Thursday, July 7, 2011

දෙවියන් විකුණන් කෑම....

                  
මිනිස්සුන්ට කරදරයක් වෙනකොට, දරා ගන්න අමාරු ප්‍රශ්න එනකොට ගොඩක් වෙලාවට දෙවියන් මතක් වෙනවා. අපෙන්ම පිං ලබා ගන්න දෙවියන්ගෙන් අපට පිහිටක් ලැබෙනකං බලන් ඉන්නවා.ඇත්තටම මම මේක ලියන්නේ දෙවියන්ට අගෞරව කරන්න නම් නෙමෙයි.ඒත් දෙවියන්වත් විකුණං කන මිනිස්සු නිසා දෙවියන් වුනත් හෑල්ලු වෙලා කියලයි මම හිතන්නේ.මේ දවස් වල ඔය දෙවියන් ගැන...විවිධාකාර කතා ඇහෙනවනේ.ඔය හාල් වල ආසනික් ගැනත් දෙයියො කියලා තියෙනවලුනේ..ඒවා ඇහෙන අතරෙදියි මට මේ පරණ සිදුවිම් මතක් වුනේ.
          ඒ මම අසනීප වුන මුල් කාලේ..ඒ දවස්වල මගේ ලෙඩේ හොද කරන්න ඉංග්‍රිසි බෙහෙත්, සිංහල බෙහෙත්, යන්තර මන්තර ගුරුකම් වගේ සෑම දෙයක්ම කරමින් හිටියේ. කවුරු හරි කිව්වොත් අර අහවල් තැන හොද වෙදමහත්තෙක් ඉන්නවා එහෙමත් නැත්නම් හොද දේවාලයක් තියෙනවා කියලා  අපේ අම්මා පහුවෙනිදට මාවත් එක්කන් එතන. ඒ වෙන කොට මම හැම දේකින්ම හෙම්බත් වෙලා හිටියේ.ඒ වගේම ඒ වෙද්දි වෛද්‍යවරු මගේ රෝගය විදිහට හදුනා ගෙන තිබුනේ Osteogenesis imperfecta  කියන රෝගය. ඒ වගේම ඒකට ප්‍රතිකාර නැති බවත් ඔවුන් කියා සිටියා. එක දොස්තර කෙනෙක් කිවේ ‘අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනව දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, ඒත් මේක කාටවත්ම කරන්න බැරි දෙයක්‘ කියලා. එදා තමයි ආයෙත් මහ පොළවෙ පය ගහන ආසාව මගෙන් ඈතට ගියේ. ඒත් මගේ ගෙදර අය ඊට පස්සේ සිංහල බෙහෙත් කරන්න... දේවාල ගානේ යන්න....තොවිල් නටන්න වගේ දේවල් පටන් ගත්තා.ඔය අතරෙදි තමයි මට දෙවියන් විකුණන් කන කීප දෙනෙක්වම හම්බ වුනේ. 
              ඉන් එක්කෙනෙක් තමයි මාව පණ පිටින් වැලලුවෙ. මේ කෙනා බෙහෙත් කලේ දේව බලයෙන් කියලයි මාව එතනට එක්ක ගියේ.කැළැවට ගිය තැනක තිබුන පොඩි ගල් ගුහාවක තමා මේ දේවාලේ තිබුනේ. දේව රූප ටිකකුත් තියාගෙන රතු පාට තිර ටිකකුත් එල්ලා හදලා තිබුන දේවාලේ නම් කොහොමත් මට ඇල්ලුවෙ නැ. ඊටත් වඩා ඒ මනුස්සයා ආවේස වෙලා නටන වෙලාවට නම්  ඒ මනුස්සයාට වඩා මාව වෙව්ලුවා බයට. දෙවියෝ කියනවා කියලා මේ මනුස්සයා කියපු හැම දෙයක්ම ඒ විදිහටම අපේ කට්ටිය කලා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මාව වල දැම්මෙත්.ඒ වගෙම තවත් දවසක මේ මනුස්සයා දෙවියෝ කිව්ව කියලා ගුලි වගයක් දුන්න බොන්න.ඒ මල ජරාව බොන්න බෑ කියල මම මහා යුද්ධයක් කලත් ඒවා මට පෙව්වා.ඒවා බීලා හවස් වෙද්දි තමයි වැඩේ පටන් ගත්තේ.මට එක දිගට වමනේ යන්න පටන් ගත්තා.ඒක නවතින පාටක් තිබුනෙ නැ. අන්තිමට අම්මා බැරිම තැන ආයෙමත් ගියා දේවාලෙට. එතකොටයි කියලා තිබුනේ ඒ ගුලි හදලා තිබුනෙ මොනවගෙන්ද කියලා.... ඒවා හදලා තියෙන්නේ වවුවෙකුගේ හදවතක් අරගෙනලු. අම්මපා ඒක අහපු වෙලාවේ ඉදලා මගේ වමනේ යෑම වැඩි වුනා.එදා නොමැරි බේරුනේ වාසනාවටද අවාසනාවටද දන්නැ... අදටත් මට වවුලෙක්ව දකිද්දි පුදුම අප්පිරියාවක් දැනෙන්නෙ...ඒ මනුස්සයා මට දුන්න වද වල හැටියට අද මම මෙහෙම ඉන්න එක ලොකු දෙයක් කියලයි හිතෙන්නේ....මේ වගේ දරුණුවට නැතත් දෙවියන් විකුණන් කාපු තවත් කෙනෙක් හිටියා.
               එයා ගෑණු කෙනෙක්.සාමාන්‍ය කෙනෙකුත් නෙමෙයි බැංකුවක වැඩ කරපු ගෑණු කෙනෙක්. මෙයා ගැන ආරංචි වුනාමත් පුරුදු පරිදි අම්මා මාව එක්කන් ගියා. එයා වැඩ ඇරිලා ඇවිත් තමා දේවාලේ වැඩ පටන් ගත්තේ. සුදු ඇදුමක් එහෙම ඇදලා පාසලබක් අතේ තියාගෙන එකත් හොලව හොලව මායම් වෙන හැටි නම් ආයේ කියලා වැඩක් නැ.හොල්මනුත් ඒ වගේ වෙන්න ඇති කියලා මට හිතුනා. එයා නම් කීවේ අපේ ගෙවල් අහල පහල කෙනෙක් හූනියමක් කරලා කියලයි.හැබැයි එයා කියපු හැඩරුව තියෙන කෙනෙක් නම් අපේ අහල පහල හිටියේ නැ. ඒවගෙම එයා කීවා මාව සොහොන් කාලිට  බාර කරලයි තියෙන්නේ..එයාගෙන් බේර ගන්න නම් ඒ වෙනුවට බිල්ලකුත් වඩේ 100 කින් හදපු  මාලයකුත් පුජා කරන්න ඕනැයි කියලා.ඇත්තටම ඒ සොහොන් කාලි මොන වගේද කියලා දැන ගන්න මට හරි ආසාවක් තිබුනේ...කවුරු වුනත් මාව බාර ගත්ත කෙනානේ..:D  වඩේ මාලේ නම් අපේ අම්මා පුජා කලා..ඒත් බිල්ලක් දෙන වැඩේට නම් ඒ තරම් කැමැත්තක් තිබුනේ නැ.ඒක පස්සේ දවසකට කල් දාගත්තා. මේ දේවල් කිරිම වෙනුවෙන් එයාට දේවාලයක් හදා ගන්න ආධාර කරන්න කියලයි ආපු හැමෝටම කිවේ...පස්සේ පස්සේ අම්මා තේරුම් ගත්තා මේක සිද්ධ වෙන්නේ සල්ලි වෙනුවෙන් කියලා...ඒ නිසා ඒකෙනුත් යාන්තම් බේරෙන්න පුළුවන් වුනා...මේ දෙවියන් විකුණන් කන දෙන්නෙක් විතරයි...මේ වගේ තවත් අය මගේ ජිවිතේදි හම්බ වෙලා තියෙනවා...අදටත් මට හිතා ගන්න බැරි ඇයි මේ මිනිස්සු තව කෙනෙකුගේ දුක ඉත්තෙක් කරගෙන තමන්ගේ බඩ පුරව ගන්න හදන්නෙ කියලා