Wednesday, September 29, 2010

හැරයාම-3


"ඇත්තටම උඹට පිස්සුද මෙච්චර හොද කොල්ලෙක් අතාරින්න...  මට කියපන් මොකද්ද හේතුව?" 
ශානි මගෙන් එහෙම අහද්දි මම කල්පනා කලේ ඇත්ත කියම්දෝ නොකියම්දෝ කියලා.. තවත් මේ දුක හිතේ තද කරන් ඉන්නවට වඩා කාට හරි කිවොත් හොදයි කියලා හිතුන නිසාම අන්තිමේදී ඇත්ත කියන්න හිත හයිය කරගත්තා.. ඒත් මං මොනවා කියන්නද කියලා තවමත් වචන ගලප ගන්න බැරි වුන හින්දා මම  හෙමින් බෑග් එක ඇරලා ඒකේ තිබුන ‍ෆයිල් එක ශානි අතට දුන්නා...
එයා අහපු ප්‍රශ්නෙට මීට වඩා හොද උත්තරයක් දෙන්න  මම දැනන් උන්නෙ නෑ..  ෆයිල් එක දිහා බලන් හිදපු ශානිගේ ඇස් වලට කදුළු පිරෙනවා.. හෙමින් ඔළුව උස්සලා එයා මං දිහා බලන් හිටියේ මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරිව වෙන්න ඇති.
 “මේක බොරුවක් නේද නිසලි” 
“බොරුවක් වුනානම් මං කොච්චර සතුටු වෙනවද? ඒත් ඒ සතු‍ට මට උරුම නෑ” 
ඔයා කවද්ද මේක දැන ගත්තේ?
“දැන් මාසයක් විතර..............දැන්වත් මං කලේ හරි දෙයක් කියලා පිළිගන්නවද” මං එහෙම ඇහුවේ ශානි මට අනන්තවත් බැනපු නිසා.....
"උඹ හිතනවද මෙහෙම දෙයක් වුනා කියලා ආලෝක අයියා උඹව අතාරියි කියලා? එයා උඹව තවත් ආදරෙන් බලා ගනී.................."
"මම ඒක දන්නවා ශානි... ඒත් මං කොහොමද ඒ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්නේ...... මම එයාගෙන් ඈත් උනාම එයාට පුළුවන් වෙන කෙනෙක්ට ආදරේ කරන්න.......මගේ ජිවිතේට ලං වෙලා එයා විනාශ වෙනවා දකිනවට වඩා වහ ටිකක් බීලා මැරෙන එක සැපයි........"
"මේක ආලෝක අයියා දන්නවද?"
"අනේ නෑ දන්නවනම් මට කීයටවත් එයාගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ............. ඔයා එයාට කියන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න........"
ශානිගේ අත අරගෙන මගේ ඔළුව උඩින් තියා ගත්තේ පොරොන්දු කරවගන්න ඕන නිසායි.......
"මට බෑ බොරු කියන්න..... ආලෝක අයියා දුක් විදිනවා... අඩනවා.. කොල්ලෙක් ලේසියෙන් අඩන්නේ නෑ නිසලි......ඒත් උඔ නිසා එයා ඒ තරම් දුක් විදිනවා.. එයාව දාලා ගියොත් ඒ ජිවිතේ විනාශ වෙයි........."
"මං දැන් දාලා නොගියත් ලගදිම මට එයාව දාලා යන්න වෙනවානේ.......... "
ඇස් වලින් උතුරන කදුළු හිර කර ගන්න ගමන් මම එහෙම ඇහුවේ වෙන දෙන්න උත්තරයක් නැති වුන නිසා.......
"මම කොහොමද ශානි  ඒ ඇස් දිහා බලාගෙන කියන්නේ ඔයාගේ චූටි මැරෙන්න යනවා කියලා........ මම කොහොමද කියන්නේ මට පිළිකාවක් කියලා........................"

Monday, September 27, 2010

හැර යාම -2


එහෙනම් ඔයා මාව දාලා යන්නද හදන්නේ චූටි? 
මෙච්චර වෙලා ඈත බලන් ඉදපු ඔයා මගෙන් ඇහුවා.. එක පාරට උත්තර දෙන්න බැරි වුනේ  මගේ උගුර හිර වෙලා තිබුන නිසා.. මම හෙමින් ඔළුව වනද්දි ඔයා තදින් මගේ උරහිසෙන් ඇද්දේ ‍තරහින් කියලා මම දන්නවා...
“මට මෙහෙම කරන්න එපා චූටි මං මැරෙයි..”
බිදිච්ච  කටහඩින් ඔයා එහෙම කියද්දි හිත ඇතුලෙන් මං දහස් වාරයක් මැරුනා... එත් ඔයාට පේන්න මම හිනා වුනා.. 
“මම කවදාවත් ඔයාට ආදරේ කරලා නෑ අයියේ..”
අමූලික බොරුවක් වුනත්  මං එහෙම කිව්වා.. ඔයා හිනා වුනා, හයියෙන්  හිනා වුනා...
 “බොරු කියන්න දන්නේ නැති මිනිස්සු බොරු නොකියා ඉන්නව නම් හොදයි”
ඔයා එහෙම කීවේ මගෙන් ඈතට යන ගමන්......................

Sunday, September 26, 2010

හැර යාම


හීන් පොදයක් වැටෙද්දි ගල් පොත්තකට හේත්තු වෙලා මම ඔයා දිහා බලන් හිටියා.මුහුදු රළ ඔයාව තෙමාගෙන යද්දි ඔයත් පරදින්න කැමති වුනේ නෑ..‍ පොඩි එකෙක් වගේ කවදාවත් නවත්තන්න බැරි රළත් එක්ක පොර බැදුවා..
“ඔයා හැමදාම ආදරේ කලේ ඔයා ලග නතර නොවෙන දේවල් වලට”
මට එහෙම කෑගහලා කියන්න හිතුනත් මං එහෙම නොකීවේ තවත් ඔයාට රිද්දන්න බැරි හින්දයි........
රළත් එක්ක ඔට්ටු වෙලා මහන්සි වුන ඔයා ආයෙත් මං ලගට ආවා...
“චුටි අපි අයිස් ක්‍රිම් කමුද? පැණි කජු එකක්..........??”
ඔයා ඔළුවත් ඇද කරන් එහෙම අහද්දි ඇත්තටම මට හිනා ගියා.. ඔයා කොයි තරම් හොදට මං ගැන දන්නවද... ඔයා කොයි තරම් හොදට මං ගැන තේරුම් ගත්තද...ඔය ආදරේ මගේමයිද කියලා තවමත් මට හිතා ගන්න බැරි කවුරුවත් මට මේ තරම් ආදරේ කරලා නැති නිසා........ මම ඔයාට                 “හා අපි කමු”   කියන්නත් කලින් ඔයා අපිට අයිස් ක්‍රිම් ගේන්න දිව්වා... ඔයා මගෙන් ඇතට යනවා දකිද්දී මගේ හිත ගැස්සුනා... මම අද ඔයාව දාලා යනවා... ඇස් දෙකට පිරුනු කදුළු  මට ඔයාව නොපෙන්වන්න ලොකු උත්සහයක් ගත්තා... කෑගහලා අඩන්න හිතුනත් මම අඩනවට ඔයා අකමැති නිසාම කදුළු වලට එන්න නොදී හිත ඇතුලෙම හිර කරගත්තා.... මම ඔයාව දාලා එන්න හැරුනේ ඔය ඇස් ඉස්සරහ ඉදන් ඔයාව දාලා යනවා කියන්න බැරි නිසා..
මම දන්නවා ඔයා පොඩි එකෙක් වගේ අඩාවි.... ඒත් කවදාහරි  තේරැම් ගනී, මේ චුටි ඔයාව දාලා ගියේ තවත් ඔය හිතට දුකක් දෙන්න බැරි වුන නිසා කියලා.... එදාට ඔය රත්තරං හිත මේ චුටිට සමාව දෙයි.........මං දන්නවා ඔය අහිංසක හිතට කාටවත් වෛර කරන්න බෑ කියලා.................
මගේ පුංචි සමණළයෝ
පරවෙන්නට යන මලකට
පෙමින් බැදුනු වරදට
දුන් දඩුවම
මහමෙරක් බව දනිමි මම
පිපුනු මලක් ලග
නැවතියන් නුඹ
තවත් රිදවා දුකක් දෙන්නට
නොහැක මේ පව්කාරිට