Monday, November 22, 2010

නොබලන් මිනිසුනි නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්....



ආබාධිත කියන වචනය අදාළ වෙන්නෙ සමහර මිනිස්සුන්ට විතරයි..මට නිතරම හිතෙන්නේ ඒ වචනය මට අදාල එකක් නෙමෙයි කියලයි.. ඒ වුනත් නිතර දෙවේලේ මාව ආබාධිතයෙක් විදිහට හදුන්වන නිසාම මා එසේමැයි හිතන්නට මගේ හිත බලහත්කාරයෙන් තල්ලු කරනවා.. ආබාධිතයෙක් විම මානසික ‍වේදනාවක් වුන කාලයකුත් තිබුනා..ඒත් දැන් එහෙම නෑ.....
ආබාධිතයෙකුට එයාගේ දෙපාවල තියෙන නොහැකියාව ගැන තේරුමක් නෑ... එයාට ඒක දැනෙන්නේ අපහසුවක් හෝ කරදරයක් ලෙස පමණයි... ඒත් ඒක තමන්ට ඕන දේ කරන්නත් තමන්ට ඕන දේ ප්‍රාර්ථනා කරන්නත් බාධාවක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා..ඒවා අබ්බගාතයි කියලා හිතෙන්න පටන් ගන්නේ අනෙක් අය ඒ විදිහට සැලකුවොත් විතරයි..මට මගේ අප්‍රණික කකුල් ගැන ලැජ්ජාවක් දැනෙන්නෙ නෑ.. ඒත් මට ඒවා ගැන ලැජ්ජා හිතෙන්නේ සමහර අය මාව දැක්කම ඒ මූණු වල තියෙන හැගීම් ගැන වැඩියෙන් කල්පනා කරන්න ගත්තොත් විතරයි...මේ වගේ මූණු මගහැරලා යන්න මම වැඩියෙන්ම කැමතියි...මේ විදිහට ආබාධිතයෙක් දිහා අමුතු ඇහැකින් බලන්නේ දුර්වල හිත් තියෙන අය කියලයි මට හිතෙන්නේ... මම සතුටින් ඉන්නේ..දැන් මට වේදනාවක් නැ..ඒත් මගේ සතුට සමහරුන්ට ගැටළුවක්...මගේ සතුට එයාලා  දකින්නේ ධෛර්‍යවන්ත කමක් විදිහට.. ඒත් මං දන්න ධෛර්‍යවන්ත කමක් නැත.. පුංචි කූඹියෙක්ටත් බය මම කොහොම ධෛර්‍යවන්ත කෙනෙක් විදිහට දකිනවාද කියලා මං දන්නේ නෑ.... සමහර වෙලාවට මං ගැන කවුරු හරි අහද්දි අම්මා කියන්නේ
“එයා වෙලා තියෙන දේවල් අමතක කරලා සතුටින් ඉන්නවා” කියලා.... මේවා ඇහෙද්දි මට හිතෙන්නෙ මම සතුටින් නොසිටිය යුතුයි කියලා... ඒ වචන හරියට මට පෙනෙන්නෙ නැති අනාගතේ ගැන කියවෙන දුක්බර ඉගියක් වගේ..
“මම හොදින් ඉන්නවා...” ඒ මාව අමුතු විදිහට දකින හැමෝටම මම කියන දේ...
ඉස්සර නම් සෙනග පිරුනු තැන් වලට යන්න ‍මම හරිම අකමැතියි.. ඒත් දැන් මම ඕන තැනක රිංගනවා...සමහරු මං දිහා බලන්නේ මම හරියට සත්තු වත්තෙන් පැනලා යන සතෙක් දිහා බලනවා වගේ..  මං දිහා ඒ විදිහට බලද්දි ඉස්සර නම් හොම්බ කට සමතලා වෙන්න අනින්න හිතෙනවා... ඒත් මම දැන් කරන්නේ මූළු දත් සෙට් එකම පේන්න ඒ අයත් එක්ක හිනා වෙන එක.. ඒක හරි සාර්ථක ක්‍රමයක්.... එහෙම හිනා වුනාම එයාලා හරි ඉක්මනට අහක බලා ගන්නවා.. මට ඕන වුනේ සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න.. ආබාධිත කකුල් දෙකකට ඒ සිතුවිලි වෙනස් කරන්න බැරි වුනා..අනෙක් අයට මාව  වෙනස් විදිහට පේන්නේ ඇයි කියලා මම දන්නෙ නෑ..
මම මේක ලියන්න හිතුවේ මම සතුටින් ඉන්න එක ප්‍රශ්නයක් වුන කෙනෙක් නිසා... සමහරු හිතන්නේ ආබාධිතයෙක් වෙන එක ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතිව කදුළු පිරිච්ච ජිවිතයක් උරුම කරගන්න දෙයක් කියලා.. ඇත්තටම එහෙම නෑ.. මුළු ආත්මයම ලෙඩ කරගත්ත මිනිස්සු අතරේ කයින් ලෙඩ වීම කියන්නේ ඒ හැටි දෙයක් නෙමෙයි...............

20 comments:

  1. ඇත්ත නංගි බබා.තමන්ගෙ හීන, බලාපොරොත්තු,ප්‍රාර්ථනා ඉ‍ටු කර ගන්න කය ලෙඩ වීම බාධාවක් නෙමෙයි.මොකක් හරි ආබාධයක් තියන කෙනෙක් සතුටින් ඉන්නව දකින්න බැරි ,කුහක මිනිස්සුන්ට.උන්ට ඔහොම දෙයක් වෙලා බලන්න ඕනෙ.
    වෙන රටකදිවත් ඔයාව සනීප කරන්න අමාරුයිද?

    ReplyDelete
  2. කියැවීමි... උගතිමි... ස්තුතියි ...

    ReplyDelete
  3. ඇවිත් ගියෙමි

    ReplyDelete
  4. නංගියේ...

    අද උදේ අහම්ඛෙන් වගේ ඔයා මට කතා කළ වෙලේ මට ඔයා ගැන මවාගන්න චිත්‍රයක් තිබුනේ නැහැ..
    ඒ විතරක් නෙවෙයි..ඒ කතා කලාට පස්සෙත් මම ඒ ගැන වැඩිය හිතුවෙවත්..ඔයා කිව්ව බ්ලොග් එකට යොමු වෙන්නවත් මට මතක් උනේ නැහැ..

    ඒත් දැන් පැයකට විතර කළින් මම සින්ඩියේ ඇවිද ඇවිද අළුත් ලිපි කියවගෙන යනකොට මට හම්බ උනා අකීකරු හිත...

    මට මතක් උනා අද උදේ මට කතා කළ කෙනා...

    කියවන්න ගත්තා..
    අමුත්තක් දැනුන හින්දා අතරින් පතර ලිපියක් දෙකක් කියෙවුවා..ම්හූ..
    එහෙම බැළුවට මදි කියලා මට තේරෙන්න පටන් ගත්තා..ආයෙම මුල ඉඳලා ඔක්කෝම පෝස්ට් කියෙව්වා...

    මම දැක්ක බ්ලොග් අතරෙ..මට හිතන්න..කල්පනා කරන්න වැඩිම දෙයක් ඉතිරි කළ බ්ලොග් එක මෙකයි කියන්න මම දෙපාරක් හිතන්නේ නැහැ.

    ඒ වගේම මෙ බ්ලොග් දහස් ගාණක් අතරෙ මම දැක්ක හොඳම කවිය අද මට හම්බ උනා..

    ඒ ඔයාගේ අර මල්වඩමෙ කවිය...
    ආයේ දෙකක් නැහැ..මම දැකපු හොඳම කවිය..

    අද උදේ මම ඔයාව දැනගෙන උන්නේ නැහැ..
    ඒත් මම දැන් ඔයාව දන්නවා...

    මම අද උදේ වෙනකොට ඔයා ගැන දැනගෙන උන්නානම් කියලා මට හිතෙන්නේ දැනුයි...

    මම හිතන්නේ ඔයා ලියන්නේ ඔයාගේම ජීවිතේ කියලයි.
    ඒක එහෙමනං නංගියේ උඹට වරදින්නේ නැහැ..
    එක දෙයක් කරපං.. දිගටම ලියපං...
    ආයේ කතා දෙකක් නැහැ මාරයා අයියා හැමදාමත් එනවා උඹව බලන්න...

