Thursday, October 27, 2011

ආදරය සහ ආකර්ෂණය..

මේ මාතෘකාව පහුගිය වාරේ මගේ එක සබ්ජෙක්ට් එකක ප්‍රධාන මාතෘකාවක්...ඒ ගැන පොඩි නිබන්ධනයක් ලියන්න අපිට පැවරිලා තිබුනා.. අම්මපා උඹලා ඔව්වා ඉගෙන ගන්ටද බං කැම්පස් යන්නේ කියලා අයියන්ඩි මගෙන් ඇහුවේ මම ජංජාලේ කැරකි කැරකි ඒ ගැන තොරතුරු ටිකක් හොයද්දි...ඔන්න පහළින් තියෙන්නේ ඒකට එකතු කරපු කරුණු වලින් ටිකක්...

                            ආකර්ෂණය සහ ආදරය පිළිබදව විමසා බැලීමේදි ඒවා අතර අන්තර් සබදතාවක් දැක ගත හැකි වේ... ආකර්ෂණය ආදරයක මුලික අවස්ථාව ලෙසද ඇතමුන් සලකන අතර සාමාන්‍ය තත්වයන්හිදි බොහෝ දෙනා මෙම ආකර්ෂණය ආදරයක් ලෙස වැරදි වටහා ගැනිමකට පෙළඹේ. තරුණ ප්‍රජාව අතර මෙම වැරදි වැටහිම වැඩි වශයෙන් දැක ගත හැකි අතර තවකෙනෙකු පිළිබද තමන්ගේ සිත තුල ඇතිවන්නාවු  ආකර්ෂණය ආදරය ලෙස වරදවා වටහා ගැනීම නිසා ගැටළුකාරි තත්වයන්ට මුහුණ දුන් අවස්ථාත් බහුලව දක්නට හැකිය...
සමාජවිද්‍යාත්මකව ගත් විට ආකර්ෂණය ඇති වීමට බලපාන සාධක 4කි.

සමීපත්වය- එකිනෙකා අතර පවතින දුරස්ථ බව අඩු වීම ආකර්ෂණයට හේතුවක් බව..මෙය බොහෝ විට බලපවත්වන්නේ ප්‍රේම සබදතා.. විවාහ සබදතා වලදි...( මම නම් හිතන්නේ ආකර්ෂණයට මේ දේ බල නොපාන බවයි)

සිත් ඇදගන්නා සුළුබව-  පුද්ගලයන් තුල ඇති සිත් ඇදගන්නා සුළු බව අන් අයගේ ආකර්ෂණය දිනා ගැනිමට සමත්කම් දක්වයි..මේ ගැන පර්යේෂණ කල Russel , Feingold  වැනි පර්යේෂකයන් දැක්වන්නේ කාන්තාවන් පිරිමින් කෙරෙහි ආකර්ෂණය වන්නේ ඔහුගේ චරිත ලක්ෂණ වලට දක්වන කැමැත්ත මත බවයි. එසේම පිරිමින් කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වන්නේ ඇයගේ බාහිර පෙනුම අනුවයි.. මේ නිසාම පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන නිතරම කනගාටු වෙන බවත් මේකප් බාවිතයට වැඩිවශයෙන් යොමු වන බවත් එම පර්යේෂණ වලින් සනාථවි තිබේ.(ඇත්තද මංදා)

සමානාත්මතාවය- මෙහිදි එක සමාන තත්වයන් වල සිටින දෙදෙනෙකු තුල ආකර්ෂණය ඇති විය හැක.උදාහරණ ලෙස මිතුරු මිතුරියන්..

කැමැත්තෙන් පෙළිම- අනෙක් කෙනා පිළිබද  දක්වන කැමැත්ත අනුව ආකර්ෂණය..නළුනිළියන්ට..විශේෂ පුද්ගලයන්ට දක්වන කැමැත්ත...

