Saturday, February 15, 2020

මේ හුදෙක් රෝද හතරක් උඩ තිබූ කොට ජීවිත පමණක් නොවනු වස් ලියා තබමි... (01)


                                        ආයෙමත් පසුපස හැරී බලමි.. වෙනදා මා ඉදිරියට තල්ලු කල , පසුපසට හැරෙන්නට නොදි තර්ජනය කල ඒ දෑත් තව දුරටත් නැත. මහා සෙනඟක් මැද තනිවීමේ අතිශය වේදනාකාරි බව අත්විදිමින් සිටිමි. දවස තිස්සේ පැළදු වෙස් මුහුණ ඉවතලන්නට දිරි තිබුණේ ඔවුන් ඉදිරියේ පමනි. එහෙත් ඒ වෙස්මුහුණ නැවත කිසිදා නොගැලවෙනු ඇත. ගැඹුරු හිස් අවකාශයක දිගින් දිගටම  ඇද වැටෙමින් සිටිද්දී මැවෙන තරවටු ඇස් සතරකි... 

අයියා මෙන් දරාගෙන සිටිය යුතු යැයි කියන ඇස් දෙකක් මෙන්ම , 
තව ටිකක් අල්ලගෙන ඉදපන් කියන ඇස් දෙකකි.
ලෝකය ඉදිරියට ඇදෙමින් සිටි. සියල්ලන්ම කාර්‍යබහුලය. බොහෝ මතක අමතකව ඇති සෙයකි... රිදෙන්නේ එවිටය.. ඒ විසල් ජීවිතය ගැන අකුරු එකතු කරන්නට හිතුවේ එනිසාමය. 
අසීරුය.... 
එහෙත් පියාපත් දෙකක් රැගෙන  දැන් ඉතින් යමු යැයි කියන විට යන්නට පෙර  සියල්ල අවසන් කර තිබිය යුතුය . මඟ බලා හිදිනා කාලය තුල ඒ විසල් හදවත ගැන කොතැන හෝ ලියවී තිබිය යුතුමය...
කෙල්ලෙකුට ජීවිතේ වීරයා වෙන්නේ තමන්ගේ තාත්තාය. ඒත් මගේ ජිවිතේ වීරයා වුනේ චූටි අයියාය. අහිංසකයෙක් වූ ලොකු අයියාගේ අඩිපාර වෙනුවට මා ගමන් කලේ චුටි අයියාගේ රෝද හතර පසුපස්සේය. ඒ ගමන වඩාත් තාත්වික කරන්නටදෝ දෛවය විසින් මටද රෝද හතරක් තිලිණ කරන්නීය.. ⁣එහෙව් ජීවිතය දරාගන්නට උගත්තේ  ද අයියාගෙනි.
............................................................................

ඒ වෙද්දි මම ⁣මොන්ටිසෝරි යනවා. ගෙදරට උඩින් තියෙන පල්ලියේ තමයි මොන්ටිසෝරිය තිබුනේ. එදා දවසේ මම ගෙදර එද්දී අයිය ඉස්කෝලේ ගිහින් කලින් ඇවිත් තිබුනා . ඒ වෙද්දි අයියගෙ කකුල දිගට යකඩ සපත්තු දාලයි තිබ්බෙ . මෙි සැරේත් අයිය කකුල කඩාගෙනයි⁣ ගෙදර ඇවිත් තිබුනෙ. 
කකුල කඩාගෙන බව කිවේ ආච්චි . ඉස්කෝලේ දි ළමයෙක් සෙල්ලමට තල්ලු කරල. ඒ තමයි අයිය ගෙ අසනිප ගැන මට තිබුන පළවෙනිම මතකය.. 
අයිය යකඩ සපත්තුවත් දාගෙන පුටුවක තනිවෙද්දි මම එයා වටේ දුව පැන්නා. සමහර වෙලාවට විහිළුත් කලා .. ගහන්න පන්නන්න බැ කියලා දන්න නිසා විහිළුකරලා දිව්වා...

