Tuesday, March 27, 2012

මම ඔයාට බය නෑ සිරින්ජරයෝ...

පහුගිය දවස් වල මග ඇරුණ බ්ලොග් කිපයක් කියවමින් ඉන්න අතරෙදි 

එක පාරට මගේ ඇස් නැවතුනේ මම ගොඩක් ආසාවෙන් කියවන සිත් ආර බ්ලොග් එකේ එක ලිපියක් ලග....

සේලයින්......

ටික වේලාවකට හිත නැවතුනා... කිසිම දෙයක් ඔළුවට ආවේ නෑ...

අදුරු හෙවනැලි කීපයක්ම හිත වටේ කැරකෙනවා කියලා විතරක්ම දැනුනා....

ඔව් 

සේලයින් බෝතල් ....සිරින්ජර.... ඇල්පෙනිති තුඩු තරම් තියුණු කටු....බෙහෙත් ගද...සුදු පාට ඇදුම්... 

ඒවා මොනතරම් භයානකද?

....................................................................................................

ගොඩක්ම පුංචි කාලේ... අපේ අක්කා කෙනෙක් සේලයින් බෝතලේකින් මට ලස්සන මාළුවෙක් හදලා දුන්නා..

මම ඒක අරන් ආවේ රටක් රාජ්‍යයක් ලැබුන කෙනෙක් වගේ....

සේලයින් මාළුවා වෙන කවුරු හරි ගනීවි කියලා බයට මම ඒක හැංගුවේ 

මගේ පුංචි සිගරට් ලී පෙට්ටියේ...

හරියට පරිස්සම් කලා ඒක...

......................................................................................................

ඒත් කල් ගතවෙද්දි

සේලයින් බෝතල් මට පේන්න බැරුව ගියා....

සිරින්ජර දකිද්දි ඇස් වලට කදුළු එන එක නවත්ත ගන්න බැරි වුනා...

හරි බය වෙන්න එපා මම ඔයාට රිද්දන්නේ නෑ... 

මේ විදිහට බොරු කියන ගමන් අතේ හම සිදුරු කරන් ලේ ටික ඇදලා ගන්න නර්ස්ලා දකිද්දි මට මතක් වෙන්නෙම ඩ්‍රැකියුලා....

මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගේ හොදට...ඇස් වල කදුළු පුරවගෙන මන්තරයක් වගේ අම්මා  එහෙම කියන කොට එදා මට තේරුනේ නෑ ඒක....

ඒ විදිහට මගේ අතේ තියෙන ලේ ටික හිමින් හිමින් සිරින්ජරේ පිරෙන කොට මම හිතුවේ මම මැරේවි කියලා....

පුංචි එකෙකුට දරා ගන්න තරම් ලොකු වැඩියි ඒ බය....

ඒත් කල් ගතවෙද්දි මම ඉගෙන ගත්තා ලේ ටිකක් ගත්තට මම මැරෙන්නේ නැති වග....

.......................................................................................................

දැන් නර්ස්ලා මාව බොරු කියලා රවට්ටන්නේ නෑ

එයාලා කියන්නේ එක දෙයයි...

ඔයාගේ නහර හොයන්න අමාරුයිනේ මිස්... අපි තව පාරක් උත්සහ කරලා බලමුද??

ඉස්සර වගේ කදුළු පුරවන් අඩන්න අමතක වුනා නෙමෙයි... 

ඇඩුවට වැඩක් වෙන්නේ නෑ කියලා දන්න නිසා එයාලා කියන කියන දේට ඔළුව වනනවා.....

හැම මාසේම මේ විදිහට ලේ ටික සිරින්ජරයකට දන් දීලා ගෙදර එද්දි...

ආච්චිගෙන් ලොකු බත් එකක් ලැබෙනවා...

ලේ වැඩෙන්න හොදට කන්න ඕන......

ලොකු බත් ගුලි හද හදා එදාට කවනවා.....

......................................................................................................

