිබුනේ නැ.උන්දැ ගොඩක් වියදං කලේ බීමට.ඒ මොනව වුනත් ළමයි ටිකට හරි ආදරෙන් හිටියා. පුංචි එකී ටික ටික ලොකු වුනා. ගෙදර අය පුංචි එකීට ආදරේට කීවේ සුදු මැණිකේ කියලා. සුදු මැණිකේ පොඩ්ඩිගේ අතේ එල්ලිලා ඇවිදින්න ඉගෙන ගත්තා.පොඩ්ඩිගේ ළමා කාලය ගෙවුනේ සුදු මැණිකේ වෙනුවෙන්..පොඩ්ඩි ලස්සන හීන ගොඩාරියක් එක්ක ජිවත් වෙච්චි කෙල්ලෙක්..ඒත් ඒ හීන සුදු මැණිකේ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වුනා.. එහෙම වුනත් කවදාවත් පොඩ්ඩි දුක් වුනේ නැ.ඒ නැති වුන දේවල් ගැන කල්පනා කලෙත් නෑ. එයාගේ මුළු ලෝකේම වුනේ සුදු මැණිකේ. සුදු මැණීකේත් පොඩ්ඩිට ආදරේ කලේ අම්මෙකුට වගේ.ටික කාලයක් යද්දි අම්ම ආයෙමත් මේ ජිවිත වලට එඹෙන්න පටන් ගත්තා. මුලින් මුලින් සුදු මැණිකේ අම්මගේ මූණවත් බැලුවේ නැ. තමන්ට ඕන කාලේ ලග නොහිටපු කෙනා දැනුත් ඕන නැ කියලයි එයා කීවේ. එක දවසක් සුදු මැණිකේ කිව්වේ මම ඔයාගේ දරුවෙක් වෙලා ඉපදුනාට වැඩිය පොඩ්ඩිගේ දරුවෙක් වෙලා ඉපදුනානම් මීට වඩා සතුටින් ඉන්නවා කියලා. අම්මට ඒ වචන ටික සැරේට වැදුනා.මොන හේතුවකටද මන්ද එයා එදා ඉදන් පොඩ්ඩි එක්ක හිත හොදින් හිටියේ නැ.  තමන්ට නොලැබුන ආදරේ පොඩ්ඩිට ලැබෙද්දි එයාට කේන්ති යන්න ඇති.                                    
                                        කොහොම හරි අම්ම ආයෙමත් එයාලා අතරට ආවා..මුලින්ම පොඩ්ඩිගේ මල්ලිව එයා ලගට ගත්තා. ඒ වෙනකොට පොඩ්ඩි ඉස්කෝල ගමන හමාර කරලයි උන්නේ.  සුදු මැණිකේට උගන්නන්න ඕන හිංදා පොඩ්ඩි ගාමන්ට් යන්න පටන් ගත්තා.හම්බවෙන හැම සතේම සුදු මැණිකේ වෙනුවෙන් වියදම් කලා. මේ විදිහට කාලේ ගෙවිලා යද්දි අම්මා සුදු මැණිකෙට ටිකින් ටික ලං වුනා. පොඩ්ඩිට දැනුනා සුදු මැණිකෙ තමන්ගෙන් ටික ටික ඈත් වෙන බව..ඒත් මොනවත් කියන්නේ කොහොමද.. ඒ අම්මා... පොඩ්ඩි හිත හදා ගත්තා.අම්ම ලග හිටියොත් එයා හොදට ඉගෙන ගනි..ආරක්ෂාවත් හොදයි පොඩ්ඩි තමන්ටම කියා ගන්නවා.. සුදු මැණිකෙ ගියා අම්ම ලගට.. ගෙදර ඉතිරි වුනේ අප්පොච්චයි පොඩ්ඩියි විතරයි.                   
                            අදටත් පොඩ්ඩි ගාමන්ට් යනවා.. අප්පොච්චත් එක්ක හැමදාම පාර බලනවා සුදු මැණිකෙ එයාලව බලල යන්න ඒවි කියලා..ඉර බැහැගෙන යද්දි හීන් කදුළකුත් එක්ක පොඩ්ඩි අප්පොච්චට ඇහෙන්න මෙහෙම කියනවා. "සුදු මැණිකෙට වැඩ ඇති...හෙට අනිද්දට ඇවිත් යාවි..."