    ReplyDelete
  5. හ්ම්ම්ම් මේක කියෙව්වම මයියට ලගදි අහපු කථාවක් මතක් උනා..මේ තියෙන්නේ ඒකේ ලින්ක් එක...

    http://www.facebook.com/#!/video/video.ඵ්ප්?ව්=169001636451459&cඔම්මෙන්ට්ස්

    ප්‍රශ්නය තියෙන්නේ කකුල් දේකේ නෙමෙයි බලන කෙනාගේ ඇස් දෙකෙයි කියන හොදට තේරුම් ගත්තා...

    මයියාට මීට ටික දවසකට කලින් වෙච්ච දේ , මාරයට අද වෙලා තියෙන්නේ

    ReplyDelete
  6. මම හිතුවේ නෑ මේ තරම් දුකක් අකීකරු හිත හිතේ තදකරගෙන ඉන්නවා කියලා !

    ඔයාට වරදින්නේ නෑ සහෝදරී අපි හැම මොහොතකම ඉන්නවා ඔයා එක්ක. මේ ලෝකේ සර්ව සම්පූර්න අය කවුරුවත් නෑ ..හැමෝගෙම මොකක් හරි අඩුවක් තියනවා ...

    හැමදේම හරියයි ...

    ජයවේවා !! සහෝදරී

    ReplyDelete
  7. මට මේ බ්ලොග් එක අදයි ඇහැගැටුනේ.
    මීට කලින් කියවන්න නොලැබුන එක ගැන දුකයි. මේක බස් එකේ ෂෙයාර් කරපු රන්දිකාට තුති.
    මේ සටහන් කියවද්දි ලොකු වෙනසක් දැනෙනවා. ඉදිරියටත් නොවැරදීම එනවා.

    ReplyDelete
  8. 'මුළු ආත්මයම ලෙඩ කරගත්ත මිනිස්සු අතරේ කයින් ලෙඩ වීම කියන්නේ ඒ හැටි දෙයක් නෙමෙයි'

    ඔය තියෙන්නෙ නියමෙට! ආයෙ වැඩි වචන ඕන නෑ...

    ReplyDelete
  9. නංගි මම හරිම කැමතියි උඹ ආයේ කවදාවත්ම ආබාදිත කියන වචනය පාවිච්චි නොකර ඉන්නවනං. උමේ ලිපි කියවද්දි අපිට උඹව හොඳට පේනව. උ‍ඹේ හැඟීම් අපිටත් දැනෙනව. ඒව දකිද්දි අපිට කවදාවත් ඒ වචනෙ පාවිච්චි කරන්න බෑ. ලෝකෙ මිනිස්සු හිතන විදිහ බලන විදිහ වෙනස් කරන්න අපිට බෑ. ඒත් අපි හිතන විදිහ අපි බලන විදිහ වෙනස් කර ගන්න අපිට පුළුවන්. ආත්ම ශක්තිය කියන්නෙ කියන්න බැරි තරම් හයියක්. ඒ හයිය ඉස්සරහ ඕනම දෙයක් දෙකට නැවෙනව. උඹට ‍ඒ හයිය ඕනවටත් වඩා තියෙනව. ආත්මශක්තියත් එක්ක ජයගන්න බැරි දෙයක් ලෝකෙ නෑ. ලස්සන කවි ලියපං හැමදාම අපි කියවන්නං. මාරයා කිව්ව හරියටම හරි මමත් දැක්ක ලස්සනම කවිය ඒක. වාසනාවන්ත හෙටක්.