මගේ පාඩම් මේසේ පෑන් රදවනය ඇතුලේ අලුත් සිරින්ජරයක් තියෙනවා... 

මම ඒක තියා ගත්තේ ආසාවට නෙමෙයි.. 

හේතුවක් නෑ....

පාඩම් කරලා කම්මැලි උනාම මම ඒක අතට අරන් බලනවා...

පුරුද්දට එහෙට මෙහෙට හරවලා බලනවා...

 මේ කටුවේ තුඩ හරි තියුණුයි....

ඩ්‍රැකියුලා.... 

ඒත් දැන් මම ඔයාට බය නෑ සිරින්ජරයෝ...

ස්..ස්........

මම හරි ආඩම්බරෙන් ආපහු ඒක තිබ්බ තැනම තියනවා....

Tuesday, March 20, 2012

හැම කළු වළාකුළකම රිදී රේඛාවක්

1999 අවුරුද්ද............. 
මගේ ජිවිතේ කණපිට හරවපු අවුරුද්ද..
හතර වසරේ වාර අවසාන විභාගෙන් පන්තියේ දෙවැනියා වෙලා  පස්සේ පහ වසරට දෙන අලුත් පොත් ටිකත් අරගෙන උඩ පැන පැන ගෙදර ආවයින් පස්සේ ආයේ ඉස්කෝලේ පය ගහන්න බැරි වුනා.. 
ඒ එතනින් පස්සේ මාව රෝද පුටුවට වැටුනු නිසා... ඒ වෙනකොට අම්මලාට ඕන වුනේ ඉස්කෝලේ යවනවට වඩා කොහොම හරි මාව හොද කරගන්න..ලංකාවේ  හැම කොනකටම  වෙද්දු හොය හොයා මාව උස්සගෙන දුවන එක ඒ දවස් වල  (අද වෙන තුරුත්) මගේ අම්මගේ පුරුද්දක් බවට පත් වුනා..
ඔය අතරේ ශිෂ්‍යත්වේ විභාගේ ලං වුනා.. මගේ පන්ති බාර මැඩම් ගෙදරටම පාඩම් වැඩ එවන එක පුරුද්දක් කර ගත්තා.. අම්මා ගෙදර ඉදන්ම මට ඒවා කියලා දෙන අතරේ සතර ප්‍රශ්න පත්තර පොතක් ගෙනත් මා ලව්වා උත්තර ලියෙව්වා.. ඒත් ඒ කාටවත් විශ්වාසයක් තිබුනේ නැ... අඩුම තරමේ මටවත්.... විබාගේට දවස් කීපෙකට කලින් පන්ඩිත වැඩක් කරන්න ගිහින් පුටුවෙන් පල්ල වැටිලා දණහිස කඩා ගත්තේ ඒ අතරෙදි... අන්තිමට කකුලත් තුවක්කුව වගේ දික් කරගෙන විභාගෙට ගිය මට වෙනම මේසයක් සකස් කරලා  දුන්නා.. 
එතනින් එහාට ආයෙමත් බෙහෙත් කෙරුවාව.......
ඔය අතරේ ප්‍රතිඵල ආවේ අම්මගේ ඇස් වලට කදුළු  එකතු කරගෙන... ඔව් ඒවා සතුටු කදුළු.. මම පාස් වෙලා තිබුනා..
මම ඇඩුවා ඒ සතුටට නම් නෙමෙයි... 
මොකද පහුවෙනිදා උදෙන්ම මාව රාගම පුනරුත්ථාපන රෝහලේ නවත්තනවා කියලා දැනගෙන හිටි හින්දා... ආයෙත් මට ඉස්කෝලේ යන්න බැරි වෙයි කියන දුකටයි..... ඉස්පිරිතාල මට පෙනුනේ අපායක් වගේ.... එතනදි හැම වෙලේම ලැබෙන්නේ දුක කියලා මම ඒ වෙනකොට හොදටම දැනගෙන උන්නා.
සතුට සමරන්න තාත්තා මට ලස්සනම ලස්සන නිල් පාට විදුරු වළලු ගොඩාක් ගෙනත් දුන්නා...
