Monday, November 14, 2011

වැදි පරම්පරාව පැවත එන්නේ කු‍වේණිගෙ දරු දෙදෙනාගෙන්ද

        අද මේ ලිපියෙන් මම කියන්න හදන්නේ අපේ රටේ ආදීවාසින් එහෙමත් නැත්නම් සාමාන්‍ය විදිහට වැද්දො කියලා හදුන්වන සමාජ කොට්ඨාසයේ වගතුග ටිකක්... 

                       වැදි ජනතාව කියන්නේ අපේ රටේ පැරණිම ජන කොට්ඨාසය කියලා හැමෝම දන්නවනේ..මොවුන්ගේ වාසස්ථාන පැතිරිලා තියෙන්නේ නැගෙනහිර, ඌව පළාත් ආශ්‍රිතව.. ඕනැම රටක ආදී වාසීන් අතර තම ජාතියේ ආරම්භය ගැන විවිධ ජනප්‍රවාද, ජනකතා වගේ දේවල් පැවතෙනවා.. වැද්දන් අතරත් මේ වගේ මතවාද කීපයක්ම තියෙනවා. ඒ මතවාද අතර වඩාත්ම ජනප්‍රිය එක තමයි

තම මුතුන්මිත්තන් පැවතගෙන එන්නේ කුවේණියගේ දරුදෙදෙනාගෙන් බව.
 අනෙක් මතය තමයි විජය රජුගේ බෑණාකෙනෙකු වු පණ්ඩුවාසුදේව රජුගේ දිවිදොස් නැසිමට මලය රටේ මලරජුගේ පාරම්පරිකයන් විසින් ඔවුන්ව එවපු බව...
 
ඒ වගේම ඔවුන් අතර තියෙන එක ජන කතාවක් තමයි  එක කාලෙක අපේ රටේ හිටපු දරුණු රජ කෙනෙක් මිනිසුන් මරාගෙන කෑම නිසා එයින් බේරිමට කැළයට පැන ගිය පිරිසෙන් පැවතගෙන එන බව..
                   කොහොම වුනත් සාමාන්‍ය පිළිගැනීම කුවේණියගේ දරුදෙදෙනාගෙන් පැවත එන බව... එසේ වුනත් මොවුන් පැවතගෙන එන්නේ මධ්‍යධරණී සහ නීග්‍රිටෝ(ඉන්දියාවේ ප්‍රධාන ආදීවාසී කොට්ඨාසයක්) කියන පිරිසගෙන් බව විවිධ පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම යක්ෂ සහ නාග කියන ගෝත්‍ර වල මිශ්‍ර විමකුත් සිදු වෙලා තියෙනවා. වර්ථමාන වැදි ජනතාවත්  ඉන්දියාවේ වනගත පෙදෙස්වල මේ වන විටත් ජීවත් වෙන මාලදේවන්, ඉරුලා, ෂෝලගා කියන ජන කොට්ඨාසයනුත් අතර යම් යම් සමානකම් තියෙන බවත් ඔප්පු වී තිබෙන නිසා වැදි ජනයාගේ සම්භවයට ඉන්දීය බලපෑමක් තියෙන්නට ඇති කියලා හිතන්න පුළුවන්..
ලංකාවේ සබරගමුව කියන නම හැදිලා තියෙන්නේ දඩයක්කාරයන්ගේ ගම එහෙමත් නැත්නම් වැද්දන්ගේ ගම කියන තේරුමින්.. සබර කියන්නේ වැද්දා කියන්න සමාන පදයක් ඒ වගේම කැලය කියන තේරුමත් එකෙන් කියවෙනවා.
වැදි ජනතාව අතර මිත්‍යා විශ්වාස අඩුයි...ඔවුන් දෙවිදේවතාවන් ගැන ඒ හැටි විශ්වාසයත් හෝ ඇදහීමක් සිදු කරන්නේ නැහැ.ඒත් ඒ වෙනුවට ඔවුන් මළවුන් සහ යකුන් ගැන දැඩිව විශ්වාස කරනවා. දොළ යකු, මහ කිරි අම්මා, රාහු යකා වැනි අය සදහා ඔවුන් විවිධ පුද පුජා කරයි. තම වරිගේ පුද්ගලයෙක් මිය ගියාම ඒ පුද්ගලයා නෑයකෙකු වී ඉපදෙන බව ඔවුන් විශ්වාස කරනවා.ඒ වගේම කෙනෙකු මියගියාම ඒ වාසස්ථානය අතහැර දමා යන සිරිතක් ඔවුන්ට තියෙනවා.වැදි ජනතාව අතර විවිධ උත්සව නැටුම් අදටත් දකින්න පුළුවන්. ඒ අතර 
කිරි කොරහ උත්සවය
කොළමඩුව උත්සවය
රාහුයකා උත්සවය
නෑයකු උත්සවය    වගේ උත්සව පවතිනවා.