    ReplyDelete
  10. ඔයා ආබාධිතයිලු....කව්ද එහෙම කියන්නෙ...මෙච්චර ලස්සන හිතක් තියෙන කෙනෙකුට එහෙම කියන කෙනා තමයි ඇත්තටම ඇබාධිත...මම දකින විදියට නම් මිනිස්සු ආබාධිත වෙන්නෙ මනසින්..අද ගොඩක් අය එහෙමයි.‍ඔයා එහෙම ‍නොවන බව මේ ලිපි දිහා බැලුවම කියන්න පුළුවන්.දයියා කියනව වගේ ආබාධිත කියන වචනෙ ආයෙම භාවිතා කරන එක ඔයාට තහනම්.මම කියවපු ලිපියක තිබුණා එයාගෙ අත් දෙකම එයාට නෑ.ඒත් එයා සැහැල්ලු ගුවන් යානා පදවන්න පවා ලයිසන් අමගෙන.එයත් ගෑනු ළමයෙක්.මුලදි එයත් ඔය වගේ හිතන්න ඇති.ඒත් අන්තිමය එයි ලෝකයම දිනුවා.හැම දේම රැදිලා තියෙන්නෙ අපේ හිත මත.ඒකෙන් කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ.ඉතින් උඹට නොඅඩුවම ඒක තියෙද්දි ඇයි අවුල් වෙන්නෙ.අනුකම්පා කරන්න විතරක් දන්න ආදරය කරන්න දන්නෙ නැති අමන මිනිසුන්ට ඕන මඟුළක් කර ගන්න කියලා උඹ ලෝකය දිනපන්.දෙපයට නොවෙයි හිතටයි හයිය ඕනෙ.

    ReplyDelete
  11. ඔයා ආබාධිතයෙක් නෙවෙයි දරුවො. ඔයාගෙ සතුට තුළ ඔයා ජීවත් වෙන්න. අනෙක් අය ඒ සතුට දිහා බලන විදිය ගැන හිතන්න එපා. අපි කවුරුවත් මහලොකු ධෛර්යවන්තයෝ නෙවෙයි. ලෝකෙට පෙන්නනව උණාට ඇතුළාන්තයේ බියසුල්ලෝ විතරයි.
    අපි කියන්නෙ ශරීරයක් නෙවෙයි. ශරීරය එක් කොටසක් විතරයි. පිටතට නොපෙණුනාට ඒ ශරීරය තුළ හැමෝම ආබාධිතයො, ලෙඩ්ඩු. ඒත් මිනිස්සුන්ගෙ ඇස් යොමුවෙන්නෙ අනෙකා දෙසටයි. සාපේක්ෂව බලල සතුටු වෙන්නයි. නැත්නම් දුක් වෙන්නයි. මේ ඇස් අනන්ත වාරයක් අපිව රවටමින් ඉන්නව.
    බුදු සරණයි !

    ReplyDelete
  12. මම පරක්කු වෙලා. කමක් නෑ. අකීකරු හිත ගැන මම හොඳටම දන්න නිසා, මම මුකුත් කියන්නේ නෑ. ඔයාට කව්රු හරි ආබාදිතයි කියනවනම්, ඒ භෞතික සිරුරෙන් විතරයි, මානසිකව ඔයා අපිටත් වැඩිය ශක්තිමත්.

    ReplyDelete
  13. Canada is the ideal place for you..In Canada there are no disable people as far as the rights are concern. They have better rights than the able people.
    Cheer-up baby !!!

    ReplyDelete
  14. අකීකරු හිත, අපිට කාවවත් වෙනස් කරන්න බැරි බව ඔයා දන්නවනෙ, අපි දෙයක් දිහා බලන විදිය තමා වැදගත් වෙන්නෙ. ඔයා කිව්ව වගේ අවන්ක හිනාව තම අපිට දෙන්නෙ පුලුවන් හොදම පිලිතුර ගොඩක් දේට. මම ඇත්තටම ඔයා ගැන ගොඩක් සතුටු වෙනව, ඉස්සර මිනිස්සු හිත ඇත්නම් පත කුඩාද කියන්නෙ නිකමට නෙමේනෙ.

    ReplyDelete
  15. සුදු නංගි(මම කැමතියි උඹට එහෙම කියන්න )..මේක බලන හැම මොහොතකම මගේ ඇස්වල කඳුලු පිරෙනවා..ඇයි අපි නොහිතන දෙයක් උඹ අපිට බලෙන් හිතවන්නේ...මිනිස්සුගේ අඩු පාඩු දිහා බොරු අනුකම්පාවෙන් බලන අය ලඟ අඩු පාඩු ගොඩයි..එයාලා ඒක වහගන්න තමා එහෙම අනුකම්පාවෙන් බලන්නේ...අපේ අඩු පාඩු එයාලට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අපි සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න එක එයාලට දරාගන්න බැරි නිසා..අත පය තිබ්බටම මිනිහෙක් වෙන්නේ නෑ නංගෝ..හොද හිතක් තියෙන්න ඕන...

