Thursday, July 19, 2012

ඔයාටත් බැරිද ඒ මල වගේ මගේ හීන පස්සෙන් එන්න.....

ගරා වැටුනු පාළම අද්දර අරලියා ගහ මලින් වැහිලා...
බිම වැටුනු මල් දකිද්දී හිතට කොහේදෝ තිබුන දුකක් කාන්දු වෙනවා වගේ දැනෙද්දි.. ඒ හැගීමෙන් මිදෙන්න මම ඔහු දෙස බැලුවා..
ඒ ඇස් ඈ...ත.. අහසේ.......
මොනවද ඔච්චර කල්පනා කරන්නේ?
අර.... අහසේ අශ්ව කරත්තයක් යනවා.......
ඔහු ඇගිල්ල දිගු කර දිහාවට ඇස් යැව්වා.....
ඒක අශ්ව කරත්තයක් නෙමේ...
එහෙනම්...??
ඒක ගොං කරත්තයක්...අර තියෙන්නේ ගොනාගේ අං දෙක....
මම කැමතිම විදිහෙ හීන් හිනාවක්...
ඒත් මම කැමති ඒක අශ්ව කරත්තයක් කියලා හිතන්න
ඇයි ඒ?
නිකං... මම ඒකට කැමති නිසා.......
මම දන්නවා..
මොනවද?
ඔයා හීන දකින්න කැමතියි කියලා....
ඔව්... මම හීන දකින්නෙක්...!!!!!!
ඔයා කැමති නැද්ද හීන දකින්නෙක්ට???
හීන කියන්නේ වචන ගොඩකට.....
ඔව් මම කතා කරන හැම වචනයක්ම මගෙ හීනයක්......
ඇත්ත..ට.... එහෙනම් ගගට එබිලා කතා කරන්න එපා...වචන ටික ගගට වැටිලා ගහගෙන යයි....
ඉතින් හොදයිනේ...
ඇයි හොද? වචන කියන්නේ ඔයාගේ හීනනේ??
මගේ හීන ගග දිගේ ගහගෙන ගිහින් එයාට හොද තැනක නතර වෙයි...
හ්..ම්ම්......................


අර ...... අරලියා මල් පිරී...ලා...
අපරාදේ...........
මල් පිපෙන එක අපරාදයක් වෙන්නේ කොහොමද??
පිපෙන එක නෙමෙයි... ගහ මුලම පරවෙන එක... අපරා...දේ...!!!
ඔහු මලක් ගෙනවිත් මා හිසේ ගසා සිනාසෙයි......
දැං මේ මල වාසනාවන්තයි......
ගහ මුලම මැරෙනවට වඩා වෙනස් අත්දැකීමක් එයාට......

ඇයි ඒ මල වතුරට දැම්මේ????
එයා වාසනාවන්ත නිසා.... කවදාවත් මලකට දකින්න බැරි දේවල් මේ දියපාරත් එක්ක යද්දි එයි දකීවිනේ.....
ආයෙමත් ඒ මුණේ ලාවට හිනාවක්........
සමහර විට මලට මගෙ හීන හම්බවෙයි නේද.........
සමහර විට.........
ඔයාටත් බැරිද ඒ මල වගේ මගේ හීන පස්සෙන් එන්න.....
අනේ මංදා.... මට ගහ අතාරින එක ලේසි වෙන්නේ නෑ....
ඔයාට පුළුවන්නේ ගහ මුලට එන්න....
බෑ......... මම දැන් ගගට බැහැලා ඉවරයි....
පේනවට වඩා මේ ගග ගැඹුරුයි...ඒත් හරී...... සුන්දරයි................
මට මේ යකඩ වැටට උඩින් ගගට පනින්න හයියක් නෑ......
එහෙනම්...ඔයාටත් වෙන්නේ ගහ මුලම මැරිලා යන්න..කිසිම වෙනසක් නැතිව.......
හ්ම්ම්ම්...............
එහෙනම් ඔයා දැං යන්න......
ඒත් කවදා හරි හීනයක් දකින්න ඕන වුනොත් ගං ඉවුරට එන්න....
මම නැතත් මගේ හීන ඔයාට ගොඩක් දේවල් කියලා දේවී...........