                  මේ වගේ ආකර්ෂණයක් එහි සංකීර්ණ මට්ටමට පත්වු විට ආදරයට පදනම වැටේ. මෙහිදි අදහස් වන්නේ තරුණ පිරිස් අතර ඇති වන ප්‍රේමණිය ආදරයක් පමණක් නොව කුඩා බිළිදාගේ සිට වැඩිහිටි පුද්ගලයි දක්වා දිවෙන ආදරයයි. කුඩා දරුවා පළමුව ආකර්ෂණය වන්නේ තමාට සමිප පුද්ගලයන්ටය..විශේෂයෙන් තම මවගේ උණුසුම වෙත දරුවා ආකර්ෂණය වේ. ඒ තුලින් දරුවා තුල මව පිළිබද ආදරයක් ඇතිවේ. ආදරය පිළිබද සලකා බලන විට එහි ස්වරුපය අනුව වර්ග වේ.

ප්‍රේමණිය ආදරය(Romantic love)-මෙය රාගික ආදරය ලෙසද හදුන්වයි. රාගික ආදරයට ඇබ්බැහි විම කෝපි වලට ඇබ්බැහි වීම හා සමාන කරනු ලබයි..විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන ආදරයවේ.කෙටිකාලිනය.විවාහය දක්වා දිවෙන ආදරයකි.

පරාධීනආදරය( Depended  love) -එකිනෙකා කෙරෙහි රදා පවති.මෙය වඩාත් සවිමත් සදාකාලික ආදරයක් ලෙස සලකයි. මවක් සහ දරුවෙකු අතර ඇති වන්නේ මෙවන් ආදරයකි. 

සුහදආදරය- රාගික ආදරයට වඩා ගැඹුරු සහ සිසිල් වු ආදරයකි..දිගුකාලිනය.රාගික ආදරයක් පසුකාලිනව සුහද ආදරයක් පවට පත්වීමේ අවස්ථාව වැඩිය.

ආදරය ගැන සැලකීමේදි බහුතරයක අදහස වන්නේ කාන්තාව ඉක්මනින් සහ පහසුවෙන් ඊට නැඹුරු වෙන බවයි.(ඒත් ඒක පිරිමින්ටත් පොදු දෙයක් කියලායි හිතෙන්නෙ).ඒ වගේම පිරිමින්ට තමන්ගේ සිතේ පවතින ආදරයක් පහසුවෙන් ඉවත් කර ගත නොහැකියි. කාන්තාව තම ආදරය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවද වෙනස් වීමේදි පිරිමියාට වඩා ඉක්මනින් වෙනස් වේ. ආදර සබදතා වලදි ඉන් වැඩි ආශ්වාදයක් ලබන්නේ කාන්තාවය.(මම නම් දන්නේ නැ ඕවා..) 
         කොහොම වුනත්  mark twin දක්වන්නේ කවුරු ආදරය ගැන මොනව කිව්වත් විවාහ වී වසර 5ක් වත් යන තුරු ආදරය ගැන නිවැරදිව තේරුම් ගත නොහැකි බවයි... ( ඒ ගැන අහන්න ඕන අත්දැකිම් තියෙන අයගෙන්ම තමයි)


                                                                                                                                                                                                                                                                                            






Monday, October 17, 2011

හිතුව තරම් ලේසි නැති කැම්පස් ජීවිතේ

                       කැම්පස් ජිවිතේ ගැන ගොඩක් දෙනෙකුට තියෙන්නේ සොදුරු මතකයන්....ඒත් මට නම් කැම්පස් එක ගැන මතක් වෙද්දි හිතෙන්නේ අයියෝ කවද්ද මේ මගුල ඉවර වෙන්නේ කියලා....... හැබැයි බොරු කියන්නේ මොකටද කැම්පස් තේරුනාට පස්සේ නම් ඒ ගැන තිබුනේ මාර උණක්.. විශේෂයෙන්ම පේරාදෙණි එන්න...හිතුවා වගේම පේරාදෙණියට තේරිලා මුල්ම දවසේ හාහා පුරා කියලා ආවට පස්සෙයි තේරුනේ හිතුවට වඩා වැඩේ අමාරු බව. ගෙදරින් එද්දි පොදි බැදගෙන ආපූ සතුටුදායක සිතුවිලි බොහෝමයක් මුල් දවස් වලම හේදිලා ගියා..වැඩි දෙනෙකුට මුල් දවස් වල කැම්පස් එක එපා වෙන්නේ රැග් එක නිසා.. ඒ වුනාට මට කැම්පස් එක එපා වෙන්න වෙන හේතු කිපයක්ම තිබුනා. මට තිබුන ලොකුම ප්‍රශ්නේ වුනේ පඩිපෙළවල්...!!
            අපේ ෆැකල්ටියේ යන යන තැන පඩිපෙළවල්..ඒවා දැක්කම මට සසර කළකිරුණා.. අප්පොච්චියේ..!!මම කොහොමද මේ පඩිපෙළවල් වලින් යන්නේ??  මගේ ජිවිතේ මම අකමැතිම දේවල් අතරේ මුලිකම වෙන්නේ පඩිපෙළවල්... පොඩි පොඩි පඩිපෙළවල් වලින් යන එක නම් කොහොම හරි කර ගත්තත් පඩි 4-5ක් තියෙන තැන් වලින් යන එක කොහොමත් කරන්න බැරි වුනා...ඒ හිංදාම අදටත් මට ෆැකල්ටියේ ගොඩක් තැන් වලට යන්න බෑ..මේ ගැන අපේ පීඨාධිපතිතුමියත් එක්ක කතා කලාට පස්සේ යම් තරමක සහනයක් ලැබුනා..ඒ මම යන තැන් වල පඩිපෙළවල් වලට ලෑලි තට්ටුවක් දාන එක...හරස් අතට තියෙන ලෑලි උඩ රෝද පුටුවක් යවන එක ඒ තරම් ලේසි නොවුනත් එහෙම හරි පිළියමක් ලැබුනු එක හොදයි කියලා හිත හදා ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා..මේ වෙනකොට ලංකාවේ නීතියට අනුව සෑම රජයේ ආයතනයකම ආබාධිත අයට  ඇතුලු විමට හැකි වන පරිදි සකසා තිබිම අනිවාර්ය කර තිබුනත් ඒක හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා නම් මම දන්නේ නැ..  පේරා කැම්පස් එක හදලා තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් නිසා ඒ වගේ පහසුකම් සැපයීම අමාරුයි කියලයි  මගේ ඇඩියාව අහපු නිළධාරින් කීවේ...ඒ වගේම මීට කලින් අපේ ෆැකල්ටියේ රෝද පුටු පාවිච්චි කරපු අය නොසිටිය නිසා ඒ වගේ පහසුකම් ගැන අවධානයක් නොදුන් බවත් කිව්වා..හැබැයි මට පස්සේ තවත් රෝද පුටු  පාවිච්චි කරන දෙන්නෙක්ම ආව නිසා ඔවුන්ට සිද්ද වුනා තුන්දෙනෙක්ගෙම කන්කෙදිරිගෑම් වලට උත්තර දෙන්න...
                       පඩිපෙළවල් ප්‍රශ්නේ වැඩිපුරම දැනුනේ පුස්තකාලේට යද්දි...මේ වෙනකොට මගේ අවසාන අවුරුද්දත් පටන් ගත්තත් මම පුස්තකාලේට ගිහින් තියෙන්නේ දෙපාරයි.. පුස්තකාලේ තියෙන ලිෆ්ට් එක අපට පාවිච්චි කරන්න දෙන්න කියලා මුල් කාලෙදිම ඉල්ලුවත් ඒකට ප්‍රතිචාර ලැබුනේ අවුරුද්දක් ගියාට පස්සේ... මේ දේවල් එක්ක කන්කෙදිරි ගගා වැඩ කරන අතරෙදි මේ වෙනකොට යම්තාක් දුරට අපේ ඉල්ලීම් ඉටු වෙමින් යනවා..ඒත් අපි යනකන්ම ඒවා සම්පුර්ණ නොවෙන වග නම් හොදටම විස්වාසයි...මොකද මේ ලංකාවනේ.... ඒ මොනව උනත් බොහෝමයක් දෙනෙක් මට උපරිමයෙන් උදව් කලා. මගේ අම්මා.. යාළුවෝ... ගුරුවරු...අක්කලා අයියලා....ඒ වගේම උදේ හවා පාරේ යද්දි එද්දි හමුවෙන මිනිස්සු පවා ඒ අතරේ ඉන්නවා...  ඒ අතරෙම උදව්වක් ඕන වුන වෙලාවක දැක්කත් නොදැක්කා වගේ යන...වචනෙන් විතරක් පණ වුනත් දෙන ඈයොත් ඕන තරම්...මේ පඩිපෙලවල් ප්‍රශ්නේ හිංදා මම දේශන මගඇරපු අවස්ථා ඕන තරම්..සමහර වෙලාවට කම්මැලි හිතුනම ඒ පිටින් දාලා මග ඇරලා ගෙදර ආපු අවස්ථාත් එමටයි....පහුගිය වාරේම සදුදා දවස මම ගෙදර හිටියේ ඔය පඩිපෙළවල් ප්‍රශ්නේ හින්දා මට දේශන වලට සහභාගි වෙන්න බැරි නිසා...
                        පඩිපෙළවල් ප්‍රශ්නේ ඇරුනම මට මුල්ම දවස් වල තිබුන තවත් ප්‍රශ්නයක් වුනේ හොස්ටල් එකේ ඉදලා ෆැකල්ටියට එන දුර... ඒ වෙනකොට මම කවදාවත් පාරක රෝද පුටුවෙන් ගිහින් තිබුනේ නැ.ගමේදිවත් මම පාරේ රෝදපුටුවෙන් නොගියෙ පාරේයන අනික් මිනිස්සු මම දිහා බලන අමුතු විදිහ නොරිස්සු නිසා..ඒත් කැම්පස් එකේදි ඒකට වෙන පිළියමක් තිබුනේ නෑ. පාරට බහින්නම සිද්ධ වුනා...මුල් දවස් වල නම් වටපිටාවේ අයට මාව අමුත්තක් වුනත් කල් යද්දි ඒක සාමාන්‍ය දෙයක් වුනා..හැබැයි අදටත් සමහර දවස්වලට බස් වල යන අයත් ජනේලෙන් ඔළුව දාලා අමුතු විදිහට බලන වෙලාවලුත් තියෙනවා..එක දවසක් බස් එකක යන ආච්චි අම්මා කෙනෙක් ජනේලයෙන් ඔළුව දාලා අනේ මයේ දරුවට දෙයියංගෙම පිහිටයි කියද්දි නම් හිතට දැනුනේ අමුතුම හැගීමක්...
              මේ හැම දෙයක් එක්කම කැම්පස් ජිවිතේ ඉක්මනින්ම ගෙවිලා යනව නම් තමා මම වැඩියෙන්ම කැමති...ඒත් හැමෝටම වගේ අන්තිම දවස් ලං වෙද්දි මටත් මේක දාලා යන්න දුක හිතෙයි දන්නේ නැ...මොකද දෙයක් අහිමි වෙද්දිනේ ඒකේ අගේ වැඩිපුර දැනෙන්නේ....

Tuesday, October 4, 2011

කොත්මලේ සහ දුටුගැමුණු

                                                දුටුගැමුණු කුමාරයා කොත්මලේ හැංගිලා හිටපු කාලේ ගැන කතා කිපයක් මම කලින් කිවානේ. දුටුගැමුණු කුමාරයා ඒ කාලේ අස්වද්දපු කුඹුරත් කුමාරයා හිටි තැන් ගැනත් අදටත් මාවෙල ගම් වැසියො කතා කරන්නේ හරි ආඩම්බරෙන්..කුමාරයා විවේක ගත්ත අම්බලමත් ඔහු නාපු පිහිල්ල ලෙස හදුන්වන රජ පිහිල්ලත් අදටත් එහි දැක ගන්න පුළුවන්.කුමාරයා මේ විදිහට හැංගිලා ඉන්න අතරෙදියි ඔහුට පොන්න නැකැත්තා හමු වෙන්නේ.ඒ කුමාරයා දකින හීන තුනක් ගැන අනාවැකි අහන්න ගිය වෙලාවකදි.
                        කුමාරයා දැකපු හීන තමයි, මාපට ඇගිල්ලේ මීවදයක් බැදලා තියෙන එකත්, තමන්ගේ දිව ගොඩාක් දික්වෙලා ලංකාව වටේම ගිහින් ආයෙත් දිව කෙටි විමත්... මට අනෙක් හීනේ නම් මතක නැ..ඒ ගැන කාට හරි මතක නම් කියන්න. මේ හීන අනුව පොන්න නැකැත්තා දැන ගන්නවා මේ දුටු ගැමුණු කුමාරයා බවත් අනාගතේදි ඔහු රජ වෙන බවත්...කොහොම හරි කුමාරයාගේ ඉල්ලිම පිට ඔහු මේ රහස කාටවත් එළි කරන්නේ නැ..කුමාරයා රජ වුනාට පස්සේ පොන්න නැකැත්තට ඔහු වෙනුවෙන් සේවය කරන්නත් අවස්ථාව ලැබෙනවා.
                             කාවන්තිස්ස රජුගේ අභාවයත් එක්ක දුටුගැමුණු කුමාරයාට රජකම බාර දෙන්න අවශ්‍ය නිසා මගුල් ඇතා පිරිවරාගෙන කන්ඩායමක් කොත්මලේට එනවා.ඒ ආවට පස්සේ තමයි ගම් වැසියෝ දැන ගන්නේ මේ දුටු ගැමුණු කුමාරයා විත්තිය..කොහොම හරි කොත්මලේ වැසියන්ටත් ආරාධනාවක් ලැබෙනවා කුමාරයාගේ ඔටුනු පැළදවිමේ උත්සවයට..
                 එහිදි කොත්මලේ ගමෙනුත් පිරිසක් ඒකට සහභාගි වුනාලු.ඒ දවසේ රෑ මේ පිරිසටම නිදා ගන්න දිලා තියෙන්නේ එක කාමරයක්... තිබිලා තියෙන්නේ එක ඇදක්. මේ පිරිසට හිතා ගන්න බැරි වුනාලු කවුද ඇදේ නිදා ගන්නේ කියලා. අන්තිමේදි එක්කෙනෙකුට ඇද දීලා අනෙක් අය බිම නිදා ගන්න අකමැති වෙලා කට්ටියම කරලා තියෙන්නේ ඇදේ ඔළුව තියාගෙන බිම නිදා ගත්ත එක... මේක දැකපු රජ වාසලේ අය කියලා තියෙන්නේ කොත්මලේ ඇත්තන්ට කවදාවත් හරියට නායකයෙක් පත්කර ගන්ට බැ කියලා... ඒ කතාව ඇත්තක් කියලා බොහෝදෙනා පිළි ගන්නේ මෑතක් වෙනකන්ම කොත්මලේ නායකත්වය ගන්න හරිහමන් කෙනෙක්නොහිටිය හිංදා..දැන්නම් ඒක වෙනස් වෙලා..