වැදි ජනතාවගේ විවාහ ජීවිතය බොහෝම ප්‍රීතිමත් එකක් ලෙසයි සලකන්නේ. එක භාර්යාවක් සමග පමණක් ජිවත් වෙන ඔවුන් වෙනත් කාන්තාවන් සමග කිසිදු සබදතාවක්  පවත්වන්නේ නැ. ඒ වුනත් බිරිද මිය ගිය පසු වෙනත් කාන්තාවක් විවාහ කර ගැනිම වරදක් ලෙස සලකන්නේත් නෑ. වැද්දන් තම ආදරය පෙන්වන්නේ වචන වලින් නෙමෙයි ක්‍රියාවෙන්. සොයා ගත්ත ආහාර වලින් බිරිදට කොටසක් වෙන් කිරිම පළමුව කරන දෙයක්.දරුවන්ටත් එසේමයි.  විවාහයේදි ඔවුන් දෑවැද්ද ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැ. තරුණියගේ පියාට තෑගි විදිහට මී පැණි, වේලපු දඩමස් වගේ දේවල් ගෙනත් දීලා විවාහය ගැන විමසනවා. දෙමාපියන් ඒකට කැමති නම් තරුණිය විසින් තරුණයාට දිය ලණුවක් දීමෙන් විවාහය සිදුවෙනවා. උත්සව ගැනීමක් එහිදි සිදු වෙන්නේ නැ. විවාහය ගැන සලකද්දි සහෝදර සහෝදරියන් අතරර විවාහයට දැඩි තහනමක් වැද්දන් අතර තියෙනවා.ඒත් මේ තහනමයි කුවෙණිගේ දරු දෙන්නගෙන් වැද්දන් පැවතගෙන එනවා කියන කතාවයි අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා?
 වැද්දෝ ගැන කතා කරද්දි වැදි භාෂාව ගැන කතා නොකරම බෑනේ.... මොවුන් කතා කරනවට වඩා ඉගියෙන් අදහස් දැක්වීමට කැමතියි. ඒකට හේතුව දඩයමේ යද්දි වැඩි සද්ද බද්ද කිරිම් සිදු නොකරන නිසා වෙන්න ඇති. එහෙම වුනත් වැදි ගීත, නැලවිලි කවි ඔවුන් අතරේ නොඅඩුව දැකගන්න පුළුවන්..ඒ වගේමයි මන්ත්‍ර වගේ දේවලුත්.

මේ තියෙන්නේ වැදි ගීතයක්
වැල්කොබ්බා වැල දුන්න නමා ගෙන
මොරියන් කෙච්චක් කර වතුරාගෙන
වැල් ඉච්කෙයියා පිටට දමාගෙන
දෝනී කෙල්ලක් ඉච්චර කරගෙන
එන්ඩලු මගෙ පුත කිරි බෑනා

වැදි යාදින්නක්
හෙරගල වැද්දනේ
මරගල්ල වැද්දනේ
කුබොහුගල වැද්දනේ
හු කියන වැද්දනේ
වී කොටන වැද්දනේ
මෙකී නොකී වැද්දනේ
පුද කැපගෙන් වැද්දනේ

වැදි මන්ත්‍ර
අලියට- ඉච්චට චල්ලය්
            පච්චට චල්ලය්
            දෑල දෙචල්ලය්
            සිටු අප්පා සිටු (මේක හොදයි   සදරුට )