Monday, January 17, 2011

දාන පාරමිතාව??

කාසි ගොඩට යට කරලන සුමුදු සිනා පොදිය
වට කරගෙන ලෙංගතුකම හඩා වැටෙන අරුම
දොහොත් නගා මුනිදුන් සේ පුදන බැතින් සැවොම
දන් දෙන්නේ කෙලෙසකදෝ මවුනි නුඹේ නිවන

Wednesday, January 12, 2011

අනිච්චං ‍‍මේ සංසාරේ- ලියපු කවි අපරාදේ


හිත නහිනවා නුඹ මත්තේ
කවි පිපෙනවා හිත අස්සෙ
නුඹ හොයනවා තිස්සේ
නුඹ නහිනවා ඈ මත්තේ

නුඹ නමට ලියන කවි
නුඔ ගයයි ඇ තුරුලේ
අනිච්චං ‍‍මේ සංසාරේ
ලියපු කවි අපරාදේ

Tuesday, January 11, 2011

නුඹට වද දෙන මගේ මතකය



තියුණු සැතකින් පලා 
මා සන්තානයේ පරිස්සමට තිබු
එකම හීනය උදුරා ගත් කල
පණ අදී දුබල ජීවය
                                         බිදුනු නටඹුන් අතර... 

විසුනු කෙරුවත් සිහින මන්දිර 
තවම ඉතිරියි මතක නටඹුන්
ඉදින් තවමත් නුඹට
නොහැකිය  උදූරා ලන්නට
නුඹට වද දෙන "මගේ මතකය"

Wednesday, January 5, 2011

මල් සරාය කියනා ඒ පිස්සු යකා


මල් සරාය කියනා ඒ පිස්සු යකා
වද දෙනවලු මේ දිනවල බොහො අයටා
ඇවිලෙන දුක් අදෝනා අහගෙන ඉදලා
මගෙ ඔළුවද දැං මඤ්ඤං වී ඇතුවා

ඊතල තියෙන හිංදම උඹ විදින්නැති
ඒවා වැදුනු උන් මේ ලෙස අඩන්නැති
ඒ දැක දැකත් උඹ තව විදින්නැති
උඹෙ ගොං කමට මම කවි ලියන්නැති

මල්සරෝ උඹ ආවොත් මේ පැත්තේ
ආයෙත් යනව බොරු නුඹෙ ගම් පැත්තේ
ජීවත් වෙන්න ආසාවක් ඇතිනම් හිත මත්තේ
එන්න එපා කවදාවත් මේ පැත්තේ

ඔන්න නොකීවා කියලා කියන්නෙපා
හොරෙන් ඇවිත් මට අහුවෙන්න එපා
අහුවුනු දාට බොංචි කරලක් වගෙ  දෙකට කඩා
‍මල් දුන්නද ඇවිලෙන ඒ ලිපේ දමා
අසරණයන්ට දුන් ගින්දර එක් කොරලා
තම්බනවා ලොකු හැලියක ලුණුත් දමා




Monday, January 3, 2011

ජිවිතේ අසුන්දර කාලෙක හමුවුන පුංචි සමණළයෙක්.....

