Wednesday, September 28, 2011

බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ කරන්ට හදන තාලෙටනේ

කොත්මලේ ගැන කියවෙන ජනකතා අතරේ පොන්න නැකැත්තා වගේම දුටුගැමුණු කුමාරයත් ප්‍රසිද්ධ චරිතයක්..
                           කාවන්තිස්ස රජතුමා එක්ක අමනාප වෙලා එතුමාට කාන්තාවන්ගේ ආබරණ යැව්වට පස්සේ තමන් ගැන පිය රජ්ජුරුවෝ උදහස් වෙයි කියලා හිතලා දුටුගැමුණු කුමාරයා පල්ලම් බැස්සේ කොත්මලේට...ඒ ඉතින් හැංගිලා ඉන්න හොද තැනක් හිංදා වෙන්ට ඇති..මෙහෙම ආපු කුමාරයා ගැන කලින් වතාවේ මම කිව්වනේ.. 

                              කුමාරයා නවාතැන් ගත්ත ගෙදරින්ම පෙළවහකුත් කරගෙන කාලයක් මාවෙල වෙල් යාය අස්වැද්දුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි යුද්ධ කාලෙකදි උවමනා වෙයි කියලා.. ඒ කාලේ ගුත්තා කියලා පෙනි හිටපු කුමාරයා මේ කුඹුරු යායෙන් හොද අස්වැන්නක් ලබා ගත්තලු...අන්තිමට අස්වැන්න කපලා ඉවරවෙලා ගමගෙදරට වි ටික ගෙනියන්න හදනකොට කුමාරයා කලේ කමතේ ඉදන් ගම ගෙදරට යනකන් බිම දිගේ කෙවිටකින් ඉරක් ඇදපු එකයි. ඒ ඇදපු ඉර දිගේ අර වී ටික ගම ගෙදරටම ඇදිලා ගියාලු. 
                                  මේ  අලුත් අස්වැන්නෙන් පළමුවෙන්ම කිරිබතක් උයලා කුමාරයට දිලා තියෙනවා.. උණු උණුවෙන් දීපු මේ කිරිබත් ටික කන්ට හදිස්සි වෙච්චි කුමාරයා තැනින් තැන ඇගිල්ලෙන් ඇන ඇන කන්ට පටන් අරගෙන. මේක දැකපු වයසක ආච්චි අම්මා කෙනෙක් ගත් කටටම කිව්වලු බොල හිද්දලයෝ තෝ කිරි බත් කන්නෙත් හරියට අපේ දුටු ගැමුණු කුමාරයා යුද්ධ  කරන්ට හදන තාලෙටනේ කියලා..ඒක අහපු කුමාරයා අහලා තියෙනවා   ඇයි එහෙම කියන්නේ කියලා..එතකොට ඒ වයසක උන්දැ කියල තියෙන්නේ ඔහොම කුරුල්ලෝ කොටනවා වගේ තැනින් තැන කලබලේට කන්ට හොදත් නැ යුද්ධ කොරන්ට හොදත් නැ..පිළිවෙලකට එක කොනක ඉදන් කන්ට පුරුදු වුනොත් අනික් හැම වැඩක්ම පිළිවෙලකට කරන්ට පුරුදු වෙනවා කියලා...කුමාරයා පස්සේ කාලේ යුද්දෙ පටන් ගත්තම ඇගේ උපදේසයත් ඒ විදිහටම පිළිපැද්දා කියලයි කියන්නේ...අපි පුංචි කාලේ අපිට පිළිවෙළකට කන්ට පුරුදු කරද්දි අපේ ආච්චි අම්මලා නිතරම ඔය කතාව කියනවා...

දිගට ලියන්ට කම්මැලි..ඉතිරිය පස්සේ දාන්නම්

Sunday, September 25, 2011

මිරිවැඩි සගළක් ඉල්ලා නොහඩමි.....(අදට අකීකරු හිතගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙනවා)

                                 රෝහලේ කොරිඩොව කෙළවරට වෙලා පන්සිය පණස් ජාතක පොත තරම් ලොකු වෛද්‍ය වාර්ථා පිරුනු ෆයිල් කවර ටිකත් තුරුල් කරගෙන අම්මත් මාත් බලා ගෙන උන්නේ මගේ අලුත් හීනෙට පණ දෙන්න දෙවි කෙනෙක් එනකන්.....ආයෙමත් හීන දකින්නේ නෑමයි කියලා මම පොරොන්දු වෙලා තිබුනත් හිත ඇතුලේ කෙළවරක හැංගුනු එකම එක හීනයක් ආයෙමත් හිත පුරාම සැරිසරන්න ගත්තේ නොදැනුවත්වම...අවුරුදු 12ක් තිස්සෙ පොළවේ පය නොගහපු කකුල් දෙක නිසා හිත කොයි තරම් නම් විදෙව්වද කියලා වචනෙකින් දෙකකින් කොහොමද විස්තර කරන්නේ..ජිවිතේ දරා ගන්නම බැරි තරම් දුක දැනෙන වෙලාවෙදිත් හිනා වෙන්නම පුරුදු වුන මට දැන් දුක මොකද්ද සතුට මොකද්ද කියලා වෙන් කරගන්න බැරි තරම්....
                                       කොරිඩෝව  දිගේ එහෙට මෙහෙට යන ලෙඩ්ඩු ....නර්ස්ලා...දිහා මම ඔහේ කැරකි කැරකි බල බල ඉද්දි ඩොක්ට ඇවිත් ඇතුළට කතා කලා. ඇත්තටම ඒ වෙලාවේ මට ඇයව පෙනුනේ දෙවි කෙනෙක් විදිහට... මගේ රෝග තත්වයට යම් තරමක හරි සුවයක් දෙන්න ඇය ගොඩක් උත්සහ කරන බව මම දැනගෙන හිටියා..ඒ හිංදම මම ඇස් දල්වගෙන බලා හිටියේ හැමදාම ඇහෙන වචන ටික වෙනුවට වෙනස් දෙයක් ඇසිමේ බලාපොරොත්තුවෙන්..
ඉතින් කොහොමද දරුවෝ?
ඇය එහෙම අහද්දි මගේ කටට ආවේ මම හැමදාම හැමෝටම මන්තරයක් වගේ කියන වචන ටික... මම හොදින් ඉන්නවා.. ඩොක්ට...!
හොදයි... මම ඔයාට එන්න කිවේ ඇයි දන්නවද?
මම ඔළුව වැනුවා... 
දරුවෝ මම අනෙක් අයත් එක්ක ඔයා ගැන කතා කලා..ඒත් ඔයා දැන් ඉන්නේ දුර්වල මට්ටමක..ඒ නිසා එයාලා බයයි ඔයාව ඔපරේෂන් එකට අරන් අවදානමක් ගන්න.. අනිත් එක ලංකාවේ ඒ වගේ දෙයක් කරන්න තියෙන හැකියාව අඩුයි... ඔයාට තේරෙනවා නේද?
උගුරේ මොකද්දෝ හිර වෙලා වගේ දැනුන නිසා  මම ඒකටත් ඔළුව වැනුවා...
කෝකටත් ඔයා දිගටම බෙහෙත් ගන්න ඕනා හොදද? එහෙම නැති වුනොත් තවත් දුර්වල වෙයි....අපි තව උත්සහ කරල බලමු...
අම්මා තව තවත් ඇගෙන් ප්‍රශ්න අහමින් හිටියත් ඒ කිසිම දෙයක් ගැන අහගෙන ඉන්න ඕන වුනේ නැ මට...
කාලෙකට පස්සේ පණ  දෙන්න හදපු හීනේ ඉපදෙන්න ඉස්සෙල්ලම  වළලලා දාන්න සිද්ධ වුනා...ඒ හීනෙත් මගෙන් ඈතට ගියාම හිස් වෙච්ච හිත පිරෙන්න මම ලොකු හුස්මක් පුරව ගත්තේ හිත හිස් වුනාම තියෙන මුසල ගතියට අකමැති නිසා...වගේම කාගෙවත් ඉස්සරහ මගේ කදුළු වට්ටන්න අකමැති නිසා..
ආයමත් අපි එන්න හැරුනා.කකුල් දෙකේ රැදිලා තිබුනු කවදාවත් බිම නොතියපු සපත්තු දෙක දකිද්දි මම මටම හිනා වුනා...   සුපුරුදු පරිදි  අතිසාර්ථක ලෙස ආයෙමත් අකීකරු හිත පැරදුනා .... ඒත් ............
-----------------------------------------------------
                            දුක සතුට දෙකම ජිවිතේට අයිති දෙයක්....බිදිලා ගිය හීනෙට සිරිලා ගිය හිතට මතක් වුනා එකපාරටම අද දවස...ඔව් ඒක විශේෂයි....ඒ කියන්නේ අදට අකීකරු හිතගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙනවා... අවුරුද්දක්... අපෝයි..ඒක හරි ලොකු කාලයක්...මෙච්චරකල් මම මේකේ රැදිලා හිටියේ අපුරු මිනිසුන් ටිකක් මට මේ බ්ලොග් අවකාශයෙදි හමු වුන නිසා... 
                        මම මුලින්ම කියෙව්වේ කතන්දරගේ බ්ලොග් එක..ඊට පස්සේ සොදුරු සිත.. මගේ මරණය කියෙව්වා...ආස හිතුනා මටත් ලියන්න..වෙන මොනවටවත් නෙමෙයි..හිත ටිකක් සැහැල්ලු කර ගන්න...එහෙම ආපු මට මුලින්ම උදව් කලේ ළමයා මල්ලි..සින්ඩි ගැන මට කියලා දුන්නේ එයා...ඊට පස්සේ  ගෝල්ඩ් ෆිෂ් අයියා මගේ බ්ලොග් එක ගැන පෝස්ට් එකක් දාලා තිබුනා..එකෙනුයි මාව ගොඩක් අය අදුන ගත්තේ...මේ දෙන්නා නැත්නම් සමහර විට මම මේක නවත්තලා දාන්න තිබුනා...ඉතින් ඒ දෙන්නටම ගොඩාරියක් ස්තුති වෙනවා අද මම...ඒ වගේම නම් විදිහට නොකිවට මාව බලන්න ආපු...කමෙන්ට් කරපු...හැම වෙලාවකම මාව දිරිමත් කරපු  හැමෝටම ස්තුතියි...ඔයාලා නිසයි මම අවුරුද්දක් තිස්සේ කුරුටු ගැවේ...


Saturday, September 24, 2011

පොන්න නැකැත්තා - කොත්මලේ ගණිතයා සහ දුටුගැමුණු කුමාරයා

කොත්මලේ  කියන්නේ කදු වළල්ලකින් වටවෙච්චි ගමක් වගේම නානාප්‍රකාර ජනකතා වලිනුත් පිරිච්ච ගමක්... සත්‍ය අසත්‍යතාව කොහොම වුනත් අපුරු රසවත් බවක් මේ ජනකතා වල කැටි වෙලා තියෙනවා .අපි පුංචි කාලේ ඉදන්ම රසකර කර අහපු මේ කතා වලින් කිපයක් මේකේ ලියලා දාන්න හිතුනේ ඒ නිසයි. 
                              මේ කතා අතර පොන්න නැකැත්තා සම්බන්ධ කතා හරි අපුරු ඒවා.. මේ නම අහද්දි කාට හරි හිතෙන්න පුළුවන් මේක කුණුහරුපයක් වගේනේ කියලා.. ඒත් මේක දෙමළ භාෂාවෙන් ආපු වචනයක්..දෙමළෙන් (තෙළිගු)  "පොන්" කියලා කියන්නේ රත්තරන් වලටලු.මේක තෙළිගු බමුණු කුළයක නමක් විදිහටයි සලකන්නේ.මේ පරම්පරාව නක්ෂත්‍රය ගැන ඉතා විශාල දැනුමක් ඇති අය. මේ විදිහට මේ පරම්පරාවේ  කෙනෙකුට පුස්කොළ පොතක් හම්බ වෙලා තියෙනවා. රාවණා රජතුමාගේ කාලේ නිදන් කරපු රත්තරන් පුහුලක් ගැන තොරතුරු මේ පොතේ තිබිලා ඔහු ලංකාවට එනවා මේ රත්තරන් පුහුල ගන්න. මේ පොන්න නැකැත්තා එන්නේ කොත්මලේට. ඒ මේ නිධානේ තිබුනේ කොත්මලේ මාවෙල කියන ගමේ නිසා.මෙහෙම ආපු ඔහු කොත්මලේ පදිංචි වෙලා ඒ ගමේම කාන්තාවක් විවාහ කර ගන්නවා. මේ විවාහයේ යටි අරමුණ වුනේ නිධානේ ගන්න අවශ්‍ය බිල්ල සදහා ඔහුගේම කුළුදුල් දරුවෙක් ඇති කර ගැනිමයි. කෙසේ වෙතත් ඔවුන්ට උපදින දරුවා බිලි දිලා පොන්න නැකැත්තා මේ රත්තරන් පුහුල ගන්නවා..(ගැරඩි ඇල්ල, රම්බොඩ ඇල්ල කියන දියඇලි වල නම් හැදුන හැටි කියවෙන ජනකතා වල තියෙන්නෙත් මිට සමාන කතාවක්) ඒත් එක ගල් තලාවකදි  ඔහු වෙහෙස නිමා ගැනිමේ අදහසින් රන් පුහුල ගල් තලාවේ තියලා වතුර ටිකක් බොන්න යනවා. ඒහෙම යනවත් එක්කම ගල්තලාව ඉරි තලලා රන් පුහුල යට ගියා කියලයි මේ ජනකතා වල කියවෙන්නේ.රන් පුහුල යට ගියපු තැන අද හදුන්වන්නේ පුසුල්පිටිය කියලා. පුසුල් පිටිය රජමහා විහාරයේ තමයි අතිතයේදි ධන්තධාතුන් වහන්සේත් සගවලා තිබුනේ. රන් පුහුල නැති වුන එක ගැන ඇතිවෙච්ච කම්පනයත් එක්ක ජිවිතේ නැති කර ගන්න හදපු පොන්න නැකැත්තා බේරගෙන තියෙන්නේ හාමුදුරුවො කෙනෙක් . මේ හාමුදුරුවන් ගෙන් බණ අහලා පොන්න නැකැත්තා බෞද්ධයෙක් වුනා.මේ විදිහට ලංකාවට ආපු පොන්න නැකැත්තාගෙන් පැවත එන පරම්පරාව නක්ෂත්‍රය ගැනත් ගණිත කර්ම ගැනත් හසල දැනුමක් ඇති අය නිසා ඔවුන්ට හැකි වෙනවා රාජ සභාවට ගිහින් රජු වෙනුවෙන් සේවය කරන්න.
                             පස්සේ කාලෙක දුටු ගැමුණු කුමාරයා කාවන්තිස්ස රජුත් එක්ක අමනාප වෙලා  පලායන්න හදද්දි විහාර මහා දේවි ඔහුව එව්වෙ කොත්මලේට.මේ විදිහට ආපු දුටුගැමුණු  කුමාරයා කොටගේපිටියේ වීසුරුගෙදර වැඩකාරයෙක් විදිහට වෙස් වලාගෙන ජිවත් වෙන්න පටන් ගන්නවා. ගුත්තා , හිද්දලයා වගේ නම් වලින් දුටු ගැමුණු කුමරු අප්‍රසිද්ධියේ පෙනි ඉදලා තියෙනවා වගේම තමන් පදිංචි වුන ගෙදරම හිටිය රන්මැණිකාව විවාහ කරගත්තත් ඇයටවත් තම රහස එළි කරන්නේ නැ.මේහෙම කාට හැංගුවත්  ඒ වෙන කොට ගමේ ජිවත් වෙච්ච පොන්න නැකැත්තගෙන් ඒ රහස සගවන්න කුමාරයාට බැරි වෙනවා. දුටුගැමුණු කුමාරයා දකින හීනයක තේරුම දැන ගන්න පොන්න නැකැත්තා ලගට යද්දි තමයි මේ රහස එළිවෙන්නේ.

                          දුටුගමුණු රජතුමා ඒ දැකපු අපුරු හීනයත්.... පොන්න නැකැත්තා යකුන් බැදගෙන වැඩ ගත්ත හැටිත්...පොන්න නැකැත්තාට සිකුරා හමුවිමත් ඔහු මිය ගිය හැටිත් ගැන කතා කිපයක්ම මම ඊළග සැරේ දාන්නම්....

ප.ලි. - මෙම ජනකතා බොහොමයක් මම  දැනගත්තේ මම අපේ ඉස්කොලේ හිටපු උඩුවක ගුරු පියාණන්ගෙන්.. ඒ වගෙම කොත්මලේ ජනකතා කියන පොතත්...මිට අමතරව ප්‍රබෝධ කහදගමගේ සර්ගේ ලිපි සහ ඔහු ලියපු කොත්මලේ ඇත්තෝ  කියන පොතෙනුත් කොත්මලේ ගැන ගොඩක් දේවල් දැනගත්තා..ඒ දේවල් ආශ්‍රෙයනුයි මෙය ලියුවේ.
(ඇනෝ ස්තුතියි මගේ වරද පෙන්වා දුන්නට)

Wednesday, September 7, 2011

බට්ටිච්චි


දුක  හිතිච්ච බට්ටිච්චි
පාන්දර බෙරිහන් දෙච්චි
අනේ මං ඇහැරිච්චි
පන්නන්නයි හිතුවේ බට්ටිච්චි......
වද නොදි පල බට්ටිච්චි
අද නිවාඩු දවසක් වෙච්චි
මං කෑ මොර දෙද්දි
උඹේ කට වැඩි වෙච්චි
මොන හොල්මනක් වැහිච්චි
බලන්ට මං යද්දි
බිම වැටුනු පැටික්කි
බල බලා අඩයි බට්ටිච්චි....
වැලලුවත් පස් යට පැටික්කි
අඩයි තාමත් බට්ටිච්චි
ජිවිතේ ඔහොමයි වෙච්චි
නාඩන් උඹ බට්ටිච්චි...