    ReplyDelete
  16. මිනිහා කියන්නේ මනසින් උසස් සතාටනේ..මනසින් කරන්නේ හිතන
    එකනේ..උඹත් අම්බානකට හිතනවනේ...හිතන්නේ නැති එවුන් මිනිසුන් නෙවෙයි නේ..ඉතින් උඹ අයි දුක්වෙන්නේ..
    උඹ මාර මිනිහෙක් නේ...........

    ReplyDelete
  17. අභාධිතයි කියන්නේ ශාරීරිකව යම් අඩුවක් නම් මමත් ආභාධිතයෙක්.. මොකද මම කණ්නාඩි දානවා දැනට අවුරුදු 18 තිස්සේ ඉදන්.. කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ.. ලියන්න ​දේවල් ගොඩක් නම් තියෙනවා.. කෙලින්ම කියන්නම්.. හිතට ​ධෛර්ය ගනින් සහොදරී.. වරදින්නේ නෑ උඹට...

    දිගටම ලියන්න මමත් ඉන්නවා ඔයා එක්ක...

    ReplyDelete
  18. ආපු පළවෙනි දවස තමා අද මේ බ්ලොග් අඩවියට..
    එකට මොකද මේ දාන තුන්වෙනි කොමෙන්ටුව..

    ඔයා වගේ අහිංසක හිතක් තියන කෙනෙක්ට වෙලා තියන දේ ගැන තියන දුක කියන්න මං ළඟ වචන නෑ සහෝදරී...ඔයා වගේ කටකාරියකගේ අදහස් ගැන මට මෙහෙම කතාකරන්න ලැබුන එකත් ඇති මට..ඔය කියල තියන "ආබාධිත" කියන වචනේ ඔයතරම් බර ඇතියි කියල මම කවදාවත්ම හිතුවෙ නෑ,හිතුනෙත් නැති එකයි පුදුමේ..ඔය අකීකරු කමට මං හරිම ආසයි යාළු....

    "ආබාධිත" කියන වචනේ තේරුමක උසක්‌,දිගක්,පළලක් දන්නේ නැති මට,
    තවත් කෙනෙක් දිහා බලන්න කියා දුන්න එකට ඔයාට පිං...!!

    කටුක ජීවිතේ හරි ලස්සනයිලු,
    සුන්දර ජීවිතේ කිසි ගතියක් නෑ ලු,
    අනේ මන්ද,
    කවදා හම්බ වෙයිද කියල මට, මං හොයනා දේ...

    ReplyDelete
  19. අද තමයි මෙ බ්ලොග් එකට ආවේ.අහම්බෙන් තම්යි ගොඩ උනේ.ජීවිතේ අපි හිතන පතන එවා එ ආකාරයෙන්ම ඉස්ට සිද්ද වෙන්නැ න0ගියේ,සිදුවුන දෙවල් අමතක කරලා දිරියෙන් ඉදිරියට යන්න.ගත දුර්වල උනත් හිත දුර්වල වෙන්න දෙන්න එපා.මේ විදියේ තත්වෙකට පත් වුනාම දැනෙන හැගෙන දේ ගැන මට හොදට තේරෙනවා.බොහෝ දෙනා අනේ අපොයි කියනවා විතරයි,....අනුකම්පාව දක්වනවට වඩා හිත හැදෙන්න වචනයක් කියන අය හරි අඩුයි.මෙවගේ තත්වෙකට පත් උනාම බොහෝ අය අපෙන් ඇත් වෙනවා,අපි අන්තෙටම වෙ‍ටුනොත් අපිට කවුරුත් නැ,යාලුවෙක්වත් උදවුවට එන්නැ,අන්තිම මොහොත දක්වා උත්සහය අත්හරින්න එපා.බලාපොරොත්තු නැති කරගන්න එපා මොකද බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා......ඔබට තෙරුවන් සරනයි...............මාත් ආබාදිතයි,දෙපා පනනැ ....

    ReplyDelete
  20. ""ආබාධිත කියන වචනය අදාළ වෙන්නෙ සමහර මිනිස්සුන්ට විතරයි " ethin ai oka ganama kiyawanneeeeee.... pissuu

    ReplyDelete