Sunday, May 8, 2011

අකීකරු හිතගේ නිල රථය

ජංජාලේ පුරා ඔහෙ කැරකි කැරකි ඉද්දි හිතුනා අද මොනා හරි ලියලා දන්න ඕන කියලා...ඒත් ලියන්ට දෙයක්මතක් වුනේම නැ...අන්තිමට මම තිරණය කොලා මගේ අතිජාත මිත්‍රයා එහෙමත් නැත්තං හෙවනැල්ලටත් වඩා මගේ ලගින් ඉන්න මගේ රෝද පුටු රාජයා ගැන කියන්ට...මම දැං පාවිච්චි කොරන්නේ ඔය පිංතුරේ තියෙන විදිහෙ එකක්. අත කඩා ගත්තට පස්සේ අතින් තල්ලු කරන එක අමාරු වුන නිසා තමයි මේකට බැස්සෙ...
 ඇත්තටම ගස් ගල් ගානේ දුව දුව ඉදලා එකපාරට අසනිප  වුනාම හිතා ගන්න බැරි වුනා මොනා කරන්නද කියලා.අවුරුදු 10ක් 12ක් කියන්නේ මම හිතන විදිහට උපරිම නැටිල්ලක් නටන කාලේ.ඒ කාලෙදිමයි මට මේකක උපකාර ගන්න වුනේ.මුලින්ම රෝද පුටුවක ඉද ගනිද්දි හිතුනෙ නැ ජිවිතේ පුරාම මේ විදිහට ඉන්න වෙයි කියලා..ඒත් අන්තිමට මේ ජිවිතේට හුරු වුනා... මම මුලින්ම පාවිච්චි කලේ පුංචි ලී පුටුවක්.ඒකට රෝද හයි කරලා.. හරියට පුංචි කරත්තයක් වගේ..ටික කාලයක් ඉස්කෝලේ ගෙනිච්චෙත් ඒක.ඒත් එහෙදි යාළුවොත් එක්ක ඕක පදිද්දි ටිකක් අමාරු වුනා..මොකද මගේ ඉස්කෙලේ තිබුනේ තැනිතලා බිමක නෙමෙයි..ඒ වගේම මට හිටියේ ටිකක් විසේකාර යාළුවෝ ටිකක්..ඒයාලත් පුටු ඇන්දෙ  ඉදෙගන මාත් ඒක්ක රවුමක් යනවා. ඒ නිසාම  ඒක වැඩිකල් පාවිච්චි කලේ නැ.ඊළගට තමයි සාමාන්‍ය රෝද පුටුවක් ගත්තේ..ඉස්කෝලේ කාලේ පුරාවටම ගෙව්වෙ ඒකේ..අන්තිමට මේ පුටුව...
                    මේක ඉලෙක්ට්‍රොනික් එකක් වුන නිසාම ආයෙත් අත කඩා ගන්න වුනේ නැ. දැන් ඉතින් මේක තමයි හෙවනැල්ල වගේ මාත් එක්ක ඉන්නේ.උදේ 6 ඉදන් රැ 7-8 වෙනකන් පුටුව උඩ ගෙවන ජිවිතේ මුල් කාලේ අමාරු වුනත් දැන් නම් ගානක්වත් නැහැ..සාමාන්‍ය රෝද පුටුවකට වඩා මේක නිසා පහසුයි.මොකද පැය 4ක් 5ක් චාජ් කලාට පස්සේ දවස් තුනක් විතර යන්න පුළුවන්.ඒ වගේම තරමක් වේගයෙනුත් යන්න පුළුවන්...හදිස්සියකට ඒක ගොඩක් පහසුයි. විශේෂයෙන් මට මේකේ අගේ වැඩිපුර දැනුනේ කැම්පස් එකෙදි.කාගෙවත් උදව්වක් නැතිව මට තනිවම යන්න පුළුවන් නිසා තවත් කෙනෙකුට කරදර කරන්න වෙන අවස්ථා අඩුයි.ඒ වගේම හොස්ටල් එකේ ඉදලා කිලෝමිටරයක් විතර එන්න ඕන නිසා අත් දෙක කැඩෙනකල් තල්ලු කරන්නේ නැතිව ආවැකි...මම මේ රෝද පුටුව පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් දවස් වල මටත් වඩා ප්‍රශ්න තිබුනේ බලා ගෙන ඉන්න මිනිස්සුන්ට..ඇත්තටම ගමේ ජිවත් වෙන අපි වගේ අයට මේ වගේ දේවල් දකින්න ලැබෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න ඇති.ඒක කොහොමද යන්නේ? මොනවගෙන්ද වැඩ කරන්නේ තව ප්‍රශ්න කෝටියයි..ටික දවසක් යද්දි එයාලටත් පුරුදු වුනා දැකලම...
                 මේ ගැන ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම තියෙන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි .අපේ අයියන්ඩිගේ පුංචි දෝණි...එයා නම් වැඩිපුර කැමති මේකේ කැලි ගලවන්න..හරි ඉක්මනට අතට පැනලා පුටුව එකම තැන කරකවන එක එයාගේ විනෝදාංශේ...අන්තිමට දෙන්නටම කැරකිල්ල හැදුනම තමයි නතර වෙන්නේ...එයාට මේ දේවල් හරි විනෝදයක් වුනත් මම පතන්නේ කවදාවත් කිසිම කෙනෙකුට රෝද පුටුවක් පාවිච්චි කරන්න වෙන්න එපා කියලා..මුළු දවසම රෝද පුටුව උඩ ගෙවන ජිවිතේ පිටට පේන තරම් ලේසි නැ.