        අලුත් දවසක්....ඊයේ මම තරහට දෙවියන්ට  බැන්නට දැන්නම් හිතෙනවා ඒක වැරදියි කියලා... සමාවෙන්ට දෙවියනේ....ආයෙමත් බනින්නේ නෑ ඕං...මගේ කරුමෙට දෙයියෝ මක් කරන්නද....
-----------------------------------------
                                      අකීකරු හිතට ඉන්නවා අපූරු යාළුවෝ ගොඩක්... කිසිම වෙනසක් නැතිව හැම විදිහකම යාළුවෝ...මම නම් හිතන්නේ යාළුවෙක් වෙන්න වයස, කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක...වගේ දේවල් බලපාන්නේ නෑ... මීට අවුරුදු ගානකට කලින් අන්න ඒ වගේ යාළුවෙක් හමු වුනා මට...ඒ පුංචි මල්ලියෙක්...එතකොට ඉතින් මාත් පොඩි එකා තමයි...අපි යාළුවො වුනේ මගේ සුපුරුදු නවාතැනක් වෙච්ච රෝහලකදි තමයි... ඒ රාගම පුනරුත්ථාපන රෝහල...අවුරුද්දක් ඒකේ උන්නා..එහේ ගිය මුල් දවස්වල මම උන්නේ ටිකක් ඔරොප්පු මූඩ් එකෙන්..... 
                         පොඩි දවස්වල නිසා මට හම්බ වුනේ අර දෙපැත්තෙන්ම කොටු කරපු ඇදක්....ඒ ඇදේ යකඩ කුරූ අතරින් ඔළුව දාගෙන ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කලේ.. මම එහෙම ඉද්දි මම වගේම යකඩ කූරූ බදාගෙන ඒ අතරේ ඔළුව හිරකරගෙන හිටිය මල්ලි කෙනෙක් ඔන්න මාත් එක්ක හිනා වෙන‍වා...මුළු අවුරුද්ද පුරාමත් එයා කලේ හිනා වෙන එක විතරයි... ඒ පුංචි සමණල් පැටියට ඇවිදින්න බැරිවා වගේම කතා කරන්නත් බෑ....එයා දැනන් උන්නෙ පුංචි පුංචි සද්ද කිපයක් කරන්න විතරයි.... ඒත් අපි කියන ඒවා හරි අපුරුවට තේරුම් ගත්තා...මල්ලි පැටියට තිබුනා පුංචි බයිසිකලයක්...එයා හිටියේ ඒකෙමයි ... රෝද පුටුවට එයා කැමති වුනේ නෑ..බයිසිකලෙන් මුළු වාට්ටුව පුරාම යන එක තමයි එයාගේ වැඩේ.... 

මෙහෙදි  අපට බෙහෙත් වෙනුවට කලේ ව්‍යායාම කරවන එක...උදේ 8 ඉදන් 10 වෙනකන්ව්‍යායාම කරවලා ආයෙත් 2 ඉදන් 4 වෙනකන්... උදේ වරුවෙ නම් අපි පැනගෙන යනවා...මොකද ඒකෙදි කරන ඒවා ඒ තරම් අමාරු නැති නිසා....ඒත් හවස එකට නම් බලෙන් ඇදන් ගියත් යන්න අකමැති තැනක්.. මල්ලි පැටියත් මමත් හවස නොයා ඉන්න නොකරන දෙයක් නැ..ඒත් එයාලගෙන් බේරෙන්න ලැබුනේ නෑ...මරන්න අරන් යන කුකුල් පැටව් වගේ අපිව අරන් ගියේ...මල්ලි පැටියා බයම වුනේ කරන්ට් අල්ලන එකට...ඒ ඇද ලගට ගද්දිම හූ තියලා අඩන්න ගන්නවා...ඇත්තටම මාත් අකමැතිම දේත් කරන්ට් එක අල්ලන එක තමයි...  ඇත්තටම ඒකෙන් එළියට එන්නේ අපායෙන් එළියට එනවා වගේ....
                     එහෙම ගෙනත් වාට්ටුවේ ඇදට දාපුවම අපි කලේ නින්ද යනකන් අඩපු එක....කකුලේ වේදනාව දරා ගන්න බැරිව කැ ගගහ අඩද්දි ඒ පුංචි සමණල් පැටියා බයිසිකලේ තල්ලු කරගෙන ඇවිත් මගේ ඇදේ කම්බි කුරූ වල එල්ලිලා රිදුනු කකුල හෙමින් අල්ලන් ඉන්නවා...තුවාලෙක වේදනාව දන්නේ තුවාලේ තියෙන මිනිහා කියලා කියන කතාව ඇත්ත කියලා මට හිතෙන්නේ මේ දේවල් මතක් වෙද්දි...එයා ගොඩක් පුංචි වුනත් මගේ දුකේදි සෙවනැල්ල වගේ ලගින් හිටියා... ඒකට නේද හොද යාළුවෙක් කියලා කියන්නේ...

Sunday, January 2, 2011

දෙයියන්ට මඤ්ඤංද මංදා


මම ඉල්ලුවා දෙවියන්ගෙන්
මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
කකුල් දෙකක්
ඒත් දෙවියෝ මට දුන්නේ
හැම මගුලකටම
තෙත් වෙන ඇස් දෙකකුයි 
පොඩ්ඩ බැරි වෙනකොට 
උණුවෙන හදවතකුයි
දෙයියන්ට මඤ්ඤංද මංදා