ඔයාට මගෙන්  මොනවද ඕන? එහෙම ඇහුවේ අම්මා
 මට ඉස්කොලේ යන්න ඕන.......... ඉස්පිරිතාලේ එක්ක යන්න එපා.... 
ජීවිතේ පළවෙනි වතාවට  අම්මට මගේ ඉල්ලීම  ඉෂ්ට කරන්න බැරි වුනා...
පහුවෙනිදා මාව රාගම රොහලේ නැවැත්තුවා ලග ඉන්න වුනේ ආච්චිට.. මම එතන හිටියේ කැමැත්තෙන් නෙමෙයි.... ඇත්තටම ඒක මගේ ජිවිතේ පාළුවෙන් පුරවපු කාලයක්....ඒකට ලොකුම හේතුව ඉස්කෝලේ යන්න බැරිවුන එක.....කවදාවත් මට ආයේ ඉස්කොලේ යන්න බැරිවෙයි කියන හිතුවිල්ල හිත ඇතුලේ දෝංකාර දුන්නා. ඒ හිතුවිල්ලම මට ඉස්පිරිතාල ජිවිතේ එපා කෙරෙව්වා....අනිත් එක ඒකට තවත් හේතුවක් තිබුනා.... මම උන්නු වාට්ටුව පිටිපස්සේ තිබුන කෙටි තාප්පෙට එහායින් තිබුනේ රාගම බැසිලිකා විද්‍යාලයේ පිට්ටනිය...ඊට එහායින් ඉස්කෝලේ. අපිට කෑම කන්න මේසේ දාලා තිබුනෙත් වාට්ටුව පිටිපස්සේ කොරිඩෝවේ....... ළමයි සෙල්ලම් කරන කොට අපි කිහිප දෙනෙක්ම හිටියා කොරිඩෝවට වෙලා ඒ දිහා බලාගෙන.......කවදාවත් අපිට එයාලත් එක්ක සෙල්ලම් කරන්න ලැබුනේ නැ වගේම කවදාවත් එයාලා අපිව ගණන් ගත්තෙත් නැ... ඒ දේවල් මාව තව තවත් පහලට වැට්ටෙව්වා.. ඔය අතරෙදි සෙනසුරාදා දවසක අම්මා මාව බලන්න ආවා.. සෙනසුරාදා කියන්නේ ඒ වෙනකොට මම කැමතිම දවස..ඒ අම්මා මාව බලන්න එන නිසා. අම්මා  අතේ ලියුමක් තිබුනා.. ඒකේ තිබුනේ ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වුන නිසා නුවර බාලිකා විද්‍යාලයකට යන්න පුළුවන් කියලා... 
මම ලහිලහියේ ලැස්ති වුනා ගෙදර යන්න... 
ඒත් අම්මා මාව එක්ක ගියේ නෑ... එයා කිව්වා 
“මම ඒ ඉස්කෝලේ මැඩම් එක්ක කතා කලා.. ඔයාට හොද වුන ගමන් මම එක්කන් යනවා..
ඒත් කවදාවත් අම්මට මාව ඒ ඉස්කොලෙට එක්ක යන්න බැරි වුනා...ඒ ගැන එයා දුක් වෙන්න ඇති..ඒත් ඒක පෙන්නුවේ නෑ..ඔය අතරේ වාට්ටුවේ ඉන්න අයට උගන්නන්න ගුරුවරියක් ආවා.. ඉස්කෝලේ වගේ නොවුනත් හිතට පුංචි සතුටක් දැනුනා ඒකෙන්..... එතන හිටියා අවුරුදු 5 ඉදලා 10 වෙනකන් අය.. හැමෝටම එක එක ආබාධ තිබුනා... වැඩිපුරම හිටියේ වයසට වඩා වර්ධනයෙන් අඩු අය.. එයාලත් එක්ක ඉන්න එක මුල් කාලේ ගොඩක් අමාරු වුනත් පස්සේ අපි ගොඩාක් සමීප වුනා...වචනයක් වත් කතා කරන්න බැරි මල්ලිලා... අපි කියන කිසිම දෙයක් ගැන තේරුම් නොගත්තත් දවස පුරාම හිනා වෙන නංගියෙක් වගේම මගේ වයසේ තවත් කීප දෙනෙක්ම උන්නා එතන.. අපි අතරේ මොන අඩුපාඩු තිබුනත් සතුටින් කල් ගෙව්වා...