ගයාන් ගයාන් ගල් ඉබ්බා..
ගලේ තියල වෙඩි තිබ්බා...
ඉන්දුලයා බත් කනවා.
ගෙටත් උඩින් දුං යනවා...
                      ඒ දවස් වල මේවට හරි හරියට තරහ ගියා.. එක තැනකට කොටු වුනාට අයියගෙ කටේ හයිය කවදාවත් අඩු වුනේ නැ. පොඩි වයසෙදිත් ඕනම කෙනෙක් එක්ක කටින් හැප්පෙන්න හයියක් එයාට තිබ්බා. ඒ නිසාම වෙන්න ඇති එයා මගේ වීරයා වුනේ.
 ඒ වෙද්දි මාත් අත කඩාගෙන හිටියෙ. විවිධාකාර පරීක්ෂණ, බෙහෙත් කෙරුවාවල් එක්ක හෙම්බත් වෙද්දි ඒකට විරුද්ධ වෙන්න අපිට පුළුවන් වුනේ නැ. ඒ්ත් සිංහල බෙහෙත් කරන හැමෝම පේන්න බැරි වෙන තරම් එපා වෙලායි හිටියේ. එහෙම අපෙ ගෙදරටම ආව සිංහල වෙදෙක් හිටියා. අපි කීවේ යකා වෙදා කියලා . ඒ තරමට ඒ යකා වද දුන්න. ඒ නිසාමයි අපි ලොකු වුනාම ඒ වෙදමහත්(හොරු) පෝලිමට හිටවල වෙඩි තියන්න කතා කරගත්තේ. 

වේදනාව දරා ගැනීම අතින් අයියයි මායි හිටියෙ අහසයි පොළවයි වගේ. බෙහෙත් කරන්න ලගට එද්දිම අඬා වැටෙන මමයි කොච්චර මොනව කලත් යකා වගේ ඉවසන අයියයි එතනදි මහ ගොඩක් වෙනස් වුනා. හැ⁣මවෙලේම හැමෝම කිවේ අයිය වගේ වෙන්න කියලා. ඒත් ඒ පාරෙම ගියාට කවදාවත් එයා තරම් ශක්තියක් මට තිබුනෙ නැ. 

අයියට අම්මා පුංචි රෝද හයි කරපු ලී පුටුවක් හදවල දුන්නා. එයා ඒකට හුරු වෙද්දි මමත් අම්මා පස්සෙ යන්න ගිහින් කකුල කඩාගත්තා. ඒ තමයි අපි දෙන්නා සමාන වෙන්න පටන් ගත්ත පලවෙනි තැන. 
අයියා ජීවිතය බාර ගත්ත විදිහට මට බාර ගන්න අමාරු වුනා. මම කෑ ගගහා අඩද්දි වැළපෙද්දි අයියා නිහඬවම ඒකත් එක්ක සටන් කරන හැටි ගැන මම පුදුම වුනා. තවදුරටත් එයා මගේ වීරයාම වුනේ ඒ විදිහට . 