Sunday, May 1, 2011

හොද හැටි තෙමියං..

                        මුළු අහසම කළුවර වෙලා...අඩලා අඩල අන්තිමට අඩා ගන්නවත් පණ නැතිව හුල්ලන කෙනෙක් වගේ අහස අතරින් පතර කදුළු කැට හෙලනව...අහස අඩනකොට බලන් ඉන්න ආසා හිතෙන්නෙ ඇයි කියලා මම දන්නෙ නැ...තමන්ගේ කදුළු පිරිච්ච ඇස් දෙක මිදුම් සළුවෙන් වහගෙන අඩද්දි උහුල ගන්න බැරි තරම් බර කදුළු කැට හීන් සිරුවේ මගේ අත උඩට වැටුනා....
                              සති අන්තයේ ගෙදර යන්න අම්මත් එක්ක පිටත් වෙලා, අම්මා බඩු වගයක් ගන්න ගිය අතරේ වාහනේ ජනේලයෙන් එළියට අතත් දාගෙන මම අහසින් වැටෙන කදුළු එකතු කලා... ඒ අතරේ පාරේ අනෙක්  කෙලවරේ හුරු පුරුදු මුහුණක් මතු වෙද්දි..මගේ අතේ එකතු කල කදුළු ඇස් දෙකට උනනවා වගේ දැනුනා...ඒ මුහුණ මගහැරලා මම ඉක්මනට අනෙක් පැත්ත බලා ගත්තේ එයා මාව දකීවි කියන බයට..ඒත් අවාසනාවකට ඒ ඇස් වලින් හැංගෙන්න බැරි වුනා..මුලින්ම මම ලගට ආපු ඇය කතා කලා... 
කොහොමද නංගි  මාව මතකද ඔයාට...ඔයා ගෙදර යනවද... 
තෙමුනු මගේ අතින් අල්ලන ගමන් එයා එහෙම ඇහුවා.. අහපු දේට උත්තර දෙන්න කලියෙන් මගේ ඇස් නැවතුනේ ඇගේ අත ලග..ඇගේ සුරතේ පුංචි රන් මුදුවක් ලස්සනට දිලිසුනා..ඒත් ඒ දිස්නේ මේ ඇස්  නිලංකාර කරන්න තරම් ආඩම්බරෙන් දිලිසෙද්දි මට ඇතිවුනේ මං ගැනම දුකක්... 
ඔව් අක්කා ගෙදර යනවා... ඔයා කොහෙද මෙහේ?....

අපි වෙඩින් එකෙන් පස්සේ නුවර  පොඩ්ඩක් ඇවිදින්න ආවා නංගා... ඇයි ඔයා වෙඩින් එකට ආවේ නැත්තේ.. අයිය කිවා ඔයා එයි කියලා...

මම.... හොස්පිටල් ගියා...ටෙස්ට් එකේ රිපෝට් ටික ගන්න එන්න කියලා තිබුනා...

 මොනාද ඩොක්ට කිවේ??

එයා කිවා බෙහෙත් දෙන්න පුළුවන් කියලා...ඊට පස්සේ ඔපරේෂන් කිපයක් කලාම ඇවිදින්න පුළුවන් වෙවි කියලා...මම ඔහේ කියවගෙන ගියා...

ෂා... හොදයිනේ..අයියා දැන ගත්තම සතුටු හිතෙයි....

එයා එහෙම කියද්දි මට හිනා ගියා...සමහර විට එයාට දැනෙන්න ඇති ඒ හිනාව ඇතුලේ තිබුනේ කේන්තියක් කියලා..එයා ඔහේ කියව කියව ඉද්දි මම උන්නේ අම්මට හිතෙන් බැන බැන..ඒ අතරේ ආයෙමත් කවදාවත් මුණනොගැහෙයි කියලා හිතපු කෙනත් මං ලගට ඇවිත් නතර වුනාම කියන්න කිසිම දෙයක් තිබුනෙ නැ..ඒ අස්සේ ඇය ඔහුට මම කියපු දේවල් කියද්දි.. 
මේ ඇත්තද චුටි??

මම කලේ ඔළුව වනපු එක..

මට සතුටුයි චුටි ගොඩාක්...ඔයාට ඕනම උදව්වක් ඉල්ලන්න... පුළුවන් හැම දෙයක්ම අපි කරන්නම්....
“අපි... ඒ වචනේ හිත ඇතුලටම කා වැදුනා... මට ඕන වුනේ මගේ පාඩුවේ ඉන්න දිලා මෙතනින් යන්න කියන්න..ඒත් කියවුනේ එහෙම විශේෂ දෙයක් නැ... ඕන වුනොත් කියන්නම් කියලා....
                       මෙච්චර වෙලා හුල්ලපු අහස මහ හයියෙන් අඩන්න පටන් ගද්දි වැහි කදුළු වලට ඒ දෙන්නා තෙමෙන්න පටන් ගත්තා..ඒ නිසාම ඉක්මනට සමු දෙන්න පුළුවන් වුනා... වැස්සෙ තෙමිගෙන යන ඔවුන් දකිද්දි මට හිතුනේ මෙච්චරයි “හොද හැටි තෙමියං.. ඒක මහ නපුරු අදහසක් තමයි..ඒත් ඒ අදහසට පුළුවන් වුනා මගේ කදුළු නවත්තන්න...











Monday, April 11, 2011

කදු පිටින් නාය යන ජීවිතේ පාමුල පුංචි පුංචි මල් පොහොට්ටු පිපෙන්න පටන් අරන්....

                කදු පිටින් නාය යන ජීවිතේ පාමුල පුංචි පුංචි මල් පොහොට්ටු පිපෙන්න පටන් අරන්....ඇස් අග්ගිස්සෙන් වැටුනු කදුළු මල් පෙති අතරෙ හරි අපුරුවට  දිලිසෙනවා...ජිවිතෙන් අතැරෙන හැම දේටම අතැරෙන්න දුන්නට පස්සෙ මම හිතුවේ ජිවිතේට කියලා කිසිම දෙයක් ඉතිරි වෙලා නැ කියලා...පහුගිය ටිකේ හැම දුකක්ම අමතක කරලා ලෝකෙට පේන්න හරි හිනා වෙන්න ඕන උනා...ඇත්තටම හිනා වුනා.... මම පොරොන්දු වුනා මේ බ්ලෝග් එක ඇතුලේ දුක දිගාරින්නෙ නැ කියලා..ඒ නිසාමද කොහෙදෝ පහුගිය ටිකේම ලියන්න දෙයක් තිබුනෙ නැ...

                  ඒත් කාලෙකට පස්සේ අකිකරු හිතට ඇත්තටම සතුටුයි.....ඇස්වලට කදුළු පිරෙන තරම් සතුටුයි.....ඒකට හේතු දෙකක් තියෙනවා... පළවෙනි හේතුව තමයි...පහුගිය කාලේ මේ ජිවිතෙන් ගොඩක් ඈතට ගිය කෙනෙක් ආයෙමත් ආව එක.....බැදිම් කියන්නෙ දුකක් කියලා දැනන් උන්නත් සමහර වෙලාවට ඒ බැදීම් තමයි අපිව ජිවත් කරන්නේ.....මේ ජිවිතේට කවුරුත් එපා කියලා හැමෝගෙන්ම ඈත් උන කාලය පුරාම ජිවිතේ දැනුනු හිස් බව ඉතිරි කලේ  ජිවිතේ ගැන  කළකිරිමක් විතරයි...ඒත් ජිවිතේ සිද්ධ වෙන පුංචි දේකට පුළුවන් හැම දෙයක්ම වෙනස් කරන්න...
“කවදාවත් දුක දැනෙන්නේ නැති මිනිස්සු ලග දුක කියන්න එපා..ජිවිතේ වහගන්න එන කළුවරට බයේ ඇස් වහගන්න එපා... ඒවගේම ඔයා ජිවිතේට බය වෙන්න එපා මගේ පණ තියෙනකන්... 
කාලෙකට පස්සෙ මම තනි වෙලා නැ කියලා දැනුනේ මේ වචනත් එක්ක...ඉතින් මම ජිවිතයට බය වෙන්නේ මොකටද.......

          අනෙක් හේතුව ආයෙමත් මේ පොළවෙ පය ගහන්න පුංචි ඉඩක් තවමත් තියෙනව කියලා දැන ගත්ත එක... පහුගිය ටිකේ කළ වෛද්‍ය පරික්ෂණ වලට අනුව අවුරුදු 12 කට පස්සෙ එයාලා අසනිපය මොකද්ද කියලා හොයාගෙන...ඉතින් ඊයේ දවසේ ජිවිතේ ආයෙමත් අලුත් බලාපොරොත්තුවකින් පිරුනා....

             ජිවිතේ මහ පුදුම දෙයක්...හැම හීනයක්ම මගේම කර ගන්න හදද්දි ඒවා ඈතින් ඈතට ඇදිලා යනවා..ඒත් මට කිසිදෙයක් එපා කියලා අයින් වෙන්න හදද්දි... හැම දෙයක්ම බලෙන්ම ලගට එනවා...ඉතින් දැන් මම සතුටින්....

-----------------------------------
ප.ලි.- මේ උදාවෙන අවුරුද්ද සෑම දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සතුට සැනසීම පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....

Tuesday, April 5, 2011

නිසල සයුර

ඕනවටත් වඩා නිසල වී ඇත,
මහ සයුර......
මහ හඩින් මොර දි 
ගැයු ගී හඩ....
ඇසෙන්නැ දැන් ලවන් අබියස...
 මේ නිසල නිහඩ බව
කියයි රහසින්...
සැඩ පරුෂ කුණාටුව
දැන් අත ලගම බව...
ඉදින් මම සොයමි 
සැගවෙන්න,
සිප්පි ක‍ටුවක්...

Thursday, March 24, 2011

එහෙනම් එකත් ජය සිරි මංගලම්...

හිතුවෙවත් නැති දවසක....හිතන්නැතුවම හමු වුන....
නිදහසේ නිදා ගන්ටවත් නැති හැටියක්...ෆෝන් ක‍ට්ට බෙරිහන් දෙන්න පටන් ගත්තා...
හෙලෝ කවුද මේ?
කොහොමද චුටි ...ගොඩ දවසකින්....
මම ටිකක් වෙලා බලන් උන්න එක පාරට මිටර් වුනේ නැ කවුද කියලා....
අපෝ ඔච්චර ඉක්මනට මාව අමතක වුනාද?
ආ.....මේ මෙයානේ....මට එකපාරට අදුර ගන්න බැරි වුනා...කොහොමත් ආයෙ කවදාවත්ම කතා කරන්නැ කියපු කෙනා ආයෙ කතා කරයි කියල කවුද දන්නෙ.... ඉතින් කොහොමද... 
මම පුළුවන් තරම් වෙනසක් පෙන්නන්නෙ නැතුව කතා කරන්න උත්සහ කලා...
නිකමටවත් අපිව මතක් වෙන්නෙ වත් නැ නේද...අඩුම තරමේ ඉන්නවද මැරිලද කියලාවත් බලන්න තිබුන නේද?
සුපුරුදු තැටිය...එක තැන කැරකෙනවා.....මම හෙව්වෙ නැතුවට හොයන්න අය ඕන තරම් ඉන්නව නේද කියලා කියන්න හිතුවත්..මුකුත් කියන් නැතුව .. මම ඔහේ අහගෙන හිටියා...මොකෝ සද්ද නැත්තේ කෝ කට?
නැ මේ....මට නිදිමතයි...ඇයි කෝල් කලේ...හදිස්සියකටද
මට ඕන වුනේ ඉක්මනට ෆෝන් එක තියන්න...
හදිස්සියක් නෙමෙයි...ඒත් ඔයාට කියන්න දෙයක් තියෙනව.
ආ කියන්න
චුටි මම ලගදි බදිනවා...
එක පාරටම මට කියන්න දෙයක් මතක් වුනේ නැ......
චුටි අහගෙනද ඉන්නේ? හෙලෝ.....???
ඔව් ඔව් මම අහගෙන ඉන්නෙ....ඇත්තටම මට ගොඩක් සතුටුයි....මම මුළු හදවතින්ම සුබ පතනවා ඔයාට...
හ්ම්....තැන්ක්ස්...ඔයා හොදින් ඉන්නව නේද චුටි
අපෝ ඔව් මම ගොඩාරියක් හොදින් ඉන්නේ... වෙන කවදටත් වඩා හොදින්.... මම හිනා වුනා...සමහර විට මම ඕනවටත් වඩා හිනා වෙන්න ඇති...
ඔයා තාමත් හරියට බොරු කියනව නේද?ඒත් තාමත් ඒ බොරු ඉක්මනට අහුවෙනව...
සමච්චල් හිනාවකුත් එක්ක එහෙම කියද්දි ඇත්තටම මට කියන්න දෙයක් තිබුනෙ නැ...
මම කිව්වෙ ඇත්ත...මම සතුටින්...ඇයි මම දුක් වෙන්නෙ...දුක් වෙන්න මට කිසි දෙයක් නැති වුනේ නැනේ..ඇරත් නැති වෙන්න මට කියල කිසි දෙයක් තිබුනෙත් නැනෙ...
අන්තිම ටික කියද්දි මගේ කටහඩ බාල වුනා වගේ කියලා මටම දැනුනා...ඔන්න දැං මෙතන ටැප් එක ඇරියා වගේ අඩන්නෙ එහෙම නැ ඕං..මම මගේ හිතටම අනතුරු ඇගෙව්ව...
හ්ම්...හරි හරි...
මම තියන්නම් එහෙනම්...
ඉන්න... ඔයා එනව නේද වෙඩින් එකට...
මම? බලන්නම්...පුළුවන් වුනොත්...එහෙම කිව්වට මම කොහෙ යන්නද....
ඔයා කොහොම හරි එන්න චුටි..මම බලන් ඉන්නව....එච්චරයි කිව්වෙ..ෆෝන් එක කට් වුනා.... 
හ්ම්....එහෙනම් එකත් ජය සිරි මංගලම්...

Monday, March 14, 2011

ඇඩියාවට තිත

      අකීකරු හිත ගොඩක් වෙලාවට කුරුටු ගෑවේ දුක ගැන....කදුළු ගැන...ඒත් අදින් පස්සේ මේ  මේ හිත යට දුක කුරුටු ගෑම නතර කරන්න හිතුවා..ඒ වෙනුවට හැමෝටම සතුටක් වෙන දේවල්...මොනාහරි ලියන්නයි යන්නේ...  ජිවිතේ නොලැබුන දේවල් ගැනම කියෝනවට වඩා..ජිවිතේට ලැබුනු දේවල් ගැන හිතන එක හොදයිනේ...ඔන්න ඉතින් අද ඉදන් මගේ ඇඩියාව නවත්තනවා....කට්ටියටම කනක් ඇහිලා ඉන්න පුළුවන් දැන්...
ජිවිතය මහ දුකක් දුර යන්න තියෙනවා
ඒ යද්දි මේ හීන බොද වෙන්න බලනවා
ඒත් හිනහෙමි මම ගිමන්හල පෙනෙනවා
ජිවිතය ගීතයක් තනුවකුත් තියෙනවා.....

Saturday, March 12, 2011

ඉංගිරිසිය

                 අකිකරු හිත මේ දවස් වල හරි බිසීය....බිසී කීවාට කරන වැඩක් නම් නැත්තේය..ඒ වුනත් බිසීය... පහුගිය ටිකේ ලැබුන නිවාඩුද...හොරාට ගත් නිවාඩුද...නිසා ජංජාලය පුරා කරක් ගසමින් විකාර කෙරුවේය...ඒත් දැං ආයෙමත් පොත් ගොඩ බදා ගන්ට වෙලාය...ඉංගිරිසිය ඇරෙන්නට ඕන මගුලක් ඉවසිය හැකිය....අපේ මව්තුමිය කියන්නෙ හුස්ම ගන්ටත් ඉංගිරිසිය ඕනැ කියාය...මම මෙච්චර කල් හිතා උන්නේ හුස්ම ගන්ට නහයක් තිබුනාම ඇති කියාය. ඒත් දැං ඉංගිරිසියත් ඕනැලුය...ඉතින් දැං මං කඩ්ඩ පොලිෂ් කරගන්ට උත්සහ දරනවාය...මක් නිසාද යත් මොනව කරන්ටත් කලින් හුස්ම ගන්ට ඕනැය....
                        ඉංගිරිසිය ගැන කියද්දි මතක් වුන කතාවක් තියෙනවාය....මෙක සිද්ධ වුනේ මයේ යාළුවෙකුගේ මල්ලි කෙනෙකුටය...අපි දවසක් සතුටු සාමිච්චියේ යෙදි සිටිද්දි මයේ යාළුවාට මැසේජ් එකක් ආවාය....ෆෝන් එක තිබුනේ මලයා ගාවය...ඉතින් මලයා කාටත් ඇසෙන්නට මැසේජ් එක කියවනවාය...මලයා ඒක කියෙව්වේ මෙසේය... “හෙට ෆැකල්ටියට එද්දි මගේ පොත ගේන්න..මම 8ට එනවා.ටකේ කරේ....
         මුල් ටික නම් අපට තේරුනාය..ඒත් අන්තිම ටික නොතේරුනාය... ටකේ කරේ...???? ටකයක් එල්ලන්නේ නම් කුරුල්ලෝ එළවන්ටය..දැං කරේවත් එල්ලනවාදැයි දන්නේ නැති නිසා  අපි නැවතත් එය කියෙව්වාය..එතකොට නම් වෙච්ච දේ තේරුනාය...සිංගිරිසියෙන් ලියපු මැසේජ් එකක් නිසා මලයාට ටැපලිලාය...මැසේජ් 1 තිබුනේ මෙසේය...heta faculty eddi mage  potha genna. mama 8 ta enawa... take care...  ටේක් කෙයාර් සිංහල විදිහට කියවන්ට ගිහින් පොඩි එකා අලුත් කාඩ් එකක් රෙජිස්ටර් කරගත්තේය....

දැං මලයාගේ නම ටකේ කරේය... මේක කියවා මලයා මාත් එක්ක අමනාප වේවිද දන්නෙ නෑය...
ඉතින් දැං කම්මැලිය.. නැවතුනා නම් හරිය...