Tuesday, July 17, 2012

ඔයාව කවදාවත් සනීප කරන්න බෑ

                                   රාගම පුනරුත්ථාපන රෝහල මම කොච්චර අකමැති තැනක් වුනත් ඒකේ හිටපු කාලෙදි මගේ ජීවිතේට ගොඩක් අත්දැකීම් ලැබුනා. හොද ඒවා වගේම නරක ඒවත්....ආපහු ඉස්කොලේ යන්න තිබුන ආසවත් ගෙදරින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුන එකත් නිසා මම ඒ ජීවිතේට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ...
                                   මෙහෙදි කලේ ව්‍යායාම කරවන එක. උදේ වරුවේ එක තැනක..ඒකට කිව්වේ  O.T.කාමරේ කියලා.එතනදි කලේ හරි සරල ව්‍යායාම..ඒවා කොහොමටවත් අමාරු දේවල් නෙමෙයි...ඒත් හවස ව්‍යායාම කරන තැන ඊට වඩා වෙනස්.එතනදි කරන්න තිබුනේ තරමක් අමාරු ඒවා. එතනට කිව්වේ  P.T කාමරේ කියලා... මෙතනට යන්න නම් මම කවදාවත් කැමති වුනේ නෑ.. මොකද ගියොත් ගොඩක් වෙලාවට එන්න වුනේ අඩාගෙන..
                         ඒත් O.T.කාමරේට මම ආස කළා.. එතනදි ව්‍යායාම කලේ අත් වලට. එනිසා ඒවා මට අමාරු වුනේ නැ. අනික එතන හිටපු මිස්ලා දෙන්නත් ගොඩක් හොදයි.. උදෙන්ම එතනට ගිහින් පුංචි පුටුවකට වෙලා අත් වලින් එක එක දේවල් උස්සන්න.. ඇගිලි වලට ව්‍යායාම වගේ දේවල් කරන්න තමයි තිබුනේ.ඒ දේවල් හරිම විනෝදයි.. ගොඩක් දේවල් අපි මොන්ටිසොරි යන කාලේ කරපු සෙල්ලම් වගේ ඒවා.. මේ නිසා හිතේ කිසිම බයක් නැතිව උදේ වරුව ගෙවෙනවා.
                        දවසක් පුරුදු විදිහටම මම පුටුවකට වෙලා එක එක පාට ලී කැට වගයක් ඒවා රදවන ලී රාමුවට හයි කරමින් හිටියා.. ඒ වෙලාවේ මගෙ ළගට ආවේ කාන්ති මිස්.. කාන්ති මිස් කියන්නේ කළු මහත කෙනෙක්.. පෙනුමෙන් සැර පෙනුමක් තිබුනට පුදුමාකාර හොද හදවතක් තිබුන කෙනෙක්... කාන්ති මිස් මගේ ළගට ඇවිත් තිබුන පුංචි පුටුවක වාඩි වුනා. එයත් හෙමින් මාත් එක්ක ලී කැට එකින් එක රාමුවේ රදවන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට අපි දෙන්නා ලී කැට ඔක්කොම රදවලා ඉවරයි... ඊට පස්සේ කාන්ති මිස් කලේ හෙමින් මගේ අතින් අල්ල ගන්න එක..මම පුරුදු විදිහට හිනා වෙලා බලන් හිටියේ කාන්ති මිස් මට රිද්දන්නේ නෑ කියලා විශ්වාස කල නිසා. මගේ අතින් අල්ල ගෙන එයා කතා කරන්න පටන් ගත්තා.