"මේ ලෝකේ දෙවියන්ට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. බැරි දේවලුත් තියෙනවා මේත් ඒ වගේ දෙයක්"
අයියාව උස්සන් ගියපු අම්මාට  එහෙම කියලා තිබ්බෙ ඒ වෙනකොට ලංකාවේ හිටපු මේ ලෙඩ සම්බන්ධ හොදම වෛද්‍යවරයා. අයියා සනීපවීමේ අදහස අත්තැරල දැම්මේ ඒ වචනත් එක්ක . එතනින් එහාට බෙහෙත් කරන එකට එක දිගටම අයියා විරුද්ධ වෙන්න පටන් ගත්තා. ඒත් අම්මා ගෙ හිතේ හයියත් එක්ක අයියට හැප්පෙන්න බැරි වුනා. 
අන්තිමට අපි දෙන්නවම රාගම පුනුරුත්ථාපන රෝහලේ නවත්තන්නෙ ආච්චිත් එක්ක .. ඔව් අවුරුද්දකට ආසන්න කාලයක් අපි එහෙ හිටියා.. මට ඒක නරකාදියක් වෙද්දි අයියා එහෙ අලුත් වෙන්න ඉගෙන ගත්තා. එයා පස්සෙ කාලෙකදිත් කිවේ ඒක අත්දැකීම් පිරුණු කාලපරිච්ඡේදයක් කියලා. 
මම ඒ ජීවිතේට වෛර කරද්දී අයියා එයාට ඔබින විදිහට එයාගෙ ජීවිතේ හැඩගස්වා ගත්තා .  අයියා රාගමින් එළියට ආවේ ඒ ඉන්න තත්වෙ ඒ විදිහටම පිළිගෙන. ඒ අතින් අයියා හැමවෙලේම මට වඩා ඉදිරියෙන් හිටියා. ඒ ආවත් හරි අම්මාගෙ හිතේ හයිය පරාද කරන්න අයියාට පුළුවන් වුනා. 
එයා ඊට පස්සෙ කිසිම දවසක ඇවිදින හීනෙ වෙනුවෙන් ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්න ආවේ නැ. එතනින් එහාට එයා එයා විදිහටම ජිවත් වෙන්න පටන් ගත්තා. ඒ ධෛර්ය මට ආවේ සෑහෙන කාලෙකට පස්සෙ. ඒකට හයිය දුන්නෙත්  අයියාම තමයි.

Thursday, September 21, 2017

විශ්මයාර්ථ ඇස්!!!!!!



සත්තු වත්තක කූඩු කරපු සත්තු දිහා අපි ගිහින් කන්න වගේ බලන් ඉද්දි....... උන්ව බලලා හිනා වෙද්දි උන්ට මොනව හිතෙනව ඇද්ද කියල මම වෙලාවකට කල්පනා කරනවා.... සමහර වෙලාවට ඒ සත්තුන්ට මොනවත්ම හිතෙන්නෙ නැතුව ඇති...  සමහර විට හිතෙනවත් ඇති...

කවුරුහරි කෙනෙක් තමන් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා නම් ඒ වෙලාවට දැනෙන හැගිම කොහොම වුනත් හොද එකක් නම් නෙවෙයි කියලා  මම දන්නේ ඒ හැගීම මමත් අත් විදින නිසා.....


හිතේ සතුටින් වැඩට ගියත් කොහෙන් හරි එන ඒ විශ්මයාර්ථ ඇස් එක්ක හැප්පෙන එක ලේසි දෙයක් නෙමෙයි... කොච්චර ගණන් නොගෙන හිටියත් අපේ සමහර මිනිස්සුන්ගේ පුදුමයෙන් පිරිච්ච ඇස් දරාගන්න එක හරි අපහසුවක්....


"ඔයා දැක්කද එයාව.... දැක්කද එයා ලියන හැටි..... "

කෙනෙක් තවකෙනෙක්ට ඇගිල්ලෙන් ඇනලා මාව පෙන්නද්දි මම නෑහුණකන්ව ඉන්නවා...

පුංචි දරුවෙක් ඒ විදිහට බලන එක අමුත්තක් විදිහට මට දැනෙන්නේ එහෙමත් වෙලාවක.... මොකද මහ මිනිස්සුන්ට වඩා වෙනස් ඇස් ඒ දරුවන්ට තියෙන නිසා ... පුංචි එවුන් කෙලින්ම මගේ ලගට එන්නේ නෑ.... වටෙන් වටෙන් ඇවිත් මගේ නිල රථය දිහා බලනවා... මගේ කකුල් තියෙනවද බලනවා... ඒ වෙලාවට මට හිනා යනවා... ඒ හිනාවත් එක්කම මම එයාලට කතා කරනවා.. 

"මාත් එක්ක රෝද පුටුවේ රවුමක් යමුද" 

මම එහෙම අහද්දි ඒ මුණුත් හිනාවකින් පිරෙනවා... හැබැයි ඒත් එක්කම දිග ප්‍රශ්න පත්තරයක් දිග ඇරෙනවා.... ඔය අතර අති පණ්ඩිත පොඩි මහාචාර්යවරු නැතුවමත් නෙමෙයි.... එහෙම අයට නම් මගේ එක රැවිල්ලක් නැතුවම බැරිවෙනවා... මොකද ඒ අහන ප්‍රශ්න දරා ගන්න ටිකක් විතර අමාරු නිසා.......

දවසක් පුංචි කෙලි පැටික්කියක් මගේ ලගට දුවගෙන එනවා... වටෙන් වටෙන් ඇවිත් හිනා මූණක් දාලා ප්‍රශ්න පත්තරේ දිගාරිනවා....

"ඇයි ඔයා රෝද පුටුවක ඉන්නේ?"
 
"මේක මගේ අලුත් වාහනේ නිසා...." මම හිනා වෙලා කටට එන උත්තරයක් දෙනවා...

"බොරු කියන්න එපා.. ඔයාට කකුල් නෑ?" හයියෙන් කැගහපු මේ කෙල්ල මේසේ යටින් නැවිලා මගේ කකුල් හොයනවා... 

සෙනගක් මැද්දේ පුංචි එකීගේ හැසීරිම මාව අසරණ නොකෙරුවාමත් නෙවෙයි.. ඒත් මට ඒ දරුවා ගැන කේන්තියක් දැනුනේ නැ... කේන්තියක් දැනුනේ ඒ දරුවාගේ හැසිරිමත්, ප්‍රශ්න කෙරිල්ලත් දිහා බලන් හිනාවෙවි හිටි ඒ දරුවගේ අම්මා ගැන....

සමහර වෙලාවට අම්මම උගන්නලා දරුවව මගේ ගාවට එවනවා.... ඒ වගේ මිනිස්සු ගැනනම් ම‍ට ඇති වෙන්නේ මහා පිළිකුළක්.... අර දරුවා මැලිකමින් ඇඹරෙද්දි ඒ දරුවව මගේ ඉස්සරහට තල්ලු කරනවා....

"ගිහින් අහන්නකෝ ඒ ඇන්ටිගෙන් ඇයි එහෙම ඉන්නේ කියලා??"

"අනේ පව් නේද"

"බලන්නකෝ ඒ ඇන්ටිගේ ඇගිලි වල චුටි"

"ලගට ගිහින් බලන්නකෝ එයා ලියන හැටි..."
 
පුංචි එකාව මගේ ඉස්සරහට තල්ලු කරනවා.... ඒ වෙලාවට නම් ඔළුව කෙලින් කරලා බලන්න බැරි තරම් කේනිතියක් එනවා...ඒත් මේ මම රස්සාව කරන තැන නේද කියලා හිත තද කර ගන්නවා...

ඇයි මිනිස්සුන්ට මේ තරම්වත් සාමාන්‍ය දැනීමක් නැත්තේ කියන එක ගැන මට පුදුමයි... තවකෙනෙකුගේ අඩුපාඩුවක් එයා ඉස්සරහම රස කර කර විදින එක මොනවගේ හැගිමකින් කරනවද කියලා මම දන්නේ නෑ... 

ඉස්සර නම් ඒ වගේ මිනිස්සු ඉස්සරහ මුළු දත් සෙට් එකම පෙන්නලා හිනා වෙලා එක දිගට බලා ඉන්න පුරුද්දක් මට තිබුණා.. මොනව වුනත් ඒක හරි සාර්ථක ක්‍රමයක් ..... ඒ හිනාවට මිනිස්සු බයයිද ලැජ්ජයිද මන්දා.. කොහොම හරි ඉක්මනින් තමන්ගේ විශ්මයාර්ථ ඇස් මගෙන් අයින් කරගන්නවා.... ඒත් දැන් රාජකාරි කරන තැන ඒ වගේ හිනාවක් දාන්න විදිහක් නෑ.. මොකද රාජකාරි කරන තැනකට ඒ හිනාව ගැලපෙන්නේ නැති නිසා...

සමහර මිනිස්සුන්ගේ හැසීරිම් කවමදාවත් වෙනස් වෙන ඒවා නෙවෙයි... එයාලා දිහා බලන් ඉන්න දරුවොත් හැදෙන්නේ ඒ විදිහට... ඒක මහා අවාසනාවක්....
.
තමන්ට වගේම තමන් ඉස්සරහ ඉන්න මනුස්සයාටත් හැගීම් දැනීම් තියෙනවා කියලා විතරක් වත් තේරුම් ගන්න මේ මිනිස්සුන්ට පුළුවන් නම් මේ රට මීට වඩා ටිකක් හරි වෙනස් වේවි......

Sunday, January 31, 2016

යක්ෂයාට ප්‍රේම කලෙමි....



යක්ෂයින් ප්‍රේම කරන්නට නොදන්නේ යැයි කියන්නෝ කවුරුන්ද??

යක්ෂයින් තරම් සොුරු ප්‍රේම අඥාදායකයින් තවත් නොමැති බව මා ඉුරාම දනිමි...

ඒ මා යක්ෂයාට ප්‍රේම කළ බැවිනි....

යක්ෂ ප්‍රේමයක කිමිදෙන්නට නම් යක්ෂ හදවතක් තිබිය යුතුමය....බොහෝ දෙනා දුටු අහිංසක බොළද පෙනුමට යටින් ඇති යක්ෂ හදවත හැදින ගත්තේ ඔහුය..ඔයා හරි අහිංසකයි කියූ අය අතර උඹ මහා යක්සනියක් කියු ඔහු මාගේ සිත පැහැර ගත්තේය...

මා වටා කැරකෙමින් එල්ල කල ගල් මුල් පහරවල් වලට ප්‍රතිප්‍රහාරයන් එල්ල වූ පසු ඒ යක්ෂ ඇස් තිගැස්සෙනු මා දුටිමි.... ඉන් මා ලැබූ සතුට අපමණය... මේ ක්‍රීඩාවට මා මෙන්ම ඔහුද නිරායාසයෙන්ම යොමුවූ බවක් පෙනුනු අතර ඔහුද ඉන් කුරිරු සතුටක් ලද බව මා විශ්වාස කරමි. අප අවට සිටිනවුන්ගේ විස්මය පිරුණු ඇස් මාගේ අවසානය දැන් එතැයි දැන් එතැයි බලා සිටියේය..

''ඌ උඹව හපයක් කරලා දායි...'' ඔවුන් නිතරම පැවසූයේය.

එනමුදු එසේ වූයේ නැත... මීයෙකු තම ග්‍රහණයට ගත් බළලෙකුගේ මෙන් සිතේ ඇති වන උද්දාමයකින් යුතුව ඔහු මා සමග සෙල්ලම් කලේය... ඔහුගෙන් ලද පහරවල් මග හරිමින් ඔහුව තව තවත් කෝප ගන්වන්නට මා සිත යොමු වූයේ ඇයි දැයි මා නොදනිමි... ඔහු ආදරය කලේ මා තුල වූ යක්ෂණියටය... එසේම ඔහු වෛර කලේද ඒ යක්ෂණියටමය..

මේ සියල්ලෙන් හති වැටුනු පසු ඔහු මා එළවා දමයි....
''මගේ දෑහැට නොපෙනී පල යන්ට යක්සනී....''
තව දුරටත් නොයිද මා පලා යමි.
හති වැටෙන තුරු දුවමි...
ඒ යක්ෂ පහරවල් වලට ශාප කරමින් දුවමි..
කොතරම් දුර දිවූවද ඔහුගේ විසල් සෙවනැල්ලෙන් මිදීමට නොහැකි බව හදවතට තේරුම් යන තෙක්ම දුවමි... හතිවැටුනු  මා අවසන නවතිමි. එහෙත් මා තවමත් ඔහුගේ පාමුලය..

මා බීමතින් වැටී සිටි ඔහුගේ පපුව මත කණ තබා බලමි... යක්ෂයාටද හදවතක් ඇත....එයද මාගේ හදවතේ ගැස්මට සමානව ගැහෙයි... ඒ රිද්මයට මා කවදත් ආසය...

''උඹ තවම ගියේ නැද්ද ?'' රතුවූ ඇස් නැවත මගෙන් අසයි...

මා නිරුත්තරය...

''මොන මුලක්ද තවත් කරන්නේ? පලයං කියලා නේද කිව්වේ?''

එයටද මා නිරුත්තරය...
''අම්මපා උඹ නම් යක්සනියක්ම තමයි.''.
''ඇයි උඹට අනික් ගෑණු වගේ වෙන්ට බැරි? ''
''උඹ අඩන්ට ඕන, උඹ වැළපෙන්ට ඕන... ඒත් උඹ හිනා වෙනවා...'' ඔහු තනිව මුමුණයි....

''ඔය නැහැදිච්ච හිනාව දැක්කම මට උඹව මරන්ටම හිතෙනවා...''
ඒ වචන වල ආදරේ දැනෙන්නේ මට විතරය....

මා දෙස බලා හූල්ලන අය බොහෝ වෙති. ඔවුනට අනූව මා මේ ගෙවන්නේ පූරුවේ කරුමයකි... 
''උඹ විහින් වලේ වැටුනේ .... දැංවත් දමා ගහල වරෙං..'' බීරී අලින්ට වීණා ගහනවා සේ මේවා ඇසී නෑසී යයි... 
මා හට නෑසුනද ඔහුට ඒවා ඇසුණු බව මා තේරුම් ගත්තේ ඔහු මා හැර ගිය පසුවය... ඔහු මා හැර ගියේ නිකම්ම නොවේ .. මා තුල වූ යක්ෂණියද ඇදගෙනය....

ඔහු නැති තැන මාද නොමැති බව ලෝකයා දැන සිටියේ නැත...

ඔහුගේ සෙවනැල්ල පාගා නැගී සිටි මා ලෝකයා ඉදිරියේ මහා වීරයෙකු වූවද මා පරැලක් සේ මුල්ලකට ඇද දමන්නට ඔහුට හැකි විය.....උහුලන්නට වේදනාවක් නොමැතිව හිත සාංකාවෙන් පෙළෙයි...
දැන් දැන් මට පිස්සු යැයි කියනා ලෝකයා නොදත් එකම දේ මා යක්ෂයාට ප්‍රේම කළ බවය...................

Friday, July 31, 2015

පීවිතේ කියන්නේ මේකට වෙන්න ඇති

කාර්යබහුල ජීවිතේ අස්සෙන් පුංචි රිදී රේඛාවක් පායමින් තිබුණා. 
හතරවටින්ම අදුර පැතිරිලා තියෙද්දිත් එදා වගේම මගේ අත හයියෙන් අල්ලගෙන ඒ රිදි රේඛාව මගේ හීනයක් කලේ අම්මා.
"ඔව්! ඔයාව හොද කරන්න පුළුවන්".... ආයෙමත් ඒ වචන විශ්වාස කරන්න උවමනාවක් මට තිබුනෙ නෑ. ඒත් අම්මා ආයෙත් විශ්වාස කලා. මට වදයක් වෙනකන්ම එයා ඒක විශ්වාස කලා. අම්මා කවදාවත් මං තරම් ඉක්මනට පරදින්න කැමති වුනේ නෑ ඒ හේතුව නිසාම මම විදවපු වාර අනන්තයි.... 

"මම ඔයාව ඉන්දියාවේ එක්ක යනවා" ඒක අම්මගේ අන්තිම  තිරණේ වුණා. 
"මට බෑ ආයෙත් විදවන්න" 
අපි රණ්ඩු වුනු හැම පාරම දිනුවේ අම්මා. අන්තිමේදි හිත ඇතුලේ බලාපොරොත්තු පණ ගහන්න පටන් ගත්තා. ඒත් ඒක එළියට පෙන්නන්න මට ඕන වුනේ නෑ. 
"හරි අපි යමු. මම කවදාවත් රටින් පිට ගිහින් නෑනේ!මේක හොද අවස්ථාවක් වෙයි" මම මගේම හිත රවට්ටගත්තා.
හැමෝම මම ඇවිදගෙන ගෙදර එනවා බලන්න පෙරුම් පුරද්දි අයියණ්ඩි කිව්වේ,
" උඹ ආයෙත් විදවන්නයි හදන්නේ, අම්මගේ හීන වලට රැවටෙන එක නතර කරපන්"කියලා. ඔය මගුල් කරලා උඹ ඉන්න තත්වෙනුත් පහළට වැටෙයි කියලා මූණටම කියපු අයියණ්ඩි මං වෙනුවෙන් අම්මා එක්ක යුද්ධ කලා. ඒත් අම්මව පරද්දන්න අයියට බැරි වුණා. 
ඒකයි  අම්මා කියන එකේ තේරුම. 
අයියත් එක්ක රණ්ඩුවෙන අම්මගේ ඇස් වලින් ගලපු කදුළු නතර කරන්න මම කිවේ මේ ගමන යන්නේ මට ඕන නිසා අම්මා කියන නිසා නෙවෙයි. අයියගේ කට වහන්න ඒ වචන වලට පුළුවන් වුනා.
මුලින්ම ඔවුන් මාව කැදෙව්වේ පරික්ෂණ වලට. මෙහේ වෛද්‍යවරු මාර්ගයෙන් හැම දේම සූදානම් වෙද්දිත් මම හිත ගල් කර ගත්තා. බොරුවට බලාපොරොත්තු ඇති කරගන්නේ නෑ කියලා. මේක නිකම්ම නිකන් විනෝද ගමනක් විතරයි. හැම වෙල්ම මම එහෙම හිතුවා.....
අන්තිමේදි මම ඉන්දියාවට ගියේ අම්මගේ හීනෙට පණ දෙන්න.........
ඔව් අම්මගේ හීනෙට තටු ආවා....
"මෙයාව හොද කරන්න පුළුවන්. අස්ථි බද්ධ කරන්න වෙයි.  වියදම් දරන්න පුළුවන්ද?"
ගාණ කීයද අහන්නෙත් නැතුවම අම්මා පුළුවන් කීවා..... 
"මම මගේ මුළු සේසතම විකුණලා හරි ඔයාව හොද කරගන්නවා......"

 ඒ වචන වලට මුළු හිතම පිච්චිලා ගියේ එක පාරක් දෙපාරක් නෙවෙයි....
හරියටම ජනවාරි පළවෙනිදා ආයෙමත්  මම ලංකාවට ආවේ අම්මගේ හීනේ උඩ නැගලා.... 

ඉතිරි මාස දෙකේ අම්මා හතර අතේ දිව්වේ සල්ලි හොයන්න.... එයා ආදරෙන් ගෙනාපු වාහනේ විකුණුවේත් ගේ උගසට තියලා ණයක් ගත්තෙත් පුළුවන් තරම් ඉක්මනින් මගේ ඔපරේෂන් එක කරන්න....
මාස තුනක් ඉන්දියාවේ නවතින්න හැමදේම සුදානම් වෙද්දි හිතට බයක් නොදැනුනා නෙවෙයි... ඒත් ආයෙමත් මම හිට ගන්නවා කියන හිතුවිල්ල ඒ බය ඈතට තල්ලු කරලා දැම්මා.......මගේ කාර්යාල මිතුරෝ මං වෙනුවෙන් මුදල් එකතු කරලා තිබුණා මගේ පවුලේ අය ඇරෙන්න මං වෙනුවෙන් දෙයක් කරපු පළවෙනි පාර. ඒ සල්ලි මගේ අතට දීලා මං වෙනුවෙන් සෙත් පිරිත් කියන්න එයාලා ලෑස්ති කරලා තිබුණා. එදයි මට තේරුණේ මම මගේ ජීවිතේ හොද මිනිස්සු හම්බ කරගෙන තියෙන වග....
හැමෝම මං වෙනුවෙන් සල්ලි හොයද්දි මං බලන් හිටියේ මට කවදා හරි එයාලා වෙනුවෙන් දෙයක් කරන්න ලැබෙන්න කියලා හිතෙන් ඉල්ලන ගමන්...
හැමදේම ලෑස්ති කරගෙන මම ආයෙමත් ඉන්දියාවට ගියේ හීන ගොඩාරියකුත් එක්ක.
ඔපරේෂන් හතරක් මාස 3ක් ඇතුළත කරන්න ඔවුන් ලෑස්ති වෙලා හිටියා. ඔවුන් ඒ ගැන කිව්වේ හරිම සරල විදිහට.... ඒත් ඒ වෙද්දි බය කියන දේ හිත වෙලා ගෙනයි තිබුනේ මොනව වුනත් අම්මා බය වෙයි කියන බයට මම චණ්ඩියා වගේ හිටියා....අම්මව රිදවන්න උවමනාවක් තිබුනේ නෑ මට...
පළවෙනි ඔපරේෂන් එකට මාව ගද්දි ඔවුන් කීවේ සිහි නැති කරන්නේ නෑ ඉනෙන් පහළ හිරිවට්ටනවා විතරයි කියලා.ඒ කතාව  මාව නිකම්ම හිරිවැට්ටුවා.හොද සිහියෙන් කපන කොටන තැනක ඉන්න මං කැමති වුනේ නෑ. ඒත් මම ඒකට මූණ දුන්නා.... පැය ගාණකට පස්සේ මාව එළියට ගත්තා. අම්මගේ බලාපොරොත්තු පිරුණු මූණ මගේ වේදනාව අඩු කලා....ඒත් ඔපරේෂන් එකට කලින් කියපු විදිහට අස්ථි බද්ධ කිරිමක් ඔවුන් කරලා තිබුනේ නෑ.... ඒ ගැන අහද්දි ඔවුන් කීවේ ඔපරේෂන් එක අසාර්ථකයි කියලා.......
දවස් 15ක් තිස්සේ පරීක්ෂණ කරකර හරි උත්තරයක් නොදී ඔවුන් මග ඇරියා.... අම්මා වැලහින්නක් වගේ අඩා වැළපෙද්දි අයියණ්ඩි කෝල් කරපු හැම වාරෙකදිම අම්මත් එක්ක රණ්ඩු වුණා.. 
අන්තිමේදි අම්මා පැරදුනා...
මට ඉතිරි වුනේ වේදනාව විතරයි...
මැරෙන්න තරම් වේදනාවක් දැනෙද්දිත් අඩන්න ඉඩක් තිබුනේ නෑ. ඒ අම්මා තවත් රිද්දන්න හිතක් නොතිබුනු නිසා.... අයියණ්ඩි කිව්වා වගේම හිටියටත් වඩා පහළට වැටුනු මම ලංකාවට ආවා....
තාමත් වේදනාවෙන් ඇදුම්කන කකුලත් එක්ක අම්මට පේන්න හිනා වෙනවා.... බොරුවට හිනාවෙනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි.... ඒත් ජීවිතේ අමාරුම දේවල් කරපු මට ඒ බොරුව කරන එක එච්චරම අමාරු නෑ...
මං වෙනුවෙන්ම හීන දැකපු අම්මගේ හීන හැබෑ කරන්න බැරි වුනු දුවෙක් විදිහට එයා ඉස්සරහ තාමත්  රෝද හතරක් උඩ ජීවත් වෙනවා....
ඔව්!!!! පීවිතේ කියන්නේ මේකට වෙන්න ඇති......



Wednesday, April 30, 2014

ඇහුනේ මළකදට පමණද



හදවතක් අස්සේ
පැනනැගපු යුද්දේ
උණ්ඩයට හිස නමා
ඇද වැටුන දවසේ

ලේ මතින් පිපුණ මල්
සුදු වතින් නොවේ දිලුනේ

වඩම් වෙත පොදි බැදී
මල් මුමුණනා සද්දේ
ඇහුනේ මළකදට පමණද
හදවතේ යුද්දේ