ඔහොම කාලේ ගෙවෙද්දි අපේ ගුරුතුමීට ඕන වුනා අපේ විවිධප්‍රසංගයක් කරන්න.... සින්දු නැටුම් වගේම නාට්‍යකුත් කරන්න හැමදේම ලෑස්ති කලා.... අපි හැමෝම ලග තිබුනා ලොකු උද්යෝගයක්..... අපි කවුරුත් ඒ වෙනකොට ඒ වගේ දේකට සහභාගි වෙලා තිබුනේ නෑ...හරි ආසාවෙන් බලන් උන්නා ඒ දවස වෙනකන්...
මුලින්ම පූජා නැටුම.......
ඊට පස්සේ සින්දුවක්...... අපි හැමෝම හිටියා ඒකට... ලොකු කාඩ්බෝර්ඩ් මලක් මැද්දෙන් ඔළුව දාගෙන දෙපැත්තට වැනි වැනි අපි සින්දුව කිව්වා......
ඊට පස්සේ නංගි කෙනෙකුගේ සින්දුවක්......එයා ඒක ලස්සනට කිව්වා....
අද වීය දෙනුවන් මාගේ
නොපෙනේය ලස්සන ලෝකේ
අහෝ මාගේ සොබදම් අම්මේ
ඇයි මාව අදුරෙහි තැබුවේ.......
නෙක පාටවල් දේදුන්නේ
මගේ ගී නිසයි ඇති වන්නේ
කිම ඒවා මට නොපෙනෙන්නේ....
හද මාමා රෑ පායනවා පොඩි මල්ලි ඒ පවසනවා
කරුමේකි මට නොපෙනෙනවා.....
අහෝ මාගේ සොබදම් අම්මේ
මුළු ලොවටම රහසේ
ලැබ දෙන්න කාන්තිය දෑසේ...............
එයාගේ මේ සින්දුවටයි වැඩිම ප්‍රතිචාර... අදටත් මට ඒක කටපාඩම්.ඒ ඒතරම් ලස්සනට එයා ගායනා කරපු නිසා....
ඊට පස්සේ තවත් අංග ගොඩක් තිබුනා... 
අන්තිමට නාට්‍යය..........
නාට්‍ය අන්දරේ මගුල් ගෙදර ගිය හැටි.......
ඔව් මමත් උන්නා නාට්‍යට.. අන්දරේගේ අම්මගේ චරිතෙට උන්නේ මම........ අපේ ගුරුතුමිගේ සාරියක් ඇන්දුවා මට......ජීවිතේ පළවෙනි පාරට ලොකු සෙනගක් ඉස්සරහට ගියාමයි මම.... කොහොම හරි අපි නාට්‍යය කලා... 
හැමෝගෙම ගෙවල් වල කට්ටිය ඇවිත් හිටියත් අම්මට එන්න බැරි වුනා එදා.. එයාගේ දුව රගපානවා බලන්න. ඒ එදා සතියේ දවසක් නිසා........
ඒ වුනත් දුකක් දැනුනේ නැ.....
හැම දේම ඉවර වුනේ ලොකු සතුටකුත් එක්ක....... 
දුකක් මැද්දේ එන පුංචි සතුටක තියෙන අපූරුව එදා මම ගොඩාක් හොදට වින්දා...............

හැම කළු වළාකුළකම  රිදී රේඛාවක් තියෙනවා කියලා අද මම විශ්වාස කරන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා