ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි අතරේ ජනප්රිය මාතෘකාවක් තමයි මේ කාසි භුතයෝ. භූත ලෑල්ලක් හදලා ඒකට කාසියක් තියලා භූතයෝ ගෙන්නන්න අපි ඒ දවස්වල හෙන කට්ටක් කෑවා. කාසියක් වෙනුවට වීදුරුවක් තියලත් ඕක කරනවා. හැබැයි විශ්වාසෙන් කලේ නැත්නම් ඒ වැඩේ හරි යන්නේ නැ කියලයි කියන්නේ. ඒ නිසාද මංදා මටනම් කවදාවත් ඕක කරලා බලන්න බැරි වුනා. ඇත්තටම මට විශ්වාසයක් තිබුනේ නැ මේ ගැන. ඒ වගේමයි අදටත්. ඒවුනාට වෙන අය කරනවා නම් දැකලා තියෙනවා. ඒ හිංදම සමහර වෙලාවට මේක විශ්වාස කරන්නද එපාද කියලා හරියටම හිතා ගන්න බෑ.
ඔය කාසියට භූතයෝ ගෙන්නන උණ අපේ පන්තියට බෝ වුනේ එක පොතකින්. කතුවරයා හරියටම මතක නැ. පොතේ නම “උත්පලවන්නාවේ භූතකෙළිය. මට මතක විදිහට ඒකේ තිබුනේ මිනිමැරුමක් ගැන ඔය භූත ලැල්ලෙන් හොයා ගන්න විදිහක් ගැන.ඒත් කල් යද්දි ගුරුවරුන්ගෙන් බැනුම් අහල අහලම ඔය වැඩේ කට්ටිය අතැරියා.
මම නම් හිතන්නේ මේක ඒ වැඩේට සම්බන්ධ වෙන අයගේ හිතත් එක්ක සම්බන්ධ දෙයක් කියලා. මොකද මෙතෙන්දි කාසිය උඩ ඇගිල්ල තියාගෙනයි ඉන්නේ. කොච්චර කිව්වත් තමන් නෙමෙයි කාසිය හොලවන්නේ කියලා තමන්ටම නොදැනී ඒක සිද්ධ වෙනවා.
කොහොම උනත් ඔය ගැන ආයෙත් මට ඇහුනේ අපේ හොස්ටල් එකේදි.. පහුගිය කාලේ හොස්ටල් එකේ ගොඩක් අය මේ කාසි භුතයෝ ගෙන්නන එක කලා.. ගොඩක් වෙලාවට විනෝදෙට වගේ තමයි කලේ. ඒත් සමහර වෙලාවට ඔහොම ගෙන්නන භුතයෝ යවා ගන්න බැරි වුනා කියලා මහ රෑ ජාමේ කට්ටිය පිරිත් කිය කියා දැගලුවා.
ඒත් එක සිද්ධියකින් පස්සේ කට්ටිය ඔය වැඩේ සම්පුර්ණයෙන්ම අත්තැරියේ උපරිමයෙන්ම බයවුනු හිංදා. දවසක් ඔය විදිහට කාසි භුතයෙක් ගෙන්නලා යවාගන්න බැරිව පිරිත් කියලා අමාරුවෙන් යවලා තියෙනවා. මේ වැඩේ කරලා තිබුනේ අපේ හොස්ටල් එකේ කෙළවරේ කාමරේක. ටිකක් විතර පාලුයි ඒ හරිය. මේ සිද්ධිය කවුරුත් එච්චර ගනන් ගත්තේ නැ. ඒත් පහු වෙනිදා හවස ඒ පැත්තේ කලබලයක් ඇහෙනවා. පොඩ්ඩක් ඔළුව දාලා හොයලා බලද්දි එතන හිටපු අය කීවේ අන්න ඊයේ කාසි භුතයෝ ගෙන්නලා අද එකෙකුට භුතයෙක් වැහිලා කියලා. ඒක අහපු ගමන් අපිට හිනා ගියත් පස්සෙ දැන ගත්තේ තත්වේ ටිකක් බරපතල බව. මේ විදිහට බය වුනු ගෑණු ළමයා තනියම පිරිත් කිය කිය වතුරට මතුර මතුර ඒවා ඔළුවේ හලා ගන්නවා. ආයේ කෑ ගහනවා. කාටවත් ලගට එන්න දෙන්නෙම නෑ. එක පාරක් ලගට ගිය කෙනෙකුගේ බෙල්ලෙන්ම අල්ලගෙන. අනික් අය පැනලා අල්ල ගත්තේ නැත්නම් තව විනාසයක්... කට්ටියම එකතු වෙලා එයාව හොස්පිටල් එක්ක ගියත් ආපහු එවලා තිබුනා ලෙඩක් නැ කියලා. හොස්පිටල් එකේ ඉදලා ආපු ගමන් එයා කාමරේට පැනලා දොර වහගෙන. කාටවත් එන්න දෙන්නෙත් නැ. අන්තිමට කට්ටිය තිරණේ කලේ නූලක් දැම්ම නම් හරි යයි කියලා.. ඒත් හොස්ටල් එකේ කවුද නූල් දාන්න ඉන්නේ. අනික රෑ වෙලා. ඒ අතරෙයි කට්ටියට මතක් වුනේ ඒ වැඩ දන්න පිරිමි ළමයෙක් අපේ බැජ් එකේ ඉන්න බව. අන්තිමට එයාව ගෙන්නගෙන නූලක් දැම්මත් ඒක තාවකාලික එකක් විතරයි කිව්වා. ඒ පාර පහු වෙනිදා උදේම එයාගේ ගෙදරින් ගෙන්නලා එයාව පිටත් කලා.
මේ සිද්ධියෙන් පස්සේ කවුරුත් තාම කාසි භුතයෝ ගෙන්නන්න හැදුවේ නෑ.. මම දන්නේ නැ එයාට ඇත්තටම එහෙම දෙයක් වුනාද කියලා. ඒත් මට හිතෙන්නේ කලින්දා හිතට දැනුනු බයත් එක්ක ඒ විදිහට හැසිරුනා කියලයි.