දැන් ඔයා මෙහෙට ඇවිත් ටික කාලයක් වෙනවා නේද?
මම ඔළුව වැනුවා.
ඔයා දන්නවද ඔයාට තියෙන අසනීපේ ගැන පුතේ?
ඒකටත් මම ඔළුව වැනුවා. 
හරි දැන් මම කියන දේ හොදින් අහගන්න..හරිද?
මිස් එහෙම කියද්දි ආයෙමත් මම කලේ ඔළුව වනන එක...
ලොකු හුස්මක් අරගෙන මිස් කතා කරන්න පටන් ගත්තා.
ඔයාට තියෙන අසනීපෙත් එක්කයි ඔයා දැන් ඉන්න තත්වේ එක්කයි ආයෙත් ඔයාට ඉස්සර වගේ වෙන්න බෑ. ඔයාට තේරෙනවා නේද මම කියන දේ?
මට ඔළුව වනන්න අමතක වුනා.
කාන්ති මිස් මගේ අත තවත් තදින් අල්ල ගත්තා...
 මම  බලන් හිටියෙ මිස්ගේ සාරිය දිහා.. ඒක ලස්සනයි..
ඔයාට තියෙන අසනීපේ කවදාවත් සනීප කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔයාට දැන් මේ ජීවිතේට හුරු වෙන්න සිද්ධ වෙනවා මගෙ දරුවෝ..
මම බැලුවේ මිස්ගෙ මූණ දිහා... ඒත් මිස් බලන් හිටියෙ මගෙ අත දිහා.
මිස්ගෙ අත කළුයි..... මිස්ට දුක ඇති කළු වුන එක ගැන මට මුලින්ම හිතුනෙ එහෙම..
ඒත් ඊට පස්සෙයි මතක් වුනේ මිස් කිව්වේ මොකද්ද කියලා.
මම ආයෙත් ඔළුව වැනුවා..
හොද දරුවා.. ඔයා දැන් උත්සහ කරන්න ඕන දැන් මේ ජීවිතේට හුරු වෙන්න..
 හොද වෙලාවට මෙතන අම්මා නොහිටියේ.. හිටියනම් මූණ රතු කරගෙන ඇස් දෙකේ කදුළු පුරවගෙන කාන්ති මිස් එක්ක වාද කරාවි.  මට සතුටු හිතුනා අම්ම එතන නැති එක ගැන. ඒ ඇරෙන්න වෙන කිසිම හැගීමක් දැනුනේ නෑ.. අද මට පුදුම හිතෙනවා ඒ වෙලාවේ මට ඇඩුනේ නැත්තේ ඇයි කියලා.
ඊට ටික දවසකට පස්සේ  P.T කාමරේ දී වාට්ටුව බාර ඩොක්ට මගේ ලගට ආවා.. ඒ වෙනකොට මම හොදටම හෙම්බත් වෙලා හිටියේ.. මගේ නැවිච්ච කකුල් දෙක පටියකින් බැදලා ඒක ස්ප්‍රීන් එකකට සම්බන්ධ කරලා ඇදිලා හිටින විදිහට  කම්බි දැලකට සම්බන්ධ කරලා තිබුනේ.. වේදනාව උපරිමයි...
ඒ අතරේ ඩොක්ට කියන්න පටන් ගත්තා.
මෙයාට තියෙන්නේ සනීප කරන්න බැරි ලෙඩක්. තවත් මෙහෙ තියාගෙන ඉන්නවට වඩා හොදයි ගෙනියන එක.
මට දැනුනේ ඇස් දෙක බොදවෙනවා විතරයි.. කදුළු ඔහේ ගලාගෙන ගියා... 
එකම දේ වුනත් කියපු විදිහ කොච්චර වෙනස්ද කියලා තේරෙන්නේ අදයි මට..
ඒත් ඒ කදුළු අතරින් මට සතුටක් දැනුනා මොකද මම ආයෙත් ගෙදර යනවා.. ආයෙමත් ඉස්කොලේ යනවා...!!!!! කියලා මතක් වුන නිසා.