නයාට- ඉරි දෙයියනේ චැලගි
            සද දෙයියනේ චැලගි
            පචේ බුදුන්නේ චැලගි
            සිටු චැලගි සිටු

මම ඔබට ගහනවා කියලා කියන්නේ - කැරියට ගචන්න
මම ඔබේ ඔළුව පලනවා - ඉන්තුල කොටා පලා
මං යනවා - මං ගඡ්ඡපං
ඉදගෙන කතා කරන්න -ඇන බාන බනවපන්කොයි
  
වැදි සමාජෙත් දැන් ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා. නාගරිකයන්ගෙනුයි සංචාරකයන්ගෙනුයි  පිරෙන ඔවුන්ගේ ගම්මාන  වෙනස් වෙන්න පටන් ගෙන. සරල ජීවිතේකට හුරු වෙච්ච වැදි ජනයා දැන් දැන් තම ගති පැවතුම් වෙනස් කරගන්න පටන් ගෙන...කාලයක් යද්දි නමට විතරක් වැද්දෝ වෙයිද දන්නේ නෑ



Friday, November 4, 2011

ජීවිතය වටා බැදි මහා පවුරක්...

                                      ජීවිතෙන් ගිලිහෙන හැමදේටම ගිලිහෙන්නට ඉඩ හැරිය පසුත් ජීවිතය වෙනුවෙන් කුමක් හෝ ඉතිරි වෙනු ඇතැයි මා සිතේ දැඩි විශ්වාසයක් තිබුණි. එසේ වුවද රෝද පුටුවක් මතට ඇද වැටුනු ජීවිතයෙන් මා නොසිතු තරම් දෑ ගිලිහෙමින් තිබුනි... එදා අවුරුදු දහයක පොඩි කෙල්ලක වු මාගේ ජීවිතයෙන් බොහෝ දේ පලා යන්නට වු අතර ඒවා මා අසලම නතර කරගන්නට මා බෙහෙවින්ම වෙහෙස වුයෙමි...එසේ නතර කරගත නොහැකිව හඩා වැටෙන විට මා සනසාලන්නට මා අබියස උන්නේ ඔහුය... මා දෙපයෙන් සිටගෙන දස අතේ ඇවිදින කල ඔහු රෝද පුටුවක් මතට වී බලා සිටි අයුරු අදද මට මතකය...එකල ඔහුගේ රෝද පුටුව තල්ලු කරන්නට තරම්වත් උස නැතිවු නමුදු මා හැකි වෙර යොදා ඔහු කියනා තැන් වලට ඔහුව තල්ලු කරගෙන යාමෙන් මහත් සතුටක් ලැබුවෙමි.. ඔහු මාගේ සොහොයුරාය. මගේ චූටි අයියාය. එහෙත් අප අතර තිබුනේ සහ අදටද පවතින්නේ සහෝදරත්වය ඉක්මවා ගිය  පුදුමාකාර බැදීමකි. ඒ බැදිමට දිය යුතු නම කුමක්දැයි  සිතා ගැනිමට මට කිසි විටෙක නොහැකිය....ඔහු විටෙක මට සහෝදරයෙක්ම විය...විටෙක මිතුරෙක් විය. තවත් විටෙක ඔහු මට ගුරුවරයෙකු විය. දෙවියන් විසින් මාගෙන් උදුරා ගත් දැ වෙනුවට හිලව් වශයෙන් එවන් සහෝදරයෙකු මාහට ලබා දෙන්නට ඇතැයි මා විශ්වාස කලෙමි.. 
                             පසුකලක මාද ඔහු මෙන්ම රෝද පුටුවක් මතට ඇද වැටුනු පසු අප අතර පැවති බැදීම තවතවත් දැඩි වුයේ එහි වේදනාව එක ලෙස දැනුනු නිසා වන්නට ඇත..මා පණ පිටින් වළදමන්නට යන කල එයට එරෙහිව අම්මා සමග දැඩි ලෙස රණ්ඩු කලේත් එදා මුළු දවසම කාමරයට වී සිටි සිටියේත් මාගේ වේදනාව ඔහුටද තේරුම් ගිය නිසා වන්නට ඇත. ජීවිතයෙන් බොහෝ දෑ ගිලිහෙන කල චූටි අයියා මට වඩා ප්‍රචණ්ඩකාරි විය. කිසි විටෙක පරදින්නට කැමති නොවීය.. විටෙක කුණාටුවක් මෙන් ප්‍රචණ්ඩව හැසිරෙන ඔහු ආදරය අබියස මළමුහුද මෙන් නිසංසල වෙයි. සැබවින්ම ඔහු කුඩා කල සිට මා දුටු වීර චරිතයක් විය..ලෝකයාට මා මෙන්ම ඔහුද ආබාධිතයෙකු පමණක් වුවද අදටද බොහෝ කාඩ්බෝඩ් වීරයන් අසල මා දකින සැබැ වීරයා ඔහුය..ඒ ඔහු මට ජීවිතය ඉගැන්වූ නිසාය.. 
                                     අප අතර යම් හෝ මත ගැටුමක් පැවතියේ ආදරය බෙදා ගැනිම සම්බන්ධයෙන් පමණකි. අම්මාගේ ආදරය වැඩියෙන් තමන් සතු කර ගන්නට මාත් චූටි අයියාත් ලොකු අයියාත් පිටතට නොපෙන්නු අරගලයක නිරත වුනි. බොහෝ විට අප දෙදෙනාම සිතා උන්නේ ලොකු අයියාට වැඩි සැලකිලි ලැබෙන බවයි.එසේ වුවත් ලොකු අයියා නිතරම චෝදනා කලේ අප දෙදෙනා ගැන හැරෙන්නට ඔහු ගැන එතරම් නොසලකන බවයි.මේ තත්වය තුල අප අතර සිටිමෙන් ලොකු අයියාගේ මානසික තත්වය බිද වැටි ඉගනීම අඩපණ කර ගනීයැයි බියෙන් අම්මා අයියාව ගමෙන් පිට කර ලොකු ඉස්කෝලෙක දමා ඉගැන්වීම අප දෙදෙනාගේම අසතුටට හේතු වූවාක් මෙන්ම එය අප දෙදෙනා අතර දැඩි බැදිමක් ඇති කර ගැනීමටත් ලොකු අයියාගෙන් දුරස් වීමටත් හේතු විය.අප දෙදෙනාම එකම බෝට්ටුවේ බව සිතන්නට පුරුදු වුයේ එතැන් පටන්ය. අදටද අප හා ලොකු අයියා  අතර ඇත්තේ මහා දුරස්ථ බවකි. අම්මාගේ ආදරය බෙදා ගැනීම වෙනුවෙන් එදා මෙන්ම අදත් අප අතර පවතින්නේ ආදරණිය අරගලයකි.
                  මම පුංචි පවුලක බාලයාවිමි.  සැමගේම උතුරා හැලෙන ආදරය මැද දිවි ගෙවු මා හිටි අඩියේ අසනීප වීම ඔවුන් දරා ගත්තේ අසීරුවෙන් බවද මම දනිමි.. එසේ වු පසුත් මා අසල දැවටෙමින් ජීවිතය නැමති පොත මට කියා දුන්නේ ඔහුය. වේදනාව දරා ගත නොහැකිව මරණය යදිමින් සිටි දිනයන් හිදි කදුළු වියළා ගන්නා අයුරුත් ජීවිතය ජීවත් කරවන්නට ඊට වඩා වෙහෙස විය යුතු බවත් නිරන්නරයෙන් කියා දුන් ඔහු බිදුණු හිත ගල් හිතක් බවට පෙරලා ගන්නට අවශ්‍ය දිරිය මට ලබා දුන්නේය. ඔහු ජිවිතය ඉගෙන ගත්තේ තනිවමය..එබැවින් ඔහු මට වීරයෙකුම වන්නේය.. සැබවින්ම  නොසිතු මොහොතක කැඩී බිදි ගිය මගේ සිහින මාළිගාවෙහි ඉතිරිවු නටඹුන්  රැක ගන්න මේ ජීවිතය වටා මහා පවුරක් මෙන්  නැගි සිටින්නේ